සිරිසේනගේ මත්ද්‍රව්‍ය විරෝධය පට්ට පල් බොරුවක්..! කුඩු කිලෝ 57 ක් සමග ඇල්ලූ කුඩු රජෙකුට පැන යන්න ඉඩ දී වැටලූ ‘ඉන්ස්පෙක්ටර් X ට’ දඬුවම් දීලා..! සිරිසේනගේ බොරුව හෙළිකරන ඇත්ත කතාව මෙන්න..!
LeN හෙළිදරව්වකි
(ලංකා ඊ නිව්ස් -2019.අප්‍රේල්.14, පෙ.ව.6.45) මතින් නිදහස් රටක් යයි කියා ‘බක්මහ දිවුරුම’ නමින් දිව්රුම් උළෙලක් සංවිධානය කරමින් කෝටි ගණන ජාතික ධනය සෝබන වැඩකට වියදම් කරමින්ද, කුඩු ටොන් එකක් පමණ විනාශ කළ බව ප්‍රචාරය කරමින් ද ජනාධිපති සිරිසේන ගෙන යන මත්ද්‍රව්‍ය විරෝධය පට්ට පල් බොරුවක් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සාක්කි සහිතව අනාවරණය කරගෙන තිබේ.
හේමසිරි ප්‍රනාන්දු සහ වෙලේ සුදා...
ප්‍රථමයෙන්ම කිව යුත්තේ මෙහි දැක්වෙන සේයාරුවේ මතින් නිදහස් රටක් කියා ජනාධිපතිගේ වම් පසින් බක්මහ දිව්රුම් දෙන දෙවැන්නා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යනු ලංකාවේ කුඩු රජෙකු වන වෙලේ සුදා සමග ඩීල් එකක් සිදුකර එහි සාර්ථකත්වය වෙනුවෙන් කතරගම ගොස් පුද පූජා පැවැත්වූ පුද්ගලයෙකි. ලංකා ඊ නිව්ස් ඊට අදාල සාක්කිය සේයාරුවකින්ම දෙවතාවක් ප්‍රසිද්ධ කරන ලද නමුත් ජනාධිපති සිරිසේන ඒ කිසිවක් නොතකා ඔහුව ආරක්ෂක ලේකම් ධූරයට පත් කෙළේ ය. කුඩු රජා වෙලේ සුදා සමග කතරගම පූජා පවත්වන එකෙකු ආරක්ෂක ලේකම් කර මතින් තොර රටවල් හදන්නේ කෙසේදැයි ජනතාව මේ තක්කඩියන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. (අදාල සාක්කිය ප්‍රථම වරට හෙළි කිරීම මේ දිගුවේ -
http://www.lankaenews.com/news/4783/si )
සිරිසේනගේ ව්‍යාජ මත්ද්‍රව්‍ය විරෝධයේ කෙස් කෙළින් කරන නාටකය
මෙවර හෙළිකරන්න යන්නේ ඒ ගැන නොව, සිරිසේන ජනාධිපතිගේ ව්‍යාජ මත්ද්‍රව්‍ය විරෝධයේ කෙස් කෙළින් කරන වෙනත් නාටකයක් ගැනය. කුඩු කිලෝ 57 ක් සමග අල්ලා ගත් කුඩු රජෙකුට පැන යන්න ඉඩ දී, ඇල්ලූ පොලිස් නිලධාරියාව අනිවාර්ය නිවාඩු යවා ඔහුගේ ආරක්ෂාවට දී තිබූ පිස්තෝලයද ගෙන පොලිස් නිලධාරියා කුඩු පාතාලයට පාවා දී ඇතැයි කීවහොත් මෙය කියවන පාඨකයන් විශ්වාස නොකරනු ඇත. නමුත් සිරිසේනගේ මත්ද්‍රව්‍ය විරෝධයේ සත්‍යය එයයි.
කුඩු ටොන් එකක් අල්ලා විනාශ කළද ලංකාවේ කුඩු හිඟයක් නැතිවා පමණක් නොව මිලෙහි වැඩි වීමක් ද නැත. සාමාන්‍යයෙන් කුඩු ගහන්නෙකු වරකට ගහන්නේ කුඩු කන් හැන්දෙන් එකක් පමණ නම් කුඩු ටොන් එකක් තරම් විශාල ප්‍රමාණයක් වෙළඳ පොලෙන් ඉවත් වූ කල දැවැන්ත කුඩු හිඟයක් රට පුරා ඇති විය යුතුය. කුඩ්ඩෝ කුඩු සික් එක හැදී තැන තැන වැටී සිටිනු දකින්නට ලැබිය යුතුය. කුඩු මිල ඉහල යා යුතුය. එවැනි දේ මීට පෙර ලංකාවේ සිටින මිනිසුන් අත්දැක ඇත. නමුත් සිරිසේන කුමන ප්‍රචාරයක් කළද ලංකාවේ කුඩු හිඟයකුත් නැත මිලෙහි වැඩි වීමකුත් නැත. මෙය සිදුවිය හැක්කේ කෙසේද?
ට්‍රාන්සිට් කුඩු සහ ලංකාව තුල කුඩු
පෙර කී ලෙස කුඩු රජෙකුට පැන යන්න ඉඩ දී කුඩු රජා ඇල්ලූ පොලිස් නිලධාරියා අනිවාර්ය නිවාඩු යැවීමේ සිද්ධියේ යථාර්තය පැහැදිලි වන්නේ මෙතැනදී ය.
සිරිසේන මේ ඇල්ලුවා යයි මොර දෙන්නේ ලංකාව තුල අලෙවි වන කුඩු නොවේ. ඒවා ලංකාව හරහා වෙනත් රටවලට යැවෙන කුඩු හෙවත් ‘ට්‍රාන්සිට් කුඩු’ ය. ලංකාව තුල අලෙවි කරන කුඩු ජාවාරම් කාරයන් නිරුපද්‍රිතය. ලංකාව තුල අලෙවි වන කුඩු ද නිරුපද්‍රිතය. ට්‍රාන්සිට් කුඩු ගැන ඔත්තු දෙන්නේ ද ලංකාව තුල කුඩු විකුණන කුඩු ජාවාරම් කරුවන්ම ය.
වැටලීම කළ පොලිස් නිලධාරියාට දඬුවම් දී කුඩු කිලෝ 57 ක් සමග ඇල්ලූ ජාවාරමාට පැන යන්න දුන්නේ ද, ඔහු ද ලංකාව තුල කුඩු විකුණන කුඩු ජාවාරම්කරුවෙකු බැවිනි. මයිල් ඉස්මයිල් වෙන ඒ සිද්ධිය සම්පූර්ණයෙන් මෙසේය.
කුඩු ජාවාරම්කරුවන්ගේ ඉහළම පැළැන්තිය ඉන්නේ සුදනන් සේය. ඔව්හු වෙනත් ව්‍යාපාර කරමින් සමාජයට පෙන්වන්නේ තමන් ධනය උපයන්නේ ඒ ව්‍යාපාර වලින් බවයි. උදාහරණයකට ලංකාවේ කුඩු නාලිකාව නමින් ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය හිමිකරුවා තම පවුලේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ධනය වසාගෙන ඉන්නේ විද්‍යුත් මාධ්‍යයෙන් උපයන ධනය ලෙස පෙන්වමිනි. කෝටි ගණන් වියදම් කරමින් ඉන්දියාවෙන් නළු නිළියන් ගෙන්වා ලංකාවේ සංදර්ශන පැවැත්වීමට වෙනත් කිසිදු විද්‍යූත් මාධ්‍යයකට නොහැකි නමුත් ඔහුට හැකි වී ඇත්තේ කෙසේදැයි කිසිවෙක් ප්‍රශ්න නොකරති. මත්ද්‍රව්‍ය වැටලීම් කරන නිලධාරීන්ට මෙවැනි ඉහළම මත්ද්‍රව්‍ය ජාවාරමුන් අල්ලා ගැනීම අපහසු වන්නේ ඔවුන් මත්ද්‍රව්‍ය සමග අල්ලා ගැනීම අතිශය අසීරු බැවිනි. මත්ද්‍රව්‍ය සමග අල්ලා නොගතහොත් ඔව්හු මත්ද්‍රව්‍ය ජාවාරමුන් කියා නීතිය ඉදිරියේ ඔප්පු කිරීමද අතිශය අසීරු කරුණකි.
මොහොමඩ් සියාම් සහ දාතෝ මුජහිදීන් දෙමස්සිනෝ..
එසේ වී නමුත් මීට කලකට පෙර 2003 දී වෝඩ් ප්ලේස් හි මාලිගාවක පදිංචි වී ධන කුවේරයෙකු ලෙස පෙනී සිටි ‘මොහොමඩ් සියාම්’ නමැති ජාවාරම්කරුවා සහ බිරිඳ මත්ද්‍රව්‍ය තොගයක් සමග කොටු කර ගැනීමට ඔහු පිළිබඳ දීර්ඝ හඹා යාමක සිටි පොලිස් නාකොටික් නිලධාරීන්ට හැකි විය. පසුව ඔහුගේ වෝඩ් ප්ලේස් මාලිගාව පරීක්ෂා කරද්දී තවත් කුඩු කිලෝ 23 ක් අල්ලා ගත්තේ ය. සියාම් සහ බිරිඳ දැන් ඉන්නේ මරණීය දණ්ඩනය නියම වී සිරගෙදර ය. (සිරිසේනට අවශ්‍ය නම් සියාම් සහ බිරිඳ එල්ලා දැමිය හැකි නමුත් එසේ නොකරයි.) සියාම් සිරගත වූ පසු ඒ ව්‍යාපාරයට බැස්සේ ඔහුගේ මස්සිනා වූ ‘මොහමොඩ් මුජහිදීන්’ නමැත්තා ය. ඔහු මැලේසියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් මැලේසියානු ආණ්ඩුවෙන් ලබා දෙන ‘දාතෝ’ නම් සම්මාන නාමයකින්ද පිදුම් ලැබූවෙකි. ඒ මැලේසියානු එවක අගමැති සමග ඔහුට තිබූ ලඟ හිතවත් කම හේතුවෙනි. මෙකී ’දාතෝ මුජහිදීන්’ ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ සමගද සමීප සම්බන්ධතා පැවැත්වූයේ ය. ලංකාවේ ප්‍රදර්ශනය කළ ‘සෙල්වම්’ සහ ‘පරාවර්තන’ නම් චිත්‍රපට දෙකෙහි නිෂ්පාදකයා වූයේ ද ‘දාතෝ මුජහිදීන්’ ය. ‘සෙල්වම්’ චිත්‍රපටයේ මුහුරත් උළෙලට දාතෝ සමග ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී විය.
නජිමුදීන් සබ්‍රි සහ ඉන්ස්පෙක්ටර් එක්ස්
පෙර කී කුඩු කිලෝ 57 අල්ලා ගත්තේ දාතෝ මුජහිදීන්ගේ මස්සිනා කෙනෙකු වූ ‘නජිමුදීන් සබ්‍රි’ නමැත්තා ලඟ තිබියදීය. ‘නජිමුදීන් සබ්‍රි’ යනු කුඩු දඩයමේ යෑම හේතුවෙන් සිය බිරිඳත් සමග ඝාතනයට ලක් වූ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් ගේ කාලයේ සිට අල්ලා ගැනීමට වෙහෙස වූ ලංකාවේ සිටි කුඩු රජෙකි. කිසිවෙකු ඔත්තුවක් දුන් පසු ඒ තැන වටලා කුඩු අල්ලා ගැනීම ‘ගේමක්’ නොවන නමුත් ‘නජිමුදීන් සබ්‍රි’ වැනි කුඩු රජෙකු කුඩු කිලෝ 57 ක් ද සමග අල්ලා ගැනීම වෙනත් මාදිලියේ දිගු කාලීන හඹා යාමක සැලසුම් සහගත සහ විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිඵයක් විය. පෙර කී ලෙසම මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉහළම පුරුක් මත්ද්‍රව්‍ය සමග අල්ලා ගැනීම අතිශය දුෂ්කර කාරියකි. එසේ නමුත් පොලිස් නාකොටික් අංශයේ එක්තරා පොලිස් පරීක්ෂක වරයෙකුගේ තීක්ෂණ හඹා යාම නිසා ‘නජිමුදීන් සබ්‍රි’ මහනුවර කටුගස්තොට දී කුඩු කිලෝ 57 ක් සමග අතටම කොටු කර ගැනීමට හැකි විය. එහිදී භාවිතා කළ නවීන විද්‍යාත්මක ක්‍රමවේද ඊට පෙර කිසිදු පොලිස් නිලධාරියෙකු භාවිතා කළ ක්‍රමවේදයන්ද නොවීය. ඒ නිසාම කුඩු රජා අල්ලා ගැනීමට හැකිවුනා සේම ඔහුට විරුද්ධව නාකොටික් අංශය තුල ඊර්ෂ්‍යා කාරයන්ද ඇති විය. මෙකී පොලිස් පරීක්ෂක වරයා මෙතැන් සිට අපි ‘ඉන්ස්පෙක්ටර් එක්ස්’ යැයි හඳුන්වමු. ඒ වන විට ලංකාවෙන් ඇල්ලූ වැඩිම කුඩු තොගය එකී කුඩු කිලෝ 57 විය. ‘නජිමුදීන් සබ්‍රි’ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.
නජිමුදීන්ට පළා යෑමට ඉඩ සැලැස්වීම
පුදුමාකාර කුමන්ත්‍රණය සිදුවන්නේ ඉන් මාස කිහිපයකට පසුවය. දිනක් අධිකරණයට ඉදිරිපත් කර ඇති නජිමුදීන් සබ්‍රි ඇප මත නිදහස් කර යවන්නේ ය. ඊට හේතු කිසිවෙක් නොදනී. කුඩු ග්‍රෑම් 2 කට වැඩියෙන් අත තිබී හසුවන්නෙකුට මරණ දණ්ඩනය හිමි වන නීති තිබෙන රටක කුඩු කිලෝ 57 ක් සමග ඇල්ලූ, මෙතෙක් සොය සොයා සිටි කුඩු රජාට ඇප ලැබුනේ කෙසේද? සාමාන්‍යයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගේ සිටින කුඩු ජාවාරම් කරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරද්දී ඒ වැටලීමට නායකත්වය දුන් පොලිස් නිලධාරියාද අධිකරණයට යා යුතු නමුත් ඉන්ස්පෙක්ටර් එක්ස්ට නජිමුදීන් අධිකරණයට ඉදිරිපත් කරන බව දන්වන්නේ නැත. එපමණක් නොව ඒ නඩුවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් වන නීති නිලධාරිනියද නජිමුදීන් එදින අධිකරණයට ඉදිරිපත් කරන බවක් දන්නේ වත් නැත. කිසිවෙකු නොදැන කුඩු කිලෝ 57 ක් සමග අල්ලා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා ඇප මත නිදහස් කර යවන ලද අතර මේ වන විට ඔහු දිවයිනෙන් පලා ගොස් සිටී. මෙහි මහ මොළ කරුවන් අතර අද පොලිස් නාකොටික් අංශය බාරව සිටින නි.පොලිස්පති කමල් සිල්වා ද සිටී. ‘ඉන්ස්පෙක්ටර් එක්ස්ගේ’ නවීන විද්‍යාත්මක ක්‍රමවේද වලට ඊර්ෂ්‍යා කළ අය අතර කමල් සිල්වාද විය.
ලංකා ඊ නිව්ස් මීට ප්‍රථමයෙන් ද කමල් සිල්වා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඇති සබැඳියාව හෙළිදරව් කර තිබේ. 2017 ජුනි මාසයේ 11 වැනි දා කමල් සිල්වා තට්ටු 4 කින් යුත් හෝටලයක් ඇලකන්දේ විවෘත කළ බව අප වාර්තා කෙළේය. රජයේ වැටුප් ලබන නිලධාරියෙකු තට්ටු 4 ක හෝටලයක හිමිකාරයෙකු වන්නේ කෙසේදැයි සෙවීමෙන් පමණක් කමල් සිල්වාගේ ‘වැඩ කිඩ’ සොයා ගත හැකිය. (අදාල හෙළිදරව්ව මේ දිගුවේ -
http://www.lankaenews.com/news/5447/si )
කුඩු රජා ඇල්ලූ ‘ඉන්ස්පෙක්ටර් එක්ස්’ ගෙන් පළිගැනීම
කුඩු රජා ‘නජිමුදීන් සබ්‍රි’ නිදහස් කර පලා යාමට සැලැස්වීමට පොලිසිය පමණක් නොව නිසැක වශයෙන්ම අධිකරණය ද සම්බන්ධ විය යුතුය. මත්ද්‍රව්‍ය මාෆියාවේ මුදල් බලය කෙතරම් දැයි සිතා ගැනීම පාඨකයාට බාරය. කෙසේ වෙතත් කමල් සිල්වා කුඩු රජා නිදහස් කිරීමෙන් නොනැවතී ඔහුව අල්ලා ගත් ‘ඉන්ස්පෙක්ටර් එක්ස්’ ගෙන් පළිගැනීම ද ආරම්භ කෙළේය. ඔහුට විරුද්ධව ව්‍යාජ චෝදනා නගා ඔහුව අනිවාර්ය නිවාඩු යැව්වේය. එපමණක් නොව කිසිවෙකුට අල්ලා ගත නොහැකිව සිටි කුඩු රජෙකු ඇල්ලීම නිසා ජීවිත අනතුරකට මුහුණ දී සිටින ‘ඉන්ස්පෙක්ටර් එක්ස්’ගේ ජීවිත ආරක්ෂාවට තිබෙන ‘පිස්තෝලයද’ ඔහුගෙන් ඉවත් කෙළේය. එය කුඩු මාෆියාවට ‘ඉන්ස්පෙක්ටර් එක්ස්’ ඝාතනයට දොර විවෘත කර දීමකි.
රුපියල් කෝටි 75 ක් පමණ වටිනා කුඩු කිලෝ 57 ක් ඇල්ලූ කණ්ඩායමට ලැබිය යුතු ‘රිවෝඩ් මුදල’ අඩුම ගණනේ රු. කෝටි 25 ක් පමණ විය යුතුය. ඉන් කෝටි 10 ක් හෝ අඩුම වශයෙන් ‘ඉන්ස්පෙක්ටර් එක්ස්’ට ලැබිය යුතුය. නමුත් සත 5 ක් ඔහුට ලැබුනේ නැත. කුඩු රජුන් අල්ලන නිලධාරියෙකුට එවැනි දිරි දීමක් දෙනවා වෙනුවට දඬුවම් දෙන රටක් වේද? තමාට සිදුකරන ලද අසාධාරණයට එරෙහිව දැන් ඒ අවංක පොලිස් නිලධාරියාට අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබේ.
තමා යටතේ ඇති නාකොටික් අංශයේ නිලධාරීන් ඝාතනයට කුඩු මාෆියාවට දොර විවෘත කිරීම කමල් සිල්වා කළ එකම අවස්ථාව මෙය නොවේ. ඔහුගේ හොඳම ගෝලයා වූ රංගජීවට වෙඩි වැදී තවත් පොලිස් නිලධාරියෙකුට ද අහිංසක දැරියකටද මරු කැඳවූ පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකුට පලා යාමට අවස්ථාව ලබා දුන්නේ ද කමල් සිල්වා විසිනි. ඒ මෙසේය.
නවාස්ට පළා යෑමට ඉඩ සැලැස්වීම
එකී අවස්ථාවේ දී රංගජීවලා වැටලීමක් සඳහා පිළියන්දල ගියේ නාකොටික් එක සමග ගණුදෙනු කළ කුඩු ජාවාරමෙකුගේ ඔත්තුවක් අනුව ය. ඔහු ‘නවාස්’ නම් අයෙකි. ‘නවාස්’ ද කුඩු සමග ඇල්ලූ අයෙකු වුවද කමල් සිල්වලා සහ රංගජීවලා ඔහුව තාක්ෂනික කාරණා හදා අධිකරණයෙන් නිදහස් කරවා ගත්තේය. පසුව ඔහු ඔත්තුකරුවෙකු කරවා ගත්තේය. පිළියන්දලදී රංගජීවලා මැදිවූයේ කුඩු මාෆියාවේ ඇම්බුෂ් එකකට ය. එනම් රංජීවලා එන බවත් ඒ එන වාහනය කුමක්ද යන්නත් එන්නේ කීයටද යන්නත් ඇම්බුෂ් කරුවන්ට ලැබිය යුතුය. ඒ ලැබුනේ අන් කාගෙන්වත් නොව රංජීවලාට ඔත්තුව දුන් ‘නවාස්’ ගෙන්ම ය. අපරාධය පිලිබඳ පරීක්ෂණ පැවැත්වූ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයට ‘නවාස්’ ඩබල් ඒජන්තයෙකු ලෙස ක්‍රියා කර ඇති බව පැහැදිලි විය. මිරිහාන විශේෂ විමර්ශන ඒකකය නවාස් ප්‍රශ්න කිරීම සඳහා තමන්ට බාර දෙන ලෙස නාකොටික් අංශයෙන් ඉල්ලා සිටියේ ය. ඒ අතරවාරයේ දී රංජීවලා රෝහලේ සිටියදී කමල් සිල්වා ‘නවාස්’ නාකොටික් අංශය වෙත කැඳවීය. ඉතා දිගු වේලාවක් දෙදෙනා පමණක් රහසිගත සාකච්ඡාවක යෙදිණ. ඉන්පසුව පොලිසියේම උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සමග පොලිස් ජීප් රියකින්ම ‘නවාස්’ ඔහු සිටි නිවසට ඇරලන ලද්දේ ය. ඒ ‘නවාස්’ අවසන් වරට දුටු අවස්ථාව විය. මිරිහාන ඒකකය නවාස්ගේ නිවස වටලන විට ‘නවාස්’ බෝට්ටුවකින් රටින් පලාගොස් සිටියේ ය. මිරිහානෙන් ඉල්ලා තිබියදී නාකොටික් අංශයට කැඳවා පොලිස් නිලධාරියෙකුගේ ආරක්ෂාවද සමග නවාස් යැව්වේ අන් කිසිවෙකු නොව නාකොටික් අංශය බාර නි.පොලිස්පති කමල් සිල්වාම ය. ඒ ගැන ඉහත කී නවාස්ගේ ආරක්ෂාවට යැවූ පොලිස් උප පරීක්ෂකවරයා සාක්කි කියයි. මේ පිලිබඳ පොලිස්පති පූජිත යටතේ ඇති විශේෂ විමර්ශන ඒකකය විසින් මේ වන විට පරීක්ෂණයක් පැවැත්වූව ද පූජිත සහ කමල් සිල්වා අතර ඇති සබැඳියාව නිසා කිසිවක් සිදුනොවන බව ස්ථිර ය.
තිලාන්ට පලා යෑමට ඉඩ සැලැස්වීම
කමල් සිල්වා මත්ද්‍රව්‍ය ජාවාරමෙකු නිදහස් කර යැවීමට තවත් සාක්කියක් තිබේ. ඒ දුමින්ද සිල්වා හෙවත් කුඩු දුමියාගේ සගයෙක් වූ ‘තිලාන්’ නමැත්තාට පලා යාමට ඉඩ සැලැස්වීමයි. ‘තිලාන්’ කුඩු දුමින්දගේ අංක එකේ ගෝලයෙකි. ‘තිලාන්’ නිතරම පොලිසියේ ඇස් වසා පැන ගියේ ඔහුට තිබූ සුවිශේෂී දක්ෂතාවයක් නිසාය. ඒ නම් ඔ්නෑම අවස්ථාව ඔ්නෑම පාරක අති දක්ෂ ලෙස වේගයෙන් රිය පැදවීමේ හැකියාවයි. ඒ නිසාම කුඩු දුමින්දට වෙඩි වැදුනු අවස්ථාවේ දී දුමින්ද රෝහල කරා ගෙන ආ රථය පැදවූයේ ද ‘තිලාන්’ ය. කෙසේ වෙතත් පසුව කුඩු කිලෝ 1 ක් සමග ‘තිලාන්’ කොටුවිය. ඒ පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශයට ය. (TID) ටීඅයිඩිය තිලාන්ව නාකොටික් එක වෙත බාර දුන්නේ ය. අසනීපයකට කියා රෝහල් ගත කළ ‘තිලාන්’ රෝහලෙන් පැන ගියේ ය. ඒ පැන යෑමද අභ්‍යන්තර සැලසුම් සහගත සහායකින් සිදුවූවකි. දැන් ‘තිලාන්’ ද දිවයිනෙන් පිටව ගොසිනි.
මෙලෙස පොලිසියේ සහ අධිකරණයේ සහායෙන් දිවයිනෙන් පැන ගිය නජිමුදීන්, නවාස්, තිලාන් ආදී සෑම කුඩු ජාවාරමෙකුගේම කුඩු ජාවාරම සිදුවන්නේ රට තුලය. එසේ නොමැතිව ලංකාවට ගෙන්වා ලංකාවෙන් වෙනත් රටවලට යැවෙන ට්‍රාන්සිට් කුඩු ජාවාරමට මොවුන් සම්බන්ධ නැත. එබැවින් ට්‍රාන්සිට් කුඩු ටොන් ගණන් ඇල්ලුවද ලංකාවේ කුඩු හිඟයක් ඇති වන්නේ නැත. ඒ ජාවාරම නිරුපද්‍රිතව සිදුවෙමින් පවතී.
සිරිසේනගේ එල්ලා මැරීමේ තර්ජනය සහ ඔහුගේ බැංකු ගිණුම් තරවීම
සිරිසේන ජනාධිපතිගේ මත්ද්‍රව්‍ය විරෝධය පට්ට පල් බොරුවක් යැයි ලංකා ඊ නිව්ස් කියන්නේ ඉහත කී සාක්කි හේතුවෙනි. සිරිසේන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කියා නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හැදුවේ ය. ඊට එස්ටීඑෆ් කොමඩාන් නි.පොලිස්පති ලතීෆ් සමග මේ තරම් අපකීර්තිමත් කෙරුවාවක් ඇති නි.පොලිස්පති කමල් සිල්වා ද ඇතුලත් කිරීමෙන් පෙනී යන්නේ සිරිසේනට අවංකව රට තුල මත්ද්‍රව්‍ය විනාශයක් අවශ්‍ය නොවන බව නොවේද?
එපමණක් නොව සිරිසේන මරණ දණ්ඩනයට නියමව සිරගෙදර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එල්ලා මරණයට පත් කරනවා යැයි පාරම් බෑම තුල ද ඇත්තේ ව්‍යාජයකි. එසේ කිරීමට පෙර අත් අඩංගුවට ගත් ‘නජිමුදීන්’ වැනි කුඩු රජාලාට ඇප දී පැන යන්න සැලැස්වූයේ කව්දැයි සහ ‘නජිමුදීන්’ ඇල්ලූ පොලිස් නිලධාරියාව අනිවාර්ය නිවාඩු යැව්වේ කව්දැයි සොයා වැරදි කරුවන්ට දඬුවම් දුන්නා නම් සිරිසේනගේ පාරම් බෑමේ අවංක භාවයක් ඇතැයි සිතිය හැකිය. නොඑසේව කුඩු ජාවාරමුන් එල්ලා මැරීමේ සිරිසේනගේ ඝෝෂාවේ නිසැක ප්‍රතිඵලය වී ඇත්තේ අන් කිසිවක් නොව සිරගෙදර සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරමුන්ගේ කෝටි ගණන් කප්පම් මුදලින් සිරිසේනගේ බැංකු ගිණුම තරවීම පමණි. කැමරා ඉදිරියේ කුඩු ටොන් ගණන් විනාශ කළ ද ලංකාවේ කුඩු හිඟයක් හෝ මිල ඉහල යෑමක් සිදුව නැත්තේ ඉහත කාරණා හේතුවෙනි.
සැ. යු. - පොලිසිය වැඩි කාලයක් සන්තකයේ තබාගෙන සිටි රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිවරු දෙපොලටද, පොලිස්පති පූජිතට ද ඉහත කී සියළු චෝදනාවන්ට තිබෙන වගවීමෙන් ගැලවීමක් නැති බවද සටහන් කර තැබිය යුතුය.
-ලංකා ඊ නිව්ස්හි අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ වාර්තාකරුවෙකු විසිනි-
---------------------------