විධායක ජනපති ධුර කාල සීමාව ඉවත් කිරීම ඇතුළු
ව්‍යවස්ථා සංශෝධන යෝජනා 7 දා පාර්ලිමේන්තුවට
රනිල් ධර්මසේන, සිරිමන්ත රත්නසේකර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ලබන මස 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.
ඊට පෙර මෙම යෝජනා හෙට (30 වැනිදා) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. විධායක ජනාධිපති පත්විය හැකි වාර දෙකක සීමාව ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම හා පළාත් සභා බලතල සංශෝධනය කිරීම මෙම යෝජනා වලට අයත් වන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්මත කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ඉදිරි දින කිහිපය තුළ සම්පූර්ණ කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වේ. දැනටමත් මන්ත්‍රීවරුන් 146 දෙනෙකු ආණ්ඩු පක්ෂයට සිටින අතර ඉදිරියේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් මන්ත්‍රීවරුන් අටදෙනෙකු හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුද ආණ්ඩුවට එක් වීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කීවේය. යම් හෙයකින් පක්ෂයක් ලෙස මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට එක් නොවුනහොත් එම පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ආණ්ඩුවට ලැබෙනු ඇති බවත් හෙතෙම කීවේය.
ඉදිරි සති දෙක තුන තීරණාත්මක කාල පරිච්ඡේදයක් බැවින් ලබන මස 19 වැනිදා දක්වා ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් විදෙස්ගත නොවන ලෙස එජනිසය දැනුම් දී ඇති අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවලදී ඊට සහභාගි වීමද අනිවාර්ය කර තිබේ.
ව්‍යවස්ථා සංශෝධන යෝජනා විවාදයට ගැනීම බොහෝදුරට ලබන මස 07, 08, 09 දිනවලදී සිදුකිරීමට නියමිත බවත් 07 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී විවාද කරන දිනය ඡන්ද විමසීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා සම්මේලනය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත අතර ඊට එහිදී මෙම යෝජනා පිළිබඳ දැනුවත් කිරීමට නියමිත බවද වාර්තා වේ.