ඝොරබුද්ධ (රුදුරු බුදුන්) වෙසක් - කෙටිකතාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    "ඔහු එනවා!" වැඩුමහල් දියණිය, හණ්තා සිය පියාට කීවා ය.

    "නැවතීමක් නැති ද ඔහුට?" පියා ඇසුවේ ය.

    "කොහෙත් ම නැහැ පියාණෙනි!" දෙවැනි දියණිය, තීරා කීවා ය.

    "කොහොම ද නවත්වන්නේ ඔහු?" පියා ගේ අත නළලට ගියේ ය.

    "අප දන්නා තරම් උත්සාහ කළා. ඔහු නවතින්නේ ම නැහැ!" බඩපිස්සිය, ඟරාවි කීවා ය.

    "එතරම් ළදැඩියෙක් ද ඔහු?" පියාගේ- මණ්හ කාර ගේ -නළල අතැඟිල්ලෙන් තදින් පිරිමැදිණි.

    "ඔබ නො දන්නවා නො වෙයිනේ පියාණෙනි! ඔහු නීචයෙක්! ඔහු අධමයෙක්! වසර කීයක් නම් ඔහු ඔබට පීඩා දුන්නා ද? ඔහුට කවදා ද නැවතීමක් වුණේ? ඔහුට කවදා ද ඇති වීමක් වුණේ? ඔහු කවදා ද ඔබ රිදවා ලබන විනෝදය කෙළවරක් වුණේ?" හණ්තා ගේ කෝපය මුහුණින් මොනවට පෙනිණ.

    "මට මේ කිසි ම දෙයක් තේරෙන්නේ නැහැ දියණිය. මා ඔහුට ඇවැසි සියල්ල දුන්නා. සියල්ල ම! සියල්ලක් ම! නමුත් ඔහු මා ආක්‍රමණය කරන්නට තැත් දරනවා. ඔහු මා පීඩා කරනවා. ඔහු මා බිය ගන්වනවා!" මණ්හ කාර ගේ දෙනෙත්වල නෙත්දිය පිරිණි.

    "ඔබ යි වැරදිකරු පියාණෙනි! ඔබ ඔහුට ඕනෑ ඕනෑ හැටියට ක්‍රියා කළා. ඔබ ඔහුට ඕනෑ හැටියට ක්‍රියා කරන්නට ඉඩ දුන්නා. ඔබේ බලතලවලින් ඔහු තදින් බැඳ දමන්නට යි තිබුණේ!" ඟරාවි දත් කූරු සැපුවා ය.

    "මා ඔහු බැඳ නො දැමූ ආකාරයක් තිබුණා ද ප්‍රිය දියණි? මා ඔහුව ලෝකයේ ශක්තිමත් ම දම්වැල්වලිනු යි බැඳ දැමුවේ. මෙලොව ශක්තිමත් ම දම්වැල් ඇත්තේ මා සතුව නෙ!"

    "ඕ...හ්! මට තේරෙන්නේ නැහැ මේවා නම්!" මද්දුම දියණිය හිස කෙස් ඇදගන්නා'යුරු අසරණ පියා බලා සිටියේ ය.

    එවිට ම මාළිගය දෙසට දිව ආයේ සෙබළෙකි!

    "අහෝ... අධිරජුනි! අනේ... අ...ධි...ර...ජු...නි!"

    හඬා වැලපෙමින් සිටි මහා වීරයා දුටු රජුට සිහසුනින් නැඟිටවුණි. ස්ත්‍රීන් තිදෙනා මහා පුදුමයකට පත් ව සිටියෝ ය.

    "ක්ෂුද... ඔ...ඔබ? මේ ආකාරයෙන්? වැලපෙමින්...?"

    "අධිරජුනි! ඔහු... 'අප නම නො කියන තැනැත්තා' රාජ්‍යයේ පවුරු බින්දා ස්වාමීනි! ඔහු නගරයට පිවිසෙනවා!"

    රජු නළලේ අත ගසා ගෙන සිහසුනට ඇද වැටුණේ ය.

    ක්ෂුද යනු නගරයේ මහා වීරයා ය. ඔහුට වසඟ නො වන්නෙක් නැත. ඔහු හා සටනින් මෙතෙක් දිනූවෙක් නැත. අඩු ම තරමේ, 'නම නො කිය යුතු තැනැත්තා'ත් ක්ෂුදට පරාජය වූයේ ය. එවන් මහා වීරයා බියෙන් සලිත වූවා කියන්නේ......

    එවිට ම ඈතින් මහා හඬක් නැඟිණ. ඒ විලාපයක් බඳු ය. ස්ත්‍රීහු තිදෙන මාළිග සඳලු තලයට ගියෝ ය.

    "පියාණනේ! මේ මොන විපතක් ද! මේ අප කළ කවර පාපයක විපාක ද?"

    නගරයේ මහා ප්‍රාකාරය බිඳ වැටී ඇත! 'නම නො කියන තැනැත්තා' ගේ සේනා මුළු නගරය ම යටත් කර ගනිමින් ඇත!

    අධිරජු සිංහාසනයේ හිඳ ගෙන හිස පහළට නවා ගෙන ම සිටියේ ය. අනතුරු හිස එසවූයේ ය. ඒ දෙනෙත්වල කෝපයක්, කලකිරීමක් මෙන් ම, වේදනාවක් ද ගැබ් වී තිබිණ.

    "හණ්තා... තීරා... ඟරාවි... ඔබ තිදෙන යන්න! ක්ෂුද මහා වීර, ඔබත් යන්න! සටන් කරන්න! ඔහුට මගේ රාජ්‍යය දෙන්නට බැහැ!"

    එක් අණකි! සිව් සෙබළ - සෙබළියෝ අවි අමෝරා මාලිගයෙන් පිටතට දිව ගියෝ ය.

    අධිරජු සිය අපරාජිත සන්නාහය දමා ගන්නට රාජායුධාගාරයට පිවිසුණේ ය. ඒ සන්නාහය පැරදවූ කිසිවෙක් 'සිටියේ' නැත. නිවැරදි ව කීවොත්, 'කිසිවෙක් නැත' නො ව 'කිසිවෙක් සිටියේ නැත' පමණි.

    මන්ද, දැන් එක් අයෙකු සිටින බැවිනි!

    එක් වර ම ආයුධාගාරයේ ද්වාරය කඩා දමමින් එතැනට ඇද වැටුණේ යමෙකි!

    මුවින් රුහිරු හෙළමින් ඔහු නැඟී සිටියේ ය.

    "අවිදු?"

    රජු පුදුමයෙන් පුදුමයට පත් වූයේ ය.

    "ඔහු... ඔහු අපගේ දසබෑයින් න...නසනවා අධිරජුනි! කුඩා දරුවෙකු ගහල පඳුරක් නසනවා වැනිව ඔහු නසනවා!"

    වීර දසබෑයින්ගේ දෙවන පෙළ පස් දෙනාගෙනුත්, ප්‍රධානියා අවිදු ය! ඔහුත් මේ ලෙස රුධිරය හලා ගෙන නම්...

    "ඔබේ පළමු පෙළ බෑයින් පස් දෙනා කොහි ද? සක්දිට්ඨි? කෝ කිච්ඡා? පරාමාස කොහිද? ඔබේ සොයුරු කාමා? පටිඝන් කොහිද දැන්? ඔවුන් කෝ? අවිදු... මට පිළිතුරු දෙනු!"

    "ඒ තිරශ්චීනයා... ඒ නම නො කිය යුතු තැනැත්තා ඔවුන් පස් දෙනා අමු අමුවේ ඝාතනය කළේ පෙර දා රාත්‍රියේ ම යි අධිරජුනි. අනේ... මගෙ සොයු..."

    දසබෑ ප්‍රධානියා, නගරයේ දක්ෂ ම සෙබළා මහ හඬින් හඬන්නට වූයේ ය.

    "මොනවා! එවිට එසේ නම් දෙවන පෙළ බෑයින්? රූපරා? අරූපා කෝ? මානාධි කොහිද? දිට්ඨි සටන් වදිනවා නොවෙ ද?"

    "ආහ්...!"

    අධිරජුට පිළිතුරු දෙන්නට පෙර ම විසල් හීයකින් වීර දසබෑයින්ගෙන් ජ්‍යේෂ්ඨතමයා එතැන ම අවසන් සුසුම් හෙළුවේ ය. අධිරජු වේදනාවෙන් කෑගසමින් බැලුවේ ඒ හීය පැමිණි දිසාව ය, හීය එවූ තැනැත්තා දෙස ය.

    අවසන...

    ඔහු පැමිණ සිටියේ ය.

    ඒ 'නම නො කිය යුතු තැනැත්තා' පැමිණ සිටියේ ය.

    එසේ නම් අනාවැකිය සම්පූර්ණ ය. වසර දශකෝටි ගණනකට පසු, සිය ධාර්මික පාලනය අවසන් කරන්නට තම රුදුරු සතුරා පැමිණ ඇත! ඒ ඝෝර වූ ආක්‍රමණිකයා පැමිණ ඇත! විශාඛ චන්ද්‍ර මාසයේ, පූර්ණ චන්ද්‍රයා සිය පසළොස් වැනි තිථියට ද පත් ව සිටිද්දී වෛශාඛ්‍ය නම් ඉතා විනාශකාරී නැකත උදා වී තිබේ! අනාවැකියට අදාළ සියල් කරුණු පූර්ණ වී ඇත! එසේ නම්... සිය විනාශය... ස්ථිර ද?

    "ඔහ්... අවසන... මට නුඹ මුණගැසුණා!"

    නම නො කිය යුතු තැනැත්තා අවිදු ගේ සිරුරට පයින් ගැසුවේ ය.

    "එපා! මගෙ දරුවන් වගේ සෙබළුන් ඔවුන්. ඔවුන් මා ආරක්ෂා කළා!"

    නම නො කිය යුතු තැනැත්තා රුදුරු ලෙස සිනාසුණේ ය.

    "ඔවුන් කිසිවෙක් දැන් නැහැ! ඔවුන් සියල්ලන් විනාශයි! මගේ දශ පරිවාරය - මහාදාන, මනාශීල, නෛෂ්ක්‍රම්‍ය, උග්‍රවිරියා, ප්‍රඥාසාර, ක්ෂාන්තිනූ, සදාසත්‍යා, තිරාධිට්ඨාන, මහාමෙත්ත, උපෙක්ඛ - විසින් ඔබේ සියල්ලන් නසා අවසාන යි!"

    අධිරජු හඬා වැටුණේ ය.

    "අහෝ... ඔබ මහා නිර්දයයෙක්! ඔබ මහා අධර්මිෂ්ටයෙක්!"

    "නුඹේ ධර්මයේ ඇති කිසිවක් නැහැ. එය මායාවක්! ධර්මයක, සුවයක, සැපයක ස්වරූපයෙන් ඇති මායාවක්!"

    "මා නුඹට ප්‍රේම කළා!"

    "නුඹේ ප්‍රේමය මා නොනවතින සැඬ පහරකට ඇද දමනවා මණ්හ කාර! නුඹේ ප්‍රේමය මා මේ නිමක් හෝ අවසානයක් නො වන නගරයේ රඳවා ගැනීම සඳහා ම යි. මා නුඹේ වසඟයේ පවත්වා ගැනීමට ම පමණයි!"

    "මා නුඹට ඇවැසි සියල්ල දුන්නා නොවෙ ද?"

    "ඒ කිසිවක් මට ඇවැසි දේවල් නොවෙයි. මට ඇවැසි බව නුඹ මට ඒත්තු ගන්වන්නට උත්සාහ කළ දේවල් පමණයි!"

    අධිරජු නම නො කිය යුතු තැනැත්තාගේ දෙනෙත් දෙස බැලුවේ ය.

    "නුඹ මා මරනවා ද?"

    අධර්මිෂ්ටයා රජු දෙස එක එල්ලේ බැලුවේ ය.

    "නුඹ නො මරා ඉන්නා තාක්, මා මැරි මැරි ඉපදි ඉපදී, යළි යළිත් නො මැරි මැරෙනවා! නුඹේ මරණය මා මුක්ත කරවනවා! ඒ නිසා, නුඹේ මරණය සදාස්ථිර යි!"

    "මම නුඹ වෙනුවෙන් මේ සියල්ල ම දෙන්නම්! මේ රාජ්‍යය නුඹ ගේ. ගන්න... මේ සියල්ල ම අරගෙන සැප සේ වෙසෙන්න! මා මුදා හරින්න! මම නුඹට අවශ්‍ය සියල්ල ම සපය දෙන්නම්!"

    "නුඹේ කිසිවක් මට අවශ්‍ය නැහැ අධිරාජ! නුඹ නිසා මම මේ සංසාර පුරයේ කී වතාවක් නම් සැරිසැරුව ද? කී වතාවක් නම් නුඹේ පරිවාරයෙන් ගැහැට වින්ද ද? කී වතාවක් නම් නැවත නැවත දුකේ වැටුණ ද? නුඹ කී වතාවක් නම් මට අවශ්‍ය දේවල් සකසා දී මාව රැවටුවා ද?

    මා නුඹ දැක්කා. මා මගේ දස පරිවාරය වර්ධනය කර ගත්තා. මගෙ ධර්මායුධය මා මුවහත් කර ගත්තා. ක්‍රමික ව, උපක්‍රමයෙන් දැන් මා නුඹ අල්ලා ගෙන ඉන්නෙ. නැවත නුඹට යන්න දුන්නොත්... මම නුඹේ වහලෙක් වෙනවා. නුඹට දැන් මගෙන් ගැලවීමක් නැහැ! මරණයට සූදානම් වෙනු!"

    අධිරජු මඳ වෙලාවක් මේ කැරලිකාරයා දෙස බලා සිටියේ ය.

    "නුඹ අනාවැකිය ගැන දන්නවා ද?"

    "දන්නවා! ආයුධයක් ගනු. සටන් කරනු. මම නුඹව මරනවා!"

    අධිරජු නැවත සිනාසුණේ ය. අනතුරු ව නම නො කිය යුතු තැනැත්තා දෙසට ළං වුණේ ය. සතුරා තමා දෙසට එල්ල කර ගෙන සිටි තියුණු අසිපතේ තුඩ ළයේ ගෑවෙන තරමට ම ළං වූයේ ය.

    "නැහැ... නුඹ සම්පූර්ණ අනාවැකිය දන්නෙ නැහැ. අසාගන්න!

    මා මැරුවොත්, නුඹත් මැරෙනවා. මා නැති ව නුඹට පැවැත්මක් නැහැ. මා මැරුවොත්, නුඹ ශුන්‍ය ම වෙලා යනවා! කොටින් ම, මා මැරුවොත් නුඹ කියා යමෙක් නැහැ......"

    කියන්නට ගිය දේ නවතා, මණ්හ කාර අධිරාජයා මඳ සිනාවක් නම නොකිය යුතු තැනැත්තා දෙසට පා, වාක්‍යය සම්පූර්ණ කළේ ය.

    ".....සිද්ධාර්ථ!"

    එහෙත්...

    අධිරජු බලාපොරොත්‍තු වූ බලාපොරොත්‍තු කඩ වීම හෝ වික්ෂිප්ත වීම හෝ බිය හෝ කිසිවක් සිද්ධාර්ථ ගේ මුහුණේ වූයේ නැත. එම මුහුණේ වූයේ එක ම මහා සැනසීමක් පමණි. එක ම ශුන්‍යත්වයක් පමණි! එක ම එක සිනාවක් පමණි.

    සිය ප්‍රතිවාදියාගේ මුහුණ දුටු මණ්හ කාර අධිරජුට සියල්ල වැටහිණි.

    "තව දුරටත් මම සිද්ධාර්ථ නොවෙයි මණ්හ කාර. මම......"

    සියල්ල අවබෝධ කරගෙන සිටි මණ්හ කාර අධිරාජයා අවසන් වතාවට ළය පුරවා සුසුමක් පහළ හෙළුවේ ය.

    අනතුරු ව ප්‍රතිවාදියා ගේ තියුණු කඩුපතෙහි තුඩ සිය ළයට තද වන අයුරින්, ඔහු වටා අත් යවා වාරු ගත්තේ ය. අනතුරු ව; එක් වර ම සිය ළය පසාරු වන සේ සිය සතුරා තදින් වැලඳ ගත්තේ ය!

    සියල්ල ම අවසානයේ මණ්හ කාර අධිරජු සිද්ධාර්ථ ලෙස තමන් හඳුනා ගෙන සිටි ප්‍රතිවාදියා ගේ අසම්පූර්ණ වාක්‍යය එක ම එක වචනයකින් සම්පූර්ණ කළේ ය.

    "......සම්මාසම්බුද්ධ!"


    - අවසානයි -

    මකර|චන්දික අබේවික්‍රම

    ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ වෙසක් මස පුර පසළොස්වක ලත් ශනිදා හෙවත් ව්‍යවහාරයෙන්; ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ මැයි මස 30 වැනි සෙනසුරාදා ය; හෙවත් සංසාරණ්‍යයේ දඩබ්බරයා වූ සිරි ගෞතමයාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සැමරෙන ශ්‍රී වෛශ්‍යාක්‍ය මංගල්‍යය දා ය.

    (වර්ෂ 2025 මැයි මස 12 වැනි දා ලියැවුණ කතා සුඟිත්ත නැවත පළ කිරීමකි)

    (සිතුවම නිමැවුම KaviNdu ගේ ය.)

    ඔබ සැමට ශුභ වෛශාක්‍ය මංගල්‍යයක් වේ වා!