.... එහි දෙවන කොටස ....
පින්වත් මහණෙනි, අතීතයේ කාශ්‍යප තථාගතයන්ගේ කාලයේ ඒ සසුනේ පැවිදි වූ භික්ෂුවක් එක්තරා ගමක වාසය කළා. ඒ ගමේ ගම් ප්‍රධානියා මේ භික්ෂුවට කුටියක් කරවා දුන්නා. මොහුත් සිල්වත්ව විදර්ශනා භාවනාව පුරුදු කරමින් වාසය කළා. දවසක් එක රහත් තෙරනමක් එක් තැනක දිගට ම නොවසන නිසා අනුපිළිවෙළින් ඇවිත් අර ගම් ප්‍රධානියා ඉන්න ගමට පැමිණියා. තෙරුන් වහන්සේගේ ශාන්ත ඉරියව් දුටු ගම් ප්‍රධානියා බලවත් සේ පැහැදුනා. තම නිවසට වඩමවාගෙන දන්පැන් පූජා කළා.
“ස්වාමීනී… අපෙත් විහාරයක් තියෙනවා. එහෙ වඩින්ට. මං හවස් යාමයේ ඔබවහන්සේව බලන්ට එන්නම්…”
එතකොට තෙරුන් වහන්සේ ඒ විහාරයට වැඩම කොට එහි නේවාසික ව සිටි වැඩිමහලු තෙරුන්ට වන්දනා කළා.
“ආ… ඇවැත්නි… දානෙ කොහොමද අද…?”
“දානෙ වැළඳුවා ඇවැත්නි…”
“ඒ කොහෙන් ද…?”
“ඔබවහන්සේගේ මේ ගමේ ගම් ප්‍රධානියාගේ නිවසේ දී…”
නේවාසික තෙරුන් මේ ආගන්තුක තෙරුන්ට කුටියක් පිළියෙල කොට දුන්නා. ගම් ප්‍රධානියා හවස් වරුවේ සුවඳ මල්, තෙල් ආදිය ගෙන්වාගෙන තමන්ගේ විහාරයට ගියා. නේවාසික තෙරුන්ට වන්දනා කළා.
“ස්වාමීනී… එක් ආගන්තුක තෙරනමක් වැඩියා නේ ද?”
“එසේය උපාසක…”
“උන්නාන්සේ කොහේද ඉන්නේ…?”
“ආන්න අතන අර කුටියේ…”
එතකොට ඒ ප්‍රධාන දායකයා ඒ ආගන්තුක තෙරුන් බැහැදැක වන්දනා කොට එකත්පස්ව වාඩිවෙලා බණ ටිකකුත් ඇසුවා. පහුවදා දානෙට තම නිවසට වඩින්ට කියලා දෙනමටම ආරාධනා කළා. නේවාසික තෙරුන් මෙහෙම හිතුවා.
‘අපේ දායක උන්නැහේ මං ගැන අපැහැදිලාවත් ද…? මේ ආගන්තුක භික්ෂුව දිගට ම නැවතුනොත් මාව ගණන් නොගෙනම ඉඳීවි.’ කියලා තෙරුන් කෙරෙහි අමනාප වුණා. තෙරුන් වහන්සේට එතැනින් යන්ට කටයුතු සදන්ට ඕනෑ කියලා සිතා ගත්තා.
එදා ආගන්තුක තෙරුන් නේවාසික තෙරුන්ට වත් කළා. නමුත් වචනයක් කතා කළේ නෑ. තෙරුන් වහන්සේට මේ භික්ෂුව තමන් ඉන්නවාට අකමැති බව තේරුනා. එතකොට තෙරණුවෝ නිශ්ශබ්දව තමන්ගේ භාවනා කටයුතුවල යෙදුනා. පසුවදා නේවාසික භික්ෂුව සිය නියපිටින් ගෙඩියට තට්ටු කළා. නියපිටින් දොරට තට්ටු කළා. තමන් සිවුර පොරවාගෙන දායකයාගේ නිවසට ගියා.
“අනේ ස්වාමීනී…. අපේ ආගන්තුක තෙරුන් වැඩියේ නැත්තේ ඇයි…?”
“ඔබේ කුළුපග තෙරුන් ගැන විස්තර කියන්ට මං දන්නෙ නෑ. මං ගෙඩියත් ගැහුවා. දොරටත් තට්ටු කළා. කෝ… අවදි වුණේ නෑනේ… මං හිතන්නේ ඊයේ ඔබගේ නිවසේ ප්‍රණීත දානය වළඳා දිරවා ගන්ට බැරිව නින්දට වැටෙන්ට ඇති! බලන්ට… ඔබ පැහැදුනොත් පහදින්නේ ඔය වගේ අය ගැන නොවැ…”
ඔය අතරේ ආගන්තුක තෙරණුවෝ දානය වඩින්ට වෙලාව සලකා පාසිවුරු ගෙන අහසින් ම වෙනත් පළාතකට වැඩියා. එදා දායක පින්වතා ගිතෙල් මී සකුරු ආදියෙන් යුතු ප්‍රණීත කිරිබතින් නේවාසික භික්ෂුවට දානෙ පූජා කළා.
“අනේ ස්වාමීනී…. අපගේ ආගන්තුක තෙරුන්ට ගමන් වෙහෙස ඇති. ඒකයි සැතපෙන්ට ඇත්තේ. උන්වහන්සේට මේක දෙන්ට” කියලා ඉතා හොඳින් සුවඳවත් පසුම්බියක දාලා දානය සකසා නේවාසික තෙරුන්ගේ අතට දුන්නා. මොකවත් නොකියා තෙරුන් එය ගත්තා. අරගෙන යන ගමන් කල්පනා කළා. ‘හප්පේ! මේකාට මේ වගේ දානයක් දුන්නොත් බෙල්ලෙන් අල්ලා එළියට දැම්මත් යන එකක් නෑ. මේක මනුස්සයෙකුට දෙන්ටත් බෑ. එතකොට මිනිස්සු දැනගන්නවා. වතුරකට දාන්ටත් බෑ. එතකොට ගිතෙල් උඩට මතුවෙනවා. බිමක දාන්ටත් බෑ. කපුටො වටවෙනවා. එතකොට දැනගන්නවා. මං මේකට මොකදෑ කරන්නේ…?’ කියලා සිත සිතා යද්දී කුඹුරක ඇවිළෙන ගින්නක් දැක්කා. එතනට ගිහින් ඒ ගින්නේ අඟුරු මෑත් කරලා එතනට අත්හැරියා. ආයෙමත් අඟුරුවලින් වැහුවා. විහාරයට ගියා. ආගන්තුක භික්ෂුව ඉන්නවා ද කියලා බැලුවා. ඒ තෙරුන් වැඩලා. එතකොටයි නේවාසික භික්ෂුවට සිහි උපන්නේ. ‘අයියෝ! ඒ රහතන් වහන්සේනමක් නොවැ. මගේ අදහස් දැනගෙන වැඩලා වගේ… ආහාරයක් නිසයි මගේ අතින් උන්වහන්සේට මේ වැරැද්ද වුණේ…’ කියලා සිත් තැවුලක් හටගත්තා. එදා සිට ඒ භික්ෂුව අසනීප වුණා. ටික දවසකින් මිය ගිහින් නිරයේ උපන්නා.
නිරයේ අවුරුදු ලක්ෂ ගාණක් දුක්වින්දා. එතනින් චුතවෙලා එක දිගට ම පන්සිය වාරයක් යක්ෂ ආත්මයේ උපන්නා. එතෙක් කාලයක් කුසපුරා ආහාරයක් ලැබුණේ නෑ. එක ම දවසක් කුස පිරෙන්න ගැබ් මළක් ලැබුණා. ඊට පස්සේ එක දිගට පන්සිය වාරයක් බලු ආත්මයේ උපන්නා. ඒ පන්සිය ආත්මෙට ම එක දවසක් බඩ පිරෙන්ට වමනයක් ලැබුණා. එතනින් චුතවෙලා කසී රටේ ඉතා ම දිළිඳු ගමක දිළිඳු පවුලක පිරිමි ආත්මයක් ලැබුණා. එදා පටන් ඒ ගෙදරට කැඳ වතුරවත් නෑ. ඔහුට ‘මිත්තවින්දක’ යන නම ලැබුණා. මිත්තවින්දකගේ මව්පියන්ට මොහු උපන්දා සිට තියෙන බඩගින්න උහුලාගන්ට බැරිව මොහුව ගෙදරින් පැන්නුවා. කිසිවක් කරකියා ගන්ට බැරිව ඔහු ඇවිද ඇවිද බරණැසට ආවා.
ඒ කාලෙ මහාබෝධිසත්වයෝ බරණැස දිසාපාමොක් ආචාර්යයන් වෙලා සිටියේ. පන්සියයක් තරුණයන්ට ශිල්ප ඉගැන්නුවා. ඒ කාලෙ එතුමා බරණැස දිළිඳු ළමයින්ට නොමිලේ ශිල්ප උගන්නනවා. මේ මිත්තවින්දකත් බෝධිසත්වයන් ළඟට නොමිලේ උගන්වන පන්තියට බැඳුනා. නමුත් මොහු දුෂ්ටයි. අවවාදයක් අහන්නේ නෑ. අනිත් අයට පහර දෙනවා. බෝධිසත්වයන්ගේ අවවාදයවත් අහන්නේ නෑ. මොහුව ගත්තු දා පටන් බෝධිසත්වයන්ගේ ආදායම් මාර්ග වැහිලා ගියා. එතැනින් වෙනත් තරුණයන් සමඟ ආරවුල් හදාගෙන පළා ගියා. කාලෙකට පස්සේ මොහු තමන්ට සෑහෙන දිළිඳු ස්ත්‍රියක් සහේට ගත්තා. දරුවො දෙන්නෙකුත් ලැබුණා. ගමේ මිනිස්සු මිත්තවින්දකව පණිවිඩපණත් ගෙනියන්ට පත් කළා. එදා පටන් ඒ ගමට වගතුවක් නෑ. සත් වතාවක් ආණ්ඩුවෙන් දඩ ගැහැව්වා. සත් වතාවක් වැව බිඳුනා. මිත්තවින්දකයා නිසයි මෙහෙම වෙන්නේ කියලා ගමේ කතා වුණා. ගම්මු එකතු වෙලා ඔවුන්ව ගමෙන් පැන්නුවා.
කරකියා ගන්ට දෙයක් නැතුව මේ සතර දෙනා වනාන්තරයට ගියා. එතන දී දරුවන්වත්, බිරිඳවත් වනයේ ඉන්න අමනුෂ්‍යයන් මරාගෙන කෑවා. මිත්තවින්දක එතනිනුත් පළා ගියා.
මිත්තවින්දක මුහුදුබඩ වරායක් අසලට ආවා. වරායෙ කම්කරුවෙක් වුණා. නැව පිටත්වෙන දවසේ ඒ නැවට නැග්ගා. නැව දවස් හතක් මුහුදේ කරදරයක් නැතුව යාත්‍රා කළා. සත්වෙනි දවසේ මුහුද මැද නැවතුනා. ඔවුන් නැවේ පව්කාරයෙක් ඇති කියලා තුණ්ඩු දැම්මා. සත්වතාවෙ ම තුණ්ඩුව ලැබුණේ මිත්තවින්දකටයි. එතකොට නැවේ සිටිය මිනිස්සු ඔහුට උණපතුරු පහුරක් දීලා මුහුදට දැම්මා. එසැණින් ම නැව පිටත් වුණා.
මිත්තවින්දක උණපතුරු පහුරේ වැතිරී මුහුදේ පාවී සිටියා. ඒ වෙලාවේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදිව ආරක්ෂා කළ සීලයේ අනුසස් මතු වුණා. මුහුද මත පළිඟු විමානයක සිටි විමාන ප්‍රේතියක් මොහුව තමන් ළඟට කැඳවා ගත්තා. විමාන ප්‍රේතියත් සතියක් සැප විඳිනවා. සතියක් දුක් විඳිනවා. සැප විඳින සතියේ ඔහු ඈ ළඟ සිටියා. දුක් පටන් ගත්තු ගමන් මිත්තවින්දක එතැනින් ඉවත්ව ආයෙමත් පහුර දමාගෙන මුහුදේ ගියා. මේ විදිහට රන් විමානයක, රිදී විමානයක, මැණික් විමානයක සිටිය විමාන ප්‍රේතියන් එක්ක කල්ගත කළා. එතැනිනුත් ඉවත් වෙලා යද්දී මුහුද මැද යක්ෂයෙක්ගේ දූපතකට ගොඩබැස්සා. එහි එක් යක්ෂණියක් එළු දෙනකගේ වේශයෙන් සිටියා. මිත්තවින්දක මං එළු මස්වත් කන්ට ඕනෑ කියලා එළු දෙනගේ පයින් ඇද්දා. එතකොට යකින්නි මොහු උස්සා ඈතට වීසි කළා. මිත්තවින්දක වේගයෙන් මුහුදු දිය මතින් ගොස් බරණැස් පුර දිය අගල අයිනේ එක් කටු ලැහැබකට පෙරලී වැටුනා.
ඒ කාලෙ ඒ දිය අගල අයිනේ සැරිසරන රජ්ජුරුවන්ගේ එළු දෙන්නු හොරු පැහැරගන්නවා. එළු පාලකයෝ හොරු අල්ලන්ට පඳුරු අස්සේ සැඟවී උන්නා. මිත්තවින්දක වැටුනු තැනත් එළිච්චියක් හිටියා. මිත්තවින්දක මෙහෙම හිතුවා. ‘මං එකවතාවක එළිච්චියකගේ කකුලෙන් ඇදලා මෙතනට වීසි වෙලා ආවා. මේ එළිච්චියගේ කකුලෙන් ඇද්දොත් මං හිටිය මුහුද මැද විමාන දේවතාවිය ළඟට වීසි වෙලා යාවි’ කියලා එළිච්චියගේ කකුලෙන් ඇද්දා. එළිච්චිය ළතෝනි දුන්නා. එළු පාලකයෝ ඒ ශබ්දයට අනුව එතනට දුවගෙන ඇවිත් “මේන්න එළු හොරා අහු වුණා…” කියලා හොඳට ම ගහල තලල බැඳගෙන රජ්ජුරුවන් ළඟට අරගෙන ගියා.
ඒ වෙලාවේ බෝධිසත්වයෝ පන්සියයක් සිසුන් සමඟ නාන්ට යනවා. මිත්තවින්දක ව බැඳගෙන යනවා දැකලා හඳුනාගත්තා. එළු පාලකයන්ට කතා කළා.
“දරුවෙනි…. මේ මගේ ගෝලයෙක්… මොකද මෙයාව අරගෙන යන්නේ…?”
“ස්වාමී…. මේකා අපේ එළු දෙනකගේ කකුලෙන් ඇද්දා…. ඒකයි අල්ලාගත්තේ….”
“අනේ එහෙනම් මේකා ව අපට දාසයෙකුව කරලා දෙන්ට. අපි නිසා ජීවත් වෙන්නේ නැතෑ….”
ඉතින් ඔවුන් මිත්තවින්දක ව නිදහස් කළා.
“ඈ… මිත්තවින්දක… උඹ මෙතෙක් කල් කොහේද ගියේ…?” එතකොට ඔහු සියලු විස්තර කිව්වා. එය අසා සිටි බෝධිසත්වයෝ මේ ගාථාව කිව්වා.
“යමෙක් යහපත පතා කෙනෙකුට
කරයි නම් අවවාද දයාවෙන්
නමුත් එය ඔහු නොම අසයි නම්
එළු දෙනගේ පයින් ඇදපු
මිත්තක මෙන් ශෝක කරන්නේ”
කියලා අවවාද කළා.
“මහණෙනි, ඔය ලෝසකතිස්ස ඒ කස්සප බුද්ධ කාලෙන් පස්සේ මේ තාක් ම තුන් වේලයි කුස පිරෙන්ට අනුභව කරලා තියෙන්නේ. යක්ෂ ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට ගැබ් මළ කන්ට ලැබුණා. බලු ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට වමනයක් කන්ට ලැබුණා. පිරිනිවන් පානා දවසේ සාරිපුත්තයන්ගේ ආනුභාවය නිසා කුස පිරෙන්ට චතුමධුර ලැබුණා. මේ නිසා කිසි දිනෙක අනුන්ගේ ලාභයට අනතුරු කරන්ට හොඳ නෑ. මහණෙනි, ඒ කාලෙ මිත්තවින්දක වෙලා සිටියේ මේ ලෝසකතිස්ස. දිසාපාමොක් ආචාරීන් වෙලා සිටියේ මමයි.” කියලා මේ ජාතකය වදාළා.
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
https://mahamevnawa.lk/losaka-jathakaya/