[ Samy and Others V Attorney General]
බිදුණුවැව යනු බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගරයේ පිහිටි කුඩා නගරයකි. එවකට 30 වසරක යුද්ධයක් පැවති කාල වකවානුවේ බිදුණුවැව ප්‍රදේශයේ පුනුරුත්ථාපන කදවුරු මධ්‍යස්ථානයක් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සමයේ ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන ගියහ. මෙම පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත පුනුරුත්ථාපන සදහා ගෙන ගොස් රදවා තැබුවේ අත්අඩංගුවට ගන්නා දෙමළ LTTE සාමාජිකයන් සහ ස්වෙච්ඡාවෙන් භාර වූ LTTE සාමාජිකයන් විය. වේලුපිල්ලේ ප්‍රාභාකරන් විසින් LTTE එකට බලහත්කාරයෙන් අවුරුදු 18 ට අඩු පුද්ගලයන් ද බදවාගත් බව කවුරුත් දන්නා රහසක් වන අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුද රැදවියන් අතර විය. එහි සිටි රැදවියන් සහ ගම්වාසින් අතර ඇති වූ කලකෝලාහලයක ප්‍රතිඵලයක් වශයෙන් ඉහත සදහන් නඩුවේ නඩු නිමිත්ත හටගෙන ඇත.
දිනය 2000 ඔක්තෝම්බර් 25
ඔක්තෝම්බර් 24 වන දින රාත්‍රියේ මූලස්ථාන පරීක්ෂක ජයන්ත සෙනෙවිරත්න මහතා කඳවුරට පැමිණියේ කැලඹීමක් ඇති බවත් රැඳවියන් නිලධාරීන්ගෙන් ආයුධ පැහැර ගැනීමට උත්සාහ කර ඇති බවත් දැනගැනීමෙන් අනතුරුවය. දැනගත් තොරතුරු මත ගම්වාසීන් ද කඳවුර අසල රැස්ව සිටියහ. ලුතිනන් අබේරත්න මහතාට පහර දී තුවාල ලබා ඇති බවත්, කඳවුර තුළ තිබූ පොලිස් මුරපොළ අතහැර දමා ඇති බවත් ඔවුන්ට තොරතුරු ලැබී තිබුණි. තවද LTTE එක විසින් තම ගමට පහර දීමට සිටින බවට ද ආරංචියක් ගම තුල කථාබහට ලක්වෙමින් තිබී ඇත. කෙසේහෝ ඔක්තෝම්බර් 24 රාත්‍රියේ රැදවියන් විසින් පොලු මුගුරු වලින් සන්නද්ධව පොලීසිය වෙත ගල් වලින් පහර දුන්හ. මේ හේතුවෙන් රාත්‍රී 8.50 ට පමණ පොලිසිය හමුදාවේ සහ ලුතිනන් බාලසුරිය මහතාගේ සහය පැතීය. පසුව පිරිස විසුරුවා හැර තත්වය පාළනය කර අළුයම 1.30 ට පමණ ඔවුන් පිටත් වි ගියහ.
කඳවුර ඉවත් කිරීම සඳහා පසුදා උදෑසන එනම් මෙම සමූල ඝාතනය සිදුවූ දිනය වන 2000 ඔක්තෝම්බර් 25 වන දින කඳවුර ඉදිරිපිට සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වීමට ගම්වාසීන් සැලසුම් කර තිබුණි. ඒ අනුව පසුදා උදෑසන කඳවුර ඉවත් කරන ලෙස ඉල්ලා පෝස්ටර් නගරය පුරා දක්නට ලැබුණි.
එදින උදෑසනද රැදවියන් සන්නද්ධ වී කදවුර තුල කෝලාහල කලහ. පසුව රැදවියන්ගේ නොසන්සුන් බව සහ ගම්මුන්ගේ භීතිය සහ කුතුහලය හේතුවෙන් සත්‍යග්‍රහය පසෙක තබා පොලුවලින් සහ කැපෙන ආයුධ වලින් සන්නද්ධ වූ ගම්මුන් පිරිසක් විසින් පුනුරුත්ථාපන කදවුරට කඩා වැදී එම රැදවියන් කපා කොටා ඝාතනය කර ඔවුන් රදවා තිබූ බිලට් වලට ගිනි තබා සමූල ඝාතනයක් සිදු කලහ. රැදවියන් 27 දෙනෙකු ඝාතනය කර තවත් රැදවියන් 14 දෙනෙකුට තුවාල කිරීමට මෙම පිරිස සමත් විය.
නඩුවේ හෙලිවූ සාක්ෂි වලට අනුව කදවුර තුල 500ක් 700ක් අතර පිරිසක් සහ ඒ අවට මිනිසුන් 3000 කට අධික ප්‍රමාණයක් එදින එක් රැස් වී ඇත. රැදවියන්ට පහරදීමේ පොදු අරමුණක් ඇතිව නීතිවිරෝධීව එක්රැස්වූ පිරිසක් සහ සිදුවීම බලන්න පැමිණි පිරිසක් සහ කදවුර ඉදිරිපස තිබු විද්‍යා පීඨයේ සිසුන් සහ ගුරුවරුන් ද මේ අතර විය. තවද සාක්ෂි වලට අනුව පොලීසිය විසින් අහසට වෙඩි තබා සන්සුන් කිරීමට උත්සහයක යෙදුනද ඔවුන්ගේ පිරිස් බලයන් වැඩි නිසා එය එතරම් සාර්ථක නොවිනි. පසුව හමුදාවෙන් පැමිණ සිදුවීම පාළනය කර ඇත.
මෙම සිදුවීමට අදාළ විත්තිකරුවන් 41 දෙනෙකු සදහා චෝදනා 83 කින් යුත් අධිචෝදනා පත්‍රයක් ගොනුකර මහාධිකරණයේ නඩු පැවරුනි. මෙහි සදහන් චෝදනා 83 ප්‍රධාන චෝදනා 4කට පහත පරිදි ලඝු කර දැකිවිය හැකිය.
01) දණ්ඩ නීති සංග්‍රහයේ 140 වන වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් වන බිදුණුවැව පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන්ට හානිකිරීමේ පොදු චේතනාවක් යටතේ නීතිවිරෝධි ඒකරාශිය. ( Unlawful Assembly )
02) දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස නීතිවිරෝධි ඒකරාශියේ සාමාජිකයන් විසින් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම.
03) දණ්ඩ නීති සංග්‍රහයේ 300 වන වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස එකී නීතිවිරෝධී ඒකරාශියේ සාමාජිකයන් විසින් රැදවියන් 14 දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම.
04) දණ්ඩනීතී සංග්‍රහයේ 32 වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම.
නඩුව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ( Trial at Bar ) හමුවේ ගරු මහාධිකරණයේ විභාග කෙරුනු අතර බිදුණුවැව පුනරුත්ථාපන කඳවුරේ නිලධාරීන්, ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, පිරිස විසුරුවා හැරීමට පොලිසියට සහාය වීමට පැමිණි හමුදා නිලධාරීන්, ප්‍රහාරය අතරතුර රාජකාරියේ යෙදී සිටි ඇතැම් පොලිස් නිලධාරීන්, ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් රැඳවියන්ගෙන් බොහෝ දෙනෙක්, ගම්වාසීන් කිහිප දෙනෙක්, මියගිය සහ තුවාල ලැබූ රැඳවියන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් ද ඇතුළු සාක්ෂිකරුවන් 58 දෙනෙකුගේ සාක්ෂි පැමිණිල්ල විසින් මෙහෙයවන ලදී.
නඩු විභාගයෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයට අනුව විත්තිකරුවන් 23 දෙනෙකුට විරුද්ධව කිසිදු සාක්ෂියක් නොමැති බව පවසා රජය විසින් ඉදිරිපත් කල ඉල්ලීම සලකා ඔවුන් නිදොස් කොට නිදහස් කල අතර නඩු විභාගයෙන් පසුව තවත් විත්තිකරුවන් 13 දෙනෙකුට විරුද්ධව ද සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඔවුන් ද නිදොස්කොට නිදහස් කලහ. ඉතිරි විත්තිකරුවන් 5 දෙනා වූ ගම් වැසියන් තිදෙනා සහ පොලිස් නිලධාරීන් දෙදෙනා වරදකරුවන් වූ අතර ඔවුන් සදහා ඒ ඒ චෝදනාවට අදාලව දණ්ඩනයන් ගරු මහාධිකරණය විසින් තීන්දු කලහ.
චූදිතයන්ට එරෙහිව තිබූ සාක්ෂි
මුනසිංහ ආරච්චිගේ සැමී ( 1 වන අභියාචකයා )
මොහුට විරුද්ධව තැපැල් ස්ථානාධිපතිවරෙයෙක් වූ ආරියසේන මහතා සහ පියසේන නම් ගම් වැසියා සාක්ෂි ලබා දුන්නේය. ආරියසේන මහතා පවසා සිටියේ ඔහු රැකියාවට උදෑසන 7.00ට පමණ යන විට සෙනග රැස්ව සිටිය බවත් නැවත 8.20 ට පමණ එන විට බිලට් ගිනිගන්නා බවත් ය. පසුව ඔහු විසින් කදවුර තුලට ගොස් ඇති අතර එහිදී ගින්නට වැටෙන්න ගිය ළමයෙකු බේරාගෙන ඇති අතර එම මොහොතේ පොලුවලින් සන්නද්ධ වූ 20ක් 30ක් පැමිණ ඔහුටද පිටට පහරක් එල්ල කර මූ කොටියෙක් යැයි ප්‍රකාශ කල බවත් එම පිරිස අතර සැමී සිටි බවටත් සාක්ෂි ලබා දුන්නේය. පියසේනගේ සාක්ෂියේ දී ඔහු ප්‍රකාශ කර සිටියේ කදවුරට 150m ක් පමණ ඈතින් තිබූ සුගතන් මාමාගේ කඩය අසල සැමීව දුටු බවයි. සැමී ආරම්භයේ පටන් කදවුර තුල සිටි බවට ඔහුගේ සාක්ෂිය සහය දැක්වූයේ නැත.
සේපාල දසනායක ( 2 වන අභියාචකයා )
විද්‍යා පීඨයේ කාර්මික නිලධාරියෙක් වූ වික්‍රමසිංහ බණ්ඩා මහතා තම සාක්ෂියේ කියා සිටියේ කදවුරේ සිට පොල්ලක් අතැතිව සේපාල එළියට එන බව දුටු බවයි.
රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රේමනන්ද ( 3 වන අභියාචකයා )
මොහුට විරුද්ධව ඔහුත් සමග පහරදීම ඇසීමෙන් කදවුර වෙත ගිය දොන් සුගත් ජයන්ත, ප්‍රේමනන්දගේ තුවාලයට බෙහෙත් කල වෛද්‍ය රික් ඇන්ඩර්සන් මහතා සහ මොහුව පරීක්ෂණයට භාජනය කල වෛද්‍ය E. A. G. විජරත්න මහතා යන තිදෙනා සාක්ෂි දුන්හ. සුගත් කියාසිටියේ ප්‍රේමනන්ද කදවුර ඇතුලට ගොස් විනාඩි 10-15 අතර වෙලාවකින් අතේ මැණික්කටුව අසල කැපුම් තුවාලයක් සහිතව බවත් එය ඇලුමිනියම් තහඩුවකට සිදුවූ බව ඔහු පැවසූ බවත් ය. වෛද්‍ය ඇන්ඩර්සන් මහතා හමුවී තුවාලයට බෙහෙත් කර ගෙන ඇති අතර එහිදී ඔහු සැකය උපදවන ලෙස "සිරිපාල" යන ව්‍යාජ නමක් භාවිතා කර ඇත.
සේනක ජයම්පති කරුණාසේන ( 4 වන අභියාචකයා )
සේනක මහතා පොලිස් නිලධාරියෙකු විය. ඉතිරි වූ රැදවියන් දෙදෙනෙක් සාක්ෂි ලබා දුන්නේ පොලීසිය විසින් තත්වය පාළනය කිරීමට කිසිවක් නොකල බවයි. නමුත් පසුව සාක්ෂි වලින් හෙලිවූයේ පොලීසිය තම ඉහල රාජකාරී නියෝගන්ට අනුගතව අහසට සහ මල් වැට ප්‍රදේශයට වෙඩි තබා තත්වය පාළනය කිරීමට උත්සහ කර ඇති බවයි. එහිදී උණ්ඩ කොපු ද සොයාගෙන තිබුණි.
පසුව එකී චූදිතයන් පස්දෙනා Dr. රංජිත් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති නීතිඥ D.S. විජේසිංහ මහතා ඇතුලු නීතිඥවරුන් කිහිපදෙනෙක් මාර්ගයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාවක් ගොනු කෙරුනු අතර එහිදී සොලිසිටර් ජෙනරාල් C.R. ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කල ඉල්ලීමකට අනුව 5 වන චූදිත අභියාචනාකරුව සියලු චෝදනාවලින් නිදහස් කරනු ලැබිණි. අනෙකුත් චූදිතයන් සිව්දෙනාගේ නීතිඥවරුන් මගින් පහත කරුණු පෙන්වා දී තිබුණි.
හතර වන චූදිතයා වූ පොලිස් නිලධාරියා වෙනුවෙන් D.S විජේසිංහ මහතා පෙන්වා දුන්නේ,
නීතිවිරෝධී එක්රැස්වීම මත පදනම් වූ චෝදනා මොහු සම්බන්ධයෙන් වැරදි ලෙස වටහාගෙන ඇති බැවින්, නීතිවිරෝධී එක්රැස්වීමේ සාමාජිකයන් ලෙස නොහික්මුණු පිරිස සමඟ එක්වීමට ඔහුට කිසිදු සත්‍ය හෝ නෛතික පදනමක් නොතිබුන බවත්,
පැමිණිල්ල විසින් ඔහුට විරුද්ධව ඇති නීතිවිරෝධී අතපසුවීමක් (Omission) හෝ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් චේතනාව (mens rea) ඔප්පු කල යුතුව ඇති බවත් ය.
පළමු චූදිතයන් තිදෙනා වෙනුවෙන් පෙණීසිටි Dr. රංජිත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ,
ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වූ සාක්ෂි මගින් ඔප්පු වී ඇත්තේ එදින එම ස්ථානයට පැමිණ සිටීම පමණක් බවත්,
කොටින් හෙවත් LTTE ගමට පහර දෙන බවට ‘ප්‍රවෘත්තියක්’ ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇති අතර, එම හේතුව නිසා විවිධ ස්ථානවල අවම වශයෙන් 500 සිට 3000 -4000 දක්වා විශාල ගම්වැසියන් විශාල සංඛ්‍යාවක් රැස්ව සිටිය බවත්
මෙම චූදිත අභියාචකයින් (3 වන අභියාචකයා) සම්බන්ධයෙන් මහාධිකරණය “ලූකස් මූලධර්මය” (Lucas Principle) සහ “එලන්බ්‍රෝග් මූලධර්මය” (Ellenborough Principle) වැරදි ලෙස යොදාගෙන ඇති බවත් ය.
“Lucas Principle”
‘ලූකස් මූලධර්මය’ නම් විත්තිකරුවෙකු විසින් උසාවියේදී හෝ අධිකරණයෙන් පිටතදී අසත්‍යය ප්‍රකාශ කිරීම විත්තිකරුවෙකුට එරෙහි සාක්ෂි සනාථ කිරීමක් ලෙස සැලකිය හැකිය.
“Ellenborough Principle”
"එලන්බ්‍රෝග් මූලධර්මය" නම් අපරාධ චෝදනාවට ලක්වූ කිසිම පුද්ගලයෙකුට ඔහුගේ හැසිරීම හෝ සැක සහිත තත්වයන් පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට බැඳී නැත.
ඉහත සදහන් අභියාචනයේ කරුණු මෙන්ම සියලුම සාක්ෂි සහ වෙනත් නඩු ද සලකා බලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු වීරසූරිය විනිසුරුවරයා ප්‍රධානව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් පහත කරුණු පෙන්වා දුනි.
දණ්ඩනීති සංග්‍රහයේ 138 හා 139 වගන්ති ප්‍රකාරව "නීතිවිරෝධී ඒකරාශිය" යන්නේ අර්ථදැක්වීම අනුව පොදු චේතනාවක් සහිතව 5 දෙනෙකුට වඩා පිරිසක් එක් විය යුතු අතර වරදකරුවෙකු කිරීමට හුදෙක් එම ස්ථානයේ සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතර පැමිනිල්ල විසින් එක් එක් පුද්ගලයන්ගේ පොදු චේතනාව ඔප්පු කල යුතු බවකි. ඒ අනුව අභියාචකවරුන්ට විරුද්ධව පොදු චේතනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණ බවත්,
පොලීසිය තමන්ගේ ඉහළ නිලධාරීන්ගේ නියෝගවලට යටත්ව තම උපරිමයට කටයුතු කර ඇති බවත් එවන් අවස්ථාවක මෙවැනි ඝාතනයක් සිදුවුවද තම රාජකාරිය පැහැර හැර ඇති බවට චෝදනා කල නොහැකි බවත්, එය ඔප්පු කිරීමට ප්‍රමාණවත් ප්‍රබල සාක්ෂි නොමැති බවත් ය.
තවදුරටත් පෙන්වා දුන්නේ 3 වන අභියාචකයාට තුවාලය සම්බන්ධව පැහැදිලි කිරීමක් කිරීමට බල කිරීම ellenborough මූලධර්මට අනුව පටහැනි බවත්, අසත්‍ය නමක් ප්‍රකාශ කිරීම පමණක් සැක කිරීමට ප්‍රමාණවත් නොවන බවත් Lucas මූලධර්මට අනුව පැමිණිල්ල විසින් 3 වන අභියාචකයාට විරුද්ධ සාක්ෂි සනාථ කිරීමට තරම් අසත්‍ය ප්‍රකාශ පිළිබද ප්‍රබල සාක්ෂි පෙන්වා දී නොමැති බවත් ය.
ඉහත කරුණු සහ සාක්ෂි සියල්ල සලකා බලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයට අනුව සියලු අභියාචකයන්ට එරෙහි සියලු දණ්ඩනයන් පසෙක තබා ඔවුන්ව නිදොස්කොට නිදහස් කරමින් අභියාචනාව වලංගු කලහ.
නීතිවේදී තිනෙත් කොරසගල්ල.