හමුදා කුමන්ත්‍රණ මගින් බලය ලබාගත් ජනරාල්වරු - බ්‍රිගේඩියර්වරු පමණක් නොව කර්නල්වරුද රටවල්වල පාලනය බලහත්කාරයෙන්, සිවිල් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ආරක්‌ෂක අංශ සාමාජිකයන් ඝාතනය කර පාලන බලය අල්ලා ගෙන ජනතාවට කෘරතර පාලනයන් අත්කරදී ඇත. රටවැසියන් දරිද්‍රතාවයේ අන්තයටම තල්ලුකරදමා තමනුත් තම පවුලේ සාමාජිකයනුත්, තමන්ගේ බලය පවත්වා ගෙනයැමට උදව් කරන සහචරයන්ට පමණක් වරප්‍රසාද අත්පත්කරදී ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම යටපත්කර ප්‍රජාතන්ත්‍රවාදය සහමුලින්ම විනාශ කර ඇත. හමුදා කුමන්ත්‍රණ මගින් බලය අල්ලාගත් කර්නල්වරයෙක් සමග අපේ ජනාධිපතිවරයා කරට කර අත දමාගෙන අඹයහලුවන් ලෙස පෙනී සිටින ඡායාරූප පසුගියදා දක්‌නට ලැබිණ. එමෙන්ම තවත් අසල්වැසි රටක හමුදා කුමන්ත්‍රණ මගින් බලය අල්ලාගත් හමුදා ජනරාල්වරයෙක් ශ්‍රී ලංකාවට ආරාධනා කර රතු පලස් දමා අපේ පාසල් දරුවන් මහ මග දෙපස සිටුවා ආචාර සමාචාර කිරීමත් පසුගියදා දක්‌නට ලැබිණ. කුමන්ත්‍රණ මගින් බලයට පත් හමුදා ජෙනරාල්වරුන්ට එසේ සලකන ගමන් මහජන ඡන්දයෙන් බහුතර කැමැත්ත මත බලය ලබාගැනීමට උත්සාහ දරන ජෙනරාල්වරයෙකුට වෙනත් රටක කුමන්ත්‍රණ මගින් බලයට පත්වුණ ජෙනරාල්වරු සම්බන්ධ කරමින්, ඇතැම්විට සන්සන්දනය කරමින් ඇතැමුන් සමකාලීන ඉතිහාසය විකෘති කරමින් සිටීම ජාතියේ අවාසනාවකි.
සිවිල් පුරවැසියන් අතරින් යහපත් රාජ්‍ය නායකයන් ප්‍රජාතන්ත්‍රවාදීව පත්ව ඇති අන්දමට සිවිල් පුරවැසියන් අතරින්ද ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ පාලකයන් තේරීපත්වී ඇත. ඒ අන්දමට ජනරාල්වරුන් අතරින් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලයෙන් ඉතා උසස් රාජ්‍යතාන්ත්‍රික රාජ්‍ය නායකයන් බිහිවී ඇති අතර ඒ අයගෙන් ඇතැමුන් තම තමන්ගේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත්ව ස්‌ථාපිත කරන්නටත්, ජනතාවට ඉතා උසස් ජීවන තත්ත්වයක් ලබාගැනීමට හැකි අන්දමට තම රටවල් සංවර්ධනය කරන්නටත් අතිමහත් කාර්යභාරයක් ඉටුකර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදීව වැඩිම වාර ගණනකදී යුද සෙනෙවියන් පාලකයන් බවට පත්ව ඇත්තේ ඇමරිකා එක්‌සත් ජනපදයේය. අද ලොව තිබෙන ශක්‌තිමත්ම, ආර්ථික වශයෙන් දියුණුම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අතින් කිසිදු රටකට නොදෙවෙනි රට බවට ඇමරිකා එක්‌සත් ජනපදය පත්කරන්නට ඒ රටවල බලයට පත්වූ ජනාධිපතිවරුන් සිදුකර ඇත්තේ අසමසම කාර්ය භාරයකි. වර්තමාන ඇමරිකා එක්‌සත් ජනපදයේ නැගෙනහිර කොටසේ තිබූ යටත්විජිත රාජ්‍යයන් 13 ක් එක්‌ව මහා බ්‍රිතාන්‍යයට විරුද්ධව සිදුකළ නිදහස් අරගලය ජයග්‍රහණය කිරීමත් සමග 1789 දී වර්තමාන ඇමරිකා එක්‌සත් ජනපදය ස්‌ථාපනය වූ අතර එදා සිට මේ දක්‌වා ඇමරිකා එක්‌සත් ජනපද පුරවැසියන් තමන්ගේ ඡන්දයෙන් පත්වන මැතිවරණ කොලීජියක් හරහා ජනාධිපතිවරු 44 දෙනෙක්, වර්තමාන ජනාධිපති බරක් ඔබාමාද ඇතුළුව තෝරාපත්කරගෙන ඇත. එම 44 දෙනා අතරින් 12 දෙනෙක්‌ම යුද්ධ සෙනෙවියන් ලෙස සේවය කර අත්දැකීම් ලබාගත් අය වන අතර එම ජෙනරාල්වරු ජනාධිපති ධුරයට පත්වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත තම පාලනයන් ගෙනගිය ජනාධිපතිවරු වුණා මිස ව්‍යවස්‌ථාව අභිබවා යමින් ඒකාධිපති හමුදා පලනයක් බවට පත්වූයේ නැත. ජෙනරාල්වරු පාලකයන් බවට පත්වීමේ ගෝනි බිල්ලෙක් මවා පාන්නට උත්සාහ ගන්නා දේශපාලනඥයන් ඇමරිකා එක්‌සත් ජනපදයේ අවුරුදු 220 ක කෙටි ඉතිහාසයවත් හඳුනන්නේ නම් එය ඒ අයගේ යහපතටත් වඩා රටේ යහපතට හේතු වනු ඇත.
ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වන්නේ ජෝර්ඡ් වොෂින්ටන්ය 1780 සිට 1799 දක්‌වා ඇමරිකා එක්‌සත් ජනපදය කළ පෝර්ඡ් වොෂින්ටන් ජනාධිපති ධුරයට පත්වන්නට පෙර ඇමරිකානු ජනපද සාමුහිකව බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව ගෙන ගිය සන්නද්ධ අරගලයේ සේනාධිනායක වූයේද ජෝර්ඡ් වොෂින්ටන්මය. ජෝර්ඡ් වොෂින්ටන් ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස හඳුන්වාදුන් ආදර්ශමත් පාලන සම්ප්‍රදායන් අද වනතුරු අඛණ්‌ඩව ඉදිරියට ගොස් ඇත. ඇතැම් ඇමරිකානු ජනාධිපතිවරුන්ට යම් යම් චෝදනා හෝ දෝෂාභියෝග ඉදිරිපත් වූ විට බලහත්කාරයෙන් බලයේ රැඳී සිටින්නට උත්සහ නොගෙන ඉල්ලා අස්‌වී එසේත් නැතිනම් අධිකරණ ක්‍රියාදාමයන්ට මුහුණදී තම නිර්දෝෂීභාවය ඔප්පුකර ජනාධිපති ධුරයේ ගෞරවනීයත්වය ආරක්‌ෂා කර ඇත. 1970 දශකයේදී වෝටර්ගේට් සිද්ධිය මත රිචඩ් නික්‌සන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්‌වීමත්, බිල් ක්‌ලින්ටන් 1990 දශකයේදී අධිකරණය හමුවට යැමත් පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට හා ව්‍යවස්‌ථානුකූල පාලනයට ඇමරිකානු ජනාධිපතිවරුන් කොතරම් කැපවී ඇත්ද යන්නයි.
ජෝර්ඡ් වොෂින්ටන් ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්‍රථම යුද සෙනෙවි ජනාධිපතිවරයා වූ අතර ඇමරිකා එක්‌සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වූ අවසන් ජෙනරාල්වරයා වන්නේ 1952 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධුරයට පත්වන ඩ්වයට් අයිසන්හවර් මහතායි 1953 - 1961 අතර දෙවරක් ජනාධිපති ධුරයට පත්වන අයිසන්හවර් මහතා අතිශයින් ජනප්‍රිය ජනාධිපතිවරයෙක් වූ අතර යුද හමුදා සේවයේ යෙදී සිටින විට ඔහු ඉතා කාර්යක්‌ෂම යුද සෙනෙවියෙක් විය. පළමුවන ලෝක යුද්ධ සමයේදීද ඇමරිකානු හමුදාවල සේවය කළ අයිසන්හවර් මහතා දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයේදී ජෙනරාල් ධුරයට පත්වන අතර දෙවන ලෝක යුද්ධය ඇමරිකා එක්‌සත් ජනපදය + මහා බ්‍රිතාන්‍යය + සෝවියට් සංගමය + ප්‍රංශය යන මිත්‍ර හමුදා විජයග්‍රහණයන් සමග අයිසන්හවර් ඇමරිකා එක්‌සත් ජනපදයේ අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්විය. එම ජනප්‍රියභාවය කොතරම්ද යත් 1948 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඇමරිකාවේ ප්‍රධාන පක්‌ෂ දෙකම, එනම් රිපබ්ලිකන් හා ඩිමොක්‍රොටික් යන පක්‌ෂ දෙකම ඔහුට ජනාධිපතිධුර අපේක්‌ෂකත්වය ලබාගන්නා ලෙස ආරාධනා කරති. ඒ අවස්‌ථාවේදී ප්‍රධාන පක්‌ෂ දෙකෙන්ම ලැබෙන ආරාධනය භාර නොගන්නා අයිසන්හවර් මහතා ඇමරිකා එක්‌සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොලොම්බියා විශ්වවිද්‍යාලයේ අධිපතිධූරය භාරගනියි.
1952 දී නැවතත් රිපබ්ලිකන් පක්‌ෂය ජනාධිපතිධුර අපේක්‌ෂකත්වය ඔහුට පිරිනමන අතර ඒ අවස්‌ථාවේදී ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනියි. මෙම ජයග්‍රහණයේ සුවිශේෂත්වය වන්නේ 1931 න් පසු සෑම ජනාධිපතිවරණයක්‌ම දිගින් දිගටම පරාජයවෙමින් සිටි රිපබ්ලිකන් පක්‌ෂය ජනප්‍රිය ජෙනරාල්වරයෙක් ඉදිරිපත් කිරීමත් සමග අවුරුදු 20 කට පසු යළි ජයග්‍රහණය කිරීමයි. යුද්ධ හමුදා මෙහෙයවීමේ පළපුරුද්ද හා ජනප්‍රියතාව ඔහුට තිබුණද එයට පෙර ඔහු නගර සභාවකට හෝ ප්‍රාන්ත පාර්ලිමේන්තුවකට හෝ කොංග්‍රස් මණ්‌ඩලයට හෝ තරගකරවත් නොතිබිණ. තමන්ගේ ප්‍රථම ජනාධිපති මැතිවරණය පමණක් නොව 1956 දි පැවැත්වෙන දෙවන ජනාධිපතිවරණයද පහසුවෙන් විජයග්‍රහණය කරන අයිසන්හවර් ජෙනරාල්වරයා ඇමරිකානු ඉතිහාසයේ කීර්තිමත් ජනාධිපතිවරයෙක් ලෙස ඉතිහාසයට එක්‌ව ඇත.