ගෙමිදුලේ උදේ හවස දකින්ට ලැබෙන සතුන් අල්ලා බැලීමට ළමයි සතුටු වෙත්. වැඩිහිටියෝ නිතරම ළමයින් එයින් වැළැක්වීමට උත්සාහ කරත්. ළමා කාලය ඉක්මවා වැඩුණු පසු කුඩා සතුන් අල්ලා බැලීමේ ආශාව අප බොහෝ දෙනා කෙරෙන් දුරු වෙයි.
උදේ මිදුලට බසින ගම්බද මිනිසුන්ට ගොල ගැටවලින් කළ පිට්ටු වැනි පස් ගොඩවල් දකින්ට ලැබේ. මේ පස් ගොඩක් පයින් ඉවත්කොට බෙනයක් සාදාගෙන සැඟවී සිටින කුරුමිණියාත් උගේ ගොම බෝලයත් එළියට අදින ළමයි ගම්බද පළාත් වල සිටිත්. කුරුමිණියා කැත සතෙකු මෙන් සලකතත් ඌ කැත සතෙක් නොවේ. ඌ අපේ මිදුල් වල කුණු කසළ ඉවත් කරන්නෙකි. සිනිඳු පට රෙදි කෑලි වැනි උගේ අත්හැඳි කොතරම් ශෝභන ද? සුමට රෙදි වියන රටක ඉතා සමත් වියන්නෙකුට වුවත් උගේ අත් හැන්දට සමකළ හැකි විනිවිද පෙනෙන පටරෙදි අඟලක් වියන්ට බැරිය. පුළුන් පොදක් මෙන් සැහැල්ලු ඔහුගේ අත් හැඳි දෙක වැසෙන කොපු, කළුමැදිරිය මෙන් දිලිසේ.
මෙකල ගම්බද ළමයින්ට කුරුමිණියාත් උගේ ගොම බෝලයක් නිතර දකින්ට ලැබේ . මීට අවුරුදු දෙතුන් දහසකට පෙර දඹදිව වාසය කළ කුඩා ළමයින්ටත් කුරුමිණියා නිතර දකින්නට ලැබුණු සතෙකි; ගෙයක් පාසා ගවයන් ඇති කිරීම දඹදිව ඒ කාලයේ පැවති සිරිතකි. ගවයා ඇති තැන කුරුමිණියා ද තොර නොවේ. කුමක් නිසාද? ගවයාගේ ගොම කුරුමිණියාගේ ආහාරය බැවිනි.
කුරුමිණියාට කොට යකා යැයි ගම්බද මනුෂ්‍යයෝ කියත්. විජය කුමරු ලංකාවේ විසූ යක්ෂයන් කපා විනාශ කරද්දී කොට යකා කුරුමිණි වේශය ගෙන ගොම පිඬක් යට සැඟවී බේරුනේ යැයි ගම්බද මිනිසුන් අතර පවත්නා කතාවකි. මේ අහේතුක කතාව නිසාදෝ ඇතැම් ගම්බද මිනිස්සු රෑ කුරුමිණියෙක් ගෙට ඇතුළු වුවහොත් ඌ අල්ලා හොස්ස බිම උලා විසි කරති. කුරුමිණියා ගොම පිඬ යටට යන්නේ සැඟවීම පිණිස නොව ගොම බෝලය සාදා ගැනීම පිණිසය.
කුරුමිණියාගේ ආහාරය
කුරුමිණියා පෙරළාගෙන යන ගොම බෝලය කුමක් පිණිස දැයි බොහෝ දෙනා නොදනී. ගොම බෝලය කුරුමිණියාගේ ආහාරයයි. කුරුමිණියා ගොම බෝලය සාදා බිලකට රැගෙන ගොස් දෙසතියක් පමණ තිස්සේ කන්නේය. ඌ කැත සතෙක් නොවුනත් කුණු කසල කන්නෙකි. කුරුමිණියා අපේ මිදුල් වල කුණු කසල ඉවත් කරන්නේ යැයි මෙහි මුලින් කීවේ එබැවිනි
කුරුමිණියා බෝලය සාදා ගන්නේ මෙසේ යි. උගේ හිස කෙළවර හෙවත් හොස්සෙහි අඩ කවයක හැඩහුරුකම ඇති දත් පෙළකි. කවාකාර දත් වලින් යුතු හොස්ස උදැල්ලක් මෙන් යොදයි. උවමනා ආහාර හොස්සෙන් ළංකර ගනී. උවමනා නොවන දේ ඉවත් කරයි. දුනු මෙන් නැමුණු උගෙ ඉස්සරහ කකුල් කෙලවරද දත් පහ බැගින් වෙයි. පස් ඉවත් කිරීමට හෝ ළංකර ගැනීමට හෝ මේ කකුල් ද ඌට ඉතා ප්රයෝජනවත්ය.
කුරුමිණියා හොස්සෙන් ඇන කඩා, දත් සහිත කකුල්වලින් එක් කොටගත් ගොම පස්සා කකුල් හතර යටට ගනී. අවසාන කකුල් ජෝඩුව දික්ය, හීන් ය. කකුල් කෙළවර බිලී කටු මෙන් වක් වූ තුඩුය. කුරුමිණියා ගොම ටික පස්ස කකුල්වලින් බඩට තද කොට ගෙන ගුලි කරයි. ක්‍රමයෙන් මහත් වන ගොම බෝලය අවසානයේ ලොකු දෙහි ගෙඩියක් තරම් වෙයි.
කුරුමිණියා මෙතරම් මහන්සියෙන් සාදන බෝලය කුමටද? එය උගේ ආහාරයයි. ඌ බෝලය පෙරළා ගෙන ගොස් සුදුසු තැනක වළක් හාරා එහි ඇතුළුව බෝලය ඇද ගනී. කෑම බෝලයක් සමග උමගට වඳින කුරුමිණියා ඉතා කෑඹලා සතෙකි. දෙ සතියක් පමණ යන තුරු රෑ දවල් දෙකේම ඌ ගොම බෝලය කන බැවිනි.
කුරුමිණියා බෝලය පෙරලන්නේ මෙසේ ය. බෝලය සාදා ඉවර කළ පසු ඌ ඉස්සරහ කකුල් බිම ගසා පස්සා කකුල් ඔසවා බෝලයේ තබයි. ඉක්බිති අත් දෙක බිම ගසා කකුල් ඔසවාගෙන ගමන් කරන මිනිහෙකු මෙන් බෝල පෙරලමින් ගමන් කරයි. වරෙක වමට හරවයි. තවත් වරෙක දකුණට හරවයි. මෙසේ මාරුවෙන් මාරුවට වමටත් දකුණටත් හරව හරවා තල්ලු කිරීම නිසා බෝලය සෙමෙන් පෙරළේ. බෝලය පෙරලීමට කුරුමිණියා පුදුම අන්දමේ උත්සාහයක් දරයි. කන්දක් උඩට වුවත් ඌ එය කෙසේ හරි පෙරළා ගෙන යන්නේය.
ඌ ඉතා අමාරුවෙන් බෝලය පෙරළා ගෙන යන විට කකුල් ලිස්සීමෙන් හෝ ගල් කැටයක ගැටීමෙන් හෝ එය ආපසු කන්දෙන් පහළට පෙරළේ. එයින් කුරුමිණියා ගත් උත්සාහය නිශ්ඵල වන්නේය. එසේ වුවද ඌ එම කටයුත්ත අත් නොහරී. ඌ නැවත නැවත එය කන්ද උඩටම පෙරළයි. අවසානයේ උත්සාහවන්තයා ජයගනී.
සොර සතුරු පීඩා
අන්‍යයකු සිටුවා වවා ගත් කෙසෙල් ගසක කෙසෙල් කැන හෝ කොස් ගසක කොස් ගෙඩිය හෝ සොරා කඩාගෙන ගොස් තම්බාගෙන කන නරක මිනිස්සු සිටිත්. කෙසෙල් ගසක් හෝ කොස් ගසක් හෝ වැවීම ඉතා අමාරුය. ඒ සඳහා බොහොම මහන්සියෙන් වැඩ කළ යුතුය. අනුන්ගෙන් හොරකම් කර ගැනීම වැරදි වුවත් ලෙහෙසිය. අනුන්ගේ දෙය උදුරාගන්නා තක්කඩියෝ කුරුමිණියන් අතරද සිටිති. අනෙක් කුරුමිණියෙක් වෙහෙස මහන්සි වී සාදාගත් කෑම බෝලය තව එකෙක් මංකොල්ලකාරයෙක් මෙන් උදුරා ගනී. එය කරන්නේ කපටි විදියකිනුයි.
එක් කුරුමිනියකු බෝලය සාදාගෙන පෙරලන විට බෝලයක් සෑදීමට ආරම්භ කළ තවත් කුරුමිණියෙක් බෝලය සෑදීම නවතා අනෙකාට උපකාර පිණිස දුවයි. බෝලය සාදා ගත් කුරුමිණියා ද අළුත් යාළුවාගේ උපකාරය ඉවසයි. එසේ වුවද උපකාරයට යන මේ කුරුමිණියා සොරෙකි. අනෙකා සෑදූ කෑම බෝලය සොරා ගැනීමේ අදහසින් දිවයන කපටියෙකි.
ඌ අනෙකාට බෝලය පෙරලීමට උපකාරයට පැමිණි නමුත් බෝලය උඩට වී සිටි. අනෙකා වෙහෙස මහන්සි වී බෝලෙ පෙරළා ගෙන ගොස් සුදුසු තැනකදී නැවතී දත් සහිත හොස්සෙන් ඇන උමඟක් කණී. සොරා ද බෝලය උඩට වී සිටි. බෝලය අයිති කුරුමිණියා උමඟ ටිකක් දුර හාරා නැවත එලියට ඇවිත් බලයි. උපකාරකයෙකුගේ වේශයෙන් පැමිණි සොරා කිසි හැල හොල්මනක් නැතිව බෝලය උඩටම වී සිටී. බෝලය අයිතිකාරයා උමගට බැස නැවත හාරන්න පටන් ගනී. බෝලය සොරකම් කර ගැනීමට කල් බැව් දැන ගන්නා සොරා වහ වහා බෝලය පෙරළාගෙන දුවයි
අනෙකෙකුගේ කෑම බෝලය සොරාගෙන දුවන ඔහුට ද ඇතැම් විට එය අහිමි වන්නේය. ඇතැම් විට තවත් සොරකු දිවවිත් ඔහුගෙන්ද බෝලය පැහැරගෙන යන බැවිනි. ඇතැම් කුරුමිණියෙක් සාහසික ලෙස අයිතිකාරයාට ගසා ඌ දුර්වල කොට බලහත්කාරයෙන් කෑම බෝලය පැහැරගෙන දුවයි.
සොර සතුරන්ගෙන් බේරී ගොස් කුරුමිණියා උගේ කෑම බෝලය උමග තුළට ගත් පසු උමඟේ කට වසයි. ගෝලය උමගෙහි වහලෙහි වදින තරම් ලොකු ය. යන්තම් වාසයට පමණක් ඉඩකඩ ඇති උමගෙහි බිත්ති වලටත් බෝලය ටත් අතර විවරයෙන් කුරුමිණියා ඇදේ. කුරුමිණියා කෑමට ඉතා ගිජු සතෙකැයි මෙහි මුලින් කියන ලදී. ඌ
උමගට වැද සතියක් හෝ දෙකක් හෝ යනතුරු රෑ දවල් දෙකේම ගොම බෝලය කයි.
ගොම බෝලය කුරුමිණියාගේ ආහාරයයි. කුරුමිණියාගේ කූඩුව ද නැතහොත් පැටවුන්ගේ වාසස්ථානය ද ගොම බෝලයකි. උගෙ කෑම බෝලය වටකුරු ය. කූඩුව අග දිය ලබු ගෙඩියක් හෝ පේර ගෙඩියක් මෙන් හීනිය. කළයක කර මෙන් බෝලයෙන් ඇදුනු මොල්ලියකි. කුරුමිණියා බිත්තර දමන්නේ මේ මොල්ලිය වැනි කොටසෙහි ය.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විද්‍යා විනෝද කතා - කුරුමිණි සත්තු කෘතියෙන් උපුටා ගන්නා ලදී..