මගේ ආච්චිලා සහ සීයලා...
මට මගේ සීයලා ගැන මතක් උනේ පරණ ෆොටෝ උඩ දමපු යාලුවෙක් තමන්ගෙ සීයාගෙ උකුළ මත හිඳගෙන සිටින කුඩා කල ඡායාරූපයක් නිසා. මේක දැකපු ගමන් හුරතල් ළමයෙක්, තමන්ගෙ සීයා එක්ක ඉන්න අපූරුව සහ සීයාගේත් ළමයගේත් කුළුපග ගතිය මට අරුමයක් නොවෙන්නෙ එවන් ළමා කාලයක් මට තිබුණ නිසා නම් නෙමෙයි. ඒ මගේ කුඩා දරුවන් දෙදෙනා මගේ පියා සමඟ කාලය ගත කරන විදිහ දකින නිසාවෙන්. මට තාත්තේ කියා කෙතරම් ඇවිටිළි කලත් කෑමට හෝ බීමට නොදෙන ඕනෑම දෙයක් ක්ශණයෙන් ලබා ගැනීමට සීයාට එක් වරක් පමණක් ඇවිටිළි කිරීම පමණක් හොඳටම ප්‍රමාණවත්. ඊට නොදෙවෙනි ආච්චි, මගෙ සංකිරි කැටේ කන්න ආස මෙව්වා නොදෙන්න මහ උන්ට අමු කැවිලාද බනිමින් ඒ ඒ දේ වැඩි වැඩියෙන් ගෙනවිත් ස්ටොක් කර තබා ගැනුමට යුහුසුළු වෙයි. මගේ මවත් පියාත් හැරුණුකොට බිරිඳගේ මව හා පියා ගෙන් ද ආදරය, කරුණාව වගේ දහසක් දේ ලැබීමට මගේ දරුවන් වාසනාවන්ත වී තිබේ.. ඒ ගැන ඇත්තේ ඉමහත් සතුටකි.
ඒ අත්තම්මාත්, සීයාත් මේ ආච්චිත්, සීයාත් වෙනස්ම ආකාරයකින් කුඩා දරුවන්ට තම සෙනෙහස දැක්වීම ගැන දිගු හෑල්ලක් ලිවීමට අවැසි උවත් කෙටියෙන් වෙනත්ම සමාජ ස්ථර දෙකක, පරිසරයන් දෙකක ආච්චිලා සීයලා ලැබීමම ජීවිතයේ අඩිතාලම විවිධාකාර අත්දැකීම් වල පන්නරයට ලද මහඟු අවස්ථාවන් බව මට හැඟෙයි.
මේ මගේ දරුවන් වාසනාවන්ත බව කීමට අදහසින් ලියන්නට පටන් ගත්තේ නැති බව සිහි එළවාගන්නට වෙලාවයි. මා කෙතරම් අවාසනාවන්තද යනවග ඉහත මා විස්තර කල මගේ දරුවන් කෙතරම් වාසනාවන්තද යන වගත් සමඟ විශාල වශයෙන් බැඳී පවතී. මා කුඩා කල සිට සීයා සහ ආච්චී ලෙසට හැඳින තිබුණේ මගේ මවගේ මවත් පියාත් පමණි. ඒ පුද්ගල චරිත මට සමීප බවක් හෝ මට ඔවුන්ද ඔවුන් මටද ලෙන්ගතු නොවූ බව පමණක් මතකයේ සනිටුහන්ය. එය එසේ වීමට ඔවුන් මගේ මවගේ විවාහය සම්බන්ධයෙන් පළකල විරෝදයත්, පසු කලෙක කල නොයෙකුත් අකටයුතුකම් වැනි දෑ ගැන මගේ මවගේ මුවින් අසා දැනගෙන තිබුණ නිසා වීමට පුළුවනි.
මා බොහෝවිට එම නිවෙස් වලට යාමට ඒමට අදිමදි කල වාර අනන්ත බව මට හොඳට මතකය. එම පරිසරය වටාපිටාව ඉතා කර්කශ නිසා නොවෙන බව මට ඉඳුරාම පැවසිය හැක්කේ, ඊට යාබද නිවසේ විසූ මගේ ලොකු අම්මා ගැන මට මහත් සෙනෙහසක් තිබුණු නිසාවෙනි. අනෙකුත් සියලු දෙනා පවසන නොහොඳ නෝක්කාඩු සියල්ල තරාදියක දමා බැලුවත් මට ලොකු අම්මා දයාබර ලෙසින් හැම විටකම දැනුනි. ඇයට දියණියන්ම පස් දෙනෙක් වූ අතර ඇය මට වඩාත් ආදරය දැක්වූයේ ඒ නිසාවෙන් බවත් ඒ හරහා මමද ඇයට පෙරලා ලෙන්ගතු වූ බව නම් සැබවි.
මා කුඩා කල සීයාත් ආච්චීත් එලෙසින්වීම හුදෙක් මටත්, මගේ සහෝදර සහෝදරියන් සහ ලොකු අම්මාගේ දියණියන් හට පමණක් වෙනම හැන්දකින් බෙදීමක් බව පසක් වන විට මා යාන්තම් හය වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බව නම් මතකය. මගෙ මවගේ වැඩිමහල් සහෝදරයාගේ පුතාත් දුවත් දෙදෙනාට පමණක් දයාබර වන සීයාත් ආච්චීත් ඉතා සුලභ දසුනක් වූ අතර අප කිසිවෙකුට නොමැති ලෙසකින් ඔවුන් දෙදෙනා හට පමණක් ඉස්තරම්ම ආහාර පාන ආදියෙන් සැලකුම් ලැබෙනු දැක් තිබුණි. තම සැමියාගෙ වියෝවෙන් අසරණව සිටි ලොකු අම්මා සහ ඇගේ දියණියන් සඳහා බෙදීමට වෙනම හැන්දක් ඔවුන්ට තිබුණු අතර එය වඩාත්ම පසක් වනුයේ සීයා උපයන දෙයකින් පිළියෙල වෙන නිවසේ බතත් මාලුවත් වැළඳීමට හිලව් වීමට ලොකු අම්මාගේ දියණියන් ලව්වා ගෙදර වළං පිඟන් සෝදවා ගැනීමයි. මට මතක හැටියට, එම දියණියන් ගෙන් බහුතරයද තම කුසගින්න නිවා දැමුව නිසාවෙන් ස්තුතිවන්ත වූ අතරම කල නොයෙකුත් අනෙකුත් ක්‍රියාවන් නිසාවෙන් පිළිකෙව් කරන්නට ඇත. නිසි පිළිසරණක් නොවුනු කල ලොකු අම්මාටද, ඇගේ දියණියන් කිහිපදෙනෙකුටද අත් වූ ඉරණම ඉතාම කණගාටුදායක වන අතර එය නිසාවෙන්ද මට ආච්චිත් සීයාත් ගැන එතරම් පැහැදීමක් නොවිනි.
අම්මා හට බැරි අමාරු කම් කොපමණ තිබුණද අප වෙනුවෙන් කියා සීයාත් ආච්චීත් කල එකම දෙය සති අන්තයක එලවලුවක් දෙකක් සමඟ කෙලවල්ලෙක්, සාලයො, හාල්මැස්සන් ටිකක් ලබාදීමම පමණි. අම්මාත් තාත්තාත් දෙයක් ඉල්ලා ගැනීමට සතුටු නොවුණ බවත් දෙයක් දුන්නොත් පමණක් ලබා ගත් බවත් දනිමි. එහෙත් මාමලා දෙදෙනාට නම් එලෙස අඩුවක් සිදු නොවූ අතර තෝර මාලු කෑල්ලක් නැතුව සුදු පුතාට (ලොකු මාමාගේ පුතා) බත් කන්න බැරි බව ආච්චිගේ මුවින් පිටවන වචන අතර සුලභව තිබුණි. මා යම් තරමකට ලොකු මාමාගේ ළමුන් දෙදෙනාගේ ළමා කාලයට ලොබ බඳින්නට ඇති වුවත් ඔවුන් ගැනත් ආච්චී සීයා ගැනත් උපේක්ශාවෙන් සිතන්නට පුරුදු වුණි. කුඩා කල සිටම බොහෝ දෙනා ගැන උපේක්ශාවෙන් සිතන්නට පුරුදුව සිටි මවිසින් එක් දිනක් සිදු වූ සිදුවීමක් නිසාවෙන් දින කිහිපයක් තරහ සිතේ තියා ගත නොහැකිව අම්මාගේ මුහුණටම කියා දමන්නට වීමත් අම්මා ඒ පිළිබඳ උරණව ආච්චී සමඟ බහින්බස් වූ බවත් කාලයක් යනතුරු අම්මාත් ආච්චීත් අතර ඇයි හොඳයියක් නොවූ බවත් මට අදටද හොඳින් මතක තිබේ. ඒ සිද්ධිය ආච්චී ගැන මා හට ඇති අමිහිරිම මතකය නිසාවෙන් එය අකා මකා දමන්නට මට දැඩිව අවැසි වූ නිසාවෙන්දෝ මට සිද්ධියට මුල්වූ මූලිකම දේට අමතර විස්තර බොහෝමයක් මතක නැත. අප නෑදෑයින් පිරිවරක් සමඟ ශ්‍රීපාදය වන්දනාමාන කරන්නට දුම් රියෙන් ගමන් ගත් අතර මඟදී ආහාරයට ගැනීමට ඉතිරිව තිබූ මාලු බනිසක් ආච්චි සුදු පුතාට ලබාදී මගේ සිතරිදවීමට කටයුතු කල ආකාරයත් එය ගිණි පුළිඟුවක් මෙන් සිතට කාවැදුන සැටිත් එය සිර කරගෙන කිරිකෝඩු ලෙසින් වන්දනාවට සහභාගි වූ ආකරයත් නැවත නිවසට පැමිණ දිනක් පමණ ගතවන තුරුත් සිද්ධිය මෙනෙහි කරමින් අවස්ථාවක් එනතුරු සිට අම්මා හට පට්ටන්දරය දිගහැරීමත් අද මෙන් මා හට මතකයට නැඟේ.
සීයාට වඩා මා හට ආච්චී ගැන මතකයන් පීඩා කාරී වන අතර සීයා ඒ බොහෝමයක් දේ ගැන කිසිත් නොකල බවට තරහක් පමණක් ඉතිරිව තිබූ බවට මට හැඟේ. සීයා සාමාන්‍යයෙන් නිවුණු පුද්ගලයෙක් වන අතර කිසිවෙකුටත් සැර වැර කරනු මා නම් දැක නැත. සීයා පිළිබඳ ලොකුවට දෙයක් මතක නැති නමුත් ඔහුගේ ඇදුම පැළඳුම ඒකාකාරී වූ අතර සරම කමිසය සහ ඉන බැඳි හම් පටිය යාම්තමින් මතක අතර ඔහු නිදා සිටිනවිටත් කෙනෙකු ඇස් ඇරගෙන සිටින ලෙසකින් දිස්වූ බව හොඳින් මතකයේ සනිටුහන් ව තිබේ.
අම්මාගේ පාර්ශවයෙන් අමිහිරි මතකයන් සහිත සීයාත් ආච්චීත් සිහියට නඟා ගැනීම අදටත් පීඩා කාරී වුවද පියාගේ පාර්ශවයෙන් සීයාත් ආච්චීත් දෙදෙනාම ජීවතුන් අතර සිටිනු දැක නැතිමුත් මා හට ඇත්තේ සතුටුදායක හැඟීමක් පමණි. සීයා පිළිබඳ මා කුඩා කල දැන නොසිටි අතර තරමක් තරුණ වියේදී පියාගෙන් අසා දැන ගතිමි. ඔහු පිළිබඳ ම සිතේ ඇඳි චිත්‍රය වර්ණවත් වූත් ප්‍රියමනාප එකකියි කිව හැක. ආච්චී ගැනද එය එසේම වන අතර අම්මා ආච්චි ගැන හොඳ පමණක් කියනවා අසා තිබේ. අම්මාට උවද ආච්චී ගැන යම් ගෞරවයක් හෝ ආදරයක් තුබූ බව මට හඟෙන අතර ඒ පිළිබඳ මා දන්නා තතු මදි බවත් තව ටිකක් විපරම් කර්න්නට අද හෙට වුවද කාලය සොයාගත යුතු බව මේ දැන් මට පස්ක් වූ සෙයකි. ඒ තරම් නරකක් ඇගේ නැති බව කියන්නට අම්මාගේ අම්මා ගැන නිතර ඇගේ මුවින් අසා ඇති තරමින් දශම ගනනක් පියා ගේ අම්මා ගැන අසා නැති බව හොඳ්ටම ප්‍රමාණවත් බව මගේ විශ්වාසයයි. තවද, වරක් අම්මා කියූ පරිදි ආච්චි අම්මාට ආදරය වූ අතර ඇගේ දියණියන් එය නොරිස්සූ අතර අම්මාට කෙනෙහිළි කම් කරන්නට වූ බවට නම් නිරන්තර ආඩපාලි කියනු අසා තිබේ. මා පියා විසින් රැකියාවෙන් උපයන පඩිපතම විවාහ වී කාලයක යනතුරුමත් ආච්චී අතට පත් කල බව අම්මා කියා තිබෙන අතර ඒ කියන විටකදී හෝ කිසිදු තරහවක අංශු මාත්‍රයක් අම්මා කෙරෙන් දිස් නොවීම මා සිතන අයුරට බලපෑමක් දැඩිව එල්ල කරන්නට ඇති බවට හොඳම නිදසුනකි.
පියාගේ පියා ගැන අසා දැනගත් ආකාරයට නම් ඇඟට සරිලන උස මහත, බොකුටු දිග කොණ්ඩය ගමේ තරමක කෙරුම් කාරයෙක් ගේ චරිතයකට සමානකමක් දක්වයි. එකල සුලභ බහු විවාහ නැත්නම් බිරින්දෑවරු කිහිපයක ඇසුර නිසාවෙන් ම සීයාට ළමයින් හත අටක්ම සිටියේලු. ඒ හා සමානම කල්ක්‍රියාව හේතුවෙන් ආච්චී ද ස්වාමිපුරුෂයන් දෙදෙනෙකුට දාව ළමයින් දුසිමක් පමණ ලෝකයට දායාද කර ලොකු මහත් කර කවා පොවා ඇති දැඩි කර තිබේ. ඇගේ මරණය ඉතා අවාසනාවන්ත ලෙස ඇය විසින් ශල්‍යකර්මයකින් සිය ගර්භාශය ඉවත් කිරීමට එකහෙලා විරුද්ධ වීම නිසා පිළිකාවක් වර්ධනය නිසාවෙන් සිදුව තිබේ, ඒ නොවිනි නම් ඇතැම්විට මට ඇගේ ආදරය ලබන්නට අවස්ථාවක් වන්නට තිබුණායි ලොබ බඳිමි. සුන්දර ළමා කාලයක සීයා හෝ ආච්චී සමඟ සිටින කුඩා කල මාගේ සේයාරුවක් නොතිබුනද එවන් සොඳුරු කුඩා කාලයක්ම නොතිබීම දරා ගත නොහැකි විශාල අඩුවකි.