මව්බිමට ප්‍රඥවන්තයින් ඕනෑ කර තිබේ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මව්බිමට ප්‍රඥවන්තයින් ඕනෑ කර තිබේ

    දවසක්‌ පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායනතුරු හිsටි පියවර හිටියා නුඹ අම්මේ· ජාතික ගීයට පමණක්‌ දෙවෙනි වෙතැයි මා අදහන මෙම ගීතය ලියුවේ අභාවප්‍රාප්ත නීතිඥ රංබණ්‌ඩා සෙනෙවිරත්නයෝය. ගැයුවේ අභාවප්‍රාප්ත විශාරද ගුණදාස කපුගේ සූරින්ය.

    ශ්‍රී ලංකාවේ ජීවත්වූ ලොකු කුඩා සෑම අයෙකුගේම ඉමහත් ගෞරවයටත් ආදරයටත් පාත්‍ර වූ රංබණ්‌ඩා සෙනෙවිරත්නයන් එදා රචනා කළ මෙම ගීතය ලෝකය අවසානය දක්‌වාම පරපුරෙන් පරපුරට අපේ රටේ නෑදෑකමක්‌ සේම ගෙන යනු ඇති. ශ්‍රී ලාංකේය දිරිය මාතාවක්‌ ගැන මීට වඩා වෙනත් අර්ථ දැක්‌වීමක්‌ තිබේද?

    MBA, Phd නැතිවාට, BA, Bsc නැතිවාට, අඩුතරමේ අයනු ආයනු කීමටවත් පාසල් නොගියාට, තම ස්‌වාමියාට දෙවියෙකු මෙන් සැලකීමට, තම දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වාදීමට, පැකිළීමකින් තොරව හරි වැරැද්ද කියාදීමට මේ අම්මලාට ප්‍රඥව තිබුණේය. මෙබඳු අම්මා කෙනෙකුගේ උණුහුමින් පෝෂණය වූ රංබණ්‌ඩා සෙනෙවිරත්නයෝ වැනි මහා කලාකරුවෝ, දාර්ශනිකයෝ, ලේඛකයෝ, විද්‍යාඥයෝ, රාජ්‍ය නායකයෝ, මහා සංඝපීතෘවරු නම් වශයෙන් කියන්නේ නම් මහා දිග ලැයිස්‌තුවක්‌ මා හට ඉදිරිපත් කළ හැකිය. ඒ, සම්මත උගත්කම නැතිවාට, ප්‍රඥසම්පන්න කමින් අනූන වූ අපේ අම්මා වරුන්ය.

    මීළඟට මා ඔබට පවසන්නේ එබඳුම ප්‍රඥසම්පන්න පියවරුන් අතුරෙන් එක්‌ නිදසුනකි. මගේ මේ කතානායකයා, පේරාදෙනිය විශ්වවිද්‍යාලය ආසන්නයේ ඊට පිටු පසින් වූ කුඩා කඳු ගැටයක පිහිටි පුංචි ගම්මානයක විසූ ගොවිමහතෙකි. මේ ගොවි මහතාට සිටියේ එකම පුත්‍රයෙකි. මේ පුංචි කොලුවාට කුඩා කල සිටම තාත්තාගෙන් ලැබුණේ අපූරු කාල සටහනකි. දිනපතාම පාසල් යැමට පෙර එළවලු කොරටුවට සාත්තු කිරීමට අවශ්‍ය වතුර ටික ටැංකියකට පුරවා තැබිය යුතුය. කුඹුරු වැඩ කාලයට සී සෑම, නඟුල ගෙන යැමට තැත්තා ද සමඟ වෙළට බසින්නේ මේ පුංචි ගැටයාය.

    අම්මා නිවසේම උප තැපැල් කාර්යාලයක්‌ පවත්වාගෙන ගියාය. තැපැල් කාර්යාලයේ ඇති, ගමේම වූ එකම දුරකතනයට එන හදිසි ඇමැතුම් ගැන, කල්තබා පූර්ව දැනුම් දීම් අදාළ ගම්වාසීන් වේ නම් ඔවුන් වෙත වහා දිවගොස්‌ පණිවුඩය දී ඔවුනට තැපැල් කන්තෝරුව වෙතට එන ලෙස කීම මේ දරුවාට අම්මාගෙන් පැවරුණ තවත් රාජකාරියකි.

    මේ පුංචි දඟකාරයාට සෑම වසරකම අපූරු අත්දැකීමක්‌ ලැබේ. ඒ තම නිවස ආසන්නයේම වූ පේරාදෙනිය සරසවියේ 'වළේ නාට්‍ය නැරඹීම' ය ඒ කාලයේ ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන හොඳම වේදිකා නාට්‍ය ටික සරසවි නාට්‍ය උළෙලේ දී සෑම වසරකම සතියක්‌ පුරාම නැරඹිය හැකිය. ප්‍රවේශ පත්‍රය සතියකට වලංගුය. අපේ මේ පුංචි කොලුවා එදා මනමේ නාට්‍ය නැරඹුවේ අම්මාගේ ඔඩොක්‌කු වේ සිටය.

    අතිදක්‍ෂ ගොවියෙකු වුවද තාත්තාට ඉතා ඉහළ රසඥතාවයක්‌ තිබුණි. මේ රත්තරං තාත්තා කෙතරම්, ප්‍රඥ සම්පන්න මිනිසෙකු ද යන්න පසක්‌ වන්නේ ඔහු සිය දඟකාර පුතණ්‌ඩියා සමඟ සෑම මසකටම වරක්‌ පේරාදෙනිය විශ්වවිද්‍යාලය පසු කරමින් දරුවාගේ කොණ්‌ඩය කැපීම පිණිස පාගමනින්ම යන සුපුරුදු චාරිකාවේදී ඈතින් දිස්‌වෙන වන වදුල අතරින් මතුවී සිටින ප්‍රතාපවත් යෝධයකු සේම අභිමානනීය විශ්මිත නිර්මාණයක්‌ බඳු පේරාදෙනිය විශ්වවිද්‍යාලයීය ගොඩනැඟිල්ල තම එකම පුත්‍රයාට පෙන්වමින් ඔහු පවසන්නේ හරි අපූරු කතාවකි.

    "පුතේ අපි ඉන්නේ මේකට එහා පැත්තේ, ඉතිං උඹ ලොකුවෙලා ඉගෙනගෙන, මේකට එන්ඩ බැරි උනොත් වැඩක්‌ නෑ බං" නොවරදවාම, සෑම මාසයකදීම මේ තාත්තා, පුතාගේ කොණ්‌ඩය කැපීමට බාබර් සාප්පුවට යන ගමනේ දී පේරාදෙනිය විශ්වවිද්‍යාලය පෙන්වා කියන මේ කතාව අපේ දඟකාරයාගේ කුඩා මොළයේ ඇළවී තිබුණේ MultiBond ගෑවා සේය. සාමාන්‍යයෙන් අධ්‍යාපන විශේෂඥයන් පවසන්නේ ඕනෑම දරුවෙකුට වයස අවුරුදු 12 ට පෙර අනාගතේ දී, ඔහු හෝ ඇය යායුතු මඟ සිය දෙමාපිය, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද නිසි ලෙස ලැබෙන්නේ නම් හේ එම ඉලක්‌ක අනාගතයේදී කිසිදු බාධාවකින් තොරව සපුරා ගන්නා බවය.

    එහෙත් අපේ මේ රසවතා, ප්‍රඥවන්ත ගොවි පියා, දන්නා අධ්‍යාපන මනෝ විද්‍යාවක්‌ නැතුවාට තම දරුවාට ලබාදිය යුතු නිසි ඉලක්‌කය ටක්‌කෙටම ලබා දුන්නේ පුතාගේ කොණ්‌ඩය කැපීමට යන ගමනේදීය.

    එහි ප්‍රතිඵලය කෙතරම් අපූරු එකක්‌ වීද, මා මේ ඔබට පවසන්නේ සැබැවින්ම සත්‍ය වූ, අදටත් ජීවමාන වූ වටිනා ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකුගේ බිහිවීම ගැනය.

    මේ දරුවා අ.පො.ස. සා.පෙ. ඉතා ඉහළින්ම සමත්වූයේය. උසස්‌ පෙළ ප්‍රතිඵලය ඊට දෙවෙනි නොවීය. ඔහු විද්‍යා අංශයෙන් මහනුවර දිස්‌ත්‍රික්‌කයේම එම විභාගයට පෙනී සිටි සිසුන් අතුරෙන් පළමු වැනියාය.

    තාත්තාගේ සිහිනය සැබෑකරමින් හේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලු විය. ඉතා ඉහළින්ම සිවිල් ඉංජිනේරු විභාගය සමත් වූ මේ දඟකාරයා, පසුව එහිම කථිකාචාර්ය වරයෙකු, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරයෙකු, අංශ ප්‍රධානියා ද වූ අතර ඉනික්‌බිතිව මෙතුමා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති තනතුරට පත්වූයේ ඊට නියම සුදුස්‌සා එතුමා වීම නිසාය.

    අද දවසේ දී අපේ මේ ගොවි පුතා, ප්‍රඥ සම්පන්න පියෙකුගේ මඟ පෙන්වීමේ මහිමය ලොවටම අභිමානයෙන් යුක්‌තව කියාදෙන, සර් අයිවෝ ජෙනිංස්‌ පරපුරේ උපකුලපති වරයෙකි. ඔහු පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්‌. බී. එස්‌. අබයකෝන් මහතාය.

    මෙම ලිපිය මහත් ඕනෑකමකින් කියවන, මේ කාලයේ 'අම්මිලා' ටත් 'තාත්ති'ලාටත් ඉන් උගත හැකි පාඩම් බොහෝය. ඉන් ප්‍රධානම කරුණ වන්නේ, ඔබට අවශ්‍ය ඔබේ දරුවා උගතෙකු කැරැවීමටද, ප්‍රඥ වන්තයෙකු කිරීමටද කියා තෝරා බේරා ගැනීමය.

    නීතිඥ හා බහුශ්‍රැත පඬිවරයෙකු වූ රංබණ්‌ඩා සෙනෙවිරත්නයෝත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වත්මන් උප කුලපති මහාචාර්ය එස්‌. බී. එස්‌. අබයකෝන් මහතාත් යන්තම් අවුරුදු දෙකහමාරක්‌ වනවිට 'එලිකියුෂන්' පංති ගියේ නැත. කට උල්කර .'yes', 'no' කීමට පුරුදු පුහුණු උනේ නැත. නෑදැ ගෙවල්, මගුල් ගෙවල් සේම මරණ ගෙවල් වල යැමටද, ක්‍රීඩා කිරීමටද ගෙදරින් තහංචි වැටී... හන්දවාගෙන 'අම්මිලා' සමඟම දැන් මෙන් පහේ ශිෂ්‍යත්වය සඳහා ටියුෂන් ගියේ නැත.

    ඒ වෙනුවට ඔවුහු හේනේ කුඹුරේ වැඩ කළේය. හැකි පමණික්‌ අසල් වැසියාට උදව් උපකාර කළේය. අතිශයින් කෙළි දෙළෙන් හා විනෝදයෙන් ළමා දිවිය ගත කළේය. 'මනමේ' 'සිංහබාහු' වැනි නාට්‍ය නරඹා හදවත ඇට මස්‌ ලේ නහර තලාවෙන්, සාහිත්‍යයෙන්, ආදරයෙන් දයාවෙන් පුරවා ගත්තෝය.

    අවසානයේදී රටේ නොව ලෝකයේම බැබලෙන තරු බවට Super Star's මෙන් කඩා වැටෙන තරු නොව) පත්වී අද තම මව් බිමේ ආඩම්බරය වී සිටී.

    එසේ නම්, අද අපට වැරදී ඇත්තේ කොතැනද? ඕනෑම මිනිසෙකුගෙන් ගමට, රටට හෝ අඩු තරමේ තමන්ගේ ගෙදරටවත්, වැඩ දායක යමක්‌ සිද්ධ වීමට නම් ඔහු හෝ ඇය කාර්යක්‍ෂම (Efficient) හා සඵලදායි (effective) පුද්ගලයකු විය යුතුය.

    එසේම ඔබට කාර්යක්‍ෂම හා සඵලදායි පුද්ගලයෙකු වීමට, සැබැවින්ම කරුණු තුනක්‌ සම්පූර්ණ කරගත යුතුව ඇත. මෙම කරුණු තුන වන්නේ,

    1. දැනුම (Knowledge)

    2. නිපුණතාවය (Skill)

    3. ආකල්ප (Attitude)

    ඉංග්‍රීසි හෝඩියේ ඇති අකුරු විසිහයට 1 සිට 26 දක්‌වා අගයක්‌ දී (උදා A = 01, B = 02, Z = 26 වශයෙන්) ඒවා ඉහත කාරණා තුනට ආදෙAශකර සියල්ල එකට එකතු කර ප්‍රතිඵල බැලූ විටá ආකල්ප සඳහා (Attitude = 100) එකතුව 100 ක්‌ වන බව පෙනේ.

    ඒ අනුව ඔබ රටට දැයට සේම ගෙදරට සහ ගමටත් අවශ්‍ය, වැඩදායක පුද්ගලයෙකු වීමට නම් අනිවාර්යෙන්ම ඉහත කී කරුණු ත්‍රිත්වයම ඔබ තුළ තිබිය යුතු බව ඉතා පැහැදිලිය. නමුත් අවාසනාවකට මෙන් මුලු රටේම සෝදා පාලුව පටන්ගත් 70 දශක්‌යේ, අග භාගයේ දී උපත ලබා (77 න් පසුව), 'අම්මිලා' සහ 'තාත්ති' ලා වී සිටින වර්තමානයේ මව්පිය වරුන්ට, මුළු ලෝකයේම කුණු කන්දල් අපේ රටට ගෙන ආ විවෘත ආර්ථිකයේ අනිටු විපාක වශයෙන්, මා ඉහත කී, අංග තුනෙන් වටිනාම අංගය වූ ¾'ආකල්ප' තම ජීවිත තුළින් ගිලිහී ගොසින්ය.

    තමන් තුළ යහපත් ආකල්ප නොමැති වූ කල, මේ තරුණ 'අම්මිලා' සහ 'තාත්තිලා' තම දරුවන්ට ලබා දෙන්නේ කෙබඳු ආදර්ශයක්‌ද? වර්තමානයේ සිටින පාසල් සිසු සිසුවියන් බොහොමයකට, ඉතා හොඳ විෂය දැනුමක්‌ තිබේ. අලුතෙන් රැකියාවලට බැඳෙන අපේ තරුණ දූ දරුවනට ඉතා හොඳ විෂය දැනුමක්‌ සහ නිපුනතාවයක්‌ ඉතාම කෙටි කලෙකින් ලබා ගැනීමේ හැකියාව, කුසලතාව ඇත. එහෙත් ආකල්ප? ප්‍රශ්නය ඇත්තේ එතැනය.

    දරුවාට යන්තම් වයස අවුරුදු 2 1/2 වනවිට අතින් ඇදගෙන හෝ වඩාගෙන එලිකියුෂන් පංති යන අපේ අම්මිලා ඊ ළඟට සැරසෙන්නේ පහේ ශිෂ්‍යත්වයට තම දරුවා සූදානම් කිරීමටය. එයද මහා පීඩා කාරී යුද්ධයකි. එතැනින් එහාට 'Z කෝර්' එකෙන් ගමන නවතින තුරුම හැල්මේ දුවන මොවුන් තම දරුවාට 'අයනු' 'ආයනු' කී දා පටන්ම ලබා දෙන්නේ, විෂය දැනුම පමණකි.

    මේ අවාසනාවන්ත දරුවන්ට ගෙදරින්, (අම්මිලාගෙන් සහ ඇතැම් විට තාත්තිලාගෙන්) ලැබෙන්නේද විෂය දැනුමය. පාසලේදී ගුරුවරයාට හෝ ගුරුවරියට තම සීමිත කාල පරාසය තුළ අති දැවැන්ත විෂය නිර්දේශයට අනුව තම සිසු දරුවන් සඳහා විෂය දැනුම දෙනවාට වඩා වැඩියමක්‌ කියාදීමට වේලාවක්‌ නැත.

    මේ දරුවා පාසලෙන් පසු කෙළින්ම යන්නේ ටියුෂන් පංතියටය. එතැනදීද දරුවාට ලැබෙන්නේ විෂය දැනුමම පමණි.

    මේ අයුරින් විෂය දැනුම පමණක්‌ ඔලුවේ පුරවාගත්, අතිශයින් ආත්මාර්ථකාමි (පුරුදු පුහුණුව අම්මිලා ගෙනි) දරු පරපුරක්‌ දැන් බිහිවී සිටී. සැබැවින්ම මීට වගකිව යුත්තෝ දෙමාපියන් සහ මේ අමන අධ්‍යාපන ක්‍රමය අදට ඕනෑ අයුරින්, රටට ඕනෑ අයුරින් සකස්‌ නොකරන ඊට වගකියනා මහ උන්ය.

    පළමු වැනියා විය යුත්තේ තම දරුවා පමණි. නොදන්නා එකාට ගණනක්‌ කියාදීමට ඇතැම් දරුවන්ට ගෙදරින් අවසර නැත. තාත්තා දරුවාට කොළඹ පොත් සාප්පුවකින් ගෙනැවිත් දුන් වටිනා අභ්‍යාස පත පොත දරුවාට පාසල් ගෙන යැම තහනම්ය. හේතුව අනික්‌ උං ඒවායින් ඉගෙන ගැනීම තම දරුවාට පංතියේ පළමු වැනියා වීමට ඇති ඉඩකඩට බාධාවක්‌ වන නිසාය.

    මෙබඳු ඛේදනීය ආත්මාර්ථකාමී පරිසරයක්‌ තුළ විෂය දැනුම වඩවා ගන්නා දරුවා අවසානයේදී සමාජයට ආ කල සිදුවන සමාජ විපරියාසයන් සුළු පටු නොවේ. ඉන් සමස්‌ත සමාජයටම සිදුවන හානිය, විනාශය සුළු පටු නොවේ.

    මේ ගැන නිදර්ශන සැපයීම අවශ්‍ය නොවන්නේ දිනපතා පුවත් පත් වලින් ඔබ කියන අපරාධ, දූෂණ, හොරකම්, වංචා.... සමාජයේ සෑම තලයකම ඉහඳ තබා ඇති අයුරුම දැන් දැන් පෙනෙන නිසාය.

    වර්තමානයේ පෞද්ගලික අංශ තම වාර්ෂික අයවැයෙන් විශාල මුදලක්‌ වැය කරන්නේ, දැනුම හා නිපුණතාවය පමණක්‌ ඇති, එහෙත් යහපත් ආකල්ප නැති තම තරුණ සේවක සේවිකාවන් සඳහා යහපත් ආකල්ප, කණ්‌ඩායම් හැඟීම ඇතිකරන පුහුණුවීම් ලබා දීමටය. ඊට ප්‍රධාන හේතුව මෙබඳු ආත්මාර්ථකාමී පරපුරක්‌ සමඟ ආයතනික පොදු අරමුණ කරා යැම අසීරුවීමය.

    මේ අනතුර දැන්වත් අප විසින් තේරුම් ගත යුතුව ඇත. අපේ රටට අද අවශ්‍යවන්නේ දැනුම, නිපුනතාවය සහ යහපත් ආකල්ප වලින් සපිරි පරපුරක්‌ය. ඒ සඳහා දෙමාපියන් දැනුවත් කළ යුතුය. ගුරුවරුන් පුහුණු කළ යුතුය. මේ මහා අධ්‍යාපන තරගය අහෝසි කළ යුතුය.

    අධ්‍යාපනය යනු හුදෙක්‌ විෂය දැනුම පමණක්‌ම ලබාදී මොකක්‌ හෝ රස්‌සාවක්‌ කර කෙටි මඟකින් වැඩිපුර යමක්‌ සොයා ගැනීමේ පාරවල් හදන µeක්‌ටේරියක්‌ නොව, හෙට උපදින මේ රටේ උරුමක්‌කාරයින් උදෙසා යහපත් හෙට දවසත් නිර්මාණය කරමින්, රටට ජාතියට හිතවත් යහපාලකයින්, නායකයින්, ගුරුවරුන්, විද්‍යාඥයන් හා පඬිවරුන්ද ආචාර ධර්ම සුරකින, සදාචාර සම්පන්න ශ්‍රී ලාංකේය ජනසමාජයක්‌ බිහිකළ හැකි ප්‍රඥ ප්‍රදීපයක්‌, පහන් ටැඹක්‌ විය යුතුය යන්න දැන් කොයි කා විසිනුත් අවබෝධ කරගත යුතුව ඇත.

    ඒ නිසා මේ හිඩැස පිරවීමට වහාම, "අපේ මව්බිමට ප්‍රඥාවන්තයින් ඕනෑ කර තිබේ" යෑයි ළයෙහි අත් ගසා පැවැසීමට දැන් කාලය එළැඹ තිබේ


    Repost Nam Sorry........
     
    • Like
    Reactions: GuneBhai