වෙස්මුහුණු

tharuwamax

Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    මහා සම්මත රජුගේ බිසවට නාට්‍ය දැක සිනාසීමට ඇති වූ දොල දුකක් සංසිඳීමට විශ්මකර්මයා ලවා සක්‍ර දෙවියා විසින් සාදවන ලද බව තමයි වෙස් මුහුණේ උපත ගැන පැරණි පොත පතෙහි සඳහන් වෙන්නේ. වෙස් මුහුණු බොහොමයක් මෙම කෝලම් නාට්‍ය සහ පහත රට නර්තනය හා සම්බන්ධයි.

    සැහැල්ලු සහ කල් පවතින ලී වර්ග වන වෙල් කඳුරු සහ රුක් අත්තන යන ලී වර්ග වලින් වර්තමානයේ නිමවන ලාංකීය වෙස් මූණු කලාවේ ඉතිහාසය ඉපැරණි ගෝත්‍රික ජනාවාස කාලය දක්වා දිව යන්නක්. නාග රාක්ෂ, ගුරුලු රාක්ෂ වැනි වෙස් මුහුණු රාවනා යුගයේදී භාවිතා කලා යැයි පැවසෙන්නේ ගෝත්‍රික යුද පිටියේදී සතුරන් බිය වැද්දීමට. ඉතා විශාල යක්ෂ රාක්ෂ මුහුණු පැලඳ සටන් වැදීමෙන් සතුරන් මේ මිනිසුන් නොව භයානයක සත්වයන් කියා රැවටුන බවයි කියවෙන්නේ. වර්තමානයේ මේවා යොදාගැනෙන්නේ තොවිල් ආදියට.

    ලංකාවේ බහුලව භාවිතා වන වෙස් මුහුණු වර්ග දෙකක් තියෙනවා කෝලම් සහ සන්නි වශයෙන්.

    1. කෝලම් වෙස් මුහුණු

    කෝලම් වෙස් මුහුණු කලාව කැට වෙස් මුහුණු සහ රාක්ෂ වෙස් මුහුණු ලෙස උප කොටස් දෙකකින් සමන්විත වෙනවා.

    i. කැට වෙස් මුහුණු

    කැට වෙස් මුහුණු ලෙස ගැනෙන්නේ මිනිස් මුහුණට සමාන ප්‍රමාණයෙන් කුඩා වෙස් මුහුණුයි ජසයා සහ ලෙංචිනා කෝලම් මීට උදාහරණ විදියට දක්වන්න පුළුවන්.

    ii. රාක්ෂ වෙස් මුහුණු

    මේ වෙස් මුහුණු නිවෙස් වල තබා ගැනීමෙන් වාසනාව උදා වෙන අතර ආරක්ශාවද සැලසෙන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි. ඇස්වහ කටවහ දෝශ සහ රෝග වලින්ද මෙම වෙස් මුහුණු තබා ගැනීමෙන් ආරක්ශාව සැලසෙන බව පැරැන්ණන්ගේ මතයයි. පහතින් ඔබට දැකගන්න ලැබෙන්නෙ ඒ වගේ වෙස්මූණු කීපයක්.

    ගුරුළු රාක්ෂ

    ගුරුළු රාක්ෂ මිත්‍යා සත්වයෙක්. නාගයන්ගේ දෂ්ඨ කිරීම් වලින් ආරක්ශා වීමට ගම් වල මෙම වෙස් කෝලම් නැටුම නටනු ලබනවා. විශ්ණු දෙවියන්ගේ වාහනය ලෙසත් ගුරුළා සැලකෙනවා.

    නාග රාක්ෂ

    ගුරුලු රාක්ෂ හා ප්‍රතිවාදී කෝලම් නැටුමට මෙම වෙස් මුහුණ යොදා ගන්නවා. නයි පෙන හතකින් සමන්විත මෙම වෙස් මුහුණ ලාංකික නිවෙස් වල ඔබ දැකඇතුවාට සැකයක් නැහැ. මෙම වෙස් මුහුණ නිවසේ තබා ගැනීමෙන් සියළු අනතුරු වලින් වැලකී සිටිය හැකි බව විශ්වාසයයි.

    මයුර රාක්ෂ

    මොණරෙකුගේ හැඩතල වලින් යුතු මෙම වෙස් මුහුණ සාමය සතුට සෞභාග්‍ය උදා කර ගැනීමට නිවෙස් වල තබා ගැනීම සුදුසු බව ලාංකික විශ්වාසයයි.

    ගිනි රාක්ෂ

    සතුරු කරදර මගහැරී නිවසට සාමය සහ මිත්‍රත්වය උදා කරන බව සංඛේතවත් කරන වෙස් මුහුණකි මේ.

    ගරා යක් මුහුණ

    ඇස්වහ කටවහ දෝශ මඟ හැරීමට මෙම ගරා යකුන්ගේ වෙස් මුහුණ නිවෙස් වල එල්ල තැබෙනවා.කෝලම් නැටුම් සම්ප්‍රදායේ එන එක් නර්තන අංගයකි ගරා යක් නැටුම.

    2. සන්නි වෙස් මුහුණු

    දහ අට සන්නිය කියන්නේ වමනය ඇති වන ආමාශගත රෝග,භූත බැල්මෙන් ඇති වූ මානසික රෝග,භූත බැල්මෙන් ඇති වූ උන්මාදය,බිහිරි බව,ගොළු බව, වසංගත රෝග මැලේරියාව වැනි උණ ඇති කරන රෝග, නපුරු සිහින පෙනීම,තාවකාලික උන්මාදය, පිත්තාශය ආශ්‍රිත රෝග, සෙම හා අපස්මාරය ආදී විවිධ ලෙඩ රෝග වලින් වැලකීමට ගම් වලට සෙත ශාන්තිය පතා කෙරෙන ශාන්තිකර්මයක්. දහ අට සන්නියේ එන විශේෂ වෙස් මුහුණු කීපයක් මේ. දහ අට සන්නිය නැටීමට යොදා ගන්නා මේ වෙස් මුණු වලින් එකක් තේරුම නොදැන ඔබේ නිවසේත් අලංකාරයට තියා තියෙනවද කියලා බලන්න.

    බිහිරි සන්නිය

    මෙම වෙස් මුහුණෙන් නිරූපණය කරන්නේ තාවකාලික බිහිරි බව. මෙම වෙස් මුහුණේ අඩක් නයකුගෙන් වැසී පවතින්නේ නාගයා බිහිරි සතකු ලෙස පිළිගනිමිනුයි.

    නාග සන්නිය

    ඇස් රතුවීම නාගයන් සිහිනෙන් පෙනීම සහ නාගයකු දෂ්ට කලා හා සමාන රෝග ලක්ශන ඇති වීම මෙයින් අදහස් කෙරෙනවා.

    භූත සන්නිය

    තාවකාලිකව සිහි නැති වීම, ඇස් අඳුරු වී පිත් වමනය වීම මෙහි රෝග ලක්ශණයි.

    දේව සන්නිය

    දෙවියන්ගේ ලෙඩ යැයි සැලකෙන, පැපොල, සරම්ප, කම්මුල් ගාය ආදී ලෙඩ රෝග මෙයින් නිරූපණය කෙරෙනවා.

    මහාසම්මත රජුගෙන් ආරම්භ වුනිද , රාවණා රජුගෙන් ආරම්භ වුනිද යන්නට පැහැදිලි සටහනක් හෝ මූලාශ්‍රයක් නැතත් මෙම වෙස් මුහුණු ශ්‍රී ලාංකීය ජන සමාජය සහ නර්තන සම්ප්‍රදායන් හා නොසිඳෙන බැඳීමක් ඇති කරගෙන හමාරයි. මින් පසු ඔබ වෙස් මුහුණක් නිවසට ගේනවා නම් අලංකාරයට වඩා වෙස් මුහුණක අරුත දැනගෙනම මිලදී ගන්න.

    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg
    5.jpg
     
    Last edited: