මා ඇඳි ''හොඳම රුව''
කස්සප රජු දවස ලක්දිව පතළ නම
සිහගිරි බලකොටුව නිසි වන කලෙක නිම
සිතුවම උරුම කොට ආ පරපුරක තම
නිල සිත්තරා ලෙස එහි වැඩ කළෙමි මම
පණිවිඩයක් එවා එහි එන ලෙස දන්වා
දවසක් සවස් වරුවක රජු මා ගෙන්වා
සිහගිරි මාලිගේ සෙල් පවුරක් පෙන්වා
සරසන ලෙසට පැවසී සිතුවම් ගන්වා
හොඳ නම් ලැබේ වස්තුව ඇතෙකුගෙ බරට
රජුගේ හිතට නොගියොත් ගනු ඇත දරට
සිතමින් මෙලෙස යන කල වාසල දොරට
දුටුවා මල් ළඳුන් මල් ගෙන එනු පෙරට
හැඳි වත කිළුටු මුත් උපතින් උරුම කෙරු
සොඳ පිළි අබරණින් ගැමි කම කළොත් දුරු
අත් වල මංජුසා නෙක මල් බඳුන් දැරු
මේ ළඳුනගෙන් බිතු සිතුවම වේවි සරු
දවසක් දෙකක් එන මග රැක සිට පාරේ
උකහා ගතිමි සිතුවම ඉල්ලන සාරේ
අඟනක් දිනපතා සිටි ඔවුනගෙ බාරේ
මා හට මලක් දී යයි යන එන වාරේ
මැට්ටෙන් මකුළු නිමවූ පසු තලය මත
දිවුලෙහි ලාටු මුසු කොට සායමෙන් තෙත
පළමුව පිටත රේඛා ඇඳ යොදා රත
සිත්තම ඇරඹුවෙමි එකගෙට අරන් සිත
මෙලෙසින් සිතුවමේ වැඩ නිම කෙරෙන සඳ
පෙර මල් දුන්නු ලිය මා අසලින්ම හිඳ
සමහර දිනෙක පලතුරු තව දිනෙක කැඳ
අරගෙන අවුත් මගෙ පාලුව දමයි සිඳ
අතෙකින් දරාගෙන සුවදැති කුසුම් මිට
තාලෙට ලතාවට ඈ එනු දකින විට
සිතුවම පිණිස ඉදිරියෙ ගත්තාම සිට
සමහර වෙලාවට තෙලි තුඩ පනියි පිට
වරලස මුදුන් කොට රඳවනු මැනවි මලක්
කර මාලයට එබවුවහොත් යෙහෙකි නිලක්
දෑතේ අඳිනු සොඳ වෙයි රන් වලලු පෙලක්
ඇයගේ රුවට ඇත උපදෙස් අසූ කෙලක්
අබිසෙස් මඟුල එළැඹෙන වප් පුර පෝයේ
වැඩ නිම කළ යුතුය එදිනට පෙර පායේ
හැමටම යටින් පෙම උතුරයි හද මෝයේ
මේ අතරේ දිනක් රජු මා වෙත ආයේ
දැක මා නිමවමින් සිටි ඇගෙ රුව කාය
මොහොතක් නැවතුනා රජුගේ හද ගීය
කවුරුද කොහෙද පැන අවසන් නොම වේය
රජුටත් වැදිලදෝ පෙම් මල්සර හීය
................................................................................
අබිසෙස් මඟුල මතු එළැඹෙන වේලාවේ
හිස් හැඟුමින් මමත් සිටියෙමි සාලාවේ
මා ඇදි ''හොඳම රුව'' සිතුවම් මාලාවේ
නැග එනු දුටිමි ගන රන්මිණි දෝලාවේ
.................................................................................
- mihir.rc.uom
කස්සප රජු දවස ලක්දිව පතළ නම
සිහගිරි බලකොටුව නිසි වන කලෙක නිම
සිතුවම උරුම කොට ආ පරපුරක තම
නිල සිත්තරා ලෙස එහි වැඩ කළෙමි මම
පණිවිඩයක් එවා එහි එන ලෙස දන්වා
දවසක් සවස් වරුවක රජු මා ගෙන්වා
සිහගිරි මාලිගේ සෙල් පවුරක් පෙන්වා
සරසන ලෙසට පැවසී සිතුවම් ගන්වා
හොඳ නම් ලැබේ වස්තුව ඇතෙකුගෙ බරට
රජුගේ හිතට නොගියොත් ගනු ඇත දරට
සිතමින් මෙලෙස යන කල වාසල දොරට
දුටුවා මල් ළඳුන් මල් ගෙන එනු පෙරට
හැඳි වත කිළුටු මුත් උපතින් උරුම කෙරු
සොඳ පිළි අබරණින් ගැමි කම කළොත් දුරු
අත් වල මංජුසා නෙක මල් බඳුන් දැරු
මේ ළඳුනගෙන් බිතු සිතුවම වේවි සරු
දවසක් දෙකක් එන මග රැක සිට පාරේ
උකහා ගතිමි සිතුවම ඉල්ලන සාරේ
අඟනක් දිනපතා සිටි ඔවුනගෙ බාරේ
මා හට මලක් දී යයි යන එන වාරේ
මැට්ටෙන් මකුළු නිමවූ පසු තලය මත
දිවුලෙහි ලාටු මුසු කොට සායමෙන් තෙත
පළමුව පිටත රේඛා ඇඳ යොදා රත
සිත්තම ඇරඹුවෙමි එකගෙට අරන් සිත
මෙලෙසින් සිතුවමේ වැඩ නිම කෙරෙන සඳ
පෙර මල් දුන්නු ලිය මා අසලින්ම හිඳ
සමහර දිනෙක පලතුරු තව දිනෙක කැඳ
අරගෙන අවුත් මගෙ පාලුව දමයි සිඳ
අතෙකින් දරාගෙන සුවදැති කුසුම් මිට
තාලෙට ලතාවට ඈ එනු දකින විට
සිතුවම පිණිස ඉදිරියෙ ගත්තාම සිට
සමහර වෙලාවට තෙලි තුඩ පනියි පිට
වරලස මුදුන් කොට රඳවනු මැනවි මලක්
කර මාලයට එබවුවහොත් යෙහෙකි නිලක්
දෑතේ අඳිනු සොඳ වෙයි රන් වලලු පෙලක්
ඇයගේ රුවට ඇත උපදෙස් අසූ කෙලක්
අබිසෙස් මඟුල එළැඹෙන වප් පුර පෝයේ
වැඩ නිම කළ යුතුය එදිනට පෙර පායේ
හැමටම යටින් පෙම උතුරයි හද මෝයේ
මේ අතරේ දිනක් රජු මා වෙත ආයේ
දැක මා නිමවමින් සිටි ඇගෙ රුව කාය
මොහොතක් නැවතුනා රජුගේ හද ගීය
කවුරුද කොහෙද පැන අවසන් නොම වේය
රජුටත් වැදිලදෝ පෙම් මල්සර හීය
................................................................................
අබිසෙස් මඟුල මතු එළැඹෙන වේලාවේ
හිස් හැඟුමින් මමත් සිටියෙමි සාලාවේ
මා ඇදි ''හොඳම රුව'' සිතුවම් මාලාවේ
නැග එනු දුටිමි ගන රන්මිණි දෝලාවේ
.................................................................................
- mihir.rc.uom
Last edited:



