මාඝ සූත්‍රය සහ දානය
ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ ‘මාඝ‘ සූත්‍රය යැයි සූත්‍රයක් ඇත. ඒ සූත්‍රය ඇසුරෙන් දානය පිළිබඳව කෙටි ලිපියක් සැකසීමට මා සිතුවෙමි.
මාඝ නම් වූ බ්‍රාහ්මණ තරුණයෙක් බුදුරජාණන්වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වේ වාසය කරන අවස්ථාවකදී එහි ගොස් බුදුරජාණන්වහන්සේ හමු වෙයි. එසේ හමු වී සතුටු සාමිචියේ යෙදී සිට මෙසේ ප්‍රශ්නයක් අසයි.
භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දානපති දායකයෙම් යදියන්ගේ බස් දන්නෙම් යදනට නිසි වූයෙම් ධර්මයෙන් භෝග සොයමි. දැහැමින් භෝග සොයා ධර්මයෙන් ලද, ධර්මාධිගත භෝගයෙන් එකක්හට ද දෙමි, දෙදෙනකුන්හට ද දෙමි, තිදෙනකුන්ට ද දෙමි, සතර දෙනකුන්ට ද දෙමි, පස්දෙනකුන්ට ද දෙමි, සදෙනකුන්ට ද දෙමි, සත්දෙනකුන්ට ද දෙමි, අටදෙනකුන්ට ද දෙමි, නවදෙනකුන්ට ද දෙමි, දසදෙනකුන්ට ද දෙමි, විසිදෙනකුන්ට ද දෙමි, තිස්දෙනකුන්ට ද දෙමි, සාලිස්දෙනන්හට ද දෙමි, පණස් දෙනකුන්ට ද දෙමි, සියදෙනකුන්ට ද දෙමි, ඉන් වැඩි බොහෝ දෙනකුන්ට ද දෙමි, භවත් ගෞතමයන් වහන්ස, කිම මම මෙසේ දන්දෙනුයෙම් මෙ සෙයින් යාග කරනෙම් බොහෝ පින් රැස් කරම් දැයි?
මේ ප්‍රශ්නයට බුදුරජාණන්වහන්සේ පිළිතුරු දෙන්නේ මෙලෙසිනි.
මාණවය, එකාන්තයෙන් මැ (තෝ මෙසෙයින් දන් දෙන්නෙහි මෙසෙයින් යාගකරන්නෙහි බොහෝ පින් රැස් කෙරෙහි. මාණවය, යම් දායකයෙක් දානපතිවූයේ යදියන්ගේ බස් දන්නේ යාචයෝග වූයේ ධර්මයෙන් භොගපර්යෙෂණා කෙරේ නම්, ධර්මයෙන් භොගපර්යෙෂණා කොට ධර්මලබ්ධි වූ ධර්මාධිගත වූ භොගයෙන් එකකුහට ද දන් දේ නම් -පෙ- සිය දෙනකුන්හට දේ නම්, එයින් වැඩි දෙනකුන්ට ද දේ නම්, බොහෝ පින් රැස් කෙරේ යයි,
දැන් මේ ප්‍රශ්නය හා පිළිතුර සැලකිල්ලට ගත් විට මෙහිදී මාඝ තරුණයා දැහැමින් සෙමින් උපයා ගත් දෙයින් දන් දෙනවා කියන්නේ භික්ෂූන්වහන්සේලාට නොවන බව පැහැදිලි ය. නමුත් ඔහු කාට හෝ දන් දෙයි. එම දානයේ ප්‍රතිඵල ඇති බව බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. පසුව මාඝ තරුණයා තවත් ප්‍රශ්නයක් අසයි.
“මම වදන් දන්නා, කාෂායවස්ත්‍රධාරී වූ තෘෂ්ණයෙන් තොර ව හැසිරෙණ භවත් ගෞතමයන් වහන්සේ පුළුවුස්මි. යදනට නිසි, දානපත් වූ පුණ්‍යාර්ථි යම් ගෘහස්ථයෙක් පින් කැමැතියේ යාග කෙරේ නම්, මෙලොව්හි මෙරමාහට අහර පැන් දෙන්නේ නම්, කොතන්හි යාගකරන්නහුගේ යාගය ශුද්ධවන්නේදැයි?”
මේ ප්‍රශ්නයට බුදුරජාණන්වහන්සේ ලබා දෙන්නේ මෙවැනි පිළිතුරකි.
“මෙ ලොව්හි පින් කැමැති මෙරමාහට ආහාරපාන දෙන දානපති වූ පුණ්‍යාර්ථි ගෘහස්ථයෙක් යදනට නිසි වූයේ යාගකෙරේ නම්, හේ තාදී වූ ම දක්ෂිණාර්හයන් අරියන්නේය”
මෙකී ප්‍රශ්නය සහ පිළිතුර සැලකිල්ලට ගත් විට මාඝ තරුණයා අසන්නේ පින් කිරීමට කැමැති දන් දීමට කැමැති ගිහියෙක් වේ නම් පින් බලාපොරොත්තුවෙන් දන් දෙන්නේ නම් කාට දන් දීම වඩාත් හොඳ ද කියායි. බුදුරජාණන්වහන්සේ ඊට පිළිතුරු දෙන්නේ ‘දක්ෂිණාර්හයන්ට‘ දන් දීම වඩාත් හොඳ බවයි. මුල් ප්‍රශ්නයේ දී මාඝ, තමන් දන් දුන්නත් කාට දෙන්නේ දැ යි විශේෂයෙන් නොකියා දෙන දානය වඩාත් හොඳින් දෙන්නේ කෙසේ ද කියා බුදුරජාණන්වහන්සේගෙන් උපදෙස් ගන්නා බව මෙහිදී පෙනී යයි. කෙසේනමුත් දක්ෂිණාර්හයන් කියන්නේ කව්දැයි මාඝ තරුණයා දන්නේ නැත. එනිසා ඔහු බුදුරජාණන්වහන්සේගෙන් දක්ෂිණාර්හයන් යනු කව්දැයි විමසයි. එහිදී දක්ෂිණාර්හයන් යනු කව්දැයි බුදුරජාණන්වහන්සේ පැහැදිලි කර දෙයි. ඒ පහත ලෙසිනි.
“යම් කෙනෙක් ඒකාන්තයෙන් ලෝකයෙහි රාගාදියෙහි නොගෑවී කිසිවක් නැතිව වැඩ අවසන්කර රක්නාලද සිත් ඇත්තෝව වාසය කරත්ද, (ii) පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
“යම්කෙනෙක් සියලු සංයෝජන බැමි සුන්කළාහුද දැමුනාහුද, කෙලෙසුන්ගෙන් මිදුනාහුද, දුක් නැද්ද, දැන් කෙළෙස් නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
“රාගයද, ද්වේෂයද, මෝහයද පහකොට කෙලෙසුන් නැසුවෝද, වැසනිමවන ලද බඹසර ඇත්තාහුද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
“යම්කෙනෙකුන් කෙරෙහි රැවටිල්ල නැත්තේද මානයක් නොවේද, යම් කෙනෙක් පහවූ ලෝභ ඇත්තේද මමත්වය නැත්තේද ආශානැත්තේද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
“යම්කෙනෙක් ඒකාන්තයෙන් තෘෂ්ණාවන්හි නොවැටුණහුද කාම සැඩවතුරු තරණය කොට මමත්වය නැතිව හැසිරෙද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
“යම්කිසි කෙනෙකුන්ට ලෝකයෙහි මෙලොව හෝ පරලොව කොයිතැනත් තෘෂ්ණාවක් නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
පුණ්‍යාපෙක්ෂා ඇති යම් බමුණෙක් යාග කෙරේ නම් හේ, පහ කළ රාග ඇති යම් කෙනෙක් මොනොවට සමාහිත වූ ඉඳුරන් ඇත්තාහු රාහු ග්‍රහණයෙන් ප්‍රමුක්ත වූ චන්ද්‍රයා සෙයින් ප්‍රමුක්ත වෙත් ද, එපුඟුලන් කෙරෙහි නිසි කල්හි දන් දෙන්නේ ය.
යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් කෙලෙස් සන්හිඳවන්නාහු පහ කළ රාග ඇත්තාහු කෝප රහිත වූවාහු ද, යමකුන්ට මෙලොව්හි ස්කන්ධ හැරපියා ලීමෙන් පුනර්භව ගමනෙක් නැත් ද, එ පුඟුලන් කෙරෙහි සුදුසු කල්හි යඥ දෙන්නේ ය.
යම් බමුණෙක් පුණ්‍යාපෙක්ෂා ඇත්තේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් ජාති මරණ නිරවශේෂයෙන් හැරපියා හැම කථංකථි භාවය ඉක්ම ගියාහු වෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දක්ෂිණා පිරිණමන්නේ ය.
“යම් කෙනෙක් ශමනය කළ කෙළෙස් ඇත්තාහුද, පහවූ රාග ඇත්තාහුද, බාධා නොකළහැකිද වර්තමාන සම්බන්ධ අත්හැර ඇලීමක් නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
“ජාති, ජරා, මරණ අත්හැර සියල්ල ඉක්මෙවූවාහු සැක නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
“යම්කෙනෙක් රාගාදී කිසි ක්ලේශයක් නැතිව සර්වප්‍රකාරයෙන් මිදී ලෝකයෙහි තමන් පහනක් මෙන් හැසිරෙත්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
“යම් කෙනෙක් ස්කන්ධ ආයතනාදී ශරීරය අනිත්‍ය යයිදනීද, මේ අවසාන ජාතිය වෙයි. නැවත භවයක් නැතැයි යම් යම් විධියකින් දනිත්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.
යම් බමුණෙක් පින් පතන්නේ යාග කෙරේ නම් හේ, යමෙක් (සිවුමග නැණ නම් වූ) වෙදයෙහි කෙල පැමිණියේ (සවැදෑරුම් සතත විහාර ස්මෘතියෙන්) ස්මෘතිමත් වූයේ ධ්‍යානාභිරත වූ යේ සර්‍වඥතාඥානයට පැමැණියේ බොහෝ දෙනාට සරණ වේ ද, එ පුඟුලා කෙරෙහි නිසි කල්හි දක්ෂිණා දෙන්නේ ය.
මෙකී පැහැදිලි කිරීම ඇසූ මාඝ බ්‍රාහ්මණ තරුණයාට ඇති වූයේ මහත් සතුටකි. තමන්ගේ ප්‍රශ්න කිරීමෙන් ප්‍රයෝජනයක් ලැබුණු බව ඔහුට හැඟිනි. එසේ නොවී කෙසේ ද? දානය ගැන බුදුරජාණන්වහන්සේ තරම් දන්නා වෙනත් අයෙක් මේ තුන් ලොවේ නැත (දාන සූත්‍රය). මේ ආකාරයට බුදුරජාණන්වහන්සේ දක්ෂිණාර්හයන් නැත්නම් දානය පිදිය යුත්තේ කාටදැයි පුද්ගල කොට්ඨාශ වශයෙන් ම මාඝ තරුණයාට දේශනා කරන්නට යෙදිනි. ඉන්පසුව මාඝ තරුණයා තවත් ප්‍රශ්නයක් ඇසුවේ ය. එනම් දන් දීමේ දානසම්පත්තිය ද දැන ගැනීමේ අවශ්‍යතාවය ඇති බවයි. ඊට ද බුදුරජාණන්වහන්සේ පිළිතුරු ලබා දෙයි. ඒ මෙසේයි.
“මාඝය, දන්දෙනු ලබන්නේ දෙව, හැමතන්හි සිත පහදව, දන්දෙන්නාට දියයුත්තේයයි කියනලද දානය අරමුණ වේ. මෙහි පිහිටා ද්වේෂය නැතිකරයි.
“ඒ පහවූ රාග ඇත්තේ ද්වේෂය නසා අප්‍රමාණ මෛත්‍රී සිත වඩන්නේ රෑදාවල් දෙකෙහි නිතර අප්‍රමාදවූයේ සියලු දිශාවන්හි අප්‍රමාණ මෛත්‍රිය පතුරුවයි.”
දැන් මේ පිළිතුරු අනුව දන් දීමට සිතුණු විට සහ අවස්ථාව ලද විට දන් දිය හැකි අතර අවශ්‍ය වන්නේ එසේ දන් දෙන විටදී සිත පැහැදවීම යි. සිත පිහිටවිය යුතු වන්නේ දෙනු ලබන දානය කෙරෙහි ය. ඒ හරහා ද්වේශය නැති කිරීමට කටයුතු කළ හැක. ඉන්පසු සිත තුළ මෛත්‍රී සිතුවිල් වර්ධනය කර සියළු දිශාවට මෙත් වැඩීම සිදු කළ යුතු වේ. ඉදින් මේ ආකාරයෙන් දන් සැකසීමේ සිට දක්ෂිණාර්හයන්ට දන් පූජා කොට අවසන්ව සිත පැහැදවීම දක්වා පැහැදුන සිතෙන් කටයුතු කරන්නේ නම් බ්‍රහ්ම ලෝකයේ ඉපැදෙන බව බුදුරජාණන්වහන්සේ මාඝ තරුණයාට අවසානයේ දේශනා කරන්නේ ය.
මේ මාඝ තරුණයාට කළ දානය පිළිබඳව ධර්ම දේශනාව සමස්ථයක් ලෙසින් ගත් විට පෙනී යන්නේ බ්‍රාහ්මණයන් අරමුණු කර ගනිමින් සිදු කළ දේශනාවක් බවයි. මාඝ ගේ අවසන් ප්‍රශ්නය වන බ්‍රහ්මයා සමඟ එක් වීමේ ක්‍රමය අසා දැන ගැනීමේ වුවමනාවෙන් එය පැහැදිලි වේ. කෙසේවෙතත් බුදුරජාණන්වහන්සේ මාඝට ලබා දෙන පිළිතුර තුළ බ්‍රාහ්මණ ධර්මයන් සඳහා නව අර්ථකථනයක් ඇති බව පෙනී යයි. එසේ වෙතත් ඒ අර්ථ කථනය මාඝ තරුණයාගේ සිත දිනා ගනී. ඒ බව සනාථ වන්නේ ඔහු මේ ධර්ම දේශනාවෙන් පසුව උපාසකයකු ලෙසින් සලකන ලෙසට කරන ඉල්ලීම නිසාවෙනි.
වර්තමානය වන විටත් දානය ගැන නොයෙක් සාකච්ඡා අප අතර පවතී. බුද්ධ කාලයේ පමණක් ඇති වූවාක් නොවේ එය. ඉතා මෑතකදී සමාජ මාධ්‍ය හරහා එක්තරා ඡායාරූපයක් සංසරණය වූයේ එවැනි මාතෘකාවක් ඉදිරිපත් කරමිනි. එම ඡායාරූපයේ දැක්වෙන්නේ ආහාර ද්‍රව්‍ය කීපයකින් සමන්විත බුද්ධ පූජාවකි. එහ ‘ටූත් පික්‘ ද දක්නට ලැබේ. මේ ඡායාරූපය අරඹයා නොයෙක් විවේචන මෙන්ම උපහාසාත්මක දේ සංසරණය වෙයි. එවැනි කටයුතු සිදු කරන්නේ බුද්ධ ධර්මයේ දේශනා කරන ඇති දානය යන්න ගැන දැනුමක් නැති අයවලුන් බව අමුතුවෙන් කිව යුතු නැත.
ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් විස්තර කරද්දී බුදුරජාණන්වහන්සේ දානය ද පුණ්‍යක්‍රියාවක් ලෙසින් විස්තර කර ඇත.
“මහණෙනි, මේ පින් කිරියවත් තුනෙකි. කවර තුනෙක්ද යත්? දානමය පුණ්‍යක්‍රියාවස්තුවය. ශීලමය පුණ්‍යක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තුවය, මහණෙනි, මේ වනාහි තුන් පින් කිරියවතියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“හෙතෙමේ මත්තෙහි අග්‍රවූ හෝ මත්තෙහි උතුම්වූ හෝ අතිශයින් අග්‍රවූ හෝ මනොඥ ඵලයෙන් අග්‍රවූ හෝ සැප විපාක ඇති පිනම රැස්කරන්නේය. දානයද චරියාවවූ ශීලයද මෙත් සිතද වඩන්නේය. සප්‍රාඥතෙම සුව අනුසස් ඇති මේ කුසල ධර්ම තුන වඩා නිදුක්වූ සුවවූ බඹ ලොවට උත්පත්ති වශයෙන් පැමිණේයයි.”
පුණ්‍ය ක්‍රියා සූත්‍රය https://pitaka.lk/main?n=401216
Last edited: