ලෝකයෙහි උද්ඝටිතඥ ය, විපචිතඥ ය, නෙය්‍ය ය, පදපරම ය යි පුද්ගලයෝ සතර දෙනෙක් වෙති.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පුද්ගල ප්‍රභේද

    “චත්තාරො මෙ භික්ඛවෙ! පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ චත්තාරො? උග්ඝටිතඤ්ඤු, විපචිතඤ්ඤු, නෙය්‍යො, පදපරමො ඉමෙ ඛො භික්ඛවෙ! චත්තාරො පුග්ගලා සන්තො සංචිජ්ජමානා ලොකස්මිං."

    යන දේශනාව පරිදි ලෝකයෙහි උද්ඝටිතඥ ය, විපචිතඥ ය, නෙය්‍ය ය, පදපරම ය යි පුද්ගලයෝ සතර දෙනෙක් වෙති.

    බුදුවරයකු විසින් හෝ බුද්ධ ශ්‍රාවකයකු විසින් හෝ සංක්ෂේපයෙන් දෙසන ධර්මයක් ඇසීමෙන් එකෙණෙහි ම මඟ ඵල ලබා චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කොට නිවන් දක්නට සමත් වූ දාරුචීරිය ශාරිපුත්‍ර මෞද්ගල්‍යානාදීන් වැනි පුද්ගලයෝ උද්ඝටිතඥ නම් වෙති.

    විස්තර වශයෙන් දේශනා කළ ධර්මය අසා අවසානයෙහි මඟ පල ලබා නිවන් දක්නට සමර්ථ පුද්ගලයෝ විපඤ්චිතඥ නම් වෙති.

    ධර්මය උගෙන උගත් ධර්මය ගැන නැවත නැවත කල්පනා කිරීම පිළිවිසීම කලණ මිතුරන් සේවනය කිරීම භාවනා කිරීම යන මේවා කොට කලෙක දී මඟ ඵල ලබා නිවන් දක්නට සමත්හු නෙය්‍ය පුද්ගලයෝ නම් වෙති.

    කොතෙක් බණ ඇසුවත් කොතෙක් කලණ මිතුරන් සේවනය කළත් කොතෙක් භාවනා කළත් ඒ ජාතියේදී මඟ පල ලැබීමට නො සමත් වන්නෝ පදපරම පුද්ගලයෝ නම් වෙති.

    පෙර ජාති වලදී භාවනා කිරීම් ආදි වශයෙන් විදර්ශනා ඥානය බොහෝ දුරට දියුණු කැර ගත් පුද්ගලයෝ උද්ගටිතඥයෝ වෙති. මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කැර ගත්තේ විපචිතඥයෝ වෙති. මඳ වශයෙන් විදර්ශනා ඥානය ඇති කර ගත්තේ නෙය්‍ය පුද්ගලයෝ වෙති. උපනිඃශ්‍රය සම්පත් නැත්තෝ ද අන්තරායික ධර්ම ඇත්තෝ ද පද පරම පුද්ගලයෝ වෙති. විදර්ශනා භාවනාව කළ යුත්තේ නෙය්‍ය පුද්ගලයන් හා පදපරම පුද්ගලයන් විසිනි. පද පරමයන් විසින් කළ යුත්තේ අනාගතය පිණිසය.

    විදර්ශනා භාවනා ක්‍රමය
    අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ

    #විදර්ශනා_භාවනා_ක්‍රමය
    https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/

    විදර්ශනා භාවනා ක්‍රමය Pdf download
    https://tipitaka.lk/library/508

    බෞද්ධ පොත් app එක හරහා කියවන්න
    https://play.google.com/store/apps/details?id=lk.pitaka.books