Duesenberg යනු මෝටර් රථ වංශකතාවේ නොමැකෙන සලකුණක් තැබූ නිෂ්පාදකයෙකි. රේසිං හා සුඛෝපභෝගී මෝටර් රථ නිපදවීමට නම්දැරු ඇමරිකානු නිර්මාපකයන් වන ඔවුන් 1937දී තම නිෂ්පාදනය අත්හිටවිය. එයට ප්‍රථම එක් මෝටර් රථයක් මෙම ඓතිහාසික සලකුණට අවසාන ප්‍රහර්ෂය ලබා දීමට සමත් විය.
1937 හා 1940 වසර අතර කාලපරාසය තුල ඔවුන් අතින් නිපදවූ එක් විශිෂ්ට නිර්මාණයකි. එක් රථයකි. මෙකී කාලපරාසය තුල ඔවුන් විසින් නිපදවූයේ එකී රථයම පමණි. එදින භාවිත වූ තාක්ෂණයට සාපේක්ෂව නවීන තාක්ෂණය හා විශේෂ ශිල්ප ක්‍රම යොදා ගනිමින් නිපදවූ මෙහි ඇතුලත interior සහ පිටත body සම්පුර්ණ කිරීමට වසර බොහෝ ගණනක් ගතවිය. දීප්තිමත් අලු පැහැයට හුරු කලු පැහැයකින් යුක්ත two-tone තීන්තෙන් පින්තාරු කල රථය නෙතට රසදුනක්ම විය. මෙය දොර දෙකකින් යුක්ත වූ coupé රථයක් විය. 1939 දී සාදා නිම කරන ලද මෙම විශිෂ්ට නිර්මාණය මෝටර් රථ කලාවේ එක් සංදිස්ථානයකි. එය නම් Duesenberg Simone Midnight Ghost මෝටර් රථයයි. මෙය එම වර්ගයේ රථ වලින් නිපදවූ ප්‍රථම හා එකම රථයත් Duesenberg නාමය සදහන් අවසන් රථයත් විය.
මෙහි සැලැස්ම 1920 හා 1940 වසර තුල ප්‍රචලිත "Art Deco" නිර්මාණ ශෛලියේ ආභාෂය ලැබූ අතර වැඩ නිමවා අවසන් වූ පසු එය කාලයේ වැලිතලාවෙන් සැගව ගිය අතීත ප්‍රේමවෘත්තාන්තයක් සිහි ගන්වන්නක් විය. මෙකී අපූරු නිර්මාණයේ නිර්මාපකයා නම් ඇමරිකානු ජාතික Emmet-Armand මහතායි. ප්‍රංශ විලවුන් අධිරාජ්‍යක අදිපති වූ Gui De LaRouche මහතාගේ විශේෂ ඇණවුමට අනුව ඔහු වෙනුවෙන්ම නිර්මාණය කල මෙය ඔහුගේ ප්‍රේමවන්තිය වූ "Simone" නම් සුන්දරිය හට තිලිණ කරන්නට නියමිතව තිබිණ.
නමුත් අවසනාවක මහත! කිසිවකු නොසිතූ නොපැතූ පරිද්දෙන් දෙවන ලෝක මහා යුද්දය පැමිණි අතර බොහෝ මෝටර් රථ යුද්දයේ කුරිරු ගිනි දලුවලට ගොදුරු නොවන වස් සගවාලිනි. ලොවට එකක් වූ Duesenberg Simone Midnight Ghost මෝටර් රථය ප්‍රංශයේ කොහේ හෝ ස්ථානයක මෙසේ සැගව ගිය අතර එහි නිර්මාපකයා වූ Emmet-Armand මහතාත් ඔහුගේ නිර්මාණය සමගම අතුරුදහන් විය. නමුත් අනාගතෙයේ කිසියම් හෝ දිනෙක මෙය අත්හැර දැමු ගබඩාවකින් සොයාගනු ඇතැයි ලොව පුරා සුවහසක් වූ මෝටර් රථ ලෝලීන් බලාපොරොත්තු සහගතව සිටී.
The cinema is something between art and life – Jean-Luc Godard.
සිනමාව යනු යථාර්ථයත් මායාවත් අතර පවතින දෙයකියි Jean-Luc Godard මහතා වරක් පැවසීය. Duesenberg මෝටර් රථය පිළිබද ඉහත පුරාවෘත්තය කටින් කට පරම්පරා බොහෝ ගණනක් පැමිණ ඇත. නමුත් සත්‍ය සැමවිටම ප්‍රබන්ධයට වඩා විස්මයජනකය. මෙය කිසිදින සත්‍ය වශයෙන්ම තිබු මෝටර් රථයක් නොව 1/24 පරිමාණයට පැවති මෝටර් රථ ආකෘතියක් පමණි. ඉහත පුරාවෘත්තය මනකල්පිතයකි. නමුත් ලොව පුරා විසිරී සිටින මෝටර් රථ වලට ආදරය කරන සියලු මිනිසුන් හට නම් Duesenberg Simone Midnight Ghost මෝටර් රථය ලෙයින් මසින් පිරුණු සැබවින්ම මෙලොව පැවති දෙයකි.