යානි එන්නේ මෙබඳු ලංකාවකටය

obama2

Member
Apr 18, 2012
424
30
0
යානි එන්නේ මෙබඳු ලංකාවකටය

යානි එන්නේ මෙබඳු ලංකාවකටය

Posted: 5:50 pm, April 28, 2014
ad50363b9b3c0e7cd5049a5778e00aff_XL.jpg



බොහෝ කලක් යානී මහතා තම අනෙකා වන අප්‍රිකා, ලතින් ඇමරිකා සහ ආසියානු අනෙකාගෙන් සංගීත මූලාශ්‍ර උපුටා ගත්තේය. එහිදී ඔහුට හමු වූයේ ස්වර රටා පමණි. ලංකාවට පැමිණි පසු ඔහුට මෙම ස්වර රටා නිර්මාණය කළ මිනිසාද හමුවිය. පහත පල වන්නේ අජිත් ගලප්පත්ති විසින් යානී ගැන ලියන ලද රචනාවකි.
කේමදාස මිය ගොසිනි.ජෝතිපාලද මිය ගොසිනි.එසේම සරත් දසනායක ද ජීවතුන් අතර නැත.මේ තිදෙනාම මෙරට සංගීත සංස්කෘතියෙහි බල කණුය.අමරදේවයන් දැන් වියපත්ය.රූකාන්තට රට හැර යන්න සිදුවිය. අවසානයේ නන්දා මාලනී වික්ටර් රත්නායක ද කැටුව සිරස වේදිකාවට ගොඩවූවාය.විශාරද එඩ්වඩ් ජයකොඩි ජැක්සන් ද සමග රණවිරු රියල් ස්ටාර් වේදිකාවේය.විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සමිතා ද සමග සුපර් ස්ටාර් වේදිකාවේය.විශාරද රශ්මි සංගීතාල කීර්ති පැස්කුවල් සමග ලිට්ල් ස්ටාර් වේදිකාවේය.දිවුල්ගනේ නිදහස් කලා සන්ධානය නමින් තැනුණු දේශපාලන වේදිකාවට සහ එතැනින් දේශපාලනයට ද ගොඩවූයෝය.රෝහණ වීරසිංහ ශ්‍රී ලංකාවේ සංගීතය පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකි.

යානි එන්නේ මෙබඳු ලංකාවකටය. එදා ‘පවන’, ‘ජෝති රාත්‍රිය’ වැනි ප්‍රසංග නැරඹීමට පෙළ ගැසුණු ශ්‍රී ලාංකික ගීත ශ්‍රාවකයන් ද ග්‍රීසියේ උපන් යානිව සොයා යනු පිණිස මෙතරම් මිලැති ප්‍රවේශපත් ගන්නේ ඇයි?කේමදාසලා සහ ජෝතිපාලලා නොමැති ලංකාවේ වත්මන් සංගීත වේදිකාව මෙලෙස දුප්පත් වී ඇති නිසාය. යානි මෙහි එන්නේ මාර වෙලාවකැයි අප සිතන්නේ එහෙයිනි. සංගිතයේ මෙම මාර වෙලාව අවධාරණය කරනු පිණිස මෙහි පැමිණෙන යානි යනු හුදු සංගීතඥයකුම නොවේ යැයි අප සිත්නනේ හේතු යුක්තවය. මෙහි මාර යනු විශිෂ්ට හා අනර්ඝ යන අරුතෙන්ද මරණීය සහ විනාශකාරී යන අරුතෙන්ද ගත හැක.


යානි නොහොත් යානිස් ක්‍රිසොමලිස් ශ්‍රී ලාංකික කලා ලැදි අපට වඩාත් සමීප වන්නට හේතු ගණනාවක්ද ඇත. යානිගේ සංගීත විලාසය තුළ දැකිය හැකි ‍පොදු ලක්ෂණය ලාංකික ජන විඥානයත් සමග ඉතා සමීපය. එනම් ඔහුගේ සංගීතය තුළ ඇත්තේ එකිනෙක නොපෑහෙන අන්ත හිතුවක්කාරී ලෙස ඒකරාශී කිරීමෙන් නැගෙන එකඟත්වයකි. විවිධත්වය තුළින් නැගෙන එකඟත්වය යනු සංගීතය, කලා සහ දේශපාලනය ද අභිබවා ගොස් ජනවිඥානය සමග සම්බන්ධ වූවකි. විවිධත්වය සමග බැඳීල පීඩාවට පත්ව සිටින අපි නිරන්තරවම ඒකත්වයක්ඉල්ලා සිටිමු. යානිගේ සංගීතය තුළ පවත්නා මෙම මූලික පදනම යනු පෙරදිග අප චින්තනයේ අපේක්ෂාවයි. හිඩැසයි. ග්‍රීසියේ සිට ලෝකය හරහා සංචාරය කරන අතරතුර ඔහු ලංකාවට ගොඩ බසිනුයේ මෙබඳු වූ පීඩිත හා නොස්ටැල්ජික අපව පිනවීමටය. ලංකාව යනු නොපෑහෙන අන්තවල එකතුවකි.


යානි මෙතරම් අපට සමීප තවත් හේතුවක් ඇත. ශ්‍රී ලංකාව එහි කලාව සහ දේශපාලනයද වර්තමානයේ තීන්දු වී ඇත්තේ අනෙකකුගේ ගතිගුණ සහ අවස්ථාවන් තමා වෙත කෙසේ හෝ ආරෝපණය කර ගැනීමේ මායාවෙනි. යානිගේ ඉමහත් සංගීතය කැබලි කොට සොරකම් කිරීමෙන් තැනූ මෙරට ශ්‍රව්‍ය දෘෂ්‍ය වැඩසටහන්, දැන්වීම් ආදිය එමට ඇත. යානිගේ සංගීත නිර්මාණ ඇසුරු කිරීමේදී එම වංචනික උපුටාගැනීම් අපට හමුවෙයි. අප ඒවා සොරකම් කළේ අප ඒවාට එතරම්ම ආශා කළ නිසාය. එසේම අපට එතරම්මිනොහැකි’ නිසාය.නොහැකියාවත්, ආශාවත් නිසා අපි යානිගේ වස්තුව සොරකම් කළෙමු. මන්දයත් අපි දුප්පත් නිසාය. යානි ලංකාවට පැමිණීම යනු ධනවතකු සහ බලවතකු පීඩිත දුප්පතුන් බැහැදැකීමට යාමක් වැනි දේශපාලනික කාරණයකි. යානි මෙහි පැමිණ අපට වින්දනය පමණක් නොව අවබෝධය ද දී ආපසු සිය රට බලා යනු ඇත. අප මෙම ප්‍රසංගය ඔස්සේ අවබෝධ කරගත යුත්තේ කුමක්ද?


වර්තමානයේ අපට කේමදාස කෙනෙකු නැති බවය. ජෝතිපාල කෙනෙකු නැති බවය. අනුන්ගේ ගී ගයන සුපිරි තරු අහස් යානාවලින් ගෙන්වා රතු පළස් මතින් කැඳවා ඉහළක ඔසවා තබන මෙරට වෙළෙඳ නාලිකා යළි වික්ටර් නන්දා දෙසටම හැරෙති. යථාර්ථය අප වටහා ගත යුතුය. මර බියෙන් විදේශගත වූ රූකාන්තගෙන් හිස් වූ තැනට ආ තරුණ ගායක රැල්ල මරු විකල්ලෙන් කෑගසන හඬ නූතන සංගීතය බවට පත්වීමේ ඛිෙදවාචකය අප දැකිය යුතුය. යානි අපට අනුබල සපයනුයේ එවැන්නකටය. යානි මහා බලගතු සංගීතඥයකු වනුයේ අප රටඒ තරමටම කුඩා වී ඇති නිසාය.


ජාතීන් අතර සමානාත්මතාවක් ගැන, ආගමික සංහිඳියාවක් ගැන කාලාන්තරයක් තිස්සේ කතා කරමින් සිටින අපට යානි අවබෝධ කරවන තවත් යථාර්ථයක් ඇත. තමා අයත් කණ්ඩායම ක්‍රියාකරන අන්දම පමණක් නිවැරදි යැයි සිතන ප්‍රවනතාවක් අප රට තුළ සෑම කලකම,සෑම ක්‍ෂේත්‍රයකම බලපැවැත්විණි. දේශපාලනය තුළද, කලාව තුළද මෙම මොනොමේනියාව බලවත්ය. අමරදේවත් ජෝතිපාලත් දෙපසට වෙන් කෙරුණේ මෙම තාප්පයෙනි. කේමදාසත් සරත් දසනායකත් දෙපසට හැරුණේ මෙම ඒකාධිකාරය බිඳ හෙළන්නට නොහැකිවය. වර්තමානයේ නළු නිළි හා පූජ්‍යපක්ෂය දේශපාලන පක්ෂ අභිබවා දේශපාලනය කරනුයේ මෙම තත්ත්වය තුළය. ශ්‍රී ලංකාවේ සංගීත සංස්කෘතිය අඩපණ කළ මෙම රෝගයට යානි යෝජනා කරන පිළියමක් ඇත.


යානිගේ සංගීතයෙහි පදනමම වන්නේ විවිධත්වයයි. යානිගේ සංගීත නිර්මාණ සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් වාදන හා ගායන ශිල්පීන් විවිධාකාර ලෙස ඒකරාශී කරනු දක්නට ලැබේ. බොහෝ විට යානි තම වාද්‍ය වෘන්දය තුළ මෙහෙයවන්නකු හෝ බලයලත් නායකයකු නොවී හුදු විඳින්නෙකු බවට පත්වී අනෙකාගේ මැවීමටම ඉඩදෙයි. අනෙකාට ඉඩදී පසෙකට වීල නිහඬව තමා නොවන අන් අයකුගේ විස්මිත හැකියාව දෙස සිත පිනා යන භක්තියෙන් බලා සිටින්නා සැබෑ නිර්මාණකරුවෙකි. සැබෑ මිනිසෙකි. තමාගේ වටිනාකම් ගැන වුවමනාවටත් වඩා සිතන දුක්ඛිත මිනිසකුට එවන් නිර්මාණකරුවකු විය නොහැකිය. යානි පහදන එම දහම අතිශය වැදගත්ය. ඔහුගේ සංගීත නිමැවුම් තුළ කේමදාසත්, හර්ෂ මාකලන්ද සහ සරත් දසනායකත් ජෝතිපාල, අමරදේව සහ රූකාන්තත් විටෙක ලයනල් රන්වල හා

ලක්ෂ්මන් ජෝශප් ද සේරම් වැන්නකුත් සංයෝජනය වී තිබෙනුයේ ඒකමිතිය හා ඒකත්වය අභිබවා යමිනි. කේමදාස, අමරදේව, ජෝතිපාල, රූකාන්ත යන එකිනෙක පරස්පර අන්ත යානිගේ වෘන්ද වාදන තුළ සංයෝජනය කෙරෙනුයේ සංඝට්ටනයක් ඇති වන පරිදිය. යානිගේ සංගීත නිමැවුම් විග්‍රහ කිරීමේ ආරම්භක ස්ථානය මෙම ගැටුම විය යුතුය. යානිගේ සංගීතය න්‍යායක් බවට පත්වන්නේ මෙම ඝට්ටනය නිසාය. මෙම ඝට්ටනයයනු අනෙකාව විනාශ කිරීම නොව ජීවත් කරවීමය.


යානිගේ ප්‍රසංග විඳින කල්හි අපට කේමදාසයන් කළ විප්ලව සිහිපත් වෙයි. එකම වෙනස වන්නේ යානි ලෝකය වෙත විවෘත වන තරමටම කේමදාස මෙම දූපතට සීමාවීමය. යානිගේ නිර්මාණ සඳහා බොහෝ විට සම්භාව්‍ය සංගීතඥයන්ගේ සංගීතාභාෂය ලැබි තිබේ. රිද්ම වේගය සංවිධානය ස්වර මධුර බව සහ ස්වර සුසංගතව එකට බැඳීමආදී කාරණා යානිගේ සංගීතාංග තුළ විමසන විට ඔහු මෝසාර්ට්ගෙන් ආභාෂය ලබන බව හැඟෙයි. ජෝතිපාල හෝ ඇන්ජලින්ගේ ගීත පුනරුච්චාරණය කරන සුපිරි තරු සහ ඔවුන්ව උඩ දමන විශාරද අවස්ථාවාදීන්ගෙන් යැපෙන වෙළෙඳ මාධ්‍ය සංස්කෘතියකට කේමදාසලා ජීවත් කරවීම වැදගත් නැත. යානිලා එන්නේ එම හිඩැසටය. එදා නන්දා මාලනීි ‘පවන’ ගීතාවලියෙන් හඬ ගා කී සමාජ ඛිෙදවාචකයට සාපේක්ෂව අද සමාජය සුඛිත මුදිතද?


මෙම දෙබඩි බව යානිගේ නිර්මාණයක ඇත්තේ අන් ලෙසකටය.කේමදාසලා අහිමි දුප්පත් ලංකාවට සපැමිණෙන යානිගේ සංගීත කාර්යයන් හැඩ ගැසී ඇත්තේ පෙරදිග හා බටහිර සංගීතය යන ද්විත්වය පදනම් කොටගෙනය. එනම් සම්ප්‍රදායන් දෙකක් ඔහු එකිනෙක මුණ ගස්වයි. එම දෙබිඩි අන්ත දෙක එකිනෙක ඝට්ටනය කරවයි. යානිගේ මෙම සම්මිශ්‍රණයම කේමදාසයන්ගේ සංගීත භාෂාව තුළද තිබුණා නොවේද? යානි වෙනුවෙන් සුවිශාල මිලක් ගෙවීමට අප වැනි නොස්ටැල්ජියානු රටකට සිදුවීම අහම්බයක් නොවේ. ඛිෙදවාචකයකි. යානි තම සංගීතයේ අරමුණ මිනිසාගේ හැඟීම් ස්පර්ශ කිරීම බව පවසයිග සංකීර්ණ හා තත්කානුකූල ප්‍රකාශනයකට නොව තමා කැමති මිනිසුන්ගේ හදවතට සමීප වීමට බව ඔහු කියා ඇත. යානිගේ සංගීතය හෘදය සංවේදී ප්‍රකාශනයකි. එය අපගේ අප්‍රමාණ චිත්ත පීඩාව සමග ගැළපෙයි. ඔහුට අපගේ සිත වැටහීම ‘පුදුමයකි. විවිධත්වය තුළ නැගෙන එකඟතාවය යනු එයයි. යානිගේ කී බෝඩ් වාදනය සමග මුසුවන ආර්මේනියානු ජාතික සැමුවෙල් යෙර්වින්යන්ගේ වයලීනයෙන් නැගෙන නාදය එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් එකිනෙක යා කරයි.

සංගීතාංගයේ නාද රිද්ම රටාව සහ එහි ගැබ්වන මනෝභාව අප එකිනෙකාට දැනෙන හැඟෙන ආකාරය වෙනස් විය හැක. නමුත් ඒ තුළ ගැබ්වන ‍පොදු අර්ථය ප්‍රබලව දැනෙයි. යානිගේ ප්‍රසංගයක එම ‍පොදු අර්ථය තීව්‍ර කිරීම සඳහා පසුබිම් තිරයක නිරූපනය කෙරෙන දෘෂ්‍ය රූපාවලි අපගේ වින්දනයට පහසුවකි. රූපයත් නාදයත් භාවාත්මක නිර්මාණයක් ලෙස රසිකයාට සමීප වෙයි.

ඇතැම් නිර්මාණයක යානි ආදිවාසීන් භාවිතයට ගන්නා ඉපැරණි සංගීත භාණ්ඩයක නම නූතන වේදිකාව මත හඬ නංවයි. එහි නාදය තම නිර්මාණය හා එහි ප්‍රකාශනය ප්‍රබල කිරීමට යොදා ගනීගි ඩිඩ්ජෙරිඩු නමැති සංගීත භාණ්ඩය යොදා ගනී. එය ඇබොරිජිනියානු ආදිවාසීන් භාවිතයට ගන්නා භාණ්ඩයකි. තවත් තැනක එම ආදිවාසීන්ගේ ගායන විලාසය පවා භාවිතයට ගනී. සංගීතාංගය තුළ ගැඹුරු ප්‍රකාශනයක් හා දිගු කතන්දරයක් කීමට අවශ්‍ය සියල්ල ඔහු භාවිතයට ගන්නේ නවීනත්වය යනු සම්ප්‍රදායෙහිම දිගුවක් විය යුතු බව හඟවමිනි.


යානි උපදවන නූතන නාද රටාවන් පිටුපස ඇති අර්ථය වනුයේ, සම්ප්‍රදායට වටිනාකමක් ලැබෙනුයේ එය නවීනත්වය සමග බද්ධ කළ තරමට බවයි. එනම් අතීතයේ අතීතත්වයටත් වඩා අතීතයේ වර්තමානත්වය කලාව තුළින් නිරූපනය කළ යුතු බවයි. ඉතිහාස කතා, ජාතක කතා වැනි පැරණි රසාංග මත පටුවී සිටින නූතන ලංකාව සැබැවින්ම නවීනත්වය කරා තල්ලු කිරීමට යානි වැන්නකු පැමිණ අපට බලකර සිටී. අතීතයෙන් ලැබෙන දායාද මතම සංවේදී වීමට හෝ අවස්ථාවාදී වීමට වඩා එම සම්ප්‍රදායයන්ම වර්තමාන අවශ්‍යතා මත ප්‍රති නිර්මාණය කරගන්නේ කෙසේද යන ගැටලුවට යානි තම සංගීත ප්‍රකාශන විලාසය තුළින් පිළිතුරු දෙයි. ඒ සඳහා රසික අප මෙන්ම අප ඉදිරියෙහි ශිල්ප දක්වන කලාකරුවාද සූදානම් විය යුතුය. අවංක විය යුතුය.
මෑතකදී අතිගරු ජනාධිපතිතුමා අප රටේ කලාකරුවන් මුණගැසුණු අවස්ථාවකදී එක් ප්‍රවීණ, විශාරද ගායිකාවක සිය පරම සිහිනය ලෙස දක්වා ඇත්තේ තම දරුවාට එතුමාගෙන් හාද්දක් ලබාගැනීමය.එතුමාණෝ එම සිහිනය ඉෂ්ට කළහ.මනෝවිද්‍යා උපාධිධාරියෙකු මෙන්ම ග්‍රීසියේ පිහිනුම් ශූරයකු ද වන හැට හැවිරිදි යානි එන්නේ එබඳු වූ දූපතකටය.

















ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    උබ දැන් කියන්නෙ යානි යන්න ඕනි චීනෙටයි, කියුබාවටයි, රුසියාවටයි විතරයි කියලද?
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    යානිගේ සංගීතය විස්තර කරන්නට තරම් මා සංගීතය පිළිබඳව හැදෑරීමක් කරනොමැත. නමුත් ඔහුගේ සංගීතය රසවිඳීමට මා කැමතිය. ඔහු ලංකාවට පැමිණීම ගැන ද සතුටුවෙමි. ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුගේ සංගීතය රසවිඳි ලංකාවේ යමෙක් අනාගතයේ ඔහු වැනි ශ්‍රෙෂ්ඨයෙක්වීමට සිහින දකීයැයි සිතන නිසාය.

    ලිපිය ගැන කියනවනම් පහත සඳහන් දේනම් සිරා ඇත්තය. එය මටත් මෙහි ලිපිකරුටත් පොදු යැයි සිතමි.


    "
    තමා අයත් කණ්ඩායම ක්‍රියාකරන අන්දම පමණක් නිවැරදි යැයි සිතන ප්‍රවනතාවක් අප රට තුළ සෑම කලකම,සෑම ක්‍ෂේත්‍රයකම බලපැවැත්විණි. දේශපාලනය තුළද, කලාව තුළද මෙම මොනොමේනියාව බලවත්ය
     

    Similar threads