මැලේරියා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මැලේරියා .... මැලේරියා ...
    ***************************
    90636488_2282944025141526_3120203340072353792_o.jpg
    මට මතක විදිහට ඒ 1983 විතර එක් දිනයකි.
    අපේ අළුත් ගෙදර හදමින් පැවතිනි.

    බාස් උන්නැහැලා වැඩය.

    ටික වේලාවක් වැඩ කර කොහේදෝ ගිය
    "සුදා බාස් " හදිසියකින් මෙන් ඒ මේ අත වීසි වෙමින් සයිකලය පැදගෙන ආපසු එනු පෙනිනි.

    ඇස් හොඳටම රතු වෙලාය. අරක්කු බී වෙරි වෙලා වගේය.
    යකෙකුට බය වුනාම වගේ ඇස් ලොකු වෙලාය. දත කට පූට්ටු වෙලා වගේය.

    බයිසිකලේ එහෙම්මම මිදුල මැද වැටෙන්නට අත හැරිය සුදා මෝල් ගහක් ගිල්ලාක් මෙන් ඇස් උඩ තියාගෙන වෙව්ලමින් මා පසු කරගෙන ගෙතුළට දුව ගෙන ගියේය.

    මාත් ඒ පස්සෙ දුවගෙන ගියෙමි...

    සුදා හදන ගෙයි කාමරයක තිබූ බූරු ඇදේ වකුටු වී නිදාගෙනය.
    ඔහුගේ මුළු සිරුරම බූරු ඇදත් එක්කම තදින් වෙව්ලමින් තිබිණි.

    " බාස් උන්නැහේ .....!" යි මම බියෙන් කෑ ගැසුවෙමි.

    ලොකු බාස් උන්නැහැ ඇතුළු සියල්ලන් පමණක් නොව අපේ තාත්තා ද දුවගෙන ආවේය.

    " මැලේරියාව....! සුදෝ... මැලේරියාව ....!" ලොකු බාස් උන්නැහේ කීවේය.
    පිරිස එක්වී සුදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන යන ලදී.

    අද මේ මොහොත වන විට කොරෝනා වෛරසයටද වඩා මාරාන්තික වූ මැලේරියාව නමැති රෝගය ලංකාවෙන් සහමුලින්ම තුරන් කර තිබේ.
    ඒ ඉතා දීර්ඝකාලීන වැඩ පිලිවෙලක් ඔස්සේ නම් නොදන්නා බොහෝ පිරිසකගේ දැඩි කැපකිරීම් නිසා බව කිව යුතුය.
    එක්දාස් නවසිය තිහ දශකයේදී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය අන්තයටම පිරිහෙමින් මැලේරියාව රට පුරා පැතිර ගියේය.
    වෛද්‍ය හා සනීපාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ බ්රියර් ක්ලිප් මැලේරියා රෝගය ගැන පුවත්පත් මගින් මහ ජනතාව දැනුම්වත් කර ඇත.

    දිනමිණ පුවත්පතේ ඔහු විසින් ලියන ලද ලිපියක් 1928 අගෝස්තු 28 වෙනිදා පලවී තිබිණි.

    “ අශුද්ධ වාතය යන අරුත ඇති මැලේරියා යන නාමයෙන් හඳුන්වන රෝගය, වෛද්‍ය ඉතිහාසයෙහි සඳහන් වන, වෙන කොයි යම් රෝගයකටත් වඩා ලෝක ආර්ථිකයට හානි පැමිණෙවූ උණ රෝගය වේ ”
    එම ලිපියෙන් කියවෙන අන්දමට යටත් පිරිසෙයින් අවුරුදු 2000 ක් මුළුල්ලේ ලෝකයෙහි නොයෙක් රාජ්‍ය වල හා අනුරාජ්‍යවල ද විනාශයට මැලේරියාව හේතු වී ඇත.
    මෙම රෝගය කොපමණ කාලයක සිට පැවතුණේද,එය හඳුනාගත්තේ කොපමණ කාලයක සිට ද, කියාත් හරි හැටි කීමට කිසිවෙක් නොදනිති.

    එහෙත් ග්‍රීක හා රෝමන් පොත්වල හා ඉතා පැරණි හින්දු තන්ත්‍රවලද ඒ පිළිබඳව දක්නට ලැබෙන බවත්, පැරැණි ලේඛනවල මෙම රෝගය අවුරුදු පතා පැමිණෙන බව සඳහන් කර තිබෙන නිසා පුරාණ මිසරවරුන් මේ ගැන දැන සිටින්නට ඇතැයිද ලිපියේ සඳහන් වෙයි.

    මඩ වගුරු හා හැල් ආශ්‍රිත ප්‍රදේශවල මැලේරියාව නිරන්තරයෙන්ම පැතිරී ඇත.
    ඉර බැස්සාට පසු ගෙන් පිටත යන තැනැත්තන්ට රෝගය වැලඳෙන බවත්, උස් බිම්වල හා සුළං හමන කාලවල එය වැඩිපුර පැතිර නොයන බවත් වාර්තා වී ඇත. ඇතැම් ප්‍රදේශ වලගොඩනැගිලි ඉදිකිරීම, පාරවල් සෑදීම ආදී කර්මාන්ත පටන් ගත් විට මැලේරියාව තදින් පැතිර යන බව දැන ගන්නට ලැබී ඇත.
    කොරෝනා සඳහා ගෙදර සිටීමම පමණක් සෑහුනද මැලේරියාව කොහේ සිටියත් සොයා ගෙන ආවේ මදුරුවන් මගිනි.

    1935 වසරේ සති හයක් ඇතුළත මැලේරියා උණින් ළමයින් 3,500 ක් මියයාමේ පුවතක් 1935 ජනවාරි 25 සෙනසුරාදා පුවත් පත් වාර්තා විය.එහි මෙසේ ද සඳහන් වී තිබුණි.

    ‘‘කෑගල්ලෙන් ලැබී තිබෙන ආරංචිවල හැටියට එහි තත්ත්වය ත ආරෝග්‍යශාලා වල හා වතුවල මරුමුවට පත් රෝගීන් හැර කෑගලු දිස්ත්‍රික්කයේ ගම් නියම් ගම්වල පමණක් පසුගිය මාසයේ දී 3,027 දෙනෙක් මළහ. මෙයින් 2,500 පමණ ළදරුවෝය."
    මැලේරියා වසංගතය සමග සටන් කිරීමට ලංකා රක්ෂක භට හමුදාවේ සේවය දීමට කැමති බව යුද හමුදා නිලධාරීන් විසින් ආණ්ඩුවට දන්වන ලද නමුත් සෞඛ්‍ය පාලකයන් එය බාර ගෙන නැති බවත් වාර්තා වේ.
    මැලේරියා වසංගතය ගැන කොළඹ දී පැවැත් වූ ආණ්ඩුවේ වෛද්‍ය වරුන්ගේ සාකච්ඡාවේදී
    පුවත්පත් කලාවේදියෙක් පෙර දින රාත්රියේ මහාරෝග්‍ය ශාලාවට ඇතුළත් කර ගත් රෝගීන්ගේ ගණන සහ සිදු වූ මරණ ගණන ගැන ඇසීය.
    "බොහොම කණගාටුයි. පත්‍රවලට තොරතුරු දීමක් නෑ.....!"
    වෛද්‍ය සුපිරිටෙන්ඩන්ට්වරයා පුවත්පත් නියෝජිතයාට කීය.
    පසු දා උදෑසන ඔහු ප්‍රවෘත්ති පත්‍ර වලට කිසිදු තොරතුරක් නොදෙන ලෙස කාර්යාලීය මණ්ඩලයට දන්වා ඇත.
    යුද හමුදාවත් මැලේරියා වසංගතයට එරෙහිව ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වීමත් වෛද්‍ය නිලධාරීන් එයට එදිරිවීමත් ගැන පුවත්පත් වාර්තාකරුවෝ අප්‍රසාදයෙන් කරුණු දැක්වූහ.

    ගංගාවල මදුරුවන් උපදනා ස්ථානයන් මහත් භීතියට හේතු වන පරිදි වැඩි වී ගෙන එන බැවින් මදුරු පිලවුන් සහිත දිය කඩිතිවල තෙල් ඉසීමේ වැඩට හමුදාව යොදා ගැනීම මැනවැයි ඔවුහු විශ්වාසය පළ කළහ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගරය හැර සෙසු පළාත්වල දෙමාසයක් තුළ මරණ 5,500 ක් පමණ සිදු වී තිබෙන බව 1935 අගෝස්තු 28 වෙනිදා දිනමිණ පත්‍රයේ පළ විය.

    කුරුණෑගල ලෙඩ අඳෝනාව මවුවරුන්ගේ දුඃඛිත තත්ත්වය ගැන දිනමිණ මුල් පිටුවේ ඒ ඛේදවාචකය මෙසේ වාර්තා කොට තිබුණි.

    ‘‘රෝග භය අඩු වීමේ කිසිම ලකුණක් පෙනෙන්නට නැත.
    ආරෝග්‍ය ශාලාව ලෙඩුන්ගෙන් පිරී තිබේ.
    හුස්ම කටක් ගැනීමටවත් ඉඩක් නැත. ලෙඩුන්ගෙන් වැඩි දෙනා ගර්භිණීහු ය. මැලේරියාවෙන් දුර්වල වූ මේ ස්ත්‍රීන් බොහෝ දෙනෙකුට නියම කාලයට ප්‍රථමයෙන් දරුවෝ ලැබෙති.
    ශරීර දුර්වලත්වය නිසා රාත්තල් දෙක තුනකට වඩා බර නැති බිලිඳුන් සමූහයක් මේ දුර්භාග්‍ය කාලයෙහි මෙලොවට බිහි වන බව පෙනේ.
    සමහර ළමයි ආරෝග්‍ය ශාලාවේ ඉස්තෝප්පුවල ද සමහරෙක් මවුවරුන්ගේ ඇඳන් යට ද වැතිර සිටිති.
    පිරිමි වාට්ටුවල ඇඳන් මතුපිට කෙඳිරිගෑමට පවා ශක්තිය නැතිකමින් හැලහොල්මනක් නැතිව නිදා සිටින පියවරුන්ගේ දර්ශනය ඉතා සංවේගජනකය.
    ඔවුන්ගෙන් සමහරෙක් අන්තිම හුස්ම හෙළති. නමුත් මේ කිසිවක් නොදත් සදහටම මවුවරුන්ගේ ආශ්රයෙන් ඉවත් වූ අහිංසක දරු පැටව් පණ අදින පියවරුන්ගේ අැඳන් යට එළී තිබෙන පැදුරු උඩ ඒ මේ අත පෙර​⁣⁣ළෙමින් හඬති.

    අහෝ! මේ දරුවන්ට යන කල දසාව කුමක්ද?’’

    1935 ජනවාරි 12 වෙනි දින එංගලන්තයේ මහ රජතුමාගේ සංවේගය විපතටපත් වූවන්ට පිරිනමා ඇත.

    ලංකාවේ ඇතැම් කොට්ඨාසවල තදින් පැතිර යන
    මැලේරියා අනාථාධාර අරමුදලට ආධාර ලබා ගැනීම සඳහා මැලේරියා මර්දන කොඩි දිනයක් පවත්වා ඇති අතර ඒ පිළිබඳ නිවේදනයක් ස්වදේශ කටයුතු භාර ඇමැති ඩී.බී. ජයතිලක මහතා නිකුත් කර ඇත. ඒ අතර ලෙඩුන්ට සංග්‍රහ කිරීම සඳහා රුපියල් දෙලක්ෂයක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.

    ලක්ෂ ගණන් ලාංකිකයන් සමූලඝාතනය කරමින්, ඉතිරි වන්නන් බෙහෙවින් බෙලහීන දුර්වලයන් කරමින් පැතිර ගිය මැලේරියා මාරයා පරාජය කිරීම ඇරඹුණේ එකල ලංකාවේද වගා කෙරුණු සින්කෝනා ශාකය ඇසුරෙන් " ක්වීනීන්" නමැති දිව ඔසුව සොයා ගැනීමත් සමගිනි.

    මදුරුවන් මගින් පැතිර ගිය මැලේරියා පරපෝෂිතයන් මර්දනය සදහා රජය විසින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ
    " මැලේරියා මර්දන ව්‍යාපාරය " ආරම්භ කරන ලදී.

    ලංකාව පුරා ඩී ඩී ටී, මැලතියන් වැනි මදුරු නාශක ඉස්සේ එමගිනි.
    ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ගොඩ නැගුනේද මැලේරියාව මතින් බව කිව යුතුය . මැලේරියා රෝගීන් හට පරිප්පු බෙදාදීම නිසා " පරිප්පු මහත්තයා " යි නම් පට බැඳගත් එන් එම් පෙරේරා ඇතුළු වාමාංශික නායකයන් විසින් "සූරිය මල් ව්‍යාපාරය" නමින් රෝගීන් හට සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ද ආරම්භ කරන ලදී.

    සියවස් කීපයක් තිස්සේ ලංකා වාසීන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කළ මැලේරියාව අවසන් වරට අපට පහර දුන්නේ් 1980/1990 දශක වලදීය.
    2012 න් මෙපිට ලංකාවෙන් මැලේරියා රෝගීන් හමුවී නැත.

    මම එහි අවසන් සාක්ෂි කරුවෙකු මෙන්ම ගොදුරක් බවටද පත් වූයෙමි.

    සුදා ප්‍රතිකාර ලබා සුව වීමෙන් පසු දිනක මට ක්ෂණිකව සිරුරේ කෙඩෙත්තු ගතියක් දැනෙන්නට විය.
    වේලාව දහවල් 11:00 ට පමණ ඇත.
    මගේ සිරුර මටම අවනත නොවන ගතියක් සමඟ තද සීතලක් දැනෙන්නට විය.
    හිස් මුදුනින් පැන නැඟි වෙව්ලීමක් මුහුදු රැලක් මෙන් සිරුර හරහා දෙපතුල දක්වා පැතිර යන්නට විය.
    අම්මාට කෑ ගසා හඬගෑ මම රෙද්දක් පොරවාගෙන ඇඳෙහි වකුවු වූයෙමි.
    අම්මා එනවිට මම ඇඳත් සමඟම වෙව්ලමින් සිටියෙමි.

    වෙව්ලීම නතර කර ගන්නට කෙතරම් වෙහෙස ගත්තද එය කෙසේ වත් කළ නොහැක.
    විනාඩි විස්සකින් පමණ වෙව්ලීම නතර වන අතර තදින් උණ ගැනෙයි.

    තාත්තා මා සමඟ හිතවත් දොස්තර මහතා හමුවීමට ගියේය. දොස්තර දින පහක් සඳහා වන බෙහෙත් පෙති ලබා දුන්නේය.

    ඒ බෙහෙත් බොන විට ආහාර රුචිය මුළුමනින්ම නැතිව යන අතර කෙසේ හෝ කෑම කා බඩ පුරවාගෙන පෙති බිව්ව යුතු විය. නැතිනම් වමනය යාමට ඉඩ ඇත.

    මේ දින පහ ගෙවන්නට වූයේ දැඩි අපහසුවෙනි. පොතක් කියවන්නට වත් ඇඟට පණක් තිබුනේ නැත.

    දින පහක් ගෙවී යද්දී රෝගය සුව වුවද පෙර පරිදි ඇඟට ශක්තිය ලැබෙන්නට මාසයක් පමණ ගත විය.

    මට නම් එක් වරක් සෑදී බේරුනාට, මගේ මිතුරෙකුට එවැනි වාසනාවක් හිමි වූයේ නැත.
    ඔහුට වරින්වර, යළි යළිත් මැලේරියාව හැදෙන්නට විය.
    කොතෙක් බෙහෙත් කළද සුව වූයේ නැත.
    සිරුර කෙසඟ වූයේ බලාගෙන සිටිද්දී වගේය.

    අවසානයේ ඒ දිනවල මැලේරියාව සඳහා පාවිච්චි කළ අවසාන බෙහෙත වූ "ෆැන්සිලා" නමැති පෙති වර්ගයද ලබා දීමෙන් පසු යාන්තම් සුවය ලැබෙන විට අවුරුද්දක්ද ගතවී හමාරය.

    අද වනවිට සහසක් මළ කඳන් මතින් අතීතයට එක්ව ඇති මැලේරියාව මෙන් යම් දිනක කොරෝනා ද මිනිසා හමුවේ පරාජයට පත්ව අතීතයට එක්වනු නියතය.

    © දයානාත් ධර්මසේන
     
    Last edited: