ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සඳහා සහාය ලබා දෙන බවට චීන අගමැතිවරයාගෙන් සහතිකයක් ලැබුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා චීන රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බවට චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) සහතික වූ බවයි අගමැති කාර්යාල වාර්තා පවසන්නේ.
චීන අගමැතිවරයා තමන් සමඟ ඊයේ (22) දුරකතනයෙන් කළ සාකච්ඡාවකදී මේ බව කියූ බවයි අගමැතිවරයා පවසන්නේ.
“ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයට මනා අවබෝධයක් ඇති බව පැවසූ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා, ලාංකික ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීම සඳහා උපරිම දායකත්වය ලබා බව අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින හදිසි මූල්‍ය ගැටලු කිහිපයක් විසඳා ගැනීමට චීනය ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරන බවට ද චීන අග්‍රාමාත්‍යතුමා මෙහි දී සහතික විය. නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව කඩිනමින් සාකච්ඡා පැවැත්වීම, මෙරට වෙළඳ හිඟය අවම කිරීම සහ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් චීන සංචාරකයින් ආකර්ෂණය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය” යි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
“දෙරට අතර මිත්‍රත්වය අඛණ්ඩව පවත්වා ගෙන යමින් පවතින සබඳතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියටත් අපි එක්ව වැඩ කරනවා. මේ මොහොතේ ඔබ මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අපට හැඟීමක් තිබෙනවා. එම දුෂ්කරතා මගහැරීම වෙනුවෙන් අපි එක්ව කටුයතු කරමු” යැයි චීන අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බවයි කියන්නේ.
“චීන රජය අපේ රට වෙනුවෙන් මෑතක දී ප්‍රකාශයට පත්කළ මානුෂීය ආධාර සහ අඛණ්ඩ සහයෝගීතාව වෙනුවෙන් මම මෙහි දී චීන රජයට ස්තූතිය පුද කළෙමි” යි අගමැති මහින්ද රාජපක්ෂ පවසා තිබුණා.