ලැම්බෝගිනි ආර්ථිකය

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ලැම්බෝගිනි ආර්ථිකය

'ලැම්බෝගිනි ආර්ථිකය' සැබෑ ආර්ථිකයක් නොවන්නේ නම් ඒ ඇයි? - Is Lambogini economy not real?

56359-bigthumbnail.jpg



අසව්! අසව්!! අමාත්‍ය චම්පික රණවක එසැණ ශිශිර තාරකා නින්දෙන් පිබිද, නවමු සොයා ගැනීමක් කොට ඇත්තේය. 'ලැම්බෝගිනි ආර්ථිකය' හෙවත් 'විනෝද ආර්ථිකය' සේ ඔහු විසින්ම හඳුන්වනු ලබන වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමය දියුණුවට නොමඟ බවත්, ඒ වෙනුවට ‘නිෂ්පාදන ආර්ථිකයක්’ ආදේශ කළ යුතු බවත් ඔහු කියයි.

ඕනෑම සිස්ටම් එකක් ඒ සිස්ටම් එක තුළ සිටින, ඒ සිස්ටම් එක පවත්වා ගත යුත්තන් අතින්ම විවේචනය වන විට ඒ සිස්ටම් එක විකට නාට්‍යයක් බවට පත් වේ. ඇපල් ගෙඩියක සිටින පණුවකු ඇපල් ගෙඩිය රස නැතැයි කියන්නාක් මෙනි. අමාත්‍ය රණවක තම විවේචනය තුළින් කරන්නේ එයයි. ඔහු මේ විවේචනයට බඳුන් කරන්නේ ඔහු තවමත් බලගතු කැබිනට් අමාත්‍යවරයකු වන, දශකයකට මඳක් අඩු කාලයක් බලගතු ඇමැතිවරයකු වූ, රජයක ආර්ථික ප්‍රතිපත්තීන්ය. මේ ප්‍රතිපත්ති තීරණය කළේ පුරවැසියන් වන අප නොවේ. ඔහුද කොටසක් වන රාජ්‍ය පද්ධතියයි. එවැන්නකු “මේවා නෙවෙයි කළ යුත්තේ” කියා හදිසියේ නින්දෙන් පිබිදුනාක් මෙන් කියන විට පුරවැසියන් වන අපි සිනහ නොවී සිටිමුද?

එසේ නම් මේ කියමන් අප විසින් සීරියස් ගත යුත්තේ ඇයි? මෙවැනි විහිළු සපයන එකම දේශපාලනඥයා අමාත්‍ය රණවක නොවන බව අපි දනිමු. අපට මේ සියල්ල නුදුටුවාක් මෙන් සිටිය නොහැක්කේ ඇයි?

අමාත්‍ය රණවක මේ ප්‍රකාශය කරද්දී ඔහු දෙපස අසුන් ගෙන සිටි සමහර උගතුන් නිසා නොවේ නම් මා මේ මතයන් දණින් උඩට නොගෙන බැහැර කරන්ට තිබුණේය. අමාත්‍ය රණවකට දකුණු පස අසුනේ සිටියේ මහ බැංකුවේ ඉහළ නිලධරයකු හැටියට හා විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු හැටියට යම් සාධනීය කාර්යභාරයක් ඉටුකොට ඇති, නිර්දය ප්‍රකාශ පිළිබඳව කීර්තියක් දරණ ආර්ථික විශේෂඥයෙකි. වම්පස අසුනෙහි විදුලි බල විශේෂඥයෙකි. ඔහුද බලශක්ති ක්ෂේත්‍රයේ නැණවතෙකි. අවස්ථාවට සහභාගි වූ තවත් උගතකු කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රාමාණික ආර්ථික විද්‍යාඥයෙකි. ඔහුගේ වාමාංශික මතයන් ගැන මගේ එකඟතාවයක් නැතද එනිසාම ඔහු උගතකු නොවේය පිළි ගන්ට මැළි වෙමි. මේ සියල්ලන් ඉන් පෙර කළ කී දෑ ගැන මට අවබෝධයක් තිබේ. මෙවැනි උගතුන් සෙට් එකක් අනුමත කරන විට පූර්ණ දේශපාලනික ප්‍රකාශ පවා සීරියස් ගන්ට අපට සිදුවේ.
අමාත්‍ය රණවකගේ (හෝ ඔහුගේ කථා රචකයාගේ) සමහර මතයන් පැරැණිය. ඔහු අළුත් වයින් කියා අරින්නේ හද්දා පරණ බෝතලයකි. චිරාත් කාලයක් තිස්සේ බොහෝ වාමාංශික ආර්ථික විද්‍යාඥයින් දුටුවා සේම ඔහුද විවෘතාර්ථිකය ලංකාවේ සියළු ව්‍යාධීන්ට මූලය සේ දකියි. ඔහුට අනුව 1956-70 කාලය තුළ අප කෘෂිකර්මාන්ත හා කර්මාන්ත ආර්ථිකයක් අනුගමනය කොට, 1970-75 අතර කාලය තුළ ස්වයං පෝෂණය ඉලක්ක කොටගත් ආනයනාදේශ (ඉම්පෝට් සබ්ස්ටිටියුෂන්) රෙජීමයකට අවතීර්ණව ඇත. 1975 දී (ඔහුට අනුව) ලංකාව විවෘතාර්ථිකයට පිවිසේ. ඔහු පූර්ව-ලිබරල්, පූර්ව-විවෘතාර්ථික සමාජය රෝමෑන්තීකරණයට නොයයි. නමුත් පණිවිඩය පැහැදිළිය. දොරවල් වසාගෙන අපි පට්ට සාර්ථක ආර්ථිකයක් ගෙන ගියෙමු. දැන් දොරවල් ඇරලා නුඹලා කළ විනාශය බලපල්ලා!

මුලින්ම මේ ප්‍රකාශ වල පරිසිද්ධීන් සේ වැරැදි කරුණු නිවරද කරමු. 1975 අපේ ආර්ථික ඉතිහාසයේ සන්ධිස්ථානයක් නොවේ. යම් වෙනස්කම් සිදුවූ බව සත්‍යයක් මුත් සමස්තයක් ලෙස 'විවෘතාර්ථිකය' ආරම්භ වන්නේ 1975 දී නොවේ. 1975 වාමාංශික ආර්ථික විද්‍යාඥයින්ට වැදගත් වන්නේ එය ආචාර්ය එන්. එම්. පෙරේරා රජයෙන් ඉවත් වූ හෝ ඉවත් කළ වසර වන නිසාය. (මතවාදී වෙනස්කම් ඇතිනම් තවදුරටත් වෙනත් ලාභ ප්‍රයෝජන පිණිස බොරුවට එක්ව නොසිට වෙන් වීමේ සදාචාරයක් ඒ යුගයේදී අපේ දේශපාලනඥයින් තුළ තිබුණේය. එනිසා සිස්ටම් එක විහිළුවක් බවට පත් නුවූයේය.)

ඇත්තටම අප අද 'විවෘතාර්ථිකය' ලෙස හඳුන්වන ආර්ථික ක්‍රමය ආරම්භ වන්නේ 1978 දී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් පසුවය. එසේම 1956-70 අතර යුගය කෘෂිකර්මාන්තය හා කර්මාන්තය ෆෝකස් කර ගත් යුගයකැයි හැඳින්වීමද වැරදි සහගතය. මේ යුගය ප්‍රචලිත ආර්ථික ෆෝකස් එකක් ගැන නොව සමාජ-දේශපාලන හැල හැප්පීම් ගැනය. මේ යුගයේදී ආර්ථිකය පිළිබඳ උනන්දුවක් නොතිබුණා තරම්ය. කොටින්ම 1956 දී ඇමරිකානු ඩොලර් 130 ක් වු ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඉන් දශක එකහමාරකට පසු යාන්තම් ඩොලර් 184 ක් දක්වා වැඩි වී තිබුණේය. මේ ආර්ථික වර්ධනයකැයි කවර හෙයින් කියමුද?

දෙවනුව ප්‍රතිපත්තීන් ගනිමු. 1970-75 යුගය තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩ නඟා ගැනීමට හා අපනයන වර්ධනයට එක්තරා මට්ටමකට අවංක උත්සාහයන් ගැණුනු මුත් එයින් ලද 'ඇඟට දැනෙන' ප්‍රතිඵලයක් නැත. මේ යුගයේ එක් පැහැදිළි දේශපාලන ඉලක්කයක් වූ සහලින් ස්වයංපෝෂිත වීම පවා සිදුවූයේ ඉන් සැලකිය යුතු කාලයකට පසුවය. එසේම ඒ ආරක්ෂණ ප්‍රතිපත්තීන්හි ප්‍රතිඵලයක් හැටියට නොවේ. ගෘහස්ථ පේෂකර්මාන්තය වැනි කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තයන්හි වර්ධනයක් ඇති වුවද එයින් ආර්ථිකය ලද ලොකු දෙයක් නුවූයේය. සමගි පෙරමුණු ආණ්ඩුව බලාපොරොත්තු වූ ලෙස මහා පරිමාණ කර්මාන්ත එකක් වත් ප්‍රගතියක් ලැබුවේද නැත. මේ යුගය නිර්මාණය කළේ මෑතදී අප අතරින් වෙන් වූ දාස මුදලාලි වැනි රාජ්‍යානුග්‍රහය ලද ව්‍යාපාරිකයින් අතළොස්සක් පමණක් වන අතර ඔවුන්ගේ හැකියාවේ තරම ඉන්පසු පැමිණි විවෘතාර්ථික යුගයේදී ශිල්ප දක්වන්ට බැරිවීමෙන් මොනවට පැහැදිළි විය.

1970-75 රජය බලපොරොත්තු වූ ලෙස අපනයනයන්හි වර්ධනයක්ද දකින්ට නොලැබිණි. 1970 දී ඩොලර් මිලියන 339 ක් වූ අපනයන 1975 වන විටත් වර්ධනය වී තිබුණේ ඩොලර් මිලියන 559 ක් දක්වා පමණි. මෙය වසර හයක් තුළ සියයට 65 ක පමණ වර්ධනයකි. එය ලංකාව අනෙකුත් කාල වලදී පෙන්වන සාමාන්‍ය අපනයන වර්ධන වේගයෙන් නොවෙනස්ය. අපනයන වර්ධනය විශේෂිත අරමුණක් කරගත් යුගයක පවා අපට පෙන්වන්ට පුළුවන් අනෙකුත් කාලයන්හිදී පෙන්වන වර්ධන වේගයම නම් ඒ ප්‍රතිපත්ති වල ගත යුතු දෙයක් ඇතැයි සිතිය නොහේ.

ආර්ථික වශයෙන් 1970-77 අතර කාලය දැඩි අඳුරු යුගයකි. මේ කියන්නේ අප නොව මේ රටේ ඡන්දදායකයාය. ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ වාමාංශික දේශපාලන පක්ෂ 1977 මහ මැතිවරණයේදී අන්ත පරාජයක් ලබන්නේ එනිසාය. එපමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1994 වන විට සිය ආර්ථික ප්‍රතිපත්ති විවෘතාර්ථිකයට අනුගත නොකොට ගෙන ඉදිරි ගමනක් යා නොහැකි තැනට කටයුතු සැලසෙන්නේ එනිසාය. මෙරට පොදු මිනිසා 1970-77 යුගය තවමත් දකින්නේ අඳුරු යුගයක් ලෙසිනි.

Econ-Cartoon2.jpg


ආර්ථික වර්ධනය පිණිස ආර්ථිකය නිදහස් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් සේ සැලැකීමේ අන්තයට අපි නොයමු. කැලේ නිදහසේ සිටින එකකු පමණක් නොව කූඩුවක දැමූ කුරුල්ලෙක් පවා වැඩේ. දකුණු කොරියාව හැත්තෑ ගණන් වලදී එරට ආර්ථිකයේ වැඩිම වර්ධන වේගයන් සනිටුහන් කරන්නේ අද අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් දැඩි ලෙස අත්හළ යුතුය කියන තත්ත්වයන් දෙකක් යටතේය. ඒ ආරක්ෂණවාදය හා උද්ධමනයයි. 1970 දශකයේදී කොරියාවේ උද්ධමනය කැපී පෙනෙන සේ ඉහළ නඟියි. 1977 දී එය 34% ක්ද 1978 දී 49% ක් ද වේ. සමහර අවස්ථාවන්හීදී ඉඩම් වල වටිනාකම අට ගුණයකින් ඉහළ නැඟ ඇත. අනෙක් අතින් මේ දශකය තුළදීම කොරියානු ආර්ථිකය 10% කින් පමණද අපනයන 20-25% අතර ප්‍රමාණයකින්ද ඉහළ යයි. මෙයින් පැහැදිළි වන්නේ ආරක්ෂණවාදය හා උද්ධමනය අපට පෙන්වනු ලබන තරමටම භයානක රකුසන් නොවන බවයි. අවශ්‍ය නම් මේවා ඇතිව හෝ රටකට දියුණු විය හැකිය. (ඇත්තටම කොරියාවේ ආර්ථික වර්ධන වේගයන් ආර්ථිකය නිදහස් කිරීමෙන් පසුව අඩු වේ.) කොරියානු උදාහරණය අපට වැදගත් පාඩමක් කියා දෙයි. එනම් රටකට දියුණු වීම පිණිස ඇත්තේ එක මඟක් පමණක් නොවන බවයි.
මා කොරියානු උදාහරණය මෙහි දක්වන්නේ හේතුවක් ඇතිවය. අමාත්‍ය රණවක අපට දේශනා කරන්නේ පූර්ණ නව ලිබරල්වාදය වෙනුවට කොරියානු මොඩලය අනුගමනය කරන්ට නම් එක්තරා සීමාවන් යටතේ අපට ඔහු සමඟ එකඟ විය හැකිය.

එහෙත් එම සීමාවන් වැදගත්ය. 1970 ගණන් වල සිට අද දක්වා බාහිර ආර්ථික පරිසරයේ ඇති වී ඇති වෙනස්කම් අපට අමතක කළ නොහැකිය. කොරියාවේ ප්‍රතිපත්තිය වන්නේ යාන්ත්‍රික හා රසායනික කර්මාන්තයන්ගෙන් පටන් ගෙන අවස්ථෝචිතව මහා පරිමාණ ඉලෙක්ත්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනයට මාරු වීමයි. කොරියාව ඉලෙක්ත්‍රොනික් භාණ්ඩ අපනයනය කෙතරම් සීරියස් ගන්නේද යත් දේශීය වෙළඳපොළෙහි වර්ණ රූපවාහිනී යන්ත්‍ර වලට ඉල්ලුමක් ඇති වීම වැළක්වීමට අපනයන වෙළඳ පළ වර්ධනය වනතුරුම බලෙන් කොරියානු ජනතාවට බලන්ට ඉඩ දෙන්නේ කළු සුදු නාලිකාවන් පමණෙකි. එනිසා කොරියාවේ නිෂ්පාදිත වර්ණ රූපවාහිනී යන්ත්‍ර සියයට සියයක්ම අපනයනයට වෙන්කළ හැකි වේ.

1970 ගණන් වලදී මෙවැන්නක් කිරීමේ හැකියාවක් විය. මේ ආසියාව සමස්තයක් සේ දියුණු වෙමින් පැවැති යුගයයි. කාර්මීකරණයව තිබුණේ ජපානය වැනි රටවල් අතළොස්සක් පමණෙකි. එනිසා මෙවැනි භාණ්ඩ වලට දැවැන්ත ඉල්ලුමක් තිබුණේය. අද තත්ත්වයන් වෙනස්ය. සමහරවිට වෙළඳපළ එසේම පවතිනවා විය හැකිය. නමුත් අද පාරිභෝගිකයා වඩා හොඳ තත්ත්වයෙන් යුතු 'හයි ටෙක්' නිෂ්පාදන බලාපොරොත්තු වෙයි. එසේම නිෂ්පාදකයෝ රාශියකි. එවැනි බරපතළ සීමාවන් යටතේ පවා පූර්ණ නව ලිබරල්වාදය වෙනුවට කොරියානු මොඩලය අනුගමනය කරන්නය කීමේ යම් කිසි ලොජික් එකක් තියේ. වරක් සාර්ථක වූ මොඩලයක් (සමහරවිට වෙනස් තත්ත්වයන් යටතේ පවා) යළි සාර්ථක විය හැකිය.

අවාසනාවට මේ අමාත්‍ය රණවක ගේ රෙකමදාරු මොඩලය නොවේ. ඔහු ගිණිකොණ දිග හා නැගෙනහිර ආසියාතික රටවල් ගැන කියන්නේ අප ඔවුනට වඩා පිටුපසින්ය කියන්ට පමණෙකි. මෙයද සියයට සියයක් නිවැරදි ප්‍රකාශයක් නොවේ. ඔහු විසින් අපට ඉදිරියෙන්ය කියන සමහර රටවල් දැනට සිටින්නේ එක්කෝ අප හා සම මට්ටමේ හා නැතිනම් අපට පසුපසිනි.
අනෙක් අතට මේ එකදු රටක් හෝ අනුගමනය කළ මොඩලයක් අප විසින් අනුගමනය කළ යුතුය ඔහු නොකියයි. (ඔහුට වඩා එපිටින් සිතන විශ්ලේෂකයකුට නම් අඩු තරමින් කොරියානු හා මැලේසියානු මොඩල අපට අනුගමනය කළ හැකි ඒවා සේ පෙනෙන්ට ඉඩ තිබුණේය.) එවැනි අදහසක් අමාත්‍ය රණවකගේ මතය සවිගන්වන්ට ඉඩ තුබුණේය. අවාසනාවකට ඔහුට අවශ්‍ය වී ඇත්තේ රෝදය නැවත සොයා ගන්ටයි.

15June30vietnam.jpg


මේ ලංකාව දියුණු කිරීම පිණිස අමාත්‍ය රණවක විසින් ඉදිරිපත් කරනු ලබන සත් පියවර මැජික් බුලට් විසඳුමය. (පරිවර්තනය හා පැහැදිලි කිරීම පිණිස වරහන් තුළ යොදා ඇති වචන අපෙනි.)
පළමුව විජාතික ආයෝජන හා විජාතික තාක්ෂණය භාවිතා කොට අපනයන භාණ්ඩ නිෂ්පාදන කරන්න.

දෙවනුව අපනයන වෙළඳපළ පිණිස අතරමැදි භාණ්ඩ හෝ භාණ්ඩ කොටස් නිෂ්පාදනය ජාතික ආයෝජන වලින් එහෙත් විජාතික තාක්ෂණය උපයෝගී කර ගනිමින් කරන්න.
තෙවනුව දේශීය වෙළඳපළ පිණිස ආනයනාදේශක භාණ්ඩ නිෂ්පාදනයට විජාතික තාක්ෂණය (අපට අවශ්‍ය ආකාරයට) හැඩගසා ගන්න.

සිව්වනුව අපනයන භාණ්ඩ නිෂ්පාදනයට ජාතික ආයෝජන යොදවා විජාතික තාක්ෂණය (අපට අවශ්‍ය ආකාරයට) හැඩගසා ගන්න.

පස්වනුව මුලින් විජාතිකව උකහා ගන්නා ලද තාක්ෂණයන් උපයෝගී කොට ගෙන, එහෙත් දේශීයව කරනු ලබන, පර්යේෂණ හා සංවර්ධනය (රීසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට්) මඟින් තාක්ෂණයන් හා ව්‍යාපාර පරිපාලන පද්ධතීන් (මැනේජ්මන්ට් සිස්ටම්ස්) දේශීයව ගොඩ නඟා ගන්න.
සයවනුව ජාතික ආයෝජන උපයෝගී කොට ගෙන, විදෙස් වෙළඳපළ වල තරග කළ හැකි, දියුණු භාණ්ඩ හා සේවාවන් හා ව්‍යාපාර පරිපාලන පද්ධතීන් (මැනේජ්මන්ට් සිස්ටම්ස්) නිර්මාණය කරන්න.
සත්වනුව නව නිපැයුම් (ඉනවේෂන්) හා දැනුම ආර්ථික වර්ධනයේ ප්‍රධාන සංරචකයක් කොට ගන්න.
බැලූ බැල්මට මේ මාර විසඳුමකි. එය ප්‍රාදේශීය පාසලක සිසුවියන් පිරිසකට “අපේ රට දියුණු රටකිය” මාතෘකාව සිරස ඩිබේටර් හි ප්‍රති යෝජනා කිරීමේදී උපයෝගී කර ගත හැකි හොඳ අමුද්‍රව්‍යයක් සේ පෙනේ. ගැටළු ඇතිවන්නේ මේ පියවර ප්‍රා‍යෝගිකව ක්‍රියාත්මක කරන්ට ගිය විටදීය.
අමාත්‍ය රණවක අදහස් කරන නිෂ්පාදන මොනවාද යන්න දැන ගන්ට අපට පරචිත්ත විජානන ඤාණයක් නැත. හැබැයි අන්තර්ජාතික වෙළඳපළෙහි විකුණන්ට අප නිෂ්පාදනය කරන යම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙතොත් ඒ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම තරගකාරී විය යුත්තේය. ඒ අතින් අපි දැනටමත් අපට කළ හැකි දේ කරමින් සිටිමු. අපට එතැනින් එපිටට යා නොහැකි නම් ඒ ප්‍රායෝගිකව බාහිර බාධාවන් රාශියක් අප වළකන නිසාය. මේ බාධාවන් ඉවත් කරන්ට පහසු නොවේ.

උදාහරණයක් හැටියට අමාත්‍ය රණවක අදහස් කරන යම් භාණ්ඩයක් (මෝටර් රථ කියමු.) මහා පරිමාණ නිෂ්පාදනය පිණිස උචිත කාර්මික ප්‍රතිපත්තියක් ඇති කළේය සිතමු. අප කලින් කී ලෙස අන්තර්ජාතික වෙළඳපළෙහි ඕනෑම භාණ්ඩයක් සාර්ථක වන්නේ ගුණාත්මකභාවය හා මිළ අතින් එය තරගකාරී වන්නේ නම් පමණෙකි. මේ දෙකටම හේතු කාරක වන එක් සාධකයක් නම් ශ්‍රමය සඳහා ගෙවනු ලබන මිළය. ලංකාවේ ශ්‍රමය මිළෙන් ඉහළය. ශ්‍රම වියදම අවමය කියන චීනය පසෙක තියමු. අපට අඩු මිළ ශ්‍රමය පිණිස බංග්ලාදේශය සමඟවත් තරග කළ නොහැකිය. ලංකාවට ඇඟැලුම් කර්මාන්තයේ ලැබිය යුතු අවස්ථා පවා අහිමි වී ඒවා බංග්ලාදේශයට හිමිවෙමින් පවතින්නේ එනිසාය. ඉන්දියාව, බංග්ලාදේශය හා පාකිස්තානය එකට ගතහොත් ඒවායේ ජනගහණය බිලියන 1.6 කි. මෙය ලංකාවේ ජනගහණය මෙන් අසූ ගුණයක්ද මුළු ලෝක ජනගහණයෙන් හතරෙන් එකක්ද වේ. මේ සියල්ල අඩු වියදම් ශ්‍රමයයි. මේ සා දැවැන්ත අඩු වියදම් ශ්‍රම ඉල්ලුමක් අපට ඉතා ආසන්නයේ තිබියදී මෙහි ආයෝජනය පිණිසම පැමිණෙන්නේ මොන මෝඩයාද?

මෙය විසඳා ගත හැකි ක්‍රමයක්ද නැතුවාම නොවේ. යටත් විජිත යුගයේදී වතු වගාව පිණිස කළාක් සේ ඉහත කී රටවලින් අපට අඩු මිළ ශ්‍රමය 'ආනයනය' කරන්ට පිළිවන. හැබැයි එවැනි ශ්‍රම ගලන ප්‍රතිපත්තියකට විරුද්ධ වන්නේද අමාත්‍ය රණවක නායකත්වය දරණ ජාතික හෙළ උරුමයමයි. එවිට නැවත අපට පටන් ගත් තැනටම පැමිණෙන්නට සිදුවේ. ලොකු ශ්‍රම වියදමක් දරා නිෂ්පාදනය කොට අන්තර්ජාතික වෙළඳපළෙහි විකිණිය හැක්කේ තත්ත්වයෙන් ඉහළ භාණ්ඩ අතළොස්සක් පමණෙකි. එවැනි සීමිත අවස්ථා අපි දැනමත් උපයෝගී කර ගනිමින් සිටිමු. උදාහරණයක් හැටියට අපට තත්ත්වයෙන් ඉහළ තේ සඳහා අන්තර්ජාතික වෙළඳපළක් තියේ. මෙවැනි අතළොස්සක් අවස්ථා හැරුණු විට අපට ඇත්තේ මොනවාද? තත්ත්වයෙන් පහළ භාණ්ඩයක් නම් වැඩි මිළක් ගෙවා මිළට ගන්නෝ කවරහුද?

මීට අමතරව අමාත්‍ය රණවක තවත් වැරදි මත ගණනාවක් තම කථාවට අඩංගු කරයි. පහත උපුටනය සලකන්න. (පරිවර්තනය අපෙනි.)
"විවේක හා විනෝද ආර්ථිකයේ දීපව්‍යාප්ත විස්තාරණය නව සමාජ අර්බූදයකට මඟ පාදා තියේ. එසේම (එනිසා) සමාජයේ දූෂණය හා යහපාලනය පිළිබඳ විවේචනාත්මක කතිකාවක්ද ආරම්භ වී ඇත. පැහැදිළිවම සමාජයේ විශ්වාසය නායයෑම දැනටමත් සමාජ ප්‍රාග්ධනය නිර්මාණය වීමට බාධාවකි. අනෙක් අතට අවිධිමත් කාර්මීකරණ පිළිවෙත නිසා ඇතිවී තිබෙන වාච්‍යාර්ථයෙන්ම 'විෂකුරු' පරිසරය ආහාර නිෂ්පාදනයට හා සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි. තත්ත්වය කෙතෙක් පිරිහී තිබේද කියතොත් රටේ ශිෂ්ඨාචාරයට පවා එයින් දරුණු අභියෝගයක් එල්ල වී තියේ. එහි ප්‍රතිඵල කොටසක් ආර්ථිකයටද දැනෙනු ඇත්තේය."

මේ කියන 'විවේක හා විනෝද ආර්ථිකය' මඟින් නිර්මාණය කරන ලද අප නොදන්නා සමාජ අර්බූදය කිමෙක්ද? එයින් අමාත්‍ය රණවක අදහස් කරන්නේ අපේ රටේ මිනිසුන් ජීවත් වන ආකාරය වෙනස් කොට තිබේය කියා නම් (උදාහරණයක් හැටියට වෙනදා අමුඩය හැඳ කුඹුරු කෙටූ ගොවියා දැන් ඩෙනිමක් හැඳ සංචාරකයින්ට විසිතුරු භාණ්ඩ විකුණනවා විය හැකිය.) අපට කිව හැක්කේ ආර්ථිකයේ බාහිර පෙනුම කවරක් වුවද මේවා සිදු වන්ට ඉඩ ඇති බවයි. අතට වැඩිපුර සල්ලි ලැබෙන විට මිනිස්සු තම ජීවන රටාව වෙනස් කරති. එය ස්වාභාවිකය.

නිෂ්පාදන ආර්ථිකයක් පවා මීට සමාන හෝ වෙනස් සමාජ වෙනස්කම් ඇති කරයි. උදාහරණයක් හැටියට අසූව දශකයේදී මෙරට ඇඟැලුම් කර්මාන්තය ආරම්භ වූ යුගයේදී විපක්ෂය චෝදනා කළේ ඇඟැලුම් කර්මාන්ත සේවය ගණිකාවන් බෝ කරන බවයි. මෙය ආන්තික අතිශයෝක්තියක් මුත් ඇඟැලුම් කර්මාන්තය නිසා ඇති වූ සමාජ ගැටළු අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. මින් සමහරක් ඉනෝකා සත්‍යාංගනී සිය ‘සුළං කිරිල්ලී’ සිනමා කෘතියෙන් සාකච්ඡා කරයි. මේවා වැළකිය හැකි දේවල් නොවේ. රටක් දැවැන්ත ලෙස වෙනස් වන විට අනිවාර්යයෙන්ම සමාජයද වෙනස් වෙයි.
ඊළඟට ඊනියා 'විවේක හා විනෝද ආර්ථිකය' පමණක් යහ පාලනය විනාශ කොට දූෂණයට මඟ පාදන්නේය කියන කියමනේ හරයක් වේද? දූෂණය හෝ යහ පාලනය තීරණය වන්නේ ආර්ථිකයේ ස්වරූපය මත නොවේ. හොරා කන එකා බුදු පිළිම හැදුවත් හොරා කයි. මෙහි විහිළු සහගතම කියමන වර්තමාන ආර්ථිකයේ ස්වරූපය නිසා පරිසර දූෂණය හා සෞඛ්‍ය ගැටළු වැඩි වී ඇත්තේය යන්නය. දැන් අමාත්‍ය රණවක යෝජනා කරන්නේ පරිසරය දූෂණය නොකරන ආර්ථිකයක්ද? මහා පරිමාණ නිෂ්පාදනය පරිසරය දූෂණය කරන්නේම නැද්ද? මේවා අහන්ට චීනුන් ඇති තරම් දැන් ලංකාවේ ඇති මුත් ඔවුන් කොණ්ඩේ බැඳ නැතිවීම අභාග්‍යයකි.

අමාත්‍ය රණවකගේ උපාධිය විදිලි ඉංජිනේරු ශිල්පය වෙනුවෙනි. මගේද පළමු උපාධිය විදිලි ඉංජිනේරු ශිල්පය සඳහාම වෙයි. මේ නිසා විදිලි ඉංජිනේරු උපාධි අපේක්ෂකයකු ලබන ආර්ථික විද්‍යා දැනුම ගැන මම දනිමි. බෙදාහැරීම් හා සම්ප්‍රේෂණ ජාල පද්ධති වල වියදම් ගණනය කිරීම වැනි සරල දෙයින් එපිටට නොයන විදිලි ඉංජිනේරු සිසුවකුගේ ආර්ථික විද්‍යා දැනුමේ කොටසක් නොවේ, සන්සන්දනාත්මක ලාභය (කම්පැරටිව් ඇඩ්වාන්ටේජ්) වැනි සාර්වාර්ථිකවිද්‍යා සංකල්ප. එනිසා අමාත්‍ය රණවක මේ සංකල්පය නොදැන සිටියා විය හැකිය උපකල්පනය කරමි. යම් රටක් යම් භාණ්ඩයක් නිෂ්පාදනය කළ යුත්තේ ඊට කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් ඇතිනම් පමණකි. එසේ නොවේ නම් ඒ භාණ්ඩය ආනයනය වඩා යහපත්ය.

අප මෝටර් රථ නිෂ්පාදනය නොකළ යුත්තේ පවත්නා තත්ත්ව යටතේ අපට ඒ සඳහා කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් නැති නිසාය. එනිසා අපට මෝටර් රථ ආනයනය කොට ඒ වෙනුවට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම ලාභදායකය. සංචාරක ව්‍යාපාරය පිණිස අපට ඇති කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක මෝටර් රථ නිෂ්පාදනයට ලබා ගැනීමට නම් අප ඒ පිණිස විශාල වෙහෙසක් දැරිය යුතු වේ. ඒ සඳහා අදාළ ආවස්ථික වියදම නැතොත් ඔපචුනිටි කොස්ට් එක මේ වෑයම සාධාරණීකරණය කරන්නක් විය යුතුය. එසේ නැතොත් අප වෙනස් වීමේ තේරුමක් නොවේ. එනිසා අප වෙනස් විය යුතුය යෝජනා කරන්නකු අනිවාර්යයෙන්ම අපට එසේ කිරීමට යන වෑයම ගැන දීර්ඝ ලෙස කථා කළ යුතු වේ. එසේ නොවන යෝජනා බස් හෝල්ට් වල සමාජයටම බණින උම්මත්තක සිඟන්නන්ගේ යෝජනා වැන්න.

ඇත්තටම අමාත්‍ය රණවකගේ යෝජනා සියල්ලක් කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් යන සරල සංකල්පයෙන් පමණක්ම නිෂේධ කළ හැකි තරමට බොළඳය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට හෝ සරසවියේ පළමු වසර පිණිස නිර්දේශිත ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථයක් මේ සංකල්පය නිදර්ශන සහිතව පැහැදිළිව විස්තර කරනු ඇතැයි සිතමි.
ලිපිය අවසාන කිරීම පිණිස අමාත්‍ය රණවකගේ කථාවේ පහත ඡේදය උපයෝගී කර ගනිමි. (පරිවර්තනය අපෙනි.)
“නව නිපැයුම් මත පදනම් වූ ආර්ථික වර්ධනය ප්‍රමුඛ වර්ධන ක්‍රමවේදය කොටගත් කල්හි ශ්‍රී ලංකා ආර්ථිකයට (සංවර්ධනයේ) තෙවන අදියරට දැවැන්ත පිම්මක් පැනීමේ හැකියාවක් නැතැයි සිතන්ට කිසිම හේතුවක් නැත. එවැනි දැවැන්ත පිම්මකට හේතු කාරක විය හැකි සාධක වන්නේ ඉහළ සාක්ෂරතාව, හැමදෙනාටම ලබා ගත විදිලි බලය, ඉන්ටර්නෙට් හා විදිලි සංදේශ පහසුකම් යනාදියයි.”
මේ ඡේදයම විහිළුවක් වන්නේ කවර හෙයින්ද? මෙසේ දැවැන්ත පිමි පැන්න රටවල් නැතුවා නොවේ. (උදාහරණ කිහිපයක් ඉහත සඳහන් කළෙමි.) නමුත් ඒ දැවැන්ත පිමි පැනීමට අවශ්‍ය අවස්ථා, සම්පත් , ස්මාට් ආර්ථික ක්‍රමවේද, සියලටම වඩා වැදගත්ව නිවැරදි කාල නිශ්චයන් යන සියල්ල සහිතවය. මේ කිසිවක් නැතිව දැවැන්ත පිමි පැනීමට සැරසීම කණ කැසබුවකු කපුටු පිහාටු දෙකක් දෑතින් ගෙන පියාසර කිරීමට තැත් කිරීමකි. ඊනියා නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් සේ බිහිව ඇති, දැවැන්ත රැකියා විරහිත උපාධිධර ශ්‍රම බලකායෙන් මෙවැනි වෑයමකට ඇති කිසිදු ප්‍රයෝජනයක් නැත. ඔවුන්ගෙන් අති බහුතරය කලා උපාධිලත්, රජයේ පහළ නිලධර රැකියාවකට විනා වෙනෙකකට නොගැළපෙන, කර්මාන්තය ගැන අන්දෝ සංසාරයක් නොදන්නෝය. (මීට ඉඳුරා වෙනස් ලෙස, ඉන්දියාවේ තාක්ෂණ විප්ලවය ඇරැඹෙන්නේ දැවැන්ත ඉංජිනේරු විද්‍යා උපාධිධරයන්ගේ අතිරික්ත ශ්‍රම බලකායක් නිසාය.)

ඇත්ත, අපේ ජනගහණයෙන් වැඩි පිරිසකට විදිලිය, ඉන්ටර්නෙට් හා විදිලි සංදේශ පහසුකම් ඇත්තේය. එහෙත් අපේ රටේ වෙළඳපළ අකාර්යක්ෂ්මතාවය හේතු කොට ගෙන විදිලිය හා අධිවේගී සන්නිවේදන පහසුකම් ලබා ගත යුතු වන්නේ ලෝකයේම ඉහළම මට්ටමේ ගාස්තු ගෙවමිනි. මෑතදී කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය සිරිමල් අබේරත්න ප්‍රකාශ කළේ විදිලිය පිණිස අප ගෙවන්නේ කලාපයේ පමණක් නොව මුළු ලෝකයේම වැඩිම ගාස්තුව බවයි. එසේම ඉහළ සාක්ෂරතාවය යනුද කාර්මීකරණයට අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. ගිණිකොණදිග ආසියානු රටවල් හැමෙකක්ම කාර්මීකරණය වූයේ අනිවාර්යයෙන්ම ඉහළ සාක්ෂරතාවයක් ඇතිව නොවේ. කාර්මීකරණයට ඊට වඩා වැදගත් වන්නේ ශිල්පීය දැනුම හා අඩු වියදමකින් ලබා ගත හැකි ශ්‍රමයයි. අපට නැත්තේද එයමය. සියොතකු වුවද පැස්බරකුට පියාසර කිරීමේ හැකියාවක් නැති බව අප තේරුම් ගත යුතුය. පැස්බරා පරිණාමය විය යුත්තේ භෞමික ක්ෂීරපායියකු ලෙස විනා පක්ෂියකු සේ නොවේ.

බලගතු කැබිනට් අමාත්‍යවරුන්ම (හෝ ඔවුන්ගේ කථා රචකයන්) ස්වකීය ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කිරීම විහිළුවකි. එසේ විවේචනය කොට ඉදිරිපත් කරන විකල්ප වලට පදනමක් නැති වීම ඊටත් වඩා විහිළුවකි. මොනවා කරන්නද? ඉදිරියෙහි එන්නේ මැතිවරණ වසරකි. අසා සිටිමු.

- චානුක වත්තේගම
Maathalan
 
Last edited:

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Oya loku rachanawa kiyawanna ba rachanawa loku wrna tharamata boruwa wadi..simple n sweet kiwoth
    Api ratak widiyata focus karanna oni service sector wenna S asian region eka
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Oya loku rachanawa kiyawanna ba rachanawa loku wrna tharamata boruwa wadi..simple n sweet kiwoth
    Api ratak widiyata focus karanna oni service sector wenna S asian region eka


    :yes: ඔව් ඒකත් එක සාර්ථක ක්‍රමයක්. ඉන්දියාව ඕක බොහොම සාර්ථකව කලා. ඒ ගමන යන්න නම් රටේ පරිභෝජනය වත් ආහාර නිශ්පාදනේ කරන්න ඕන. ගොවිතැන වනසලා ඒ ගමන යන්න බැහැ. යටිතල පහසුකම් වැඩි තියුනු කරන්න ආනයනය කරන ගමන් ආහාරත් ආනයනය කරන්න තරම් අපට ආර්ථික ශක්තියක් නැහැ.
     

    Similar threads