ඇතැම් දේශපාලනඥයන් මෙන්ම සමාජ මාධ්‍යයේ මේ දිනවල ලියන බොහෝ විද්වතුන්ට අනුව ශ්‍රී ලංකා මහබැංකුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කොට තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් 21 වන දා අනුර කුමාර දිසානායක ජනාධිපති වීමත් සමග බවට හැඟවීමට උත්සාහ කරන බවක් පේන්නට ඇත. මෙම ලිපිය මගින් උත්සාහ කරන්නේ එම මිත්‍යාවට පිළිතුරු දීමටය.
මිත්‍යාවට පිළිතුරු..
අමෙරිකානු ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් එක්ස්ටර් (John Exter) ලංකාවේ මහ බැංකුවක් (Central Bank of Ceylon) ආරම්භ කිරීම සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කරන්නේ 1949 නොවැම්බරයේදීය. ඉන් පසු, එම නිර්දේශ 1949 අංක 58 දරණ මුදල් නීති පනත (Monetary Law Act),) ලෙස සම්මත වන්නේ 1949 නොවැම්බර් 25 වනදා වැනි දිනකය. පසු කාලිනව (1985) ශ්‍රී ලංකා මහබැංකුව ලෙස නැවත නම් කිරීමට එවකට පැවති රජය කටයුතු කලේය.
https://www.cbsl.gov.lk/en/about/about-the-bank/bank-history
රජයේ කෙටිකාලීන හා දිගුකාලීන අරමුදල් සම්පාදනය කර දීම ශ්‍රී ලංකා මහබැංකුව වෙත පැවරුණු වගකීමකි. ඒ අනුව 1923 අංක 8 දරණ (සංශෝධිත) භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරව මුදල් අමාත්‍යංශයේ ලෙකම් වරයා විසින් බලය පවරන ලද නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් වරයාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා මහබැංකුව විසින් රජයට අවශ්‍ය කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා දීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම වරින් වර සිදුකරයි. සෑම විටම මහබැංකුව විසින් දේශීය මුදල් වෙළඳපලේ පවතින තත්වයන් සලකා බලා අඩුම පිරිවැය යන මූලධර්මය මත (Least Cost Basis) කිසියම් ලංසු තැබීමේ ක්‍රමයකට අනුව ලියාපදිංචි ප්‍රාථමික ගැණුම්කරුවන් (Primary Dealers) වෙත භාණ්ඩාගාර බිල්පත් අලෙවි කරයි.
https://www.cbsl.gov.lk/sites/defau...aws/acts/en/local_treasury_bill_ordinance.pdf
ජනාධිපතිවරණයේ සිට මේ දක්වා
පසුගිය සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ සිට මේ දක්වා අනුර කුමාර දිසානායක රජය රුපියල් බිලියන 539.5 ක දේශීය ණය ලබාගෙන ඇත. ඉන් බිලියන 444.5 ලබාගෙන ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් නිකුතු හරහා වන අතර ඉතිරි රුපියල් බිලියන 95 ලබාගෙන ඇත්තේ භාණ්ඩාගර බැඳුම්කර මගිනි. රනිල් වික්‍රමසිංහ රජය පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව (සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා) ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 837.72 කි. භාණ්ඩාගාර බිල්පත් හරහා බිලියන 591.76 ක්ද භාණ්ඩාගාර බැඳුම්කර මගින් බිලියන 245.96 ද ලබාගෙන තිබේ. මේ අනුව බලන කල රනිල් වික්‍රමසිංහ රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණයට සාපේක්ෂව අදාල කාලය තුල අනුර කුමාර රජය බිලියන 298.25 අඩු වෙන් ණය ලබාගෙන ඇති බවද කිව යුතුය. නව රජය බලයට පත්වී මාසයක් සැපුරුවේ ඔක්තෝබර් 23 වන දාය. ඔවුන්ට මෙපන මුදලක් ණය වශයෙන් ලබාගැනීමට සිදුව ඇත්තේ පසුගිය රජයන් විසින් ලබාගත් කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් පියවීම සහ භාණ්ඩාගාර බැඳුම්කර කූපන් ගෙවීම් (Coupon Payments) සඳහාය. කෙසේ වෙතත් මෙම ණය ගැණීම් සිදුකර ඇත්තේ පසුගිය පාර්ලිමේන්තුව විසින් අනුමත කල ණය සීමාව ඇතුලත බවද කිව යුතුය.
https://www.dailymirror.lk/breaking...imes-borrowing-strategy-Economists/108-294009
විශේෂයෙන්ම, කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර පියවීම් සඳහා දේශීය මූල්‍ය වෙළඳපලින් අරමුදල් සපයා ගැණීමට භාණ්ඩාගාරයට සිදුවේ. උදාහරණයක් හැටියට, මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති 2024 දෙවන කාර්තුව සඳහා වූ ණය තොරතුරු සටහනේ (Debt Bulletin)
https://www.treasury.gov.lk/api/file/1f0bf050-f038-4bcf-8781-c366acc251b4 පිටු අංක 13 දක්වා ඇති අන්දමට අද දින (ඔක්තෝබර් 25) කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් දෙකක් (LKA18224J252 & LKA36424J256) පිළිවෙලින් රුපියල් මිලියන 35,103 ක් හා 10,967 ගෙවීමට ඇත. නොවැම්බර් 1 වන දින තවත් බිල්පත් දෙකක් (LKA18224K011 & LKA36424K015) පිළිවෙලින් රුපියල් මිලියන 62,969 ක් සහ 9,384 ගෙවීමට ඇත. මීට අමතරව නොවැම්බර් මාසය තුල පමණක් (නොවැම්බර් 8,15,22, සහ 29) තවත් රුපියල් මිලියන 340,790 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් කිහිපයක්ම කල්පිරීමට නියමිතය. 2024 ජූලි 05 වන දින සිට 2025 ජුනි 30 වන දින දක්වා කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් ණය තොගය (පිටුව 14) රුපියල් මිලියන 3,894,514 කි. මේ සියල්ල ගෙවීම සඳහා රටේ ආදායම් ප්‍රමාණවත් නොවන්නේ නම් දේශීය මුල්‍ය වෙළඳපලින් ණය ගැණීමට සිදුවනු ඇත. මෙම ණය කිසිවක් අනුර කුමාර දිසානායක මුදල් ඇමති හෝ ජනාධිපති වූවාට පසු ගත් ණය නොවේ. මේ පිළිබඳ විවේචන ඉදිරිපත් කරන්නන් මේවා 2022 බලයට පත් රනිල් වික්‍රමසිංහ රජය හෝ ඊට පෙර බලයේ සිටි රජයන් විසින් ලබාගත් ණය බව විවෘතව ප්‍රකාශ කරන්නේ නැත.
රජයට අවශ්‍ය මැදි හා දිගුකාලීන ණය ලබාගැණීම (Medium to Long Term) සඳහා යොදා ගන්නා උපකරණයක් ලෙස භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කරන අතර එම ක්‍රියාවලිය 1937 අංක 7 දරන කොටස් සහ සුරැකුම්පත් (සංශෝධිත) පනත ප්‍රකාරව සිදුවෙයි. පසුගිය රජයන් ලබාගත් 2024 නොවැම්බර් 15 වන දින කල්පිරෙන රුපියල් මිලියන 19,450 ක බැඳුම්කරයක් (LKB00224K150) සහ දෙසැම්බර් 1 වන දින කල්පිරෙන රුපියල් මිලියන 140,264 ක භාණ්ඩාගාර බැඳුම්කරයක් (LKB01024L011) ගෙවීමට ඇත. මේ සඳහාද රජයේ ආදායම් ප්‍රමාණවත් නොවන්නේ නම් දේශීය මූල්‍ය වෙළඳපලින් ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නැත.
මෙතරම් ණය බරක් ඇතිවීමට හේතු..
මෙතරම් ණය බරක් ඇතිවීමට හේතු වූයේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිහ රජය, සිරිසේනගේ යහපාලන රජය සහ ගෝඨාභය රාජපක්ෂ රජය පාලනයකින් තොරව නිකුත් කල භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිසාය. කෙසේ වෙතත්, මෑත කාලයේ බලයට පත්වන රජයන්ට ණය ගැණීම විනිවිදභාවයෙන් සිදුකිරීමට බලකරන 2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත කිරීම පසුගිය රජය විසින් ගත් වැදගත් පියවරකි.
https://www.parliament.lk/uploads/acts/gbills/english/6352.pdf එසේ වුවද තත්කාලයේ බලයේ සිටින කුමන රජයක් වුවද පසුගිය රජයන් විසින් ලබාගෙන තිබෙන සියලු ණය ගෙවීම පැහැර හැරිය නොහැක. අනුර කුමාර දිසානායක රජයටත් සිදුව තිබෙන්නේ එයයි. ණය බරින් මිදීමට නම් රජයේ ආදායම් වැඩි කර ගත යුතුය. රටේ නිෂ්පාදනය ඉහල යා යුතුය. වංචාව, දූෂනය පාලනය කල යුතුය. එසේ කල හැකි රජයක් බලයට ගෙන ආ යුතුය. ඒ සඳහා රටවැසියා ඔහුගේ යුතුකම වගකීමෙන් ඉටුකළ යුතුය. එම කර්තව්‍යය සඳහා නුදුරේම අවස්ථාවක් ලැබෙනු ඇත.
-ශාන්ත ජයරත්න