තරිඳු සංකල්ප හා යසිත රුක්ෂාන් ගේ ගී පද රචනයෙන් ද අන්ජිත කුරුප්පු හා විමුක්ති දිල්ශාන්ගේ ගී තනුවෙන් ද නිර්මාණය වුණ “කල්හාර මල්” ගීතය ගායනා කරන්නේ අන්ජිත කුරුප්පු විසින්.
ගීතය තුළ අපට ප්‍රේමවන්තයෙක් හමුවෙනවා. මිනිස් පැවැත්ම ගැන, ආදරය ගැන ලබා ගත් කිසියම් ගැඹුරු අවබෝධයක් ඒ හඬේ ගැබ්වී තියනවා.
ප්‍රේමයේ මාවතේ ඇවිදගෙන යන ප්‍රේමවන්තයා දකිනවා ගංඟාවක්. ගං ඉවුරේ තැනින් තැන පිපිලා තියන පුංචි පුංචි කල්හාර මල් ඔහු දකිනවා. ගං ඉවුරෙ තැනක වාඩි වෙන ප්‍රේමවන්තයා සම්පූර්ණයෙන් ම ඒ මොහොතෙදි ගංඟාව බවට පත් වෙනවා. ප්‍රබල රූපකයන් විදිහට කවියා ගංඟාව හා කල්හාර මල් යොදා ගන්නවා.
නිල් දිය ගංදොළ ගාව වගේ
කල්හාර මල් පාට නැතේ
හමුවූවන් මතකයේ ඇඳේ
මිනිස් ජීවිතය ගැන සත්‍ය අවබෝධය කියා දෙන්නේ ගංඟාව. ප්‍රේමවන්තයා මේ මොහොත වෙනකල් තමන් දන්නවා කියලා හිතාගෙන හිටපු හැමදේම නොදන්නා බව අවබෝධ කර ගන්නේ ගංඟාව තුළින්. “මං මොනවත් දන්නේ නැතේ” කියලා ඔහු කියන්නේ ඒ නිසාමයි.
ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
කල්හාර මල් පාට නැතේ
මං මොනවත් දන්නෙ නැතේ
නිල් පාටට පෙනුනත් ගඟේ නිල් පාට තියෙන්නේ කොහේ ද? ජීවිතයේ වර්ණය අවර්ණයම නේද කියන සත්‍යය කල්හාර මල් ඔහුට පසක් කර දෙනවා. ඉපදීම හා මියයාම එක්ක බැඳුණු ජීවිතයේ ගලායන ස්වභාවය ගංඟාව කියා දෙනවා නිහඬවම ඔහුට. මේ හැම දෙයක් එක්ක ම ඔහුගේ මතකයට එන්නේ තමන්ගේ ප්‍රේමයේ ආදරණීය මතකයන්. ඈ දුටුව පළමු දිනය. ප්‍රේමයේ අනන්ත අපරිමාණ සොඳුරු නිමේෂයන්. ඇය හා ජීවිතය ජීවත් කරවූ කාලය. ඒ සියල්ල ඔහුගේ මතකයට ගලාගෙන එනවා. නමුත් දැන් සියල්ල පරවෙලා ගිහිල්ලා.
සුළඟින් වගේ හමුවෙලා
සුසුමක් වගේ ගළපලා
පොරොන්දු පිණි වුණා
නටු අගීස්සෙ හිඳ මියැදුණා
ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
මිනිස්සු කියන්නෙම වෙනස් බව. වෙනස් බව ම තමයි සුන්දරත්වය. නමුත් අයිතිකාරීත්වයේ ප්‍රේමය ගොඩනැගෙන්නේ තමන්ගේ කැමැත්ත බවට බාහිර අනෙකා පත් කර ගැනීම ඔස්සේ යි. අයිතිකාරීත්වයේ ප්‍රේමය කියන්නෙම ආත්මාර්ථකාමී යමක් කියලා කියන්නෙ ඒ නිසාම යි. මිනිස්සු හරියට සුළඟ වගෙයි. එන තැනක් ඇත්තෙත් නෑ. අවසානයට යන තැනක් ඇත්තෙත් නෑ. ඒ නිසාම කොහොම නම් අල්ලගෙන තමන්ගේ වසඟයේ තියා ගන්න ද? මේ ආදරණීයම දේවල්. හැබැයි ඉතින් මින්ස්සු ප්‍රේමයේ මාවතේ මේ සුළඟ අල්ලන්න දවල් රෑ නැතුව මහන්සි වෙනවා.
අහම්බෙන් වගේ හමුවෙලා
ගැළපිලා වගේම ගළපලා
පොරොන්දූ පොරොන්දම්
ඈ සුළඟක් කියා ඇතේ
ඈ සුළඟක් පෙම කියා ඇතේ
හමාගෙන යන සුළඟ අල්ලගන්න මිනිස්සු කොච්චර නම් උත්සහ ගන්නව ද? ජීවිතේ පැවැත්ම කියලා කියන්නෙම මේ හුළඟ අල්ලන්න ගන්න උත්හසය. හැබැයි ප්‍රේමවන්තයා අවබෝධ කර ගන්නවා මේ සුළගේ සත්‍යය. ඇයත් සුළඟක් ම බව. ඒ තුළින් ම තමනුත් සුළඟක් ම කියන කාරණයත්. ඇය සුළඟක් බව ඇය පැවසූ ආකාරය ඔහු මෙනෙහි කරනවා.
මිනිස් පැවැත්මේ ස්වභාවය විෂය කරගත්ත “කල්හාර මල්” ගීතය රසික හදවත තුළ කරුණ රසය ඇති කරනවා. පැවැත්මේ නියම ස්වභාවය අවබෝධකර ගැනීම කොයි තරම් නම් හදවතට කම්පනයක් ගේනවා ඇති ද? වේදනාකාරී ඇති ද? කවියාගේ පද රචනාව ඒ තරම් ම ප්‍රබල යමක්. සංගීත රචනාවත්, ගායනයත් රසිකයාගේ හදවතේ කරුණ රසය ඇති කරන්නට සමත් වෙනවා. ඒ ඔස්සේ රමණීය වූ නිර්මාණ කාර්යයක් බවට “කල්හාර මල්” ගීතය පත් වෙනවා.