ලොලේ... ලොලේ...

රත්නපුරේ සුමනරත්න මහත්තයා විශ්‍රාමික විදුහල්පතිවරයෙක් වුණාට දැන් මුළු කාලයම කැප කරලා තියෙන්නේ ‍ජ්‍යොතිෂ්‍යය වෙනුවෙන්. හඳහන් බැලීම, නැකත් හැදීම වගේම එතුමා ‍ජ්‍යොතිෂ්‍යය සම්බන්ධ ගැඹුරු පර්යේෂණත් කරනවා.
“බලන්නකෝ සීයේ, අම්මා කරපු දේ” පසුගිය දවසක තමන්ගේ කන්තෝරු කාමරයේ ‍ජ්‍යොතිෂ්‍යය වැඩක් කර කර ඉන්න අතරේ සුමනරත්න මහත්තයගේ දුවගේ, පුංචි පුතා කරදාසියකුත් අරගෙන ඇවිත් නාහෙන් අඬන්න පටන් ගත්තා. “මේ ප්‍රශ්න පත්තරේ ධාතුසේන, වලගම්බා, මහා ඇලෙක්සැන්ඩර්, පණ්ඩුකාභය කියන රජවරුන්ගේ නම් දීලා නොගැළපෙන වචනය යටින් ඉරක් ගහන්න කියලා කියනවා. ඉතින් මං පණ්ඩුකාභය කියන වචනය යටින් ඉරක් ගැහුවාම අම්මා ඒ ඉස්සරහින් ලොකු වැරැද්දක් දැම්මා.” “සීයේ” මුනුපුරා කන්කෙඳිරි ගාණකොට සුමනරත්න මහත්තයත් දඩිබිඩි ගාලා තමන්ගේ ‍පොත් කීපයක් පෙරළලා බලලා ‘ලොකු දුවේ’ කියලා කෑගැහුවා.
“මේ ළමයගේ උත්තරේ හරිනේ ලොකු දුවේ? ඇයි ඒකට වැරදි දැම්මේ” තමන් ළඟට ආපු දියණියගෙන් සුමනරත්න මහත්තයා ඇහුවා.
“කොහොමද අප්පච්චි ඒ උත්තරේ හරි වෙන්නේ” පාසල් ගුරුවරියක් වුණු දෝනියැන්දත් ඇහුවේ ඇස් දෙක උඩ තියාගෙන.
එතකොටම සුමනරත්න මහත්තයත් ඇස් කණ්ණාඩි දෙකට ඉහළින් තමන්ගේ දුව දිහා බැලුවා.
“හරි නැත්තේ මොකද? මේ අනික් රජවරු තුන්දෙනාම සිංහ ලග්නේ. පණ්ඩුකාභය රජතුමා විතරයි මිථුන ලග්නේ.”

* * *


ගණේමුල්ල සහන් පසුගිය දවසක මාධව, චම්පික, ජෝෂප් කියන යාළුවෝ තුන්දෙනත් එක්ක නවගත්තේගම පැත්තේ තියන රත්කිරාගම කියන පිටිසර ගමට ගියා; අපේ රටේ ගැමි ජන ජීවිත ගැන අධ්‍යයනයක් කරන්න හිතාගෙන.
කොහොම හරි ඒ ගමේදී අහම්බෙන් මුණගැහුණු අව්‍යාජ ගැමි තරුණයෙක් මේ පිරිසට කෑම නවාතැන් සපයන්න බොහොම කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. හැම තිස්සේම කටේ බුලත් විටක් රඳවාගත්තු මේ තරුණයා අපේ මිතුරු කණ්ඩායම ඇමතුවේ ‘සර්ලා’ කියලා. එන්න කියන එක කිව්වේ යහපත් වෙමු කියලා. ඒ වගේම ආගන්තුක සත්කාරයත් උපරිමෙන්ම කළා. එහේ ගිය දවෛනි දවසේ අපේ කණ්ඩායම ඒ පැත්තේ කියන පුරාණ වැවක නාන්න එක්ක යන්නත් මේ තරුණයා අමතක කළේ නෑ.
“මේ මනුස්සයා අපිට හොඳට සලකනවා වගේම පුදුම විදිහට ගෞරව කරනවා. මොකක්ද ඒකට හේතුව?” ග්‍රීෂ්මේ යන්නත් එක්ක වතුරට බැහැලා පැය ගාණක් ජල ක්‍රීඩා කරන ගමන් චම්පික සහන්ගේ කණට කරලා ඇහුවා.
“මේ වගේ ගම්වල මිනිස්සුන්ගේ පුහුඅහංකාරකම් නැහැ. හැම දෙයක්ම කියන්නේ කරන්නේ අව්‍යාජව හිතට එකඟව; අපිට ඒවා දැනගන්න පුළුවන් මේ වගේ ගමන් බිමන්වලින් තමයි” සහනුත් උත්තර දුන්නා.
ඔය අතරේ කොහෙදෝ යන්න ආපු වයසක ගැමියෙක් වැව් කණ්ඩිය උඩ හිටපු අර ගැමි තරුණයාගෙන් මොකක්ද අහනවා අපේ මිතුරු පිරිස දැක්කා.
“මේ සර්ලා වතුරට දැම්මම ගොඩට ගන්නම බෑ මාමේ” ගැමි තරුණයා රතු පාට දත්සෙට් එක පේන්න හිනාවෙලා අර මනුස්සයට මෙහෙමත් කිව්වා.”
“හරියට මීහරක් වගේ.”
* * *


ලක්බිම ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී මහත්තයා දවසක් ඔළුවේ අතගහගෙන ආටිකල් එකක් ‘සබ්’ කරනවා. පත්තරේට ආපු ලිපියක් එහෙම නැත්නම් ආටිකල් එකක් ‘සබ්’ කරනවා කියන්නේ ඒක පත්තරේ පළකරන්න සුදුසු විදිහට සංස්කරණය කරන එකට.
“මොකද ලොක්කා උදේ පාන්දරම නහය කට මේසේ ඇනගන්නද හදන්නේ?” එතැනින් යන්න ආපු යසවර්ධන මහත්තයා ඇහුවා.
“නායක හාමුදුරු නමක් එවපු බණ ලිපියක් ‘සබ්’ කරනවා යසේ. හැබැයි එක දිගටම තව මේ වගේ ලිපි දෙක තුනක් ‘සබ්’ කර ගත්තොත් නම් ධර්මාවබෝධය ලැබෙන එක ෂුවර්” ධර්ම ශ්‍රී ලොක්කා එහෙම කිව්වා විතරයි යසේත් පුදුම වෙලා වගේ ඒ ලිපියට හොස්ස ‍පොවලා බැලුවා.
“ඇයි ඕකේ එච්චර හොඳ ධර්ම කරුණු තියනවද?” යසෙත් ඇහුවේ බොහොම සන්සුන් හ¾ඩින්.
“ධර්ම කරුණු ‍නෙවෙයි බං. බලපන්කෝ මේ අත් අකුරු දිහා; මොන යකාටද මේවා කියවන්න පුළුවන්” ධර්ම ශ්‍රී ලොක්කාත් ඒ අත් කොපිය යසේගේ නහයේ ගෑවෙන ගාණටම කිට්ටු කරලා කිව්වා.
“එතකොට මොකක්ද අර ධර්මාවබෝධය ලැබෙන කතාවක් කිව්වේ?” යසෙත් ඇස් දෙක හකුළුවාගෙන ඇහුවා. එතකොටම ධර්ම ශ්‍රී මහත්තයත් ඒ කොපිය මේසේ උඩට දමලා ගැහුවා.
“ධර්මාවබෝධය ලැබෙන්නේ සංසාරේ එපා වුණාමනේ බං”

වව්නියාවේ සනත් ප්‍රියන්ත පහුගිය දවසක අලුත් ඉදිකිරීමක් සඳහා කඩලා දාපු පරණ ගොඩනැගිල්ලක ලට්ට ලොට්ට ටික කීයකට හරි දීලා දාන්න ඒ ඉස්සරහ “අබිලි ද්‍රව්‍ය විකිණීමට තිබේ” කියලා බෝඩ් එකක් එල්ලුවා. ඒත්, ඒ පැත්තේ සිංහල ජනතාව අඩු හින්දද මන්දා සතියක් හමාරක් ගියත් ඒ බෝඩ් එකට සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. ඔය අතරේ හදිසියේ කොළඹ එන්න සිද්ධ වුණු නිසා සනත් ඒ පරණ ලට්ට ලොට්ට ටික බලාගන්න මිනිහා ගෙන් ඉස්සර ඉගෙන ගත්තු ගෝලයකුට පැවරුවා. කොහොම හරි සනත් පහුවෙනිදා නයිට් මේල් කෝච්චියෙන් වව්නියාවට යන කොට එතන තිබුණු ලට්ට ලොට්ටවල අළුදූවිලිවත් අද නෑ.
“මොකද අර පරණ බඩු ටිකට වුණේ?” පහුවෙනිදා තමන්ව හම්බුවෙන්න ආපු ගෝලයාගෙන් සනත් ඇහුවා.
“සර් කොළඹ යන්න පිටත් වෙලා පැය දෙකක් ගියේ නෑ; ඔක්කොම බඩු විකිණුනා.” ගෝලයාත් උජාරුවෙන්ම උත්තර දුන්නා.
“එහෙම නම් මොකද ළමයෝ ඔය ටික මෙච්චර කාලයක් නොවිකිණුනේ?” සනතුත් පුදුම වෙලා වගේ ඇහුවා.
“සර් දැම්ම බෝඩ් එකේ ‍පොඩි අඩුවක් තිබිලා මං ඒක හැදුවා සර්” ගෝලයත් හොර බළල් හිනාවකුත් දාගෙනම කිව්වා.
“මොකක්ද ඒ අඩුව?” අපේ මිත්‍රයත් දඩස් ගාලා ඇහුවා.
සර් ඒකේ ලියලා තිබුණේ අබිලි කියලා විතරනේ, ඉතින් මං ඒකට අල්”ක”යන්නකුත් එකතු කළා.
--------------------------------------------------------------------------------------------------------------------------------

කඩුවෙල ගල්හේන මහත්තයාත් පහුගිය දවසක ගොඩනැගිලි ඉදිකිරීමකට බාස් උන්නැහේලා ටිකක් හොයාගෙන එන්න ඇඹිලිපිටියෙනුත් එහාට ගියා. කොළඹ පැත්තෙ ඉන්න හුඟාක් ගොඩනැගිලි කොන්තරාත්කාරයෝ, බාස් උන්නැහේලා කට්ට කයිරාටික වෙට්ට පිත්තල වෙලා කියලයි ගල්හේන මහත්තයා කියන්නේ.
කොහොමහරි මේ බාස් උන්නැහෙලා ටික දවසක් නතර කරවගෙන තරමක් අඩු ගණනකට වැඩකරවා ගෙන ලොකු ගාණක් ඉතුරු කරගැනීම තමයි අපේ මිත්‍රයගේ ච්ෙතනාව වුණේ.

“කොහෙන්ද අපි දවල්ට කෑම ටිකක් කන්නේ?” බාස් උන්නැහේලා තුන් හතර දෙනකුයි ගෝලයෝ හතර පස් දෙනකුයි වෑන් එකේ පටවාගෙන ආපහු එන ගමන් ගල්හේන මහත්තයා ඇහුවා.

“මේ හරියේ භවන කියලා ෂෝක් තැනක් තියනවා. එතන කෑම රසයි. තව පැල්පත කියලා තැනකුත් තියනවා. ඒත් අපි නම් යන එනකොට කෑම කන්නේ භවනෙන්ම තමයි සර්” ලොකු බාස් උන්නැහේ උත්තර දුන්නා.

“කිව්වම මොකද? මම නම් කැමති පැල්පත වගේ තැනකින් කෑම ටිකක් කන්න.’” ලොකු බාස් උන්නැහේ තමන්ගේ කනින් රිංගන්න එන බව වටහාගත්තු ගල්හේන මහත්තයත් ඇඟට නොදැනීම කියලා දැම්මා.

“එහෙම නම් සර්, ඔන්න ඔතන නවත්වන්න.” ටික දුරක් යනකොට පාර අයිනේ තිබුණු වීදුරු මාලිගාවක් වගේ ගොඩනැගිල්ලක් පෙන්නපු ලොකු බාස් උන්නැහේ එහෙම කිව්වා. බලන කොට ඒක ඉස්සරහ ‘පැල්පත රෙස්ටෝරන්ට්’ කියලා ලොකු බෝඩ් එකකුත් ගහලා තියෙනවා. දැන් ඉතින් මොකද කරන්නෙ, අපේ මිත්‍රයා මේ බාස් උන්නැහේලා කට්ටියත් එක්ක ඒ සුඛෝපභෝගී ‘පැල්පත’ අවන්හලට පියමැන්නා. කොහොමහරි මේ කට්ටියගේ දවල් කෑම වෙනුවෙන් ‘මොනර කොළ’ හතරක්ම එතනට පූජා කරන්න අපේ මිත්‍රයට සිද්ධ වුණා. දැන් අපේ මිත්‍රයත් කාටවත් නොපෙනෙන්න හූල්ල හූල්ලා වාහනේ එලවනවා, සිද්ධ වුණු අලකලංචිය ගැන විස්සෝප වෙවී.

“අර තියෙන්නෙ සර්” තව ටික දුරක් එනකොට ලොකු බාස් උන්නැහේ පාර අයිනේ ලෑලි බංකු කීපයක් එක්ක තියන ලොකු ‍පොල් අතු මඩුවක් පෙන්නලා ගල්හේන මහත්තයට කිව්වා.

එතකොටම තමයි ඒ ඉස්සරහ පරණ බැරල් පියනක හුනුවලින් ඇදිලා තියන අකුරු තුන අපේ මිත්‍රයා දැක්කේ
“භවන”
-----------------------------------------------------------------------------------------------------------------

“අපේ මහත්තයට කඩේට පිළකට ගිහින් බඩුවක් මුට්ටුවක් ගන්න කිසිම තේරුමක් නෑ අනේ” අපේ ඡායාරූප ශිල්පී සිසිර ගේ නෝනත් එක්ක කිට්ටුව ගෙදරක මිතුරියක් පහුගිය දවසක එහෙම කන් කෙඳිරි ගෑවා.

“‍පොල් ගෙනාවොත් කලටි. බණ්ඩක්කා ගෙනාවොත් මෝරලා. මාළු ගෙනාවොත් නරක් වෙලා. තුනපහ ගෙනාවොත් කලවං.” ඒ බවලතා යාදින්නක් වගේ කියාගෙන ගියා.
“අපේ මහත්තයත් උපන්තේකට කඩේකට පිළකට ගිහින් ගෙදරට ඕනේ කරන බඩුවක් මුට්ටුවක් නම් ගෙනත් නම් නෑ. ඒත් එයාට නම් ඔය බඩු මුට්ටු ගැන හොඳ තේරුමක් තියනවා අනේ.” සිසිරගේ නෝනත් බොහොම උනන්දුවෙන් කිව්වා.

“ඉතින් ඔයා කොහොමද ඒක දන්නේ” ඒ බවලතාත් තව ටිකක් කිට්ටුවෙලා ඇහුවා.
එයා හැමතිස්සෙම ෆෝන් එකෙනුත් යාළුවන්ට කියන්නේ ගන්නවා නම් සුපර් මාකට් එකකින්ම ගනිල්ලා. සමහර තැන්වල බඩු කලවං කියලනේ.” සිසිරගේ නෝනා මිතුරියට උත්තර දුන්නා.
රත්නපුරේ ශ්‍රී පලාබද්දල පත්තර තිලකෙ ගෙ කඩේට ඒ පැත්තේ ගැමියෙක් ගොඩ වැදුණා. උන්නැහේ කරන්නේ ශ්‍රීපාද අඩවියේ කුණු දිය පර්වතය ඉසව්වේ මහ කැ‍ලේ මැද්දේ නතරවෙලා කිතුල් මැදලා හකුරු හදන එක, සති දෙකකට විතර ජීවත් වෙන්න උවමනා ආහාර කළමනා ගෝනියක් කරේ තියාගෙන සිරිපාද හිමයට ඇතුල්වෙන ඒ මනුස්සයා සති දෙකක් විතරම මහ කැ‍ලේ මැද්දෙ තියෙන ගල් ගුහාවක නතර වෙලා තමයි මේ රස්සාව කරන්නේ.
“දැන් නම් ඉස්සර ගාණට හකුරු දෙන්න බෑ. තිලකෙ මහත්තයො සුමාන දෙකකට සෑහෙන්න හිමේට අරගෙන යන ආහාර කළමනා භූමිතෙල් වලට ඉස්සර ගියේ රුපියල් අටසීයක් විතර. දැන් ළඟකදී ඉඳලා රුපියල් දෙදහක් විතරම යනවා” ඒ ගැමියා කිව්වෙ දුකෙන් වගේ.
“ඒ වුණාට බන්දුල ඇමැතිතුමා යස අගේට පෙන්නලා දෙනවනේ එක මනුස්සයෙකුට රුපියල් දෙදාස් පන්සීයකින් මාසයක්ම ගත කරන්න පුළුවන් විදිහක්” ඒ වෙලාවේ එතනට ආපු කලවානේ ‍පොඩි අප්‍පො කිව්වා. එතකොට අර ගැමියත්් නෝක්කාඩුවට වගේ කලවානේ ‍පොඩි අප්‍පො දිහා බැලුවා.
“කොළඹ ජීවත් වෙනවා වගේ ‍නෙවෙයිනේ ‍පොඩි අප්‍පො ඔය මහ කැ‍ලේ ගල් ගුහාවක ජීවත් වෙන එක, කරන්න කොයිතරම් නම් වියදම් තියනවද?”

***********************************************************************************************

පරිසරවේදී නුවන් පසුගිය දවසක ධනවත් වා්‍යාපාරික කණ්ඩායමක් එක්ක උඩරට පරිසර සංචාරයක යෙදුණා. ඒ අයට මගපෙන්වන්න.
රාවණා ඇල්ල ආශ්‍රිත අභය භූමියට මේ කණ්ඩායම යන කොට බලන බලන හැමතැනම වගේ රිළව් ඉන්නවා. ඒ හින්දා නුවන්ට හිතුණා රිළව් ගැන මේ කණ්ඩායමට යමක් කියලා දෙන්න. නුවන් එක රිළා රංචුවක් පෙන්නලා මෙහෙම කිව්වා.
“මෙයාව සාමාන්‍ය ව්‍යවහාරයේ දී හඳුන්වන්නේ ශ්‍රී ලංකා රිළවා කියලා.
අපේ රටේ ගිනිකොණ මුහුදු තීරයේ ඒ වගේම වයඹ මුහුදු තීරයේ සහ අපේ රටේ මධ්‍යම කඳුකරයේ ඉහළම කොටසේ හැරුණම අනික් බොහෝ ප්‍රදේශවල මෙයාගේ ව්‍යාප්තියක් පෙන්නුම් කරනවා. මෙයාව හඳුන්වන විද්‍යාත්මක නම තමයි මැකාකා සිනිකා සිනිකා.
මේ අතරේ එක ව්‍යාපාරිකයෙක් තවත් ව්‍යාපාරිකයකුගේ කනට කරලා හීන්සීරුවෙම යමක් අහනවා, අපේ මිතුරාට හොඳටම දැනුණා.
“ඔතන රංචුවක්ම ඉන්නවනේ, කෝකා ගැන ද මචං ඔය කියන්නේ?”

***********************************************************************************************

පේරාදෙණියේ සුගත් දොස්තර මහත්තයා දවසක් එතුමාට හොඳ හිතෛෂිවන්ත ගෝලයෙකුත් එක්ක තමන්ගේ හිතවතෙක් අලුතින් හදලා ගෙවදුණු ගෙදරකට යමින් හිටියා. ඕනෑම තැනකට පැනලා ඉදිරිපත් වෙන නිසා පුංචි පුංචි ගමන් බිමන් වලට මේ ගෝලයව එක්ක යන්න සුගත් මහත්තයත් කැමතියි.
“මෙන්න මේ හරියෙන් වෙන්න ඕනේ ඔය කියන පාරට හැරෙන්න ඕනේ. මේ හරියේ තියන මොකක් හරි හෝටලයකත් නමක් කිව්වා මට මතක හැටියට ඒකේ නම ‘කැන්ඩි රීච්’ සුගත් මහත්තයා පාරේ එක තැනක දී කාර් එක ස්ලෝ කරන ගමන් ගෝලයට කිව්වා.
“කෝකටත් ඔය ඉස්සරහ තියන ත්‍රීවීලර් පාක් එකෙන් අහන්නකෝ මේ හරියේ කැන්ඩි රීච් කියලා හෝටලයක් තියෙනවද?” කියලා.
දොස්තර මහත්තයා මෙහෙම කිව්ව විතරයි ගෝලයා කුරුල්ලා කූඩුවෙන් පැන්නා වගේ දඩස් ගාලා කාර් එකෙන් එළියට ඇවිත් කෙළින්ම අර ත්‍රීවීලර් පාක් එකට ගියා.
“මල්ලී අර කැන්ඩි බිච් හොටෙල් එක තියෙන්නේ කොයි හරියෙද?”
:lol::lol::lol::lol::lol:

rep ++ deepallaaa :cool::cool:
 
  • Like
Reactions: nimal2011