මේ සංසාරය කෙතරම් දීර්ඝද කියා දක්වනවා නම්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    3,506
    7,811
    113
    Colombo
    මිය යන මොහොතේ යහපත් අරමුණක සිත රැඳවීම ඔබ අප සිතන තරම් පහසු නොවන බව පසුගිය ලිපියෙන් ඉදිරිපත් කළෙමු. බොහෝ විට ඇතිවන්නේ පටිඝ මිශ්‍රිත සිතිවිලිය. එසේ නැතහොත් ආශාවට බර සිත්ය. මේ සෑම විටම මෝහය ගැබ්ව ඇත. එබැවින් මරණින් මතු සුගති උපතක් ලැබීම අතිදුර්ලභය. සත්වයන්ගේ මහගෙදර ලෙසින් හඳුන්වන ඔබත් මාත් ඇතුළුව සෑම සත්වයකුම මේ සංසාරයේ වැඩිම කාලයක් ගත කරන සතර අපායන් කෙබදු දැයි සුළු අවබෝධයක් බුද්ධ දේශනාවට අනුව දැන ගනිමු.
    සර්වඥතා ඥාණයෙන් යුත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පවා දේශනා කළේ
    ," මහණෙනි මේ අපායන්හි සත්වයන් විඳිනා දුක මට උපමාවකින් වත් විස්තර කළ නොහැකිය" ලෙසිනි. අප මහා වීරයන් සේ අද අපා දුක් සුළුවෙන් සැලකුවද බුදු රජාණන් වහන්සේ දේශනා කළේ,
    " නුඹලා අතීත සංසාරයේ සතර අපායන්හි පැසෙමින් විඳින ලද දුක දන්නේ නම්, හිස ගිනි ගත්තද ඒ ගින්න නොනිවා චතුරාර්‍ය සත්‍ය අවබෝධ කොටගෙන මේ සසරින් එතෙර වීමට උත්සාහ දරණ බවයි."
    මේ සංසාරය කෙතරම් දීර්ඝද කියා දක්වනවා නම්, පහත කරුණු හදවතින් විමසමින් කියවන්න.
    දිනක් සෘධියෙන් අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වයේ කෙළවර සොයනු රිසි තමන් වහන්සේගේ සෘධි ශක්තියෙන් මේ විශ්වය වටා සංචාරය කළ සේක. දින හතක් පුරා ගමන් කළද කෙලවර දකිනු නොහැකිව හා ආපසු ඒමටද නොහැකිව, පිරිනිවන් පෑමට තීරණය කොට, බුදු පියාණන් වහන්සේගෙන් සිතින් අවසර ගත් සේක. එවිට බුදු රජාණන් වහන්සේ අකුළුවන අතක් දිග හරින තරම් වූ ඉතාමත් සුළු කාලයකින් මුගලන් මහ රහතන් වහන්සේ සිටි තැනින් ගෙන්වා ගත් සේක. සෘධියෙන් අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේගේ දින හතක සෘධි බලය බුදු රජාණන් වහන්සේගේ එක් ක්ෂණයක සෘධි බලයට කිට්ටු කිරීමටවත් නොහැක.
    තවද එක්තරා වෙනත් දෘෂ්ටියක එලබ සිටි පුද්ගලයෙක් බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ තමන් සමාදන් වී රකින සීලය අතීතයේ සමාදන් වී සුගතියක් කරා ගිය අය සිටින්නේද යැයි විමසා සිටියේය. බුදු පියාණන් වහන්සේ ඉහළට ගත් හුස්ම පහළට ගන්නට පෙර කල්ප අනූවක කාලයක් පුරා එම සීලය සමාදන් වූ සියලු මිනිසුන් සිසාරා බලා එකම එක පුද්ගලයෙක් පමණක් කල්ප අනූවකට පෙර සුගතිගාමී වූ බවත්, ඔහුද එසේ සුගතිගාමී වූයේ ඒ සීලය සමාදන් වීම නිසා නොව කර්මය හා කර්මඵලය ඇදහූ නිසා බව දේශනා කළ සේක. කල්පය යනුද අපේ අවබෝධයට හසු නොවන තරම් අති දීර්ඝ වූ කාලයකි. එවැනි කල්ප අනූවක කාලයක් තුළ ඉපිද මිය ගිය සියළු සත්වයන් ක්ෂණයක තරම් කාලයකදී පිරික්සීමට තරම් අති ජවන ප්‍රඥාවකින් උන් වහන්සේ යුතු වූ සේක.
    බුදු රජාණන් වහන්සේගේ සෘධි බලය හා සර්වඥතා ඥාණය ගෙන හැර දැක්වීමට උපමාවකින් පවා නොහැකිය. අපට අපේ සිතේ ඇතිවන එක සිතිවිල්ලක් ඒ මොහොතේ නුවණින් දැකීමට කෙතරම් අපහසුද. අවුරුදු ගණන් සමාධිය වඩමින් භාවනා කළඳ එය අසීරුය. නමුත් බුදු රජාණන් වහන්සේට ඒ එක් සිතක් ඉපිද පැවති නැසෙන ආයු කාලය වන චිත්තක්ෂණය පවා කිසිඳු අපහසුවකින් තොරව දැකිය හැක. එය අසුරු ගසන කාලයකින්, ඇසිපිය හෙලන කාලයකින් කෝටි ලක්ෂයකින් පංගුවක් පමණ කාලයකි. එසේම මේ සත්වයා නිර්මිත පඨවි, ආපෝ , තේජෝ, වායෝ ආදී සතර මහා භූත ලෙසින් හඳුන්වන ධාතුන් උන් වහන්සේට පියවි ඇසට පෙනෙන්නා මෙන් දැකිය හැක. උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ලියා නිම කළ නොහැක. එසේම එය අපේ නුවණැසට ගෝචරද නැත. එසේ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට එකම සත්වයකුගේ සසර ගමන විමසා ආපස්සට බැලීමේදී, බුද්ධ ජීවිතය නිමා වූවද ඔහුගේ සසරේ ආරම්භය බලා නිම කළ නොහැක. ක්ෂණයකදී කල්ප අනූවක් ආපස්සට බැලිය හැකි නම් බුද්ධ ජීවීත කාලය තුළ බැලිය හැකි කල්ප ගණන කොතෙක් නම් වනු ඇත්ද? එනමුදු ආරම්භය නොපෙනේ නම් එය කෙතරම් නම් දීර්ඝ වනු ඇත්ද ?
    ගෙවා පැමිණි සංසාරයේ දීර්ඝ බව අප විසින් නැවත නැවත මෙනෙහි කළ යුතුමය. ගෙවා පැමිණි ප්‍රමාණයටත් වඩා නිවන් දක්නා තෙක් සසරේ ගමන් කළ යුතුය. එහි සීමාවක් නැත.
    මේ ගෙවා පැමිණි සංසාරය තුළ අප වැඩිපුරම සිටියේ සතර අපායන්හිමය. ඇට කටු වලින් දුම් විහිදෙන තරම් දැඩි ගින්නවල් වලින් පිළිස්සී යද්දී, පිපාසාවෙන් කෑ ගසද්දී කටට ලෝ දිය වැක්කෙරෙන, නහර වැල් දැවී යන, මස් දැවී යන තරම් ඉවසිය නොහැකි දරුණු වධ වේදනා විඳින්නට සිදුවන අපා දුක අප මේ විස්තර කරන්නේ බුදු පියාණන්ම විස්තර කළ ආකාරයටය. කවුරු අවිශ්වාස කළඳ අපට බුදු රජාණන් වහන්සේ අවිශ්වාස කළ නොහැක. උන් වහන්සේ කිසිවකු තුළ අනිසි බියක් ඇති කරන්නේ නැත. ඒ තරම්ම කාරුණිකය. මහා කාරුණාවෙන් යුක්තය. පාලි පාඨ මෙහි නොදැක්වූවද ත්‍රිපිඨකය විමර්ශනය කරනා ඕනෑම කෙනෙකුට බුද්ධ වචනයෙන්ම මේ අපා දුක් දැන ගත හැකිය.
    "මහණෙනි නුඹලා අතීත සංසාරයේදී හරකෙකු වී ඉපිද බෙල්ල කපා මැරෙද්දී පමණක් ගලා ගිය රුධිර ප්‍රමාණය මහා සාගර ජලයට වඩා වැඩියි.."
    "එකම මවක් වෙනුවෙන් සංසාරය පුරා හැඩූ කඳුළු මහා සාගරය පරදවයි.."
    අප අතීතයේ වූයේ හරකකු පමණක් නොවේ. හරකෙක් වූවද මැරුණේ බෙල්ල කැපීමෙන් පමණක් නොවෙ.. මේ කුලකය කෙතරම් සීමිතද.. එක් වරක් බෙල්ල කැපී මිය යද්දී ගලා යන ලේ ප්‍රමාණය බාල්දියක් තරම් වේ යැයි සිතමු. එසේ නම් මහ සාගර ජලය ප්‍රමාණ කරන්නට කී වරක් නම් බෙල්ල කැපී මිය යා යුතුද.. මේ උදාහරණ බුදු පියාණන්ම දේශනා කරන ඒවා බැවින්, අප විසින් ඒවා සුළුවෙන් සැලකීම කිසිසේත්ම නොකළ යුතුය. ඒ එකම උපමාවක් පමණක් නුවණින් විමසා නිතර මෙනෙහි කරන්නේ නම් ඔබට සංසාරය ගැන කළකිරීමට එයම වුවද ප්‍රමාණවත්ය..
    එසේ වූ සංසාරයේ අප විසින් අවීචී ආදී අපායන්හි විඳි දුක් අද අපට මුළුමනින්ම අමතකය..
    අපි ඒවා මෙසේ නැවත මතක් කර ගනිමු.. මන්ද යත් සිත තුළ මේ සසර කෙරෙහි මුල් බැස ඇති ආශාව ක්‍රමයෙන් , නිබ්බිදාවක් බවට පත් කරවා ගැනීමටය.. ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමටය. අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ "බෞද්ධයාගේ අත්පොත " ග්‍රන්ථයෙන් උපුටා ගන්න ලද සතර අපායන්හි ඉතාමත්ම කෙටි හැඳින්වීම විමර්ශනශීලී මනසින් කියවන්න.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    3,506
    7,811
    113
    Colombo
    1. නරකය
    සඤ්ජීව නරකය, කාල සූත්‍ර‍ නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍ර‍තාප නරකය, අවීචි මහා නරකය යි මහා නරක අටකි. ඒවා සතරැස් ය. එක් මහා නරකයක එක් පසකින් සතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයෝ ද වෙති. එක් මහා නරකයක් හාත්පස ඇති කුඩා නරක සොළොසෙකි.
    සඤ්ජීව නරකය:
    යමපලුන් විසින් එහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩ කොට කපද්දීත් ඒ සත්ත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් ඒ නරකය සඤ්ජීව නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝ ද, දුබලයන් පෙලූ රජවරු හා නිලධාරීහු ද, දිළින්දන් පෙලූ පොහොසතුන් හා මැරයෝ ද, සතුන් මරන්නෝ ද සඤ්ජීවයෙහි උපදිති.
    කාලසූත්‍ර‍ නරකය
    උපන් සත්ත්වයන් ගිනියම් වූ යපොළොවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලසූත්‍ර‍ නරකය ය. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළාහු එහි පැසෙති.
    සඞ්ඝාත නරකය
    මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චල ව සිටිති. එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින්් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙති. ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසුණු වෙති. ඇත් අස් ගවාදී සතුන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.
    රෞරව නරකය
    මේ නරකයෙහි සත්ත්වයන්ගේ සිරුරු තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙක ම දවනු ලැබීමෙන් හඬන නිරි සතුන්ගේ හඬ නිරතුරු ව එහි ඇසෙන බැවින් එයට රෞරව නරකය යි කියනු ලැබේ.
    මහා රෞරව නරකය
    අතිශයින් රෞද්‍ර‍ වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඬ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යි කියනු ලැබේ. තුනුරුවන් අයත් වූ ද මාපියන් අයත් වූ ද වස්තුව පැහැර ගත්තෝ ද විනාශ කළෝ ද එහි උපදිති.
    තාප නරකය
    මේ නරකයෙහි යමපලුන් විසින් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා තබනු ලැබූ සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් වෙසෙති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන්ගේ ගෙවල් ගිනි තැබූවෝ ද එහි උපදිති.
    ප්‍ර‍තාප නරකය
    මෙහි ද තාප නරකයෙහි නිරිසතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්ත්වයෝ පැසෙති. මහා තාපන යනු ද මේ නරකයට නමෙකි. මරණින් මතු ඉපදීමක් නැත යයි මිථ්‍යාදෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.
    මහා අවීචි නරකය
    මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනික් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන් පත දක්වා නගින්නේ ය. උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා බස්නේය. සත්ත්වයෝ නිතර ම සදිසාවෙන් එන ඒ ගිනි දැල්වලින් වෙළී දැවෙන්නෝ ය. අතරක් නැති ව එහි සත්ත්වයෝ ද වෙසෙති. ගිනි දැල්වලින් හා දුක්වලින් ද සත්ත්වයන්ගේ ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචි නම් වේ.
    පඤ්චානන්තර්‍ය්‍ය කර්ම කළෝ ද බෝසතුන් නැසුවෝ ද ගුණවතුන් නැසුවෝ ද චෛත්‍ය බින්දෝ ද පිළිම බින්දෝ ද බෝරුක් නැසුවෝ ද රත්නත්‍ර‍ය අයත් වස්තුව පැහැර ගතුවෝ ද මිත්‍ර‍ ද්‍රෝහීහු ද භාර්යාවන්ට අපරාධ කළෝ ද බොරු කීවෝ ද සුරාපානය කළෝ ද මිසදිටු ගතුවෝ ද එහි උපදිති.
    කුඩා නරකයෝ
    ගූථ නරකය, කුක්කුල නරකය, අසිපත්‍ර‍ වන නරකය, සිම්බලීවන නරකය යි කුඩා නරක සතර වර්ගයක් ඇත්තේ ය. ගූථ නරකය, යනු කැකෑරුණු අසුචියෙන් පිරුණු, එහි පතිත වූ නිරිසතුන්ගේ ශරීර ඇට මිදුළු දක්වා විදින හුන ගස්, පොල් ගස්, තල් ගස් පමණ මහත් වූ පණුවන් ගැවසී ගත් තැනෙකි. කුක්කුල නරකය යනු යටින් ගිනි අඟුරු ඇති අලුයෙන් පිරුණු තැනකි. අසිපත්‍ර‍ වන නරකය යනු කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් හා දැලිපිහියා මෙන් කැපෙන කොළ ඇති තණ ද ඇති නරකයෙකි. සිම්බලීවන නරකය යනු දොළොස් අඟුල් කටුවින් ගැවසුණු ඉඹුල් වනයක් ඇති තැනකි. තවත් නොයෙක් ආකාර නරකයන් ඇති බව ද දක්වා තිබේ.
    ලෝකාන්තරික නරකය
    ලෝකාන්තරික නරකය යනු මහත් වූ ශීත නරකයෙකි. එය හැම කල්හි ම ගනඳුරින් වැසී තිබේ. එහි පත්ලෙහි අතිශයින් ශීතල ජලය ඇත්තේ ය. නිරිසත්තු වවුලන් සේ පර්වතවල එල්ලී ඔබමොබ යති. ඔවුහු තවත් සත්ත්වයකු දුටු කල්හි ආහාරයකැ යි සිතා අල්ලා ගැනීමට තැත් කෙරෙති. එයින් දෙදෙනාම පර්වතයෙන් ගිලිහී දියට වැටෙති. එහිදී හුණු තෙල්හි ලූ පිටි බැදෙන්නක් මෙන් ඔවුන්ගේ ශරීරයෝ පුපුර පුපුරා ශීතලයෙන් බැදෙති.
    2. තිරිසන් අපාය
    මිනිස් ඇසට නො පෙනෙන තරම් ඉතා කුඩා සත්ත්වයාගේ පටන් යොදුන් ගණනක් ඇති සත්ත්වයන් දක්වා සිටින, පා නැත්තා වූ ද, දෙපා ඇත්තා වූ ද, සිව් පා ඇත්තා වූ ද, බොහෝ පා ඇත්තා වූ ද නොයෙක් සටහන් නොයෙක් ආකාර ඇත්තා වූ ද තිරිසන් සත්ත්ව සමූහය ම තිරිසන් අපාය ය. නරකය මෙන් ඔවුන්ට වෙන් වූ තැනක් නැත. ඔවුහු උපනුපන් ඒ ඒ තැන්වල ම ඔවුනොවුන් කා ගනිමින් කිසි පිළිසරණක් නැති ව නිරතුරු බියෙන් ත්‍ර‍ස්ත ව ජීවත් වෙති.
    3. ප්‍රේත අපාය
    මිනිසුන්ගේ ප්‍ර‍කෘති ඇසින් නො දැකිය හැකි ධාතු වර්ගයකින් නිර්මිත වූ නොයෙක් ප්‍ර‍මාණ ඇත්තා වූ නොයෙක් සටහන් ඇත්තා වූ ද නොයෙක් ආකාර දුක් ඇත්තා වූ ද සත්ත්ව කොට්ඨාසයට ප්‍රේතාපාය යයි කියනු ලැබේ. ඔවුනට ද භූමියක් වශයෙන් නියම තැනක් නැත. ප්‍රේතයෝ බොහෝ සෙයින් අතිශයින් කෘශ වූ ඇට නහර මතු වී ඇති බඩේ සම පිට කටුවේ ඇලී ඇත්තා වූ දුටුවන්ට අප්‍රිය වූ ශරීර ඇත්තෝ ය. සාගින්න නිවෙන පමණට ආහාර ද පිපාසාව සන්සිඳෙන පමණට පැන් ද ඔවුහු නො ලබති. එහෙත් අකුශල බලයෙන් ඔවුහු බොහෝ කල් ජීවත් වෙති. ඔවුන් ගෙන් ඇතැමෙක් කවදාවත් ආහාර පාන නො ලබති. ඇතැම්හු මිනිසුන්ගේ සෙම් සොටු ආහාර කොට ගනිති. ඇතැම්හු මිනිසුන්ගේ හා තිරිසනුන්ගේ අසූචි ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු මළකුණු ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු මිනිසුන් ඉවත ලන බත්හුලු ආදිය ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු තමන්ගේ ශරීරය ම සූරා කන්නෝ ය. ඇතැම්හු ඔවුනොවන්ගේ වන පිලිකාවලින් ගලන ලේ සැරව ආහාර වශයෙන් ගන්නෝ ය. මෙසේ ප්‍රේතයෝ නින්දිත ආහාර ඇත්තෝ ය. ඔවුන්ගෙන් ඇතැමෙක් සැප දුක් දෙක මාරුවෙන් මාරුවට ලබන්නෝ ය.
    4. අසුරාපාය
    අසුර යන නාමයෙන් දේව ගණයට අයත් කොටසක් ද ඇත්තේ ය. බෞද්ධ පොත්වල චේපචිත්ති අසුර, පහාරාද අසුර යනාදි නම් වලින් දැක්වෙන්නෝ දේව ගණයට අයත් අසුරයෝ ය. ඔවුහු දෙවියන් මෙන් ම සැප ඇත්තෝ ය. අසුර යන නාමය ව්‍යවහාර කරන ප්‍රේතයන් වැනි දුඃඛිත සත්ත්ව කොට්ඨාසයක් ද ඇත්තේ ය. අසුරාපාය යනු ඒ සත්ත්ව සමූහය ම ය. ඔවුහු ද ප්‍රේතයන් මෙන් ම නොයෙක් ආකාර ශරීර ඇත්තෝ ය.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    3,506
    7,811
    113
    Colombo
    පාලනය කරන්න පුළුවන් සමහර ඒවා ස්වභාවික මරණය කල්පනාවෙන් හිටියොත් ඉක්මනට වෙන්නේ නෑ
    පාලනය කරන්න පුලුවන් ඈති, කාටවත්න වත්වන්නට බෑහ

    ------ Post added on Nov 3, 2022 at 6:06 AM