මව පුතු එකතුවේ සැලසුම වරදී
සමනල වැව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස පොලිස් පරීක්ෂක ෂෙල්ටන් උඩුවතුගේ වැඩ බාරගෙන ගත වූයේ දින කීපයකි.
උඩුවතුගේ මහතා වැඩ බාර ගැනීමට පෙර සිදුවූ අපරාධයක සැඟවුණු තොරතුරු සමහරක් සමනලවැව කුඹල්ගම දෙතුන් දෙනෙකු විසින් ඔහුට පවසා තිබුණි.
කිසිදු සාක්ෂියක් නැති වූවද ගම්වාසීන් කියූ දේ බැහැර නොකළ ෂෙල්ටන් මහතා ඒ ගැන විපරමින් සිටියේය. 57 හැවිරිදි තිදරු පියෙකුගේ අතුරුදහන්වීම ගැන ලැබුණු එම තොරතුරු අනුව පරීක්ෂණ ඇරැඹුණි.
පොලිස් පරීක්ෂකවරයා තම උසස් නිලධාරින්ගේ උපදෙස් ලබාගෙන අබිරහස් අතුරුදහන්වීම ගැන සෙවීම ආරම්භ කළේය.
57 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ දිසානායක පෙබරවාරි 21 වැනි දින සිට ආගිය අතක් නැතැයි ඔහුගේ බිරිඳ පී. එම්. සුබරත්න මැණිකේ සමනලවැව පොලිස් මුරපොළට පැමිණිලි කර තිබුණේ පෙබරවාරි 22 වැනිදාය.
දිසානායකගේ හදිසි අතුරුදහන්වීම ගැන ඔහුගේ සොහොයුරන්ට මෙන්ම ගම්වාසීන්ටද සැක මතුවී තිබුණි. 21 වනදා රාත්‍රී දිසානායකගේ නිවසේ ඇතිවූ අඩදබරයේ හඬ අවට සිටි අයට ඇසී තිබුණි.
බිරියගේ පැමිණිල්ලෙන් කියැවුණේ තම සැමියා බීමත්ව පැමිණ පෙබරවාරි 21 වනදා රාත්‍රී නිවසේ දී කලබලකාරී ලෙස හැසිරී පසුව රාත්‍රියේදීම නිවෙසින් ගිය බවයි. එසේ නිවෙසින් පිටත් වූ බව ඇය පොලිස් පොතේ සටහන් කිරීමට කියූ කරුණ ගැන පරීක්ෂණ පවත්වන නිලධාරින්ට සැක මතුවිණි.
දිසානායක බණ්ඩාර යනු ප්‍රශ්නයකින් පලායෑමට නිවෙස හැර දමා නොයන්නෙකු බව ඔහු ගැන කළ සොයා බැලීම්වලදී පොලිස් නිලධාරින් අවබෝධ කර ගත්තේය. ඔහුගේ කල් ක්‍රියාව තුළ එවැනි සැඟවීම් නොතිබුණි.
පොලිස් පරීක්ෂක ෂෙල්ටන් මහතා මේ පරීක්ෂණය සූක්ෂම ලෙස සිදුකරමින් සිටියේය. පරීක්ෂණ සිදුවෙන වගක් මතුපිටින් පෙන්වූයේ නැත. ඒ සැකකරු පලායෑමට ඉඩ ඇති බැවිනි. දිසානායක බණ්ඩාරගේ නිවෙස දෙසින් ඇසුණු කෑ කෝ ගැසීම් හඬ නිසා ඒ අසලින් ගිය කිහිප දෙනෙකු නිවස දෙසට නෙත් යොමුකර තිබුණි. රාත්‍රී විදුලි ආලෝකයෙන් එම නිවසේ කිසියම් සිද්ධියක් සිදුවෙනු කිහිපදෙනෙකු දැක තිබුණත් ඔවුන් ඊට මැදිහත්ව නැත.
එම තොරතුරු අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම විසින් දිසානායක බණ්ඩාරගේ වැඩිමහල් පුතු අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ පසුගිය මැයි මස 10 වැනිදාය.
සමනලවැව පමණක් නොව රටම කැලැඹූ අබිරහස් ඝාතනයක තොරතුරු හෙළිවීමට පටන් ගන්නේ එතැන් සිටය. සුබරත්න මැණිකේ විසින් අතුරුදහන් බව පැමිණිලි කළ තම සැමියාගේ සිරුරේ ඇට කැබලි වලවේ කැලේ දී හමුවූයේ ඇයගේද මරණකරුගේ ද ලොකු පුතා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
පියාගේ ඝාතනය ගැන ලොකු පුතා තොරතුරු හෙළි කළේය. පෙබරවාරි 21 රාත්‍රී බීමත්ව පැමිණි පියා තම මවට පහර දෙමින් නිවසේ කලබල කරන්න පටන් ගත් නිසා පොල්ලකින් පහර දුන් බව ලොකු පුතා කීවේ ඉන් අනතුරුවය.
“තාත්තා මැරුණු බව හැගුණා. එදා රෑම තාත්තාගේ සිරුර පොහොර ගෝනියට දමාගෙන කැලෑවට රැගෙන ආවා. අම්මාත් මමත් කතාකර තීරණය කළා. මේ සිද්ධිය කාටවත් දැන ගැනීමට ඉඩ නොතැබිය යුතු බවට යැයි සැකකරු පොලීසියට පවසා තිබේ. සමනල වැව කුඹල්ගම සිට කිලෝ මීටර් හතරක පමණ දුරක් තම පියාගේ සිරුර ගෝනියක දමාගෙන සැකකරු රාත්‍රී දෙක පමණ වනවිට තිමිරිආර වනයට පැමිණ තිබේ.
සැකකරු විසින් රැගෙන ආ භූමිතෙල් බෝතල් දෙකක් දමා පියාගේ සිරුර කැලය මැද පුළුස්සා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය. පියාගේ සිරුර පිළිස්සී යන තෙක් සැකකාර පුතා එතැන රැඳී සිට ඇත. සිරුර දැවී අලුවී ගොස් ශේෂ වූ ඇට කැබලි කීපයද පොහොර කවරයට දැමූ සැකකරු එම ඇට කැබලි ගැඹුරු වළකට දමා තිබූ බව අනාවරණය විය.
පොහොර උරය ගල් ඇන්දක් මත සඟවා සැකකාර පුතා කැලෑවෙන් පැමිණ තිබේ. පසු දින ද එම ස්ථානය වෙත ගිය සැකකරුට දැක ගැනීමට ලැබී ඇත්තේ පියාගේ සිරුරේ ඇට කැබලි කීපයක් පිළිස්සූ තැනින් මතුවී තිබෙන ආකාරයයි. රාත්‍රියේදී එම ඇට කැබලි ඔහු නොදුටුවේය. පසුව එම ඇට කටු කැලයට විසිකර දමා ඔහු පැමිණ තිබේ.
පියා පිළිස්සූ තැන කිසිදු සාක්ෂියක් ඉතිරිව නැතැයි සැකකාර ලොකු පුතා සිතුවේය. එහෙත් අපරාධයක් සිදුකර සැඟවී සිටීමට නොහැකි යන සත්‍යය යළිත් තහවුරු කරමින් පියාගේ ඝාතනයේ තොරතුරු සියල්ලම ඉන් තෙමසකට පසුව සැකකාරලොකු පුතා විසින්ම හෙළි කළේ එලෙසය.
සැකකරුගේ මව මෙම අපරාධය දැනගෙන රහස සඟවා සිටීමේ වරදට ඇයද අත්අඩංගුවට ගැනුණි. දැන් මවත් පුතාත් දෙදෙනාම රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
දිසානායක බණ්ඩාරගේ නිවෙස ඉදිරිපිට නිවසේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් ද පෙබරවාරි 27 වනදා අබිරහස් ලෙස ඝාතනයට ලක්විය. මොට ආයුධයකින් හිසට සිදුවූ පහර දීමකින් එම මරණය සිදුවූ බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවිය. කාන්තාවගේ ඝාතනය හා දිසානායක බණ්ඩාරගේ ඝාතනය අතර සම්බන්ධයක් ඇතැයි පොලිසියට සැක මතුවී තිබේ. ඒ සම්බන්ධව මෙතෙක් ස්ථිර නිගමනයකට පැමිණ නැතත් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව රත්නපුර උසස් පොලිස් නිලධාරියෙකු කීවේය.
දිසානායක බණ්ඩාරට සිදුවූ අපරාධය ගැන තොරතුරු සැඟවීමට ඇය ඝාතනය කළාද? නැතිනම් ඊට වෙනත් හේතුවක් බලපෑවාද යන්න ගැන පරීක්ෂණ සිදුකෙරේ. ඝාතනයට ලක්වූ කාන්තාව සිටි නිවසත් දිසානායක බණ්ඩාරගේ නිවෙසත් අතර ඇත්තේ සමීප දුරකි. ඒ නිවෙස් තුළ සහ ඉදිරිපිට සිදුවෙන දේ පවා එම නිවෙස් දෙකටම හොඳින් දර්ශනය වේ. එම නිවාසය රස පරීක්ෂක ලවා පරීක්ෂා කිරීමට කටයුතු කරනු ලැබීය.
රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්. ජී. කුලරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදුකෙරුණි. බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක යූ. ජී. සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණයෙන් සමනල වැව පොලිස් මුරපොළේ ස්ථානාධිපති ෂෙල්ටන් උඩුවතුගේ මහතා පරීක්ෂණ මෙහෙයවිය. සැරයන් 15811 සුමනදාස, 18586 පේ‍්‍රමරත්න, කොස්තාපල්වරුන් වන 32200 බණ්ඩාර, 62850 රත්නසේන රියදුරු 439 මාරඹේ යන මහත්වරු පරීක්ෂණවලට දායක වූහ.
රත්නපුර දිසා විශේෂ
ලසන්ත නිරෝෂණ
