ඇතැම් දෙනා පවසන්නේ දියවැඩියාව පාලනයට දිගු කාලයක් මෙට්ෆොමින් ඖෂධය ගත් නිසා තමාගේ වකුගඩු නරක්වූ බවය. එසේ පවසන්නේ දියවැඩියාව සහිත ඇතැම් වකුගඩු රෝගීන්ට මෙට්ෆොමින් ලබාදීම නතර කරන බැවිනි.
වර්තමානයේ අප රටේ වකුගඩු රෝගවලට ගොදුරුවන පිරිස වැඩිවීමේ ප‍්‍රවනතාවක් දැකිය හැකිය. මෙසේ වකුගඩු රෝගීන් බහුල වන්නට බලපා ඇති හේතු මොනවාදැයි කියා විමසා බැලීම අප කාටත් වැදගත්ය.
වෛද්‍යතුමනි වකුගඩු රෝගියකු ලෙස හඳුන්වන්නේ කුමන ආකාරයේ පුද්ගලයකුටද?
නිරෝගී ජීවිතයක් ගතකිරීමට අප සියලූ දෙනාට වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යය. නමුත් කිසියම් හේතුවක් නිසා අපගේ වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය දුර්වල විය හැකියි. එවිට ඉන් ඉටුවන කාර්යය නිසි පරිදි සිදු නොවේ. එවැනි පුද්ගලයන් වකුගඩු රෝගීන් ලෙස සලකනු ලබයි. එසේම වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වලවීමට බලපාන හේතු රැුසක් ඇත. එම හේතු අනුව වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වලවන මට්ටම් පවතී. එනිසා වකුගඩු රෝගය යනු විශාල පරාසයක පවතින රෝගයකි.
වෛද්‍යතුමනි වකුගඩු අක‍්‍රියවීමට බලපාන හේතු මොනවාද?
වකුගඩු අක‍්‍රියවීමට බලපාන හේතු රැුසක් පවතී. නමුත් වර්තමානයේ අප රටේ පමණක් නොව ලොව පුරා ජීවත් වන බොහෝ ජනතාවගේ වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වලවීමට බලපා ඇති ප‍්‍රධාන හේතු දෙකක් හඳුනාගෙන ඇත. එනම් දියවැඩියාව සහ අධිරුධිර පීඩනයයි. මෙම රෝග දෙක නිසි පාලනයකින් තොරව දිගුකාලයක් පැවතීම නිසා හටගත් වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වලවීමේ රෝගයට ගොදුරුවීම වර්තමානයේ ඉතා බහුලව දැකිය හැකිය.
දියවැඩියාව නිසා රුධිරයේ ඇති සීනි මට්ටම ඉහළයාම සිරුරේ ඇති සියලූම ඉන්ද්‍රියයන්ගේ ක‍්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරයි. එය සිදුවන්නේ දිගුකාලයක් නිසි පාලනයකින් තොරව දියවැඩියාව පැවතීම නිසා සිරුරේ ඇති කුඩා රුධිර නාළ හානියට ලක්වීම මගිනි. එවිට එසේ හානියට ලක්වූ කුඩා රුධිර නාළ සහිත ඉන්ද්‍රියයන්ගේ ක‍්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුනොවේ. ඒ අනුව දිගුකාලයක් දියවැඩියාව නිසි පාලනයකින් තොරව පැවතීමෙන් වකුගඩුවල ඇති රුධිර නාළිකාවලටත් හානි සිදුවූ විට වකුගඩු ක‍්‍රියාකාරීත්වයද දුර්වල වේ.
අධි රුධිර පීඩනයද නිසි පාලනයකින් තොරව දිගුකාලයක් පැවතීම නිසා සිදුවන්නේත් මෙලෙස කුඩා රුධිර නාළ වලට හානි සිදුවීමය. එසේ සිදුවන රුධිර නාළ හානිය මගින්ද වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය දුර්වල වේ.
වෛද්‍යතුමනි කෘෂි රසායන ද්‍රව්‍ය මිශ‍්‍ර ජලය සහ ආසනික්, වැනි රසායන ද්‍රව්‍ය මිශ‍්‍ර ජලය පානය නිසා අප රටේ වකුගඩු රෝග බහුලවීමට ප‍්‍රධාන හේතුවක් වී නැතිද?
එවැනි කරුණු නිසා ඇතිවන හඳුනා නොගත් වකුගඩු රෝග අප රටේ වියළි කලාපය සහ කෘෂිකාර්මික ප‍්‍රදේශවලට පමණක් සීමා වේ. ඒ සඳහා බලපා ඇත්තේ අවිධිමත් ලෙස කෘෂිරසායන ද්‍රව්‍ය සහ රසායනික පොහොර වර්ග භාවිතය විය හැකිය. නමුත් දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝග වලට සෑම ප‍්‍රදේශයකම වාගේ ජනතාව ගොදුරුව සිටිති. වර්තමානයේ බොහෝ දෙනා මෙම රෝග වලට වයස අවුරුදු 30,40 වැනි අඩු වයසින් ගොදුරු වෙති.
එනිසා මෙම රෝගවල බලපෑම හේතුවෙන් වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වලවීමේ රෝගයට පත්වූවන් වර්තමානයේ බහුලව දැකිය හැකිය.
වෛද්‍යතුමනි වකුගඩු රෝගවලට ගොදුරුවීම වළක්වා ගැනීමට අනුගමනය කළයුතු පියවර මොනවාද?
වකුගඩු රෝගවලට ගොදුරුවී වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බොහෝ රෝගීන් පිළිබඳව අවධානය යොමුකළ විට හෙළිවන්නේ බොහෝ දෙනකු රෝහල් වෙත පැමිණෙන්නේ වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වලවීම ආරම්භ වූ මුල් අවස්ථාවේදී නොවන බවය. වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වලවීම පටන්ගෙන කාලයක් පැවතීම නිසා හටගන්නා අපහසුතා හමුවේ ඊට ප‍්‍රතිකාර ගැනීම සඳහා පැමිණිවිට වකුගඩු රෝග මතුව ඇති බව හඳුනා ගනී. වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වල වන විට ශරීරය ඉදිමීම, කෑම අරුචිය, මුත‍්‍රා සමග පෙනයාම ආදිය මතුවේ.
නමුත් මුල් අවස්ථාවේදී නිසි ප‍්‍රතිකාර සඳහා යොමුවුවහොත් වකුගඩු බද්ධ කිරීම හා රුධිර කාන්දුකරණය වැනි සංකීර්ණ ප‍්‍රතිකාර වලට යෑම වළක්වාගැනීමටත් මතුව ඇති වකුගඩු රෝගය බරපතළ වීමට ඇති ඉඩකඩ පාලනය කරගැනීමටත් හැකියාව උදාකරගත හැකිය.
ඒ සඳහා කළ යුතුවන්නේ වෛද්‍ය උපදෙස් මත නිසිලෙස දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පාලනය කරගැනීම සහ වකුගඩු රෝග ඇතිවීමේ අවදානමක් සහිත ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව තම වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය පිළිබඳ නිතර වෛද්‍ය පරීක්ෂාවන් සිදුකර ගැනීම, වගා කටයුතු සඳහා විධිමත් ලෙස රසායනික පොහොර හා කෘෂි රසායන භාවිතය ආදිය වේ. ඕනෑම වකුගඩු රෝගයක් මුල් අවස්ථාවේදී මුත‍්‍රා පරීක්ෂාවකින් හෝ රුධිර පරීක්ෂාවකින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. එනිසා රෝගය ඇතිවූවිට ප‍්‍රතිකාර ලබාගැනීම වෙනුවට රෝගය ඇතිවීම වළක්වාගැනීමට පියවර ගැනීම ඉතා වැදගත්ය.
වෛද්‍යතුමනි දියවැඩියාව සඳහා දිගුකාලයක් ගනුලබන ඖෂධ නිසා වකුගඩු හානියට ලක්විය හැකිද?
වකුගඩු රෝග වලට ගොදුරු වූ බොහෝ දෙනා තමාට වකුගඩු රෝගය ඇතිවීමට බලපෑ හේතුව ලෙස පවසන්නේ වෛද්‍යතුමනි මම අවුරුදු 20ක් විතර දියවැඩියාවට, අධි රුධිර පීඩනයට ප‍්‍රතිකාර ගත්තා. එය මගේ වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වල වීමට බලපා ඇති බවය. ඇත්තෙන්ම දියවැඩියාවට හෝ අධිරුධිර පීඩනය පාලනය සඳහා ගනු ලබන ඖෂධ නිසා වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වල වන්නේ නැත. සිදුවන්නේ අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි රෝග නිසි ලෙස පාලනය කර නොගැනීම නිසා එම රෝග උත්සන්න වී ඉන් වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වලවී තිබීමය.
උදාහරණයක් ලෙස ඇතැම් දෙනා පවසන්නේ දියවැඩියාව පාලනයට දිගු කාලයක් මෙට්ෆොමින් ඖෂධය ගත් නිසා තමාගේ වකුගඩු නරක්වූ බවය. එසේ පවසන්නේ දියවැඩියාව සහිත ඇතැම් වකුගඩු රෝගීන්ට මෙට්ෆොමින් ලබාදීම නතර කරන බැවිනි. එසේ මෙට්ෆොමින් නතර කරන්නේ ඇතැම් වකුගඩු රෝගීන්ට මතුව ඇති වකුගඩු රෝගය උත්සන්න වූ විට මෙට්ෆොමින් ලබාදීම වකුගඩුවලට හානිකර නිසාය. මෙට්ෆොමින් යනු දියවැඩියාව පාලනයට ඇති ඉතා සුදුසු ඖෂධයකි. එබැවින් මෙට්ෆොමින් නිසා වකුගඩු නරක්වීමක් සිදුවන්නේ නැත. සිදුවන්නේ දියවැඩියාව පාලනය සඳහා නිසි ලෙස මෙට්ෆොමින් භාවිතා නොකිරීම නිසා රෝගය උත්සන්නවීමෙන් හටගත් අතුරුඵලයක් ලෙස වකුගඩු නරක්වී තිබීමය.
වෛද්‍යතුමනි වකුගඩු රෝගීන් ගතයුතු ආහාර සහ නොගතයුතු ආහාර වර්ග තිබේද?
රෝගියාගේ පවතින වකුගඩු රෝග තත්ත්වය අනුව ආහාර ගැනීම තීරණය කරනු ලැබේ. එනිසා වෛද්‍ය උපදෙස්වලින් තොරව ආහාර පාලනය නොකළ යුතුය. වකුගඩු රෝගීන් ප්‍රෝටීන් සහිත ආහාර ගතයුත්තේ සාමාන්‍ය ප‍්‍රමාණයකි.
වැඩිපුර ප්‍රෝටීන් ගැනීම නොකළ යුතුය. එසේම ප්‍රෝටීන් සහිත ආහාර ගැනීම සම්පූර්ණයෙන් නතර කිරීම හෝ ඉතා අඩුවෙන් ගැනීම නොකළ යුතුය. ඉන් සිදුවන්නේ රෝගියාට නිසි ලෙස සිරුරට ප්‍රෝටීන් නොලැබීම නිසා මන්දපෝෂණයට ලක්වීමය. එසේම පලතුරු, එළවළු සහ පලාවර්ග ආහාරයට ගැනීම සීමා කළ යුත්තේ රෝගියාගේ රෝග තත්ත්වය සහ සිරුරේ ඇති පොටෑසියම් ප‍්‍රමාණය අනුවය. එය සාමාන්‍ය මට්ටමින් පවතීනම් මෙම ආහාර ගැනීම පාලනයක් කළ යුතුවන්නේ නැත.
පලතුරු සහ පලාවර්ගවල පොටෑසියම් බහුල නිසා ඇතැම් වකුගඩු රෝගීහු මෙම ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරති. එය ඔවුන් සිදුකරන්නේ නිසි වෛද්‍ය උපදේශයකින් තොරවය. මෙවැනි වැරදි ක‍්‍රියාවන් නිසා ඇතැම් වකුගඩු රෝගීන් පවසන්නේ වෛද්‍යතුමනි මට දැන් කන්න කිසිම ආහාරයක් නැහැ. සියලූ ආහාර වර්ග මට ගැනීම අගුණය යැයි කියාය. එනිසා බොහෝ වකුගඩු රෝගීහු මෙවැනි වැරදි පිළිවෙත් අනුගමනය කර අනවශ්‍ය ලෙස පීඩා විඳිති. ආහාර පාලනය කළ යුත්තේ වකුගඩු රෝගය මතුවීමට බලපෑ හේතු අනුවය. දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි හේතු නිසා වකුගඩු රෝග ඇත්නම් කළ යුත්තේ එම රෝග පාලනයට අදාළ ආහාර සීමා කිරීමය. එනම් අධික සීනි සහ අධික පිෂ්ඨය, අධික තෙල් සහ අධික ලූණු සහිත ආහාර ගැනීම සීමා කළ යුතුය.
වෛද්‍යතුමනි වර්තමානයේ පවතින කොවිඞ් වසංගතය හමුවේ වකුගඩු රෝගීන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රම මොනවාද?
වකුගඩු රෝගයකදී සිරුරේ ප‍්‍රතිශක්තිය අඩුවේ. එබැවින් වෛරස රෝග ඉතා පහසුවෙන් බෝවීමේ අවස්ථාව පවතී. මෙම තත්ත්වය වටහාගෙන වකුගඩු රෝගීන් හැකිතාක් දුරට වැඩි පිරිසක් ගැවසෙන ස්ථානවල සිටීමෙන් වැලකීම, නිතර මුව ආවරණ පැළඳීම, තම රෝගය පාලනය සඳහා භාවිතා කරන ඖෂධ නිවැරදිව ගනිමින් නිසි ලෙස රෝගය පාලනය කරගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතුය.

original link
https://divaina.com/daily/index.php/visheshanga3/53557-2021-01-22-12-34-80