මානව පවුලට එකතු වෙන අලුත්ම ඥාතියා - Homo juluensis (The big head people)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    42,434
    85,759
    113
    මානව පවුලට එකතු වෙන අලුත්ම ඥාතියා - Homo juluensis (The big head people)

    වර්තමානයේ පවතින්නේ එකම එක මානව විශේෂයක් වුනත්, , මානව පරිණාමයේ ඉතිහාසය පුරාම, පුළුල් පරාසයක මානව විශේෂ රැසක් පැවතුනා. Sahelanthropus tchadensis ගේ පටන් homo sapiens දක්වා ආ ගමන් මගේ අපේ ආදි නෑ පරපුර මානව විශේෂ රාශියක එකතුවක් බව මේ වෙද්දී විද්‍යාඥයන් හෙළි කරගෙන තිබෙනවා.

    ආදි මානව විශේෂ පිළිබඳව සොයා යන ගමනේදී විද්‍යාඥයන් සහ පුරාවිද්‍යාඥයන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ මුල් මානවයන් ජීවත් වූවා යැයි සැලකෙන ස්ථාන කැණීම් කිරීමයි. මෙසේ මුල් මානවයන් ලොව පුරා සංචලනය වූ ආකාරය සහ පරිණාමය වූ ආකාරය පිළිබඳ සිදුකළ පර්‍යේෂණයක් මගින් චීන විද්‍යා ඇකඩමියේ සහ හවායි විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාඥයින් විසින් නව මානව විශේෂයක් හඳුනාගෙන තිබෙනවා. ප්‍රාග් අතීතයේ තවත් එක් පරිච්ඡේදයක් ආලෝකවත් කරමින් සිටි මේ මානව විශේෂය ඔවුන් හඳුන්වන්නේ හෝමෝ ජුලුවෙන්සිස් නමින්.

    මේ සොයාගැනීමට පදනම් වන්නේ උතුරු හා මධ්‍යම චීනයේ Xujiayao සහ Xuchang යන ප්‍රදේශවලින් හමුවී ඇති පොසිල සාක්ෂි කිහිපයක් වන අතර ඒ අනුව හෝමෝ ජුලුවෙන්සිස්ගේ පොසිලවලට ඇතුළත් වන්නේ හිස් කබල් අවශේෂ, හකු අස්ථි කොටස් සහ අත්සහ පාද අස්ථි අවශේෂ කිහිපයක් බවයි සඳහන් වෙන්නෙ. Homo juluensis ගේ මේ පොසිල හමුවී ඇත්තේ 1970 සහ1980 ගණන් වලදී වුනත් ඒ පොසිල අයත් වන්නේ Homo juluensis නම් නව විශේෂයකට බව හඳුනාගෙන නිල වශයෙන් නම් කරනු ලැබුවේ 2024 වසරේ අගදීයී.

    Homo juluensis කියන්නෙ කවුද?
    "juluensis" යන නම ව්‍යුත්පන්න වී ඇත්තේ ලතින් වචනයක් වන "julu" යන වචනයෙන් වන අතර, එහි තේරුම "විශාල හිස" යන්නයි. Xujiayao සහ Xuchang ප්‍රදේශවලින් හමු වූ විශාල හිස් කබල් ඔවුන්ට ඒ නම ලැබීමට හේතු වෙනවා. ඔවුන් නැගෙනහිර ආසියාවේ වසර 300,000 කට පෙර සිට වසර 50,000 කට පමණ දක්වා ජිවත්ව සිට ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ.

    සීමිත පොසිල වාර්තා නිසා හෝමෝ ජුලුවෙන්සිස් ගේ ශරීර ප්‍රමාණය තක්සේරු කිරීම තරමක් අසීරු වුනත් ඔවුන්ගේ හිස් කබලේ සහ හකු අස්ථිවල ප්‍රමාණය හා ශක්තිමත් බව මත පදනම්ව, ඔවුන් නූතන මිනිසුන්ට සාපේක්ෂව උසින් මදක් වැඩි විය හැකියි. සමහර ඇස්තමේන්තු වලට අනුව ඔවුන් අඩි 5 අඟල් 7 සිට අඩි 6 දක්වා උසකින් සහ රාත්තල් 150 ත් 200 ත් අතර බරකින් යුක්ත විය හැකි බව පැවසෙනවා.

    Homo juluensis හට සැලකිය යුතු තරම් විශාල කපාල ධාරිතාවක් තිබී ඇති අතර, එය ඝන සෙන්ටිමීටර 1,800 ක් පමණ වෙතැයි ගණන් බලා තිබෙනවා. එය නූතන මිනිසුන්ගේ සාමාන්‍ය මොළයේ ධාරිතාවට වඩා සැලකිය යුතු තරම් විශාල ප්‍රමාණයක් වන අතර ඔවුන්ගේ මොළයේ විශාල ධාරිතාවයෙන් ඇඟවෙන්නේ ඔවුන්ට උසස් සංජානන හැකියාවන් තිබිය හැකි බවයි.

    ඒ වගේම හෝමෝ ජුලුවෙන්සිස් ෆොසිල සමඟ ගල් මෙවලම් රාශියක් සොයා ගැනීමෙන් ඔවුන්ට මෙවලම් සෑදීමට සහ භාවිතයට ඇති හැකියාව පෙන්නුම් කරනවා. පර්යේෂකයන් පවසන්නේ ඔවුන් කුඩා කණ්ඩායම් වශයෙන් වල් අශ්වයන් දඩයම් කර, ඔවුන්ගේ අස්ථි වලින් ආයුධ සහ මෙවලම් සාදා ඇති අතර, ශීත ඍතුවේ දිවි ගලවා ගැනීම සඳහා දඩයම් කරන ලද සතුන්ගේ හම් පවා භාවිතා කළ බවයි.

    H. erectus සහ H. sapiens යන දෙඅංශයේම මිශ්‍ර ගති ලක්ෂණ පෙන්නුම් කරන හෝමෝ ජුලුවෙන්සිස් පැවතුනු කාලය සලකා බැලීමේදී ඔවුන් නැඟෙනහිර ආසියාවේ පසුකාලීන ප්ලයිස්ටොසීන යුගයේ තවත් මානව විශේෂ කිහිපයක් සමඟ සහජීවනයෙන් සිටිය බව හිතන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් DNA සාක්ෂි වලින් දන්නා ආසියාවේ ප්‍රදේශ වල වාසය කළ අතර ඩෙනිසෝවන් සහ මුල් හෝමෝ සේපියන්ස් මානවයන් ඒ අතරින් ප්‍රධානයි.

    Homo juluensis වඳවීම ගැන විද්‍යඥයන් තුළ ඇත්තේ විවාදාත්මක අදහස් වන අතර ඔවුන් ප්ලයිස්ටොසීන යුගයේ අවසාන කාලයේ නැගෙනහිර ආසියාවේ සිටි හෝමෝ සේපියන්ස් සහ ඩෙනිසෝවන් වැනි අනෙකුත් මානව විශේෂයන්ගෙන් සම්පත් සහ භූමිය සඳහා තරඟයට මුහුණ දෙන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. ඒ වගේම ග්ලැසියර කාලපරිච්ඡේද වැනි සැලකිය යුතු දේශගුණික විපර්යාසයන් ඔවුන්ගේ වාසස්ථාන සහ ආහාර ප්‍රභවයන් කඩාකප්පල් කරමින් පැවැත්මට අභියෝග කිරීමත් එක් පිළිගත් සාධකයක් වෙනවා. වේගයෙන් බෝවන රෝග පැතිරීමත් ඔවුන්ගේ ජනගහනය සීමා කලා විය හැකියි. ඒ වගේම හෝමෝ සේපියන්ස් හෝ ඩෙනිසෝවන් වැනි අනෙකුත් මානව විශේෂ සමඟ අන්තර් අභිජනනය ද ඔවුන්ගේ අද්විතීය ජානමය පරම්පරාව දියාරු කිරීමට හෝ අතුරුදහන් වීමට ප්‍රබල හේතුවක් වන්නට පුළුවන්. Homo juluensis වඳවී යෑම මේ සාධකවල එකතුවක් විය හැකි අතර ඔවුන්ගේ අතුරුදහන් වීම, පොසිල වාර්තා පිළිබඳ වැඩිදුර පර්යේෂණ සහ විශ්ලේෂණය මගින් නුදුරේදීම හෙළි කරනු ඇති.