මහා කපි ජාතකය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි දෙව්දත් තෙරුන් විසින් උන්වහන්සේට ගල් පෙරලීමේ පුවත පසුබිම්කරගෙන මෙම මහා කපි ජාතකය දේශනා කොට වදාළහ.

    දෙව්දත් තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීම සඳහා විවිධ උපක්‍රම යෙදූ අතර ඒ සියල්ල අසාර්ථක විය. අනතුරුව ගිජු කුළු පව් පා මුල සක්මන් කරන බුදුරදුන් ඝාතනය කිරීමෙහිලා උන්වහන්සේගේ හිස මතට ගලක් පෙරලී ය. දෙව්දත් තෙරුන්ගේ එම ව්‍යායාමය අසාර්ථක වූ හෙයින් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර ඒ පිළිබඳ කතිකාවක් හටගත්තේ ය. දම්සභා මණ්ඩපයේ ඇති වූ සාකච්ඡාව දැනගත් බුදුරජාණන් වහන්සේ දෙව්දත් තෙරුන් වර්තමාන භවයේ පමණක් නොව අතීත භවයන්හි ද එසේ කළේ යැයි දක්වමින් අතීත කථාව ගෙනහැර දැක් වූහ.

    පෙර භවයක
    අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ එක්තරා වන ලැහැබක වඳුරෙකු ව උපන්නේ ය. එකල, එක්තරා ජනපද වැසි ගොවියෙකු තම කුඹුරෙහි සී සා ගවයන් මුදාහැර නියර බඳීමින් සිටියේ ය. බැම්මෙන් නිදහස් වූ ගවයෝ නිදැල්ලේ තණ කමින් මහා වනය දෙසට ගමන් කළහ. ටික වේලාවකින් ගොවියා තම කටයුතු නිමකර ගවයන් ගැන සොයා බලන්නේ උන් කිසිවෙක් එහි නොමැති බව දැන, ගවයන් සොයමින් වනය දෙසට ගමන් කළේ ය. වනයෙහි ඇතුළට වන් ගොවියා එහි අතර මං වූවේ ය. ආ අත හෝ ගිය අත සොයා ගැනීමට නොහැකිව මංමුලා වූයේ කැලෑවෙහි ඒ මේ අත ඇවිද්දේ ය. බඩගින්නෙන් හා පිපාසයෙන් දැඩි ලෙස පෙළුණු ගොවියා ඵල බර එක් තිඹිරි ගසක් දැක එයට නැඟ සිත් සේ තිඹිරි ගෙඩි කඩා කෑවේ ය. තිඹිරි ගෙඩි කඩා කමින් ගස මත සිටින ගොවියා එක් දිරාගිය අත්තක පය තැබීමේ හේතුවෙන් එය බිඳීගොස් ඒ අසල තිබූ මහා ප්‍රපාතයකට ඇද වැටුණේ ය. එයින් ගොඩ ඒ ගත නොහී දින දහයක් ප්‍රපාතයේ සිර වී සිටියේ ය. එක් දිනක බෝසත් වඳුරා තිඹිරි ගෙඩි කෑම සඳහා එහි පැමිණි අතර පහළ ප්‍රපාතයේ වේදනාවෙන් කෙඳිරිගාන මිනිසෙකුගේ හඬ අසා ඒ දෙස බැලී ය.

    අනුකම්පාව

    වේදනාවෙන් කෙඳිරිගාන මිනිසා දුටු වඳුරාට ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති විය. අනතුරුව දැඩි උත්සාහයක නිරත වී ඉතා ආයාසයෙන් ඔහු එයින් ගොඩ ගත්තේය. අතිශය වෙහෙසට පත් වඳුරා මඳවේලාවක් මිනිසාගේ උකුල මත හිස තබාගෙන මොහොතක් නිදා ගත්තේ ය. මේ අතර බඩ සයින් පෙළුණු මිනිසාට වඳුරා මරා උගේ මස් කෑමට සිතක් ඇති විය. එකිනෙහි ම අසල ඇති ගල් පතුරක් ගෙන නිදා හුන් වඳුරාගේ හිස මතට වේගයෙන් පහරක් දුන්නේ ය. අනපේක්‍ෂිත පහර කෑමෙන් හිස තුවාල වූ වඳුරා වහා පැන ගොස් අසල ගසකට නැග ගත්තේ ය. ප්‍රපාතයේ වැටී සිටියදී එයින් ගොඩ ගත් තමා වැන්නෙකුට කළ ගුණ සැළකූ ආකාරය කෙරෙහි දැඩි ලෙස කලකිරුණු වඳුරා මිනිසාගේ අකෘතඥ ක්‍රියාව පිළිබඳ ඔහුට කරුණු පැහැදිලිකර දුන්නේ ය. මිනිසාගේ අකෘතඥ ක්‍රියාව හේතුවෙන් මහත් සේ කලකිරීමට පත් වුව ද වනයේ අතරමන්ව සිටින ඔහුට එයින් එළියට යාමට අවශ්‍ය මාර්ගය ද ගසින් ගසට පැන යමින් පෙන්වා දුන්නේ ය.

    අකෘතඥ බව

    මිනිසාට වනයෙන් එළියට යාමට මඟ පෙන් වූ බෝසත් වඳුරා තමන් වසන වන ලැහැබට ආ පසු පැමිණියේ ය. බෝසත් වඳුරාට හිංසා කළ මිනිසා එහි විපාක වශයෙන් මෙලොව දී ම මනුෂ්‍ය ප්‍රේතයකු බවට පත් විය. සත් අවුරුද්දක් මුළුල්ලේ මනුෂ්‍ය ප්‍රේතයෙකුව සා පිපාස දෙකින් පීඩිතව මහත් දුකක් හා වේදනාවක් වින්දේය. එක් දිනක් බරණැස් නුවර රජුගේ රාජකීය උද්‍යානයට ඇතුල්ව එහි ප්‍රාකාරයක් අසල කෙසෙල් කොල අතුරා වැතිර සිටියේ ය. උයන් සිරි නැරඹීමට පැමිණි රජු මෙම මනුෂ්‍ය ප්‍රේතයා දැක දුක් විඳීමට හේතු කවරේදැයි විමසී ය. මනුෂ්‍ය ප්‍රේතයා ද තමා කළ මිත්‍රද්‍රෝහී ක්‍රියාව නොවලහා රජුට ප්‍රකාශ කළේය. අනතුරුව තමා විඳිනා දැඩි සා පිපාසා ආදී දුක් වේදනා ගෙනහැර පාමින් එවැනි දුකකට හා වේදනාවකට හේතුකාරණා වන මිත්‍රද්‍රෝහී ක්‍රියා කිසිවිටෙකත් නොකරන්නැයි තමා උපමා කොට රජුට කරුණු දැක්වී ය. රජුට කරුණු ගෙනහැර දැක්වීම නිමා වනවාත් සමඟම මහා පොළොව පැලී ගොස් අකෘතඥ මනුෂ්‍ය ප්‍රේතයා අවීචිමහා නිරයේ උපන්නේ යැයි දක්වමින් බුදුරජාණන් වහන්සේ ජාතක කථාව නිමා කොට වදාළ හ.

    තමාට උපකාර කළ මිත්‍රයාට ද්‍රෝහී වීම අකෘතඥ අසත්පුරුෂයාගේ ස්වාභාවය යන්න මෙම ජාතක කථාවෙන් පෙන්වාදෙන ආදර්ශයයි. කළ ගුණ සැළකීම උසස් සත් පුරුෂ ධර්මයක් බව අවිවාදිත ය. සෑම අයෙක්ම එය උසස් ගුණයක් ලෙස පිළිගනී. බුදුරජාණන් වහන්සේ මෙය ආදර්ශයෙන් ම පෙන්වා දුන්නහ. එසේම පළමුව උපකාර කිරීමත්, කළ උපකාරයට ප්‍රත්‍යූපකාර දැක්වීමත් ලොව දුර්ලභ කරුණක් බව දේශනා කළහ. ජාතක කථාවෙහි එන බෝසත් වඳුරා එවැන්නෙකි. කළ උපකාරය නොසළකා තමාට ද්‍රෝහී වූ මිනිසා කෙරෙහි සානුකම්පිතව පිහිට වූ ආකාරයත් ඔහුට වනයෙන් එළියට යාමට උපකාර කිරීමෙනුත් එය පැහැදිලි වේ. එයින් තවදුරටත් බෝසත් වඳුරා සතු තාදී ගුණය ද ප්‍රකට වේ. බඩගින්න හා පිපාසය හේතුවෙන් පුද්ගලයා සදාචාරය නොසළකා ක්‍රියාත්මක වන ආකාරය ජාතක කථාවේ එන මිනිසාගේ ක්‍රියාවෙන් පැහැදිලි වේ.

    පාපයට අනුරූප විපාක

    බුදුසමය ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනයත් එකසේ වැදගත්කොට සළකන්නේ මෙම හේතුව නිසයි. මූලික මිනිස් අවශ්‍යතා ඉටු නොවන විට අපරාධ වර්ධනය වන බව චක්කවත්තිසීහනාද සූත්‍රයෙහි පැහැදිලිකර තිබේ. සහජ ස්වභාවයක් වන බඩගින්න හා පිපාසය සියලු ජීවින් පීඩාවට පත්කරයි. එය ඉටු සන්තර්පනය නොවන කල මිනිසා පමණක් නොව සෑම ජීවියෙක් ම ප්‍රචණ්ඩ ලෙස හැසිරෙයි.

    කවර තරමේ පාප ක්‍රියාවටකට වුව එයට අනුරූප වූ විපාක තිබේ. වඳුරා නැසීමට කටයුතු කළ මිනිසා වර්තමාන ජීවිතයේ දී ම මනුෂ්‍ය ප්‍රේතයෙකු බවට පත් වූ අතර අවසානයේ අවීචිමහා නිරයෙහි උපන්නේය. තමා කළ වරද පිළිබඳ දැඩි ලෙස පසු තැවීම හේතුවෙන් ඔහු මහත් චිත්ත පීඩාවකට පත් වූ අතර එහි බලපෑම නිසා කායික වශයෙන් ද දුකට හා වේදනාවට පත් වූ බව ඔහුගේම ප්‍රකාශයෙන් සනාථ වේ. පාපය හා අකුසලය කොතරම් බලවත් විපාක ගෙන දෙන්නේද යන්න මෙම ජාතක කථාවේ එන මනුෂ්‍ය ප්‍රේතයාගේ කථාවෙන් පැහැදිලි වේ. තමා කළ පාපය හා අකුශල නිසා මානසිකව දුක් විඳීන අය කොතෙකුත් දක්නට ලැබේ.

    සාධු ගුණ වඩමු

    පිටතින් එය නොපෙන්වා සිටියත් අභ්‍යන්තර වශයෙන් ඔවුහූ මහත් වේදනාවක් විඳිති. නින්ද නොයාම නින්දේදි බිය වීම හා සැකයෙන් හා බියෙන් යුක්තව වාසය කරන්නට සිදු වී තිබෙන්නේ තමා කළ පාපය හා අකුසලය නිතර මතකයට නැගෙන හෙයිනි. බුදුරදුන් දේශනා කළේ අළු යට සැඟව තිබෙන ගිනි පුපුර මෙන් තමා කළ බරපතල අකුසල කර්මයට අදාළ අනුරූප විපාක කවර දිනෙක හෝ විඳින්නට සිදුවෙන බවය. මෙම ධර්මතාව මැනවින් වටහා ගන්නා පුද්ගලයාට තමා තුළ පවතින අසත් ගුණ බැහැර කොට සාධු ගුණ වර්ධනය කරගත හැකිවේ. පාපය නිසා අඳුරු වූ යම් ජීවිතයක් වෙතොත් එය කුසලයෙහි හා පිනෙහි යෙදීමෙන් ආලෝකවත් කරගත හැකිය යන්න බුදුරදුන්ගේ ඉගැන්වීමයි. අකෘතඥ අසත්පුරුෂයාට කොතරම් යහපත කළත් ඔහු හැමවිටම සිදුකරන්නේ අයහපතකි. කළගුණ නොදත් මිත්‍රද්‍රෝහීන්ට උපකාර කිරිමේ දී නුවණින් කටයුතු කළයුතු වේ. අවසානයේදී එවැනි උපකාර නිසා තම ජීවිතයට වුව අනතුරක් සිදුවිය හැකි ය. මිත්‍රද්‍රෝහී ක්‍රියාවලින් වැළකී කළ ගුණ අගය කොට ප්‍රත්‍යූපකාර කිරිමෙන් දෙලොවම ආලෝකවත් කරගත හැකි වේ.



     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    මෙන්න මේ වගේ බන කතා ටයිප් කරලම දාපන් කිරි පුතේ නිකන්ම නිකන් යූටියුබ් වීඩියො එකක් අතාරින්නෙ නැතුව.
     
    • Like
    Reactions: ElaBaba and NRTG