මේ තෙක් ඔබට සියල්ල පැහැදිලි ඇතැයි සිතමි. දැන් ඛේදනීය මීළග මිනිත්තු කිහිපය සාවධානව කියවා ගමු.
පළමු අත්වැරදීම සිදුවිය. පෑන්-ඈම් නියමුවාට තමා ගත යුත්තේ C1 අනු පථයද නැතිනම් C3 අනු පථයද යන්න පැහැදිලිව ශ්‍රවණය වී නොතිබිණි. නමුදු වහා ක්‍රියාත්මක වූ පාලක මධ්‍යස්ථානය 'එකද නොව, දෙකද නොව, තුන' යැයි පැහැදිලිවම නැවතත් දෙවරක් හඩනගා පැවැසීය.
දෙවනුව කාලගුණය හරස් විය. මුහුදු මට්ටමින් අඩි 2077ක් ඉහළින් වූ ලොස් රෝඩියස් ගුවන් පථය ගණ මීදුම් වළාවකින් වැසිනි. ප්‍රධාන පථයට ඇතුළුවන විට මීටර් 500ක් පමණ ඉදිරිපස පැහැදිලිව දෘෂ්‍යමානව තිබූ දෘශ්‍ය සීමාව වහා මීටර් 100කට කෙටිව ගොස් තිබිණි. තෙවනුව අතිශය පළපුරුදු ගුවන් නැවියා කිසිදින මෙම කුඩා ප්‍රාදේශීය ගුවන්පථයෙහි ගමන් කොට තිබුනේ නැත. එනිසා C3 අනුපථය පුරුද්දෙන් නොව සාවධානව ඉදිරිපස බලා හදුනාගෙන ගෙන හැරවුම ගතයුතුව තිබිණි. එමෙන්ම C3 අනුපථය අති අසාමාන්‍ය තීව්‍ර කෝණයකින් දකුණු පසට අංශක 150ක් බරව තිබූ බැව් ඔබ යළිත් මෙහිදී සිහිපත් කරගත යුතුය. නමුදු ඔහු විමසිලිමත් ගුවන් නැවියෙකු විය. ඔහු C1 පැහැදිලිව හදුනාගති. එය පසුකෙරිණි. ඉන්පසු C2 ය. එයද හදුනාගෙන පසුකරගති. C3! අහෝ එහි නාම පුවරුව ගැලවී තිබිණි. අධික මීදුම, අසාමාන්‍ය කෝණය හමුවේ නැවියා C3 අනුපථය හදුනා ගත්තේ නැත. ඔහුට එය මග හැරී ඇත. ඒ නොදැන මගහැරුනු C3 සොයමින් පෑන්-ඈම් ප්‍රධාන පථය ඔස්සේ ඉදිරියට ඇදෙයි. හිතවතුනි, ප්‍රාදේශීය ගුවන් තොටුපළ කි. එහි බිම් මට්ටමෙහි රේඩාර් නැත. අධික මීදුම හේතුවෙන් ගුවන් පාලක මධ්‍යස්ථානයට ගුවන් යානා දෙකද, ගුවන් යානා දෙකට උනුන් ද පෙනෙන්නේ නැත!
මෙවන් කල ඔවුනට ඉතිරි වූ එකම ගැලවුම කුමක් විය හැකි ද? වාචික විමසනය යි! තහවුරු කරගැනීමයි! උපදෙස් යැදීමයි! නමුදු ගුවන් යානා දෙකෙහිම නැවියන් අධික ලෙස අත්දැකීමෙන් බර වූ, නෛපුණ්‍ය පරිචයේ උපරිමාන්තික තේජස විදාලු යානාධිපති උත්තුංගයන් විය. උන්ට මේවා කිරි කජුය!
දැන් KLM යානය දෙස හැරෙමු. පෑන්-ඈම් මේවන විට, ගතයුතු හැරවුම වූ C3 පසු කොට ඉදිරියට ඇදී එයි. KLM ප්‍රධාන පථය අවසානයට පැමිණ අංශක 180කින් එය හරවා ගති. ඔවුන් දැන් ක්‍රමයෙන් වේගවත් වෙමින් පෑන්-ඈම් දෙසට ඇදී එයි. උන්ට කිසිවක් පෙනේද මිතුර? සුදු පැහැ මීදුම පෙනෙයි!
ගැටුමක් සිදුවීම තවමත් වැලක්විය හැකිය!
නමුදු, KLM යානයෙහි නැවියාට යානය ඔසවා ගන්නා තුරු ඉවසුම් නැත. ඊට ප්‍රථමව ඔහු පාලක මධ්‍යස්ථානයෙන් ඉදිරිය පැහැදිලි බවට උපදෙස් ගත යුතුය. එය දෙවන නැවියාට පැවරූ හේ යානයෙහි උපරිම ත්වරණය ලබාගති. පාලක මධ්‍යස්ථානය වහා පෑන්-ඈම් හැරවුම් ගත් බවට සැකහැර දැන ගැන්මට උන් ඇමතීය.
ඒ මොහෝතේ දී, ගුවන් යානා ඉතිහාසයේ සිදුවිය හැකිව තිබූ අතිශය නොසැළකිලිමත්ම හා අවාසනාවන්තම සංවාදය මෙසේ සිදුවිය.
KLM - පාලක මධ්‍යස්ථානය අමතන්න, අප ගුවන්ගත වීම සදහා සූදානම්. අවසර ලබා දෙන්න.
පාලක මධ්‍යස්ථානය - හරී (ඒ සදහා සූදානම්ව සිටින්න. නැවත තහවුරු කරනතුරු ත්වරණය නොගන්න)
පාලක මධ්‍යස්ථානය - පෑන්-ඈම් අමතන්න. ඔබගේ ඉදිරිපස පැහැදිලි ද?
පෑන්-ඈම් - (නැත, C3 හැරවුම වෙත තවමත් එළඹ නැත)
පාලක මධ්‍යස්ථානය - හැරවුම ගත් සැණින් දන්වන්න. ඉදිරියෙන් KLM පියාසර කිරීම සදහා බලාපොරොත්තුවෙන් ඉදිරියට එමින් හිදී.
KLM සහයක නියමුවා, සිය මව් බසින් ප්‍රධාන නියමුවා අමතමින් - ඉස්සරහා පැහැදිලි නැහැ කියලද බොස් අර කියන්නෙ?
KLM ප්‍රධාන නැවියා, මව්බසින් - මොකක්?
KLM සහයක නියමුවා - පෑන්-ඈම් පැහැදිලි නැහැ කියලයි කියන්නෙ බොස්.
හිතවතුනි, මෙහිදී කාරණා දෙකක් සිදුවිය. එකක් පාලක මධ්‍යස්ථානයට නොදන්වා KLM ප්‍රධාන නියමුවා ත්වරණය ඒ වනවිට ද ගෙන තිබීම විය. අනෙක අතිශය අවාසනාවන්ත අයුරින් KLM රේඩියෝව මත විසංඛ්‍යාතය හේතුකොට වරහනින් දක්වා ඇති කොටස් ඔවුනට ශ්‍රවණය වී නොතිබීම විය. වරහන් තුළ ඇති කොටස් නොකියවා ඉහත සංවාදය යළිදු කියවන මෙන් ඉල්ලා හිදිමි.
මින් එකක් හෝ සිදු නොවිනි නම්, ගැටුම වලක්වාගත නොහැකි වනමුත් එය අතිශය මරණීය නොවී තිබෙන්නට ඉඩ තිබිණි. කෙසේමුත් දෛවය ලියවී තිබුනේ අනෙකටය!
අවසානයේ කෙසේ හෝ ගුවන් යානා දෙකම එකම මංතීරුවක මුහුණට මුහුණ එකිනෙකා දෙසට විදුලි වේගයෙන ඇදී එමින් තිබිණි. KLM සිය ත්වරණය අභිමුව පැයට කිලෝමීටර් 260ක වේගයක් ගෙන ඇත. ඒ පිටිපසින් මිනිස් ජීවිත 248 ක් විය. පෑන්-ඈම් හැරවුම මගහැර ඉදිරියට එමින් ඇත. ඒ සමග ජීවිත 396 ක් විය. යානා අතර පරතරය මීටර් 700 කි. සුළං වේගය, සීතල, මීදුම, යානා අතර හිඩැසින් පටු වෙමින් එකිනෙක රිංගා ගනිමින් එදෙසින් පලා යමින් උනුන්ට එකිනෙකා දර්ශනය වන්නට ඉඩහැරදා මං හෙළි කරදුනි. සියල්ල පළා ගිය කල් හී අවසාන හිතවතා ඒ අතර ඉතිරි වී තිබිණි. මරණය! මරණය පමණක් දත් විලිස්සා මොහොතකින් එළඹෙන ලෝහමය චුම්භනයේ උණුසුම මත සිය ඝෝර යාගය රගන්නට නිය නියවා බලා හිදීය!
උනුන් දුටු වහා පෑන්-ඈම් වේගවත් දකුණත් හැරවුමක්ද, KLM සීග්‍ර උඩුකුරු තෙරපුමක්ද ලබාගති. නමුත් ඒ ප්‍රතීක ක්‍රියාවෙහි සීග්‍රතාව මරණය අභිමුව සෙල්ලම් ක්‍රීඩා විය. උන් බොහෝ ප්‍රමාදය. ගැටුම් තාපයෙන් ලෝහ උණුවිය. ඉන්ධන පිරවූ KLM වහා ගිනි ඇවිලගති. එහි වූ මිනිස් ජීවිත 248 දැවී අගුරු විය. ගැටුමෙන් පෑන්-ඈම් යානයෙන් හතරෙන් තුනක් කැඩී ගොස් විසි වී KLM තුරුලෙහිම සැතප ගති. ඒ සමග ජීවිත 335ක් දෛවයේ අවසාන තොටුපළ සොයා ගොස් තිබිණි. වේගවත් හැරවුම් හේතුකොටගෙන පෑන්-ඈම් හී නියමු මණ්ඩලය හා ඉදිරිපස මගීන් ඇතුළු හුස්මපොදි 61ක් තුවාල ලබා දිවි ගලවා ගති.
නිමේෂයක ආන්තරාවෙන් ජීවිත 583ක් මරු වැලද, කරකුට්ටන් කාබන් කුට්ටි කැබිලිති වී හුස්ම ඇයදූ ජීවිත වේදනාවේ හුස්මින් තොර නොදන්නා අවකාශ තලයක් සොයා පියමැන තිබිණි!
සදාත්ම චේතනාවෙන් ලෞකිකය ගොඩගැසූ ඒ ජීවන කන්දරාවට වග කියන්නෙ කවුරුන් ද?
බෝම්බ පිපිරී නොගියේ නම්, පෑන්-ඈම් ගගන සැරිසරන්නට අසද්දී ඊට ඉඩ දී තිබිණි නම්, KLM ඉන්ධන පුරවා ගැනීමට කල් නොමැරුවේ නම්, රවුම් ගැසු ලන්දේසි පවුලේ සාමාජිකයින් කලට යානයට ගොඩ විණි නම්, මීදුම නොතිබුනේ නම්, පෑන්-ඈම් නැවියා C3 අනුපථය දුටුවේ නම්, C3 සංඥා පුවරුව ගැලවී නොතිබුනේ නම්, එය සවි කරන්නට සිටි කම්කරුවා අලස් නොවී ඒ ඉටුකලේ නම්, KLM නැවියාට හදීසි නොවිණි නම්, රේඩියෝ දෝෂ ඇති නොවිණි නම්, ගුවන් පාලක මැදිරිය වඩා වගකීම් සහගත වූයේ නම් හෝ ඒ හෝරා කිහිපයේ සිදු වූ කිසියම්ම එකමෙක සිදුවීමක් වෙනස් වී සිදුවුනි නම්, මේ මෙසේ වන්නට නොතිබුණා ද? නොදනිමි!
ජීවිතයේ පුංචි සිදුවීමකින් වෙනස්ව උපදින දාම ක්‍රියා මාලාවක අවසානය කෙසේ විය හැකි ද? ඒ එක එක පුංචි සිදුවීම වෙනස් කර ඉපැද්දිය හැකි සමාන්තර අවසාන කොපමණ වේද?
සිතන්න! පුංචි සිදුවීමට වටිනා කමක් ඇත. ඒ ඊට උරුම වූ වටිනාකම දෙන්න. ඒ තුළ ජීවිතය දකින්න.
මන්ද, ඊළග සිදුවීම, ඊළග පුංචි සිදුවීම ඔබට සිදුනොවීමට ඉඩ ඇති හෙයිනි!