මෙරට මුස්ලිම් ජනතාවට විරුද්ධව සිදුවන ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට වාර්තාවක් සමඟ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අන්තර්ජාතික තරුණ මුස්ලිම් සම්මේලනය තීරණය කර ඇත. එම සම්මේලනයේ සභාපති අෂ්රෆ් හුසේන් මහතා 'මව්බිම'ට කීවේ මෙරට මුස්ලිම් ජනයාට විරුද්ධව සිදුවන ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව මෙන්ම වගකිවයුත්තන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැති බව කී හුසේන් මහතා ඊට අමතරව එහිදී විශේෂ යෝජනා පහක් සම්මත කරගත් බවද කීවේය.
ඒ අනුව මෙරට මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත්, විවිධ සංවිධාන මෙරට අනෙකුත් ආගම් ඉලක්ක කර කරන චෝදනා පිළිබඳ සියලු ආගමික නායකයන් හා සංවිධාන සමඟ සාකච්ඡා කිරීමටත් මෙහිදී යෝජනා වී ඇත.
දේශපාලනඥයන් නොවන මෙරට මුස්ලිම් නීතිඥවරුන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ඇතුළු බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් මේ පිළිබඳ අන්තර්ජාතිකය දැනුම්වත් කිරීමටත්, මුස්ලිම් ජනතාවට එරෙහිව ආගමික, සංස්කෘතික වශයෙන් සිදුවන ප්රචණ්ඩත්වය පිළිබඳ ලේඛන සකස්කර ඒවා බෙදා හැරීමෙන් සත්‍ය ජනතාවට පහදාදීමටත්, එමඟින් සාමය හා සහජීවනය ඇති කරලීමටත් මෙහිදී යෝජනා කෙරුණු බව හුසේන් මහතා සඳහන් කෙළේය.
ශ්‍රී ලංකාවේ නීතිය, විනය ස්ථාපිත කිරීම මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන ගැටලුවලට නීතිමය විසඳුම් ලබාදීමටත් එහිදී වැඩිදුරටත් යෝජනා කෙරුණු බව හුසේන් මහතා කීය.
http://www.mawbima.lk/34-48428-news-detail.html?utm_source=twitterfeed&utm_medium=twitter


