එදා අඩ කොට තිය තිය ගිය අද හැටට හැටේ යන දහ අට වංගුව
”පාරවල් හැදුවේ නැත්තං සුද්දෝ...
අපි තාමත් වැද්දෝ...”
බින්තැන්නට ගිය කෙනෙක් එසේ කියන්නට ඇත.
”සොරබොර වැව හැදුවේ කවුද?
බින්තැන්නේ හිටිය බුලතා කියන තනි මිනිහෙක්. ඒ තාක්ෂණේ ලෝකෙටම දුන්නේ සිංහලයෝ. අපිට වැද්දෝ කියන සුද්දෝ හෙළුවෙන් හිටිය කාලේ අපි රෙදි ඇන්දා”
තව කෙනෙකුට එසේ කියන්නට ද පුළුවන.
ඒ කෙසේ වෙතත්, මෙරට නූතන දුම්රිය හා මහාමාර්ග පද්ධතියට අඩිතාලම වැටුණේ සුද්දාගේ තේ, කෝපි වගාව නිසාය. ඒ ගැන කතා දෙකක් නැත. ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාර තැන; එහි පුරෝගාමියාය. සහායට උන්නේ තෝමස් ස්කිනර් නම් ඉංජිනේරුවරයාය.
මොවුන් දෙදෙනා මෙරට පැමිණියේ අරමුණු තුනක් ඉෂ්ට සිද්ධ කිරීමටය. ඉන් පළමුවැන්න පාරවල්ය. දෙවැන්න පාරවල්ය. තුන්වැන්න ද පාරවල්ය. ඒ පාර හැදිලේලෙන් මුළු රටම වෙන අතකට පෙරළී ගියේය. මේ අතර හපන්කම් ද දක්නට ලැබෙයි.
උඩරට ගැමියෙක් තම හිස වටා සුම්බරයක් බඳින්නේය. බදුල්ල දක්වා රේල්පාර හදන්නට ගිය සුදු ඉංජිනේරුවා දෙමෝදර දී හිර වුණේය. අවුල ලිහා ගත නොහැකිව ඔහු දිවි නසා ගැනීමට පවා උත්සාහ කළ බව කටකතාවක සඳහන් වෙයි.
ගැමියෙක් තම හිසේ සුම්බරය ගලවා එය නැවත බඳින ආකාරය ඉංජිනේරුවා දුටුවේ අහම්බෙනි. තමන් හිර වී සිටි තැනින් එළියට යෑමට මේ ක්‍රමය ටක්කෙටම හරියන බව වටහා ගත් හෙතෙම දෙමෝදර දී අපූරු ඉංජිනේරු විස්කමක් කෙළේය.
රෙදිකඩක් මිනිහෙකුගේ හිස වටා ඔතන්නා සේ ඔහු කඳු මුදුනක යකඩ රේල් පීලි එතුවේය. එය ලංකාවටම එකය. වෙන කොතැනකවත් එවැන්නක් දැකගත නොහැක. මලය රට සහ බින්තැන්න යා කරන දහ අට වංගු මාර්ගය ද මෙරට ඇති දුලබ නිර්මාණයක් බැව් බොහෝ දෙනා නො දනිති. එවැන්නක් ද මේ රටේ තවත් නැත.
දහ අට වංගු මාර්ගය එනමින් ප්රකටව ඇත්තේ එහි ඇති ප්‍රපාතාකාර වැලමිට වංගු දහ අට නිසාය. මේ මාර්ගයේ එක් වරක් පමණක් ගමන් කැර ඇති අයෙකුට වුවත් එය කිසිදා අමතක නොවන ගමනක් වනු ඇත. උඩුදුම්බර පොලිස් බල ප්‍රදේශයෙන් ඇරඹෙන දහ අට වංගුව අවසන් වන්නේ හසලක පොලිස් බල ප්‍රදේශයෙනි.
ඔබ කන්ද නඟින්න. පළමුවැනි වංගුව පටන් ගන්නා තැන සිට පහත බලන්න. සදාහරිත තුරු වදුලු හාත්පස සිසාරා මිණිපේ ජලාශය දෙනෙතට හසුවෙයි. ඉන් වසඟ නොවී දෙනෙත් අංශක 90ට කෝණගත කරන්න. කළු පැහැති යෝධ උරගයෙක් දඟර ගැසී දිවයන්නා සේ දැන් පෙනෙන්නේ දහඅට වංගු මාර්ගය යි. ඔබ එය දුටුවේ යෝධ සර්පිලයක් ලෙස නම් එය අපූරු කල්පනාවකි.
”මේ පළමුවැනි වංගුවේ ඉඳලා අන්තිම වංගුව දක්වා හරි කෙළින් නූලක් පහතට දැම්මොත් ඒක කොච්චර දිග වෙයිද ...?”
”.... මීටර් පන්සීයකටත් වඩා අඩුයි.”
අප සමඟ වුන් ඉංජිනේරු තැන සෘජු පිළිතුරක් දුන්නේය. එයින් අපි මවිතයට පත්වීමු.
”ඒ කියන්නෙ වංගු දහ අටම තියෙන්නේ උසින් කිලෝමීටර් භාගයකටත් වඩා අඩු දුරකින්?”
”ඔව් මීටර හාරසිය ගණනක් තියෙන්නේ”
ඔහු නැවත වරක් පිළිතුරු දුන්නේය. එහෙත් ඒ සරල පිළිතුර පිටුපස සැඟව ඇත්තේ බැරෑරුම් කතාවකි. කෙටියෙන්ම කිවහොත් මෙවැනි ප්‍රපාතාකාර බෑවුමක කන්ද වටේ හැරෙමින් මහා මාර්ගයක් තැනීම සුළුපටු කාරියක් නොවේ.
කිලෝමීටර භාගයක දුර නඟින්නට හෝ බසින්නට ඔබ කිලෝමීටර හතක දුරක් කන්ද වටේ සැරිසැරිය යුතුය. මේ කෙතරම් අපූරු දැයි සිතන්න. නමුත් ඊට වඩා වටින්නේ එය ඔබ සියැසින්ම දැක බලා ගැනීමය.
කෝපි කාලේ සුද්දෙක්; අක්කරය සිලිං පහ ගණනේ කඳු යායක් මිලට ගත්තේය. ගමන අශ්වයා පිටිනි. දුම්බර කඳු වළල්ලේ සිට බින්තැන්න දෙසට ඇදී ගිය ඒ අඩි පාර පසු කලෙක ගුරු පාරක් බවට පළල් විය. ඊටත් පසුව එය ගල් තාර යෙදූ මහා මාර්ගයක් බවට වැඩි දියුණු කෙරුණේ කොළඹ වරාය දක්වා තේ - කෝපි ප්‍රවාහනය කිරීමට ය. ඒ දහ අට වංගුවේ ඉතිහාස කතාවය. අවාසනාවකට දහඅට වංගුවේ මුලින් ම අශ්වයා පිටින් ගිය වතුකාර සුද්දා ගේ නම දන්නා කෙනෙක් සොයා ගත නොහැකි විය.
බින්තැන්න; යක්ෂ ගෝත්‍රිකයන් ගේ පුරාණ රාජධානියකි. මහා රාවණ රජු ගේ තේජස මෙහි පැතිර ගියේලු. බුද්ධත්වයෙන් නම වැනි මාසයේදී බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිවට වැඩම කළ බව බෞද්ධයන් ගේ විශ්වාසය යි. ඒ බින්තැන්න හෙවත් අද මහියංගණයට ය.
සුමන සමන් දෙවියන් බුදුන් වහන්සේ ගෙන් ඉල්ලා ගත් කේශ ධාතු තැන්පත් කොට පසු කලෙක මිහිගුණ මහ සෑය ඉදිකළ බව තවත් ජනප්රවාදයකි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ වාසය කරන මහනුවර රාජධානියත්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත්ව ඇති මහියංගණයත් යා කැරෙන ඉපැරැණි ගමන් මාර්ගයක් තිබුණේය. බින්තැන්නේ ආදීවාසීන් දළදා වඳින්නට මී පැණි රැගෙන ගමන් කොට ඇත්තේ ඒ මඟ ඔස්සේ ය. එහෙත් අද ඒ මඟ දක්නට නැත.
කෙසේ වෙතත් දහ අට වංගු මාර්ගය ඉදි කිරීමෙන් පසුව මහනුවර සහ මහියංගණයත් දීඝවාපිය පිහිටි නැෙඟනහිරත් එකම වන්දනා ගමනක් බවට පත් විය. මේ ඒ සඳහා ඇති ජීවමාන සාක්ෂියකි.
”... අපි නමෝ විත්තියෙන් කොරතොට ඉඳලා ගමනට වැඩ අවසර ගත්තේ පත්තිනි දේව මෑණියන්ගෙන්. තෙරුවන් සිහිකර ගෙන බලන ගලෙනුත් නැඟලා ශ්‍රී දළදා හාමුදුරුවෝ වැඳ පුදා ගත්තා.
ඊළඟට රෑ පානෙම දුම්බර කන්ද නැග්ගා. හුන්නස්ගිරිය – උඩුදුම්බර පහු කරලා දහ අට වංගුව ළංවෙත්දී හැමෝම අවදියෙන්. පාර අයිනෙම කෝපි වත්කරගෙන බිව්වා. ලන්තෑරුම් දෙකක් අතට අරගෙන ඉලන්දාරි දෙන්නෙක් වන්දනා බස් එකට කලින් පයින්ම දහ අට වංගුව බහින්න පිටත් වුණා.
අඩ කොටේ සූදානම් කරගෙන ගෝලයා සීරු - මාරුවෙන්. රියදුරු මහත්තයා සුක්කානමට තුන් පාරක් වැඳලා දහ අට වංගුව බහින්න පටන් ගත්තා. ඒ කාලෙ හොර හතුරොත් හිටියා. දෙවැනි වංගුව තමා නරකම තැන. එතන නතර කරලා වාහනේ රිවස් නොකර කොහොමටවත් වංගුව පන්න ගන්න බෑ. මෙන්න මේ වෙලාවට තමා මංකොල්ලකාරයෝ එළියට පනින්නේ. අනිත් පැත්තෙන් වංගුව හරිම භයානකයි. පොඩ්ඩ බැරි වුණොත් නතර වෙන්නේ ප්රපාතය පතුළේ.
කන්ද පහළ ඉඳලා වාහනයක එළියක් දැක්කොත් අපේ වාහනේ ඉඩ තියෙන තැනක නතර කරගෙන අර වාහනේ යනතුරු බලා උන්නා. මොකද කන්ද නඟින වාහනේට ඉඩ දීම තමා ඒ කාලේ සිරිත. මඟ අනතුරක් දැක්කොත් කලින් ලන්තෑරුම් අරගෙන පහළට බැස්ස කොල්ලො දෙන්නා ඒ බව දැනුම් දෙනවා. අමතර ආරක්ෂාවටයි එහෙම කෙරුවේ. කොහොම හරි අඩ කොටේ තිය තියා දහ අට වංගුව බැහැලා මහියංගණේට ගියා කියමුකෝ. මහ සෑය දැක්ක හැටියේ අපි දොහොත් මුදුන් දීලා වැන්දා ... වැන්දා නොවෙයි ළමයෝ හිතේ බය දුරුවෙච්ච සහනෙට ඉබේටම වැඳෙනවා. ඒක පුදුමාකාර භක්තියක්.”
අතීතයේ දී වන්දනා නඬ සංවිධානය කළ කඩුවෙල ඒමින් සිංඤෝ උපාසක තැන දහ අට වංගුව බැස මිහිගුණ සෑය වඳින්නට ගිය ගමනක් එසේ සිහිපත් කෙළේ ය.
”... ඒ කාලේ වන්දනා ගමනක් ගියේ හරකා - බාන වතු පිටි අඹු දරුවන්ට - ලේ ඥාතීන්ට බාර දීලයි. අපි සති ගණන් ඇවිද්දා. අතරමං වෙලා - හාමත් වෙලා හිටිය දවසුත් තිබුණා. මහියංගණ මහ සෑය වැන්ඳට පස්සේ පදියතලාව, මහඔය අම්පාර හරහා දීඝවාපියට ගියා. ඊළඟට පොතුවිල් මුහුදු විහාරේ වැන්ඳා. සියඹලාණ්ඩුව හරහා අපි ආපහු ගම්බිම්වලට ආවේ කියන්න බැරි සතුටකින්. ඒ මඟ විස්තර සති ගාණක් කියන්න පුළුවන්.
සමහරුන් මෙහෙම ගමනක් ගියේ ජීවිතේට ම එක පාරයි. සමහර වතාවල්වල මහියංගණයේදී ගමන් මාර්ගය වෙනස් කරලා අපි පොළොන්නරුවටත් ගියා. නැත්තං සියඹලාණ්ඩුවෙන් පාර වෙනස් කරලා කිරි වෙහෙර – කතරගම වඳින්න රුහුණටත් ගියා.”
දහ අට වංගුව බැස මහියංගණයට ගිය විට මෙරට යෑමට – ඒමට තවත් බොහෝ මාර්ග පෑදෙන බව ආ ගිය ගමන් සිහිපත් කරමින් ඒමින් සිංඤෝ උපාසක මහතා විස්තර කෙළේය. දහ අට වංගුවේ බඩු පටවා ගෙන නිතර ගමන් කළ පැරණි රියදුරන් සතුව බොහෝ රසවත් කතන්දර ඇත.
ඒවා ත්‍රාසජනක මෙන් ම හාස්‍යජනක සිද්ධීන්ගෙන් ගහණය. ඇත්තට ම ඒ ආ ගිය කතා වෙන ම සාහිත්‍යාංගයකි. කැමති අයෙක් තොරතුරු සොයා ගෙන ඒ සාහිත්‍ය පෝෂණය කරත්වා.
කාලයත් සමඟ ම මඟ තොටත් වෙනස් වෙයි. යටත් පිරිසෙයින් මීට වසර දෙක තුනකටවත් පෙර පැවති දහ අට වංගුවේ ගිය කෙනෙකු නම් ඒ පැරණි මඟ අද නොදකිනු ඇත. ඒමිස් සිංඤෝ උපාසක මහතා අද එහි ගියොත් දකින දෙයින් ඔහු විමතියට පත්වනු නො අනුමානය. වෙන රටකට ගොඩ බැස්සාද කියා ඔහුට සිතෙනු ඇත.
1990 දශකයේ මුල් භාගයේදී මම නිතර නිතර දහ අට වංගුව ඔස්සේ අම්පාරට සහ කල්මුණේට ගමන් ගියෙමි. ඒ සෑම විටෙකදීම වෙනත් පහසු මාර්ග තිබියදී පවා දහ අට වංගු මාර්ගය ම තෝරා ගත්තේ එය කවදාවත් එපා නොවන ගමන් මඟක් වූ නිසා ය.
ක්‍රමයෙන් මේ මාර්ගය පරිහානියට පත් වන්නට වූයේ අදහාගත නොහැකි වේගයකිනි. පාර පටුය. ගල්තාර ගැලවී ගොස්ය. වංගුවල ආරක්ෂක පැති බැමි පුපුරා කඩා වැටෙන්නට යන්නා සේ පෙනිණ. ප්‍රපාතාකාර බෑවුම ආසන්නයෙන් ම විහිදුණු මාර්ගය කොයි මොහොතේ බර පැටවූ වාහනයක් සමඟ ගිලා බසී ද යන බිය සංකා ද පහළ විය. එදා එය කොහොමටත් අනතුරු බහුල මාර්ගයකි.
දහඅට වංගුව මඟ හැර රජ මාවත ඔස්සේ රන්දෙණිගල ජලාශය හරහා මහියංගණයට යෑම ඇඟට ගුණ බව සිතා බොහෝ දෙනා වෙන අතක් බලා ගත්හ. නමුත් ගමන දුරය. රෑ කාලෙදී නම් ඒ මාර්ගයේ දී අලි රංචු මුණ ගැසීමේ අවදානමද බාර ගත යුතුය.
ගණන් බලා ඇති අන්දමට දහ අට වංගු මාර්ගයේ දිනකට සාමාන්‍යයෙන් රථවාහන 3000 ක් පමණ ගමන් කරයි. ඉන් 800 ක් පමණ ම වැලි ලොරිය. හානිය අතින් ගත් කළ එක් වැලි ලොරියක් යනු මෝටර් රථ සියයකින් සිදුවන බලපෑමට සමාන ය.
”මේ පාරට වැඩිම හානිය කෙරුවේ වැලි ලොරි. පාර ගන්නම දෙයක් නැතිවයි තිබුණේ. දහ අට වංගුව අත හැරලා සමහරු විකල්ප මාර්ග ගැන කතා කර කර හිටියේ වැඩේ කරන්න නෙවෙයි නො කරන්න. නමුත් මහින්ද චින්තන වැඩ පිළිවෙළ යටතේ මේකත් කරලා පෙන්වන්න පුළුවන් වුණ වැඩක් බවට පත් වුණා...” මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් කතාවට මුල පිරුවේය.
එදා ගල් - තාර යොදා තිබූ දහ අට වංගු මාර්ගය අද සුපිරි කාපට් මාර්ගයකි. කොළ පැහැති පසුබිමේ මා එය දුටුවේ දුම්බර කඳු වැටියට එලා ඇති ඝන කළු පලසක් ලෙසය. ඒ එතරම්ම නෙතට සුව පහසුය. වෑන් රිය කිසිදු හැල හැප්පීමකින් තොරව මට සිළිටිව ඇදී යයි.
”මේකද මහත්තයා දහ අට වංගුව...
සිම්පල් නේ...”
ජීවිතයේ පළමුවරට දහ අට වංගුව ඔස්සේ වාහනයක් රැගෙන යන අපේ රියදුරු තැන වේගය තවත් වැඩි කරමින් කීවේය.
”හා.. ඒකට කමක් නෑ.. හෙමිහිට යං..”
අතීතයේ දහඅට වංගුවේ ගමන් සිහිවී මම කීවෙමි.
එදා අඹ කොට රැගෙන සීරු මාරුවට ගිය ගමන අද ‘සෙල්ලං ද කොල්ලෝ’ කීවා වැනි ගමනක් වී තිබේ. ඈත පහළ වංගුවේ රතු පැහැති බස් රථ දෙකක් අතර ධාවන තරගයකි. වංගුව පසු කළ සැණින් පසුපසින් ආ බස් රථය අනෙක් බසය පසු කොට ඉගිල ගියේය. දහ අට වංගුව වෙනස්වී ඇති තරමක්! එදා පාරේ පළල යන්තම් මීටර තුනකි. අද එය මීටර 8.5 ක් තරම් මහත් වී තිබෙන්නේ මං තීරු දෙකක් ද සමඟිනි.
දහඅට වංගුව අතර මාර්ගයේ වම්පස ප්රපාතය පැත්තේ කුඩා සානුවක හැඩයට තැනූ තැන් ගණනාවකි. වාහනය එවැනි තැනෙක නතර කොට සිත් සේ සොබා අසිරිය විඳගත හැකිය. මේ සියල්ල ම සමඟ නෙත ගැටෙන්නේ අන්තර්ජාතික මට්ටමින් ඉඳි කළ නවීන මාර්ග සංඥා පුවරුය. නෙත පිනවයි. එහෙත් හිත කකියයි. විශේෂ ලෝහ වර්ගයකින් තැනූ යෝධ කැටපත් කිහිපයකි. ඒ නො පෙනෙන වංගු අතරින් එන වාහන ඉදිරියෙන් එන රියදුරන්ට දැක බලා ගැනීමට ය.
ඉලක්කය බලා වේගයෙන් ගසන ලද ගල් පහරක් නිසා රුපියල් 50,000 ක් පමණ වටිනා එකී කැටපතක් සිදුරු වී ගොස් ය. දැන් එයින් ඇති වැඩක් නැත. නවීන මාර්ග සංඥා පුවරු කිහිපයක් සහ ආරක්ෂක ලෝහ වැටක් ද හානියට පත්ව ඇත. නොහික්මුණු නරුමයන් කිහිප දෙනෙක් කළ අමන වැඩකි. උඩුදුම්බර හා හසලක පොලීසිවල නිලධාරීන් ඒ ගැන බලත්වා!
දුම්බර කඳු වළල්ලේ දහ අට වංගුව අතරින් ඝන කළු කාපට් පලස එළන්නට ඉඩදීමට සොබාදහම නො සෑහෙන කැප කිරීම් සිදු කළාය. කිසිවකින් නොසැලුණු කඳු වැටිය, පාර මහත් කිරීම සඳහා වන්දි ගෙව්වේ තම ඇඟ මසින්මය.
දරුවන් මෙන් පෝෂණය කළ ගස් 5000 ක්ද ඒ සඳහා කැප කළාය. කිසිදා මිනිස් පහසක් නොලත් මහා කළු ගල් තලාවක් කුඩා ගල් කැට පමණට බිඳී විසිරුණේ මිනිසා ගේ සුව පහසුව පිණිසය. වැය කළ මුදල රුපියල් මිලියන 4800 කට ආසන්නය. දහ අට වංගුව එදත් අදත් සෙල්ලමක් නොවේ.
”... කෙනෙක් ඇහුවොත් මේ රටේ තියෙන දුෂ්කරම මාර්ගය මොකක්ද? මගේ උත්තරය දහ අට වංගුව. මෙහෙම තැනක් ලෝකයේ තවත් තැනක තියෙනවද කියලවත් අපි අහලා නෑ. පාර හදන්න ගත්තම ලොකු අභියෝග මතු වුණා. එකක් පරිසරය. අනිත් පැත්තෙන් මිනිස්සු. කඳු වැටිය කපා ගෙන යත්දී වටිනා ගස් 5000 ක් විතර ඉවත් කරන්න සිදු වුණා. නමුත් අපි ඒ වෙනුවට අලුතෙන් පැළ 7000 ක් රෝපණය කළා. ඊළඟට කළුගල්. මේවා කඩන්න වුණේ පරිසරයට හා අවට පදිංචිකරුවන්ට අවම හානියක් වන විදිහටයි. සාම්ප්‍රදායික බෝර දැමීම වගේ ම රසායනික ක්රමයටත් ගල් පිපිරෙව්වා...”
මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ තිදෙනෙක් අප සමඟ සිටිති. ඔවුහු මාරුවෙන් මාරුවට අපේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.
”රසායනික ක්‍රමයට ගල් පිපිරවීම කොහොමද කෙරුවේ?”
”රසායනික සංයෝගයක් ගල හාරලා ඇතුළට දානවා. පැය 48 කදී ගල කැබලිවලට පුපුරණවා. දූවිලි - ශබ්දය ඇති වෙන්නේ නෑ. නමුත් මෙතන ප්රශ්නය ගල කොයි වෙලාවේ පිපිරිලා ගල් කුට්ටි පහතට වැටෙයිද කියන අවදානම කලින් දැන ගන්න විදිහක් නෑ.”
”අනතුරු කීයක් විතර වුණා ද?”
”එක රියදුරෙක් ඔහුගේ ම නොසැලකිල්ල නිසා බැකෝ යන්ත්‍රයක් එක්ක ප්‍රපාතයට පෙරළිලා මරණයට පත් වුණා. ඒ සිද්ධිය විතරයි.”
”ඔය වැලමිට වංගු කෙළින් කරන විදිහක් ගැන හිතුවේ නැද්ද?”
අපෙන් විහිළු ප්‍රශ්නයක්. එහෙත් පිළිතුර ඇඟට වදින සුලුය.
”... ඇත්තට ම වංගු කෙළින් කරන්න තිබුණා. නමුත් අපේ අංක එක පරිසරය. දහ අට වංගුව පුළුල් කෙරුවේ හැකිතාක් එහි තිබුණු පැරණි ගතිය රැකෙන විදිහටයි. මොකද දහ අට වංගුව මේ රටේ ජාතික උරුමයක්.”
”පාරවල් හැදීම වගේ ම කැඩීමත් මේ රටේ නිතර දකින දෙයක්. මේ පාරේ ආයුෂ කාලය කොච්චරද?”
”අවුරුදු 30 ක්. නමුත් නඩත්තු කටයුතු පටන් ගන්න වෙන්නේ තවත් අවුරුදු 20 කින්. හරියට පාවිච්චි කළොත් ඊටත් වඩා කාලයක් දුවන්න පුළුවන්.”
අපි රුපියල් මිලියන 300 ක් ඉතිරි කළා. ඒ මුදලින් මේ ප්‍රදේශයේ වෙනත් මාර්ග කිහිපයක් කාපට් කළා.”
මාර්ග සංවර්ධන අධිකාරිය තව දුරටත් පවසන පරිදි දහ අට වංගුව පුළුල් කිරීමේ දී ආරක්ෂක පැති බැමිවලට අමතරව අලුත් පාලම් 9 ක් සහ බෝක්කු 430 ක් ඉදිකොට ඇත. ව්‍යාපෘතියේ කාලය මාස 30 කි. රථවාහන ගමනාගමනයට බාධාවක් නැති නමුත් මෙහි තවමත් ඉදිකිරීම් කටයුතු කෙරෙමින් පවතී. ඒ සියලු වැඩ 2012 පෙබරවාරි මාසය අවසන් වීමට පෙර නිම විය යුතුය.
”නියමිත කාලයටම වැඩ අවසන් කරන්න පුළුවන් ද?”
”ගිහිං බලන්න.. දැටත් වැඩ අවසන් වෙමින් තියෙන්නේ..”
මහියංගණයේ සිට ආපසු එන ගමනේදී වාහනය අතර මඟ නතර කළ අපි පයින් ම දහ අට වංගුව නඟින්නට ගත්තෙමු. හිමිදිරි පාන්දර නිසා මීදුම හාත්පස වසා ගෙන ය. ඒ තුනී වෙත් ම සිසිල් හරිත පැහැය දෙනෙත් තුළට රිංගා යන්නේ දිලිසෙන අරුණාලෝකයත් සමඟ ය.
මම කන්ද නඟිමි. හතිය මිස වෙහෙසක් නො දැනෙයි. මේ මඟ මට දැනෙන්නේ විල්ලු ද පලසක් මතින් යන ගමනක් ලෙසිනි. අතරමඟ නතර වෙමින් විඩා නිවමින් පැය කීයක් ගමන් කෙළේ දැයි නිනව් නැත. එහෙත් එපා වීමක් නම් නැත. එදා පැයක් තිස්සේ දහ අට වංගුව බැස්ස වාහනයක් අද ඒ සඳහා වැය කළ යුත්තේ විනාඩි 15 ක තරම් සුළු කාලයකි. දහ අට වංගුවේ පයින් ගමන ඇඟට ගුණ නැති නමුත් අලුත් පාරට පය තබා ඇවිද යෑමට ඇති වූ තෘෂ්ණාව ඊට වඩා බලවත් විය. ඒ මඟ එතරම් ම ලස්සනය. නො ඉඳුල් ය.
අපට තොරතුරු ලබාදුන් එන්.ඒ.හෙට්ටිආරච්චි, (ව්‍යාපෘති ඉංජිනේරු මාර්ග සංවර්ධන අධිකාරිය), ආර්.එම්.රත්නායක (ඉදිකිරීම් කළමනාකරු කියැංනෑම්), ආර්.චන්ද්‍රරත්න (නේවාසික ඉංජිනේරු)
යන මහත්වරුන්ට ස්තුතිවන්ත වෙමු.
උපුටා ගත්තකි