ඕක හොද දෙයක්. ලංකාවේ මිනිස්සු ඕක අල්ලා ගත්තේ වැරදි තැනින්. නැත්තං දේශපාලන වාසි ගන්න මිනිස්සු බය කරා.
ලාල් කාන්ත කියන්නේ සෑහෙන දැක්මක් තියෙන මනුස්සයෙක්. මිනිහගේ නියම ලිපියක් තිබ්බා මගේ ලග. පොර කියන්නේ මොකක්ද කියලා තේරෙයි. මේක කියෙව්වම. මේක ටිකක් පරණ එකක්.
හිටපු ගමන් ෆෝන් එකෙන් එන්ටර් ද ඩ්‍රැගන් බලනවා කේ.ඩී. ලාල්කාන්ත
November 25, 2018
ජනතා විමුක්ති පෙරමුණට මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතය ගැන නිල මතයක් තියෙනවාද?
දේශපාලනය ඉලක්ක කරගත් ඍජු මාතෘකා තමයි බොහෝ වෙලාවට සාකච්ඡා වෙන්නේ. ආදරය, විවාහය, ලිංගිකත්වය වගේ සංස්කෘතික මාතෘකා විෂයන් විදියට සාකච්ඡා වෙන ප්‍රමාණය අඩුයි. ඒත් අපි 1994 දක්වා තිබුණු සැඟවුණු දේශපාලනයෙන් එළියට එද්දී පාක්ෂිකයන්ට සමාජය එක්ක ජීවත්වීම සඳහා දැනුම අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් අධ්‍යාපන කවයක් පටන්ගත්තා ‘සංස්කෘතිය හා සමාජවාදය’ කියලා. එහිදී සාකච්ඡා වුණ දේවල් මට මතකයි. පක්ෂයට සංස්කෘතික ජීවිතය ගැන නිශ්චිත ප්‍රතිපත්තියක් නැහැ. ඒත් ඒ මාතෘකා ගැන අර වගේ කවයන්හිදී සාකච්ඡා කරලා තියෙනවා. සමහර අය ඒ වගේ දේවල් ග්‍රහණය කරගන්නේ නැහැ. ඒවා ගැන පක්ෂයේ විවිධ අය ඉදිරිපත් කරන මතවල පුංචි පුංචි වෙනස්කම් තියෙනවා.
අධ්‍යාපන කවයෙන් පස්සේ සංස්කෘතික ජීවිතය ගැන හිතන්නේ මොකක්ද?
ඕනෑම සත්වයෙක් ස්වාභාවිකව කරන දේවල් තියෙනවා. කන බොන එක, ලිංගික ක්‍රියාවලිය වගේ දේවල්. ඒත් මිනිස්සු ඒ හැම දෙයක්ම කරන්නේ අනෙක් සතුන්ට වඩා වෙනස් විදියට. මිනිස්සුන්ට ආහාර සංස්කෘතියක් තියෙන බව අවබෝධ කරගත්තාම හැන්දෙන් කන එක, අතින් කන එක සංස්කෘතියක් විදියට දකිනවා. ලිංගිකත්වය ළමයින් හදනවාට වඩා වින්දනයක් විදියට පාවිච්චි කරන බව අපි දැනගන්නවා. ඒක දැනගත්තාම ඔබ ලිංග ිකත්වය විඳින විදිය මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම කරන විදිය ඔබට අදාළ නැහැ. කරදරයක් නොවෙන තාක් කල් අදාළ නැහැ. අඳින පළඳින එකත් ඒ වාගේ. ඒක සංස්කෘතික වැඩක්. සීත පළාත්වල ලෝගු අඳිනවා. උෂ්ණ පළාත්වල විවෘතව අඳිනවා. ග්‍රීස්ම කාලේ තියෙන රටක උපරිම ග්‍රීස්මය එද්දී ඇඟේ ඇඳුම් කෑලි තියෙන්නේ චුට්ටයි. එහෙම නැතිව ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න ක්‍රමයක් නැහැ. මෙහෙට තමයි මැජික් එක.
ඒත් ලංකාවේ සංස්කෘතිය කියලා කියන්නෙ වෙන දෙයක්. රංගන ශිල්පිනියක් චිත්‍රපටියක නිරුවත් දර්ශනයක් රඟපෑවත් සංස්කෘතිය විනාශ වෙනවා කියලයි කියන්නේ. ඒ කියන සංස්කෘතියයි, ජනතා විමුක්ති පෙරමුණ නිතර පාවිච්චි කරන දේශප්‍රේමයයි එක ළඟින් යනවා නේද?
අපි ඒවා තේරුම් ගන්න ඕනෑ ඒ ඒ සන්දර්භය ඇතුළේ. චිත්‍රපටියකට කතාවක් තියෙනවා. චරිතයක් උපරිම නිරුවත් වෙනවා ඇති. ඒ දර්ශනය චිත්‍රපටියෙන් වෙන්කරලා තිබුණොත් තමයි ඒක කුණුහරුපයක් වෙන්න. ඒත් ඒක චිත්‍රපටිය ඇතුළේ තියලා බලද්දී කුණුහරුපයක් නෙවෙයි. යමක් බලන්න ඕනෑ ඒ සන්දර්භය ඇතුළේ. අපි හිතමු රූ රැජිණ තරගයක් ගැන. ඒකෙදී ඇඟේ සුළු කොටසක් හැර සියල්ල පෙන්වන්න වෙනවා. ඒක ඒ සන්දර්භය ඇතුළේ බලනවා මිසක් ගෙදර ගිහින් බලන්න ඕනෑ නැහැ. ලංකාවේ එක කාලයක තනපට අඳින්න බැහැනේ. ඒක ප්‍රභූන් සාමාන්‍ය මිනිස්සුන්ව පීඩාවට පත් කරන්න දාපු නීතියක්. ප්‍රභූවරුන්ගේ කාන්තාවන්ට විතරයි අඳින්න පුළුවන්. දැන් අපි ඒක කළොත් හිතන්නේ මොකක්ද. අදත් උඩුකය නිරුවත් පින්තූරයක් කලාගාරයක තියෙන්න පුළුවන්. ඒවා රසවිඳින්න මනස හදාගත්තාම ප්‍රශ්නයක් නැහැ. සංස්කෘතිය එක තැන පල්වෙන්නේ නැහැ. නව ලෝකයට, නව දැනුමට නොගැළපෙන දේවල් තියෙනවා නම් වෙනස් කරගන්න ඕනෑ.
මත්පැන් බීමට සීමා වැටෙන්නේත් ඔය සංස්කෘතික, සදාච ාරවාදී චින්තනය නිසා නේද?
තව කෙනෙක්ව පීඩාවට පත්වෙන්නේ නැත්නම් ඕනෑ දෙයක් අවුලක් නැහැ. කාල්මාක්ස් කියලා තියෙනවා මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා. අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද? අපි දෙන්නා බොන ගමන් පරණ කතා මතක් කරනවා කියලා හිතමු. කාටවත් මොකක්ද තියෙන ප්‍රශ්නය. හැබැයි මට පොඩි සීමාවක් තියෙනවා. මොකද දැන් කෝල් එකක් එන්න පුළුවන් හදිසි තත්ත්වයක් තියෙනවා, එන්න කියලා. අපට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ටිකක් නොබී ඉන්නවා නම් මම නොබී ඉන්නේ. ඒ කාලේ ඉඳන් ආර්ථික අමාරුකම් එක්ක පක්ෂයේ හැදුණ මත්පැන් නොබොන සංස්කෘතියක් තියෙනවා. තව කෙනෙක් අහන්න පුළුවන් නොකා නොබී ජීවත්වෙලා ඇති වැඬේ මොකක්ද කියලා. අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා, ඉස්කෝලේ 83 කණ්ඩායම වාර්ෂිකව සාදයක් එහෙම දානවා. එතකොට මම යනවා. උංගෙන් ඉතින් බේරෙන්න බෑ බීපං කියලා. ඉතින් චුට්ටක් බොනවා. ඒක මට බොන්න තියෙන වුවමනාවක් නෙවෙයි. ඒත් ඒක තමයි එතැන මම පවත්වන මානුෂීය සම්බන්ධයේ ස්වරූපය.
මෑත කාලයේ ලංකාවේ ඉන්න ලොකුම සංස්කෘතික පොලි ස්කාරයා සමකාමී ප්‍රජාවට දැවැන්ත අපහාසයක් කරන්න උත්සාහ කළා. ඔබ විශ්වාස කරන සංස්කෘතික නිදහස සමකාමීන්ට ලැබිය යුතුද?
කලින් කී මාක්ස්ගේ කියමන මෙතැනට අදාළ වෙනවා. යම් කිසි දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් කැමැත්තෙන් ලිංගික ජීවිතය භූක්ති විඳිනකොට කාටවත් මොකද. කාලයක් වෛද්‍ය විද්‍යාවේ කතාකළානේ සමලිංග ිකත්වය ලෙඩක්ද කියලා, අද ලෝකය පිළිගන්නවා ඒක ලෙඩක් නෙවෙයි කියලා. සංක්‍රාන්ති ලිංගි කත්වයත් ඒ වගේ. මම ඉපදෙන කොට පිරිමි සිරුරක් ලැබෙනවා. ඒත් මම කැමති කාන්තාවක් වගේ ඉන්න කියලා හිතමු. පිරිමියෙක් වගේ ඉපදිලා පිරිමියෙක් වගේ අඳින කෙනෙක්ට, ගැහැනියක් වගේ අඳින්න කියලා බලකරනවා වගේම තමයි සංක්‍රාන්ති ලිංගික කාන්තාවකට පිරිමියෙක් වගේ ඉඳපන් කියලා බල කරන එක. ලෝකයේ සංස්කෘතින් ගැන අඩු දැනුම නිසා මේ අනන්‍යතාවන් තව කෙනෙකුට පහරදීමේ අවි විදියට පාවිච්චි වෙනවා. ඒත් ඒවා ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැහැ. මම නම් ඔය හැම ලිංග ික කටයුත්තක්ම කරලා තියෙනවා. විවෘතව කියන්නම්. පොඩි කාලේ මම ස්වයං-ලිංගික කටයුතු කරලා තියෙනවා. තරුණ වයසට එද්දී පිරිමි යාළුවොත් එක්ක ලිංගික කටයුතු කරලා තියෙනවා. ඒ වයසේදීම ගෑනු ළමයි එක්කත් ලිංග ික කටයුතු කරලා තියෙනවා. මම දන්නවා වෙන අයත් ඒ හැමදේම කරලා තියෙනවා. මම කාටවත් බලහත්කාරකමක් කරලා නැහැ. ඒ ලිංගිකත්වය මම අනිවාර්යයෙන් තියාගන්න ඕනෑ කියලා පවත්වාගෙන යන්නේත් නැහැ. ලිංගික ප්‍රජාවක් පදනම් කරගෙන මාතෘකාවක් ගොඩනඟන එකම පසුගාමීයි කියලා මම හිතනවා. ඒක ඒ ඒ අයගේ පෞද්ගලිකත්වය.
විවාහය, ලිංගිකත්වය වගේම ප්‍රේමය ගැනත් සංස්කෘතික සීමා තියෙනවා. ‘අනියම් ප්‍රේමය’ කියන එක අද මාධ්‍ය පවා බොහෝවිට පාවිච්චි කරන වචනයක්.
චිත්‍රාල් සෝමපාල සහ උමාරියා ගයන සිංදුවක පදයක් තියෙනවා, ‘පෙම රසයි රසයි රහසින් හන්දා’ කියලා. මිනිසා බිහිවුණ දා පටන් මිනිස් සමාජයේ සම්පූර්ණ ඉතිහාසයෙන් ගත්තොත් ඉතාම පුංචි කාලයක් විතරක් පාවිච්චි කළ අදහසක් තියෙනවා. ජීවිත කාලයේම එකම පිරිමියෙක් සහ එකම ගැහැනියක් අතර තියෙන සම්බන්ධය තමයි හොඳම සම්බන්ධය කියන අදහස. මිනිස් ඉතිහාසය එක්ක ගත්තාම ඒ කාලය කතාකරන්නවත් තරම් නැති පුංචි කාල සීමාවක්. එකම කෙනෙක්ට සීමාවෙන බව කියනවා නම්, ඊට වඩා හොඳයිනේ තනියම කරගන්න එක. ඒක ඊටත් වඩා පිවිතුරුයිනේ. එංගල්ස් කියනවා එහෙම ගත්තොත් ලෝකයේ ඉන්න පවිත්‍රම සතා පටිපණුවාලු. මොකද උගේ හැම පුරුකක් ගානෙම ලිංගික අවයව දෙකම තියෙනවා. ඌ තනියම ප්‍රජනනය කරගන්නවා. කාටවත් කරදරයක් නැහැ.
බොහෝ පවුල් එකට පවතින්නේ බලහත්කාරයෙන්. භෞතික බලහත්කාරයම නෙවෙයි. ආකල්පමය බලහත්කාරය, ආර්ථිකය විසින් ඇතිකළ බලහත්කාරය, නීති පද්ධතියෙන් හැදූ බලහත්කාරය, සමාජීය බලහත්කාරය වගේ විශාල බලහත්කාරයක්. සංකීර්ණ බලහත්කාර යාන්ත්‍රණයක් විසින් තමයි පවුලක දෙන්නෙකු එකටම තබන්නේ. එකිනෙකා කෙරෙහි තියෙන ආදරය සහ රුචිකත්වය මතම නෙවෙයි එකට ඉන්නේ. පවුල කියන්නේ සිරගතවීමක්. ඉස්සර කතාවක් තියෙනවානේ ආර්ථිකය ගැන. ඉස්සරහ දොරින් දුප්පත්කම එද්දී ආදරය පස්සා දොරින් පලායනවා කියලා. ලංකාවෙ බහුතරයකට පවුල් ජීවිතය විඳින්නත් බැහැ. එකට චිත්‍රපටියක්, නාට්‍යයක් බලන්න වෙලාවක් නැහැ. ඒක ඇතුළේ ආදරය පලායනවා. ආර්ථික ප්‍රශ්නවලට මුහුණදෙන්න හැකියාව තියෙන අය ආදරය පලායද්දී දික්කසාද වෙනවා. පීඩිතයන්ට ඒක කරන්න බැහැ. මං හිතන්නේ සීයක් විවාහ වෙද්දී විසිපහක් විතර දික්කසාද වෙනවා. මම කියන්නේ අපි විවාහය පිළිබඳව එකතුවෙන තැනදී දික්කසාද වීම ගැනත් එකඟ විය යුතුයි. හැබැයි, නිදහස ගැන කතාකළා වගේ නෙවෙයි. ප්‍රායෝගිකව පෙන්වන්න ඕනෑ. මගේ බිරිඳට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් මට පුළුවන් වෙන්න ඕනෑ ඒක පිළිගන්න. ඒක එයාගේ කැමැත්ත නම් මම මොකටද ඒකට ඇඟිලි ගහන්නේ. සමහර ලිබරල්යැයි කියාගන්නා අයත් තමන්ගේ බිරිඳ හෝ සැමියාට ප්‍රශ්නය ආවාම කලින් කී කතා ඉවරයි.
පරණ දේ විනාශ නොවී අලුත් දෙයක් නිර්මාණය වෙන්නේ නැති බව කියනවා. මේ පවුල් ක්‍රමය නරකයි කියලා හිතන්න බැහැ. මේක තමයි දැන් තියෙන ක්‍රමය. මේක විනාශ වෙද්දී තවත් හොඳ පවුල් ක්‍රමයක් නිර්මාණය වේවි. ඉතිහාසයේදී තිබුණු එක ගෙයි කෑම, විස්තෘත පවුල වගේ ක්‍රම දැන් නැතිවෙලා. මේ ක්‍රමය ඇවිත්. ඉදිරියේදී තව හොඳ ක්‍රම ඇතිවේවි. එංගල්ස්ගේ ‘පවුල, පෞද්ගලික දේපළ හා රජය’ ඇතිවූ හැටි කියන පොත කියෙව්වොත් ඔළු ගොඩාක් සුද්ධවෙයි.
කොහොම වුණත් ප්‍රකට දේශපාලන නායකයෙක් විදියට ඔබ කියන මේ කාරණා ලොකු වාදවිවාදවලට ලක්වෙන්න ඉඩ තියෙනවා නේද?
දැන් කලින් තිබුණු ආකල්ප පද්ධතිය බිඳවැටෙනවා. ඒ නිසා තමයි ලොකු පිපිරීමක් තියෙන්නේ. මම කියන්නේ ඒ පිපිරීම හොඳයි කියලා. ඒ පිපිරීම විසින් තමයි මීට වඩා මානුෂීය තැනකට සමාජය යන්නේ. ඉතිහාසයේ ඉඳන් මේ දක්වා සමාජයට ඉදිරියට ඇවිත් තියෙන්නේ එහෙම.