මහා සංඝ රත්නය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මහා සංඝ රත්නය

    සසර කතරේ මං මුලාවී අසරණව සිටින සත්වයන් හට සසර දුකින් අත මිදීමේ මාර්ගය විවර කරන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාය. අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක් පුරා දස පාරමිතා ධර්ම පුරමින් අසරණ සත්වයන් කෙරෙහි දයානුකම්පාවෙන් අපරිමිත කැප කිරිමක් කරමින් අවබෝධ කර ගන්නා දුකින් මිදීමේ මාර්ගය ලොවට දේශනා කර ,එම ශ්‍රී සද්ධර්මය තවත් බොහෝ කාලයක් සුවහසක් ලෝක සත්වයන් සසර දුකින් මුදවාලීම පිණිස අනාගතයට රැගෙන යාමේ වගකීම බුදු රජාණන් වහන්සේලා විසින් පවරා ඇත්තේ ශ්‍රාවක සංඝ රත්නයටයි.

    එදා බරණැස් නුවර ඉසිපතන මිගදායේදී ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් පැවැත්වූ ප්‍රථම ධර්ම දේශනාව ශ්‍රවණය කර සෝවාන් මාර්ග ඵලයට පත්ව පැවිදි ජීවිතයට එළඹි කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේගේ පටන් සාරිපුත්ත, මොග්ගල්ලාන, කාශ්‍යප ආදී අසූ මහා රහතන් වහන්සේලා ඇතුළුව වර්තමානයේ වැඩ සිටින සාමණේර, උපසම්පදා ශීලයන්හි පිහිටි මහා සංඝ රත්නය, අඛණ්ඩව පැවත එන එකම දම්වැලක පුරුක් මෙනි. එදා මෙදා තුර බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය යුගයෙන් යුගයට, ගමින් ගමට, හදවතින් හදවතට යා කරන බෞද්ධයන්ගේ ජීවනාලිය වන්නේ මහා සංඝ රත්නයයි.

    නොයෙක් මිසදිටු අදහස් වලින් පිරී පැවති ශ්‍රී ලංකාද්වීපය, මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ ආගමනයත් සමඟම ධර්මද්වීපයක් බවට පත් විය. තෙරුවන් සරණ සහිත පන්සිල් සුරකින සමාජය, බෞද්ධ සංස්කෘතිය සහ ප්‍රෞඩ ඉතිහාසය අපට උරුම කර දෙනු ලැබුවේ ඒ මහා සංඝ රත්නයයි. රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිහිටි දළදා මාලිගාව, සොලොස්මස්ථාන ආදී සියළුම සිද්ධස්ථාන ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිට වූයේ මහා සංඝ රත්නයේ මග පෙන්වීමෙන් සහ ආශීර්වාදයෙනි.

    විටෙක මිසදිටු පර සතුරු ආක්‍රමණ හමුවේ වෙහෙර විහාර ගිනිබත් වෙද්දී ඉතා අසීරුවෙන් පණ නළ රැක ගනිමින් වනගතව ශ්‍රී සද්ධර්මය කට පාඩම් කරමින් එය නොනැසී පවත්වා ගැනීමට මුඛ පරම්පරාගතව ආරක්ෂා කිරීමේ භාරධූර වගකීම කරට ගත්තේ ඒ මහා සංඝ රත්නයයි. එසේ නොවන්නට අද අපට ශ්‍රවණය කිරීමට, පුහුණු කිරීමට ශ්‍රී සද්ධර්මය ඉතිරි නොවන්නට ඉඩ තිබුණි. තවත් විටෙක අසීරු දුර්භික්ෂ කාලයන්හිදී කුසට අහරක් නොමැතිව, ගතට සවියක් නොමැතිව එහෙත් සිතෙහි සවිය වඩමින් වැටකෙයියා කොළ යුෂ පානය කරමින් ගිලන්ව වැතිර, අසල වැතිර සිටින ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ කනට කොඳුරමින් ඒ අමා ධර්මය රැක ගනු පිණිස දේශනා කලාහු ඒ මහා සංඝ රත්නයයි. අනාගතයෙහි තව දුරටත් ඇතිවිය හැකි විවිධ උවදුරු සළකා බලා පසු කළෙක ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර බොහෝ කාලයක් පුරාවට ශ්‍රී සද්ධර්මය නොනැසී පැවතීමට දුර දක්නා නුවණින් තීන්දු තීරණ ගෙන එය ක්‍රියාත්මක කලේ ඒ මහා සංඝ රත්නයයි.

    විටින් විට ඇතිවූ දේශපාලන අස්ථාවරත්වයන් හමුවේ විදෙස් ආක්‍රමණිකයන් විසින් හානි පැමිණවීමට හෝ පැහර ගැනීමට ඉඩ නොතබා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සඟවා ආරක්ෂා කර ගැනීමේ වැඩ පිලිවෙලට උර දුන්නේ ඒ මහා සංඝ රත්නයයි. මේ ආකාරයෙන් අතීතය පුරාම දිවි හිමියෙන් බුදු දහම අනාගත පරපුරට උරුම කර දීම සඳහා මහා සංඝ රත්නයේ කැප කිරීම සහ දායකත්වය අති මහත්ය.

    වර්තමානයෙහි ඔබ සාධුකාර දෙමින් නිවී සැනසිල්ලේ වන්දනා කරන එම සිද්ධස්ථාන, ශ්‍රවණය කරන උතුම් වූ ශ්‍රී සද්ධර්මය, සජ්ඣායනා කරන පිරිත් දේශනා, පුහුණු කරන සමථ විදර්ශනා භාවනා ක්‍රම ආදී සියළු දේ ඔබට උරුම කර දීම සඳහා යුග ගණනක් පුරා මහා සංඝ රත්නය දිවි දෙවැනි කොට අපරිමිත කැප කිරීම් සිදු කර ඇත. එම අපරිමිත කැප කිරීම් අප විසින් නිරතුරුවම කෘතවේදීව සිහි කළ යුතු වෙමු. අදටත් එහි මිහිරි ඵල නෙලමින් ධර්මාවබෝධය ලබා සසර දුකින් එතෙර වන ගිහි පැවිදි ශ්‍රාවක පිරිස් බොහෝ වෙති. එසේම, අනාගතයටත් බුදු දහම නොනැසී පවත්වා ගැනීමට නම් අප විසින් ආරක්ෂා කල යුත්තේ මහා සංඝ රත්නයයි. ඔබ දකින වෙහෙර විහාර, පන්සල්, ගොඩනැගිලි පවතින තුරු නොව මහා සංඝ රත්නය වැඩ සිටින තුරු බුද්ධ ශාසනය නොනැසී පවතිනු ඇත.

    මහා සංඝ රත්නය නොමැති ලොවක් තුළ ඔබට දන් හැන්දක් පිදීමට සුදුසු ප්‍රතිග්‍රාහකයෙකු සොයා ගත නොහැකි වනු ඇත. සාංඝික දානයක්, කඨින චීවර පූජාවක් සිදු කිරීමට අවස්ථාව අහිමි වනු ඇත. සංඝාවාස, සෙනසුන්, බෙහෙත් ආදිය පූජා කිරීමට නොහැකි වනු ඇත. සංඝෝපස්ථාන ආදී පින්කම් කිරීමට නොහැකි වනු ඇත. මහා සංඝ රත්නය යනු ගිහියන්ට පින් වගා කර ගත හැකි උතුම් පින්කෙතක් බව සඟ ගුණ දේශනා වලදී බුදු රජාණන් වහන්සේ විසින්ම දේශනා කර ඇත. එබදු වූ පින් කෙතක් අහිමි වීම ගිහියන්ට කවර නම් අලාභයක්ද? මහා සංඝ රත්නය වැඩ නොසිටී නම් ඔබට සමථ, විදර්ශනා භාවනා කමටහන් ලබා ගැනීමට, ධර්ම සාකච්ඡා කිරීමට, ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට, දහම් ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථාව අහිමි වනු ඇත. සංඝ රත්නයේ වටිනාකම තේරුම් ගැනීමට එය අහිමි වන තුරු බලා සිටිය යුතු නොවේ. මෙම කරුණු විමර්ශනය කිරීමෙන් පමණක් වුවද අපටම ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය. එකල තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් අපරිමිත ගෞරවයෙන් සහ ශ්‍රද්ධාවෙන් මහා සංඝ රත්නයට උපස්ථාන කලේ ඔවුන් සංඝ රත්නයේ ගුණ හදවතින්ම අවබෝධ කර ගෙන සිටි බැවිනි.

    මහා සංඝ රත්නය යනු ඉතා උසස් බ්‍රහ්මචාරී ශීලයක පිහිටි, සුපටිපන්න ආදී නව ගුණ වලින් හෙබි කෝටියක් පමණ සංවර ශීල සමාදන් වූ බුද්ධ ශ්‍රාවක පිරිසයි. එක් එක් භික්ෂූන් වහන්සේලාගේ කතා බහ, ගමන් විලාශය, ඇවතුම් පැවතුම් එකිනෙකට වෙනස් විය හැකිය. ඒවා විවේචනය කිරීම හෝ ඒ පිළිබද අදහස් දැක්වීම ගිහියන්ට අයත් කාර්යයක් නොවේ. භික්ෂූන් වහන්සේලා විසින්ම නොයෙකුත් විනය කර්ම ආදී කටයුතු සිදු කරමින් යම් වරදක් ඇත්නම් ඒවා සකස් කර ගනී. නුවණැත්තා හැම කල්හිම සංඝ ගෞරවය සහිතව කටයුතු කර මෙලොව පරලොව දෙලොවටම වැඩ සලසා ගනී. බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි අනාගතයෙහි අතෙහි කහ නූලක් පළදින කසාය කණ්ටක යන පිරිසක් දක්වා සංඝ රත්නය විහිදී යයි. එදිනට තව දවසක් හෝ බුදු සසුන ඉදිරියට පවත්වා ගැනීමට දායක වන්නේ එම සංඝ රත්නයයි.

    වර්තමානයෙහිද බොහෝ උසස් ගුණ ඇති ධර්මධර, විනයධර ශික්ෂාකාමී සංඝ රත්නය වැඩ වෙසෙති. විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන බලන්ගොඩ රාධ ස්වාමීන් වහන්සේ ඊට කදිම නිදසුනකි. උන් වහන්සේ දුටු පමණින්ම පැහැදෙන රුවකින්, මනා හික්මීමකින්, ආචාරශීලී ඇවතුම් පැවතුම් වලින් හෙබි උතුම් හිමි නමකි. එමෙන්ම ධර්මධර, විනයධර සුපේශල ශික්ෂාකාමී, මෛත්‍රී සහගත දේශන විලාසයක් සහිත එහෙත් අවශ්‍ය කල්හි අභීතව, සෘජුව ධර්ම කරුණු ඉදිරිපත් කරන ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන මහා සඟ රුවනකි. උන් වහන්සේ ඇසුරු කරන, එම දේශනා වලට සවන්දෙන කිසිවෙකුට හෝ එතුමන් කෙරෙහි නොපැහැදී සිටිය නොහැකි තරමටම උන් වහන්සේ ගුණ නුවණින් යුතුය. වර්තමානයෙහි තවත් බොහෝ මෙවැනි භික්ෂූන් වහන්සේලා වැඩ වෙසෙති. උන් වහන්සේලාගේ ගුණ තුළින් එදා බුද්ධ කාලයෙහි වැඩ සිටි මහා සංඝ රත්නය ඔබ සිතින් මවා ගන්න.

    සාරිපුත්ත මහ රහතන් වහන්සේ, කාශ්‍යප මහ රහතන් වහන්සේ, රාහුල මහ රහතන් වහන්සේ ආදී එදා වැඩ සිටි ශ්‍රාවක සංඝ රත්නය තුළ කැටිවී පැවති නිහතමානී භාවය, අල්පේච්ඡතාවය, සුවච බව, මෘදු බව, මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව ආදී අනේක විධ උතුම් ගුණ විවිධ ධර්ම කතා ආශ්‍රයෙන් අප අසා ඇත්තෙමු. දිනක් සාරිපුත්ත තෙරුන් වහන්සේගේ ඉවසීම පිරික්සීමට උන් වහන්සේ වඩින අවස්ථාවක යක්ෂයෙක් මිට මොලවා උන් වහන්සේගේ පිටට පහරක් ගැසීය. සැරියුත් තෙරුන් වහන්සේ ඒ දෙස හැරී බැලීමක් වත් සිදු නොකොට වේදනාව ඉවසා ගනිමින් සන්සුන්වම ඉදිරියට වඩින ලදී. කාශ්‍යප තෙරුන් වහන්සේ ධූතාංග සමාදන් වී ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන ලදී. පාංශුකූල සිවුරු පමණක්ම දරමින් උන් වහන්සේ වැඩ සිටි සේක. මහත් වූ කරුණාවෙන් බොහෝ විට පිණ්ඩපාතය සඳහා වැඩම කලේ දුගී දුප්පතුන් වාසය කරන වීථි වලටය. වරක් ලාදුරු රෝගියෙකු විසින් උන් වහන්සේගේ පාත්‍රයට යමක් පූජා කරද්දී රෝගය නිසා කුණු වූ ඇගිල්ලක්ද ඒ සමගම පාත්‍රයට වැටිනි. උන් වහන්සේ ඒ පිළිබද පිළිකුලක් නොකොට රෝගියාට අනුග්‍රහ පිනිස එය පාත්‍රයෙන් ඉවත් කර එම දානය වළඳන ලදී. රාහුල තෙරුන් වහන්සේ සෑම උදෑසනකම වැලි දෝතක් අතට ගෙන එය බිම හෙළා අද දවස තුළ මට මෙහි ඇති වැලි කැට ගණනට අවවාද ලැබේවායි ප්‍රාර්ථනා කලේය. උන් වහන්සේ ඒ තරමටම අවවාද අනුශාසනා ලබා ගැනීමට සැදී පැහැදී සිටි සුවච කීකරු තෙරුන් වහන්සේ නමකි. මත් වූ නාලාගිරි ඇතු බුදු රජාණන් වහන්සේ ඉදිරියට එද්දී බුදු රජාණන් වහන්සේට අනතුරක් වේ යැයි සිතා තම දිවි පරදුවට තබා ආනන්ද තෙරුන් වහන්සේ ඉදිරියට පැමිණියේය. ආනන්ද තෙරුන් වහන්සේ තුළ එවන් වූ අසීමිත ආදර, ගෞරව පූර්වක ශ්‍රද්ධාවක් බුදු රජාණන් වහන්සේ කෙරෙහි විය. බුද්ධ ශාසන ඉතිහාසයෙහි වැඩ සිටි ශ්‍රාවක සංඝ රත්නයේ චරිතාපදානයන් පරිශීලනය කිරීමෙන් සංඝ රත්නයේ ගුණ වඩ වඩාත් අවබෝධ කර ගත හැකිය.

    මහා සංඝ රත්නය යනු ත්‍රිවිධ රත්නයට අන්තර්ගත තෙවැනි රත්නයයි. මහා සංඝ රත්නයේ ගුණ අනන්තයි...! එය මෙවැනි ලිපියකින් ලියා ලඝු කළ නොහැකිය. කියා අහවර කළ නොහැකිය. සිතා නිම කළ නොහැකිය. බුදු රජාණන් වහන්සේ විසින් සංඝ රත්නය ත්‍රිවිධ රත්නයට ඇතුළත් කර ඇත්තේ එබදු වූ මහා ගුණ සමුදායකින් හෙබි බැවිනි. බුද්ධ රත්නය, ධර්ම රත්නය මෙන්ම උතුම් වූ සංඝ රත්නයද ඔබ හදවතින්ම සරණ යන්න.

    අතීතයෙහි වැඩ සිටි සාරිපුත්ත, මොග්ගල්ලාන රහතන් වහන්සේලා ඇතුළු සඟ පරපුරෙන් පැවත එන ඒ උතුම් වූ මහා සංඝ රත්නය මම දිවි හිමියෙන් සරණ යමි...!
    ඒ සඟ ගුණ හදවතින් මෙනෙහි කරමි…!
    ඒ ගුණ සමුදාය හදවතෙහි දරා ගනිමි…!
    ඒ අසීමිත කැප කිරීම් වලට කෘතවේදී වෙමි… !
    ඒ කළ්‍යාණ මිත්‍ර සේවනය තව දුරටත් ප්‍රාර්ථනා කරමි…!
    යම් හෙයකින් මාගේ සිත, කය, වචනය යන තිදොරින් දැන හෝ නොදැන ඒ මහා සංඝ රත්නයට යම් වරදක් සිදුවී ඇත්නම් ඒ සියළු වරදට හදවතින්ම සමාව අයදිමි…!
    අතීත, වර්ත්මාන, අනාගත තුන් කල්හි වැඩ වෙසෙන මහා සංඝ රත්නයට දොහොත් මුදුන් දී ගරු බුහුමන් සහිතව නමස්කාර කරමි...!
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    සාරිපුත්ත මහ රහතන් වහන්සේ, කාශ්‍යප මහ රහතන් වහන්සේ, රාහුල මහ රහතන් වහන්සේ ආදී එදා වැඩ සිටි ශ්‍රාවක සංඝ රත්නය තුළ කැටිවී පැවති නිහතමානී භාවය, අල්පේච්ඡතාවය, සුවච බව, මෘදු බව, මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව ආදී අනේක විධ උතුම් ගුණ විවිධ ධර්ම කතා ආශ්‍රයෙන් අප අසා ඇත්තෙමු.

    Lankawe inna 80%k withara Hamuduwanta dan mewa na ne. So Api moko karanna one?
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,043
    6,393
    113
    kandy
    සාරිපුත්ත මහ රහතන් වහන්සේ, කාශ්‍යප මහ රහතන් වහන්සේ, රාහුල මහ රහතන් වහන්සේ ආදී එදා වැඩ සිටි ශ්‍රාවක සංඝ රත්නය තුළ කැටිවී පැවති නිහතමානී භාවය, අල්පේච්ඡතාවය, සුවච බව, මෘදු බව, මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව ආදී අනේක විධ උතුම් ගුණ විවිධ ධර්ම කතා ආශ්‍රයෙන් අප අසා ඇත්තෙමු.

    Lankawe inna 80%k withara Hamuduwanta dan mewa na ne. So Api moko karanna one?
    ඉතුරු 20% follow කරන්න

    ස්තූතියි
    ------ Post added on Jul 30, 2024 at 4:53 PM