ශ්‍රී ලංකාවේ පළාත් මල්

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ශ්‍රී ලංකාවේ පළාත් මල්

    රටක ජාතික අනන්‍යතාවය හෙළි කිරීමට සංකේත රාශියක් නිල වශයෙන් භාවිත කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික ක්‍රීඩාව, ජාතික ඇඳුම, ජාතික පුෂ්පය, ජාතික වෘක්ෂය සහ ජාතික පක්ෂියා‍‍‍ යනාදී වශයෙනි. මීට අමතරව පළාත් සඳහා නම් කරන ලද පළාත් කොඩි ද පවතී. නමුත් අද වන විට පළාත් සංකේත අතරට අලුතින් එකතු වූවක් ලෙස "පළාත් පුෂ්පයන් "හඳුන්වාදිය හැකිය.



    වයඹ පළාත
    පුෂ්පය: ඇට්ටේරිය
    උද්භිද විද්‍යාත්මකනාමය: Murraya Paniculta(L)Jack
    කුලය: Rutacea

    මෙම ශාකය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් වූවක් ලෙස හඳුන්වයි. ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවල දී සුරබි, සීසප හා යාපුරං යන නම්වලින් හඳුන්වයි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය "Dharsuubatae Neepasae" යනුවෙන් දැක්වේ. ශාකයේ ස්වභාවය ගත් විට ගස මීටර පහක් තරම් උසට වැඩෙන අතර පඳුරු ස්වභාවයක් ගනී. පත්‍ර දෙහි කොළයක හැඩයට සමාන වන අතර දිලිසෙන සංයුක්ත පත්‍ර වේ. රාත්‍රි සඳ එළියත් සමඟ පිපෙන මෙම මල් සුදු පැහැයෙන් යුක්තය. මෙම ශාක ලංකාවේ පහත රට වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත. වි‍ශේෂයෙන් ම පහත රට මෝසම් වැසි වනාන්තරවල සහ ගල් කුහරවල වැඩි වශයෙන් දක්නට ලැබේ. ඒ හැරෙන්නට ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව, මැලේසියාව යන ආසියාතික රටවල සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වී ඇත. මෙම ඇට්ටේරිය ශාකයේ ප්‍රයෝජන පිළිබඳ සළකා බලන විට ප්‍රධාන වශයෙන් ගෘහස්ත වගාවට සුදුසු ය. අද වන විට මේවා විසිතුරු බඳුන් වගා ක්‍රමයක් ලෙස අලෙවිය සඳහා යොදාගෙන ති‍බේ. ශාක කඳ ගෘහ කර්මාන්තයේ දී කැටයම් කැපීම, භාණ්ඩ නිෂ්පාදනය යන අංශවලට යොදා ගනියි. ශාක පොතු සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමටත්, පොත්තේ යුෂ ආහාර ජීර්ණය පහසු කිරීමටත් යොදා ගන්නා ඔසුවක් ලෙස නම් කෙරේ.



    උතුරු මැද පළාත
    පුෂ්පය: ඇහැළ
    උද්භිද විද්‍යාත්මක නාමය : Cassia Fistula(L)
    කුලය: Febacae


    ඇසළ මාසය හා බැඳුණු ඇහැළ මල් ඉතා අලංකාර මල් විශේෂයක් ලෙස හැඳින්විය හැකිය. "Showers of Gold" යනුවෙන් ඉංග්‍රීසි බසින් මෙ‍ම මල් හඳුන්වන අතර දෙමළ බසින් "Tirukkontai"ලෙස දක්වයි. මෙම ශාකයේ ස්වභාවය ගත් විට සාමාන්‍යයෙන් මීටර පහක් පමණ උස මධ්‍යම ප්‍රමාණයෙන් වැඩෙන ශාකයකි. හොඳින් වැඩුණු ශාකයක පොකුරු ආකාරයෙන් වැඩුණු මල් රාශියක් දක්නට ලැබේ. මේවා පහතට නැවී මල් කිනිති ආකාරයෙන් දිස් වේ. මල් තද කහ පැහැති වන අතර පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මල් හට ගනී. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන ඇසළ ශාකය දකුණු සහ නැගෙනහිර ආසියාවට ආවේණිකය. ඉන්දියාව, පිලිපීනය, ජාවා, මැලේසියාව යන රටවල ද ඇසළ ශාකය දක්නට ලැබේ. ඇසළ ශාකය ගෘහස්ථ වගාවේ දීත්, උද්‍යාන අලංකරණයටත් බෙහෙවින් උපයෝගී කර ගනී. සංස්කෘතික වශයෙන් ද මෙම ශාකයට විශේෂ ස්ථානයක් ඇත. ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යට ඇසළ ගස භාවිත කරයි. සිංහල මාස ක්‍රමයට අනුව ජූලි මාසය ඇසළ මාසය ලෙස නම් කෙරේ. ශාකයේ මුල් සහ කරල් ඖෂධ වශයෙන් උපයෝගී කර ගනී.

    ඌව පළාත
    පුෂ්පය: ගුරුළුරාජ
    උද්භිද විද්‍යාත්මක නාමය :Rhynchostylis retusa Blume
    කුලය Orchidaceae

    උඩවැඩියා විශේෂයට අයත් වන ගුරුළුරාජ මල් සුදු හා දම් පාටින් යුක්ත වේ. මෙය වන සත්ත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත පැළෑටි විශේෂයක් ලෙස ද නම් කර ඇත. එමෙන්ම තර්ජනයට ලක් වූ ජීවීන් අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ 2 කාණ්ඩයට මෙම මල ඇතුළත් කර ඇත. "Fox Tail Orchid" යන ඉංග්‍රීසි නමින් ද මෙම මල් හැඳින්වේ. මෙම ශාකය පඳුරු ආකාරයෙන් වැඩෙන අතර උඩවැඩියා විශේෂයට අයත් සේ සැළකේ. මල් පොකුරු ආකාරයෙන් පිහිටයි. නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ ගුරුළුරාජ මල් දක්නට ලැබේ. ඉතා දුර්ලභ වූ මෙම උඩවැඩියා විශේෂය. ලංකාව හැරුණු විට ඉන්දියාව,මැලේසියාව, බුරුමය, සහ ජාවා යන රටවල දක්නට ලැබේ. ලංකාවේ ඌව සහ නැගෙනහිර පළාත්වල විශාල ගස් අතර වැඩෙන ගුරුළුරාජ විශේෂය වඳවීමේ තර්ජනයට ලක් වී ඇත. ඖෂධ වශයෙන් මෙන් ම ගෘහ අලංකාරයටත් මෙම මල් භාවිත කෙරේ.


    දකුණු පළාත
    පුෂ්පය: හීන්බෝවිටියා
    උද්භිද විද්‍යාත්මක නාමය:Obbeckia octondra
    කුලය Melastomataceae

    ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ශාකයක් වූ ලෙස හීන්බෝවිටියා ශාකය හැඳින්වේ.මෙම ශාකය පඳුරු සහිත ශාක විශේෂයක් වන අතර පුෂ්ප දම් පැහැයෙන් යුක්තය. ඉත්තක පෙති පහකින් යුතු මල් කිහිපයක් දැක ගත හැක. ලංකාවේ වියළි හා තෙත් කඳුකර ප්‍රදේශවල බහුල වශයෙන් වැඩෙන අතර මෙම ශාකය ලඳු කැලෑ අතර ද මද වශයෙන් දැකගත හැක. ශාකයේ පත්‍ර හා පෙතු ඖෂධීය වශයෙන් වැදගත් වේ. විසිතුරු පැළෑටියක් ලෙස ද යොදා ගත හැක.



    බස්නාහිර පළාත
    පුෂ්පය: සුදු නෙළුම්
    උද්භිද විද්‍යාත්මක නාමය:Nelumbo nucifera Gaerth
    කුලය :Nelumbonaceae

    බෞද්ධ සාහිත්‍යයේ ඉතා උසස් පිළිගැනීමක් නෙළුම් ශාකයට පවතී. නෙළුම් මල විවිධ නම් වලින් හඳුන්වන අතර ඉංග්‍රීසි භාෂාවෙන්, "Lotus or Sacred been" ලෙස ද දෙමළ භාෂාවෙන් "Tamaraj" නමින් ද දක්වයි. නෙළුම් ශාකය ජලජ පැළෑටියක් ලෙස හැඳින්වෙන අතර මල් සුදු හෝ රතු පැහැයක් ගනී. මේ අතර විශාල ප්‍රමාණයේ පුෂ්ප මෙන්ම තරමක පුෂ්ප ද දැක ගත හැක. සුදු නෙළුම් ශාකය පහතරට වියළි හා තෙත් කලාපවල බහුලව දක්නට ලැබේ. එමෙන් ම ආසියානු උෂ්ණ කලාපයේ සහ ඊසාන දිග ඕස්ට්‍රේලියාවේ ද ඇත. ඉන්දියාව, චීනය, ටිබෙටය, ජපානය යන රටවල සුදු නෙළුම් දක්නට ලැබේ. පූජනීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් බෞද්ධයන් මෙන්ම හින්දු භක්තිකයන් අතර ද නෙළුම් මල සඳහා ඇත. නෙළුම් මල ඖෂධීය වශයෙන් ද වැදගත් වන අතර අල සහ බීජ ආහාර සඳහා ද යොදා ගැනේ.සිතුවම් හා කැටයම් ශිල්පයේදී ද නෙළුම් මල යොදා ගත් බව පෙනේ. මේ අනුව නෙළුම් මල ආගමික, සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් තැනක් උසුලයි.


    මධ්‍යම පළාත
    පුෂ්පය:මහරත්මල
    උද්භිද විද්‍යාත්මක නාමය:Rhododrendran Arbareum Var Zeylanicum
    කුලය Ericaceae

    ලංකාවට පමණක් ආවේණික වූ මහරත් මල් ශාකය වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබේ. දෙමළ භාෂාවෙන් මෙම මල "Billi" යනුවෙන් හඳුන්වනු ලබයි. රත් මල්වලට අයත් මෙම ශාකයේ මල් පොකුරු ආකාරයෙන් හට ගනී. ශාකයේ ස්වභාවය ගත් විට කුඩා සහ මධ්‍ය ප්‍රමාණයෙන් යුක්තය. එක මල් පොකුරක මල් විසිපහක් පමණ හට ගැනේ. පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ මල් හට ගැනේ. වැඩි වශයෙන් ම මධ්‍යම කඳුකර ප්‍රදේශවල මෙම ශාකය වැඩේ. ඒ හැරුණු විට ඒ ආශ්‍රිත තණ බිම්වල ද මේවා වැඩි වශයෙන් ව්‍යාප්ත වේ. ගෘහස්ථ වගාවට මෙන්ම ඖෂධ වශයෙන් ද මෙම ශාකය භාවිත කරේ.

    සබරගමුව පළාත
    පුෂ්පය:වෙසක් මල
    උද්භිද විද්‍යාත්මක නාමය:Dendrobium Maccarthiae thw
    කුලය Orchidaceae

    වෙසක් මල් ශාකය ද ශ්‍රි ලංකාවට පමණක් ආවේණික වූ ශාකයක් ලෙස හඳුනා ගත හැකිය. මෙම ශාකය දුර්ලභ ගණයේ ශාකයකි. ප්‍රධාන වශයෙන් අධික වර්ෂාපතනයක් ලැබෙන රත්නපුර ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව හට ගැනේ. මේ වන විට මෙම ශාකය ආරක්ෂා කිරීමට ද නම් කර තිබේ. මේ මල් ද උඩවැඩියා විශේෂයට අයත් වන බව සැළකේ. ශාකයේ කඳේ පහතට එල්ලෙන ආකාරයට මල් හට ගනී.එමෙන්ම මෙම ශාකය ද ගෘහ අලංකරණයට ද අළෙවියට ද යොදා ගැනේ.

    උතුරු පළාත (යෝජිත)
    පුෂ්පය:වල් පිච්ච
    උද්භිද විද්‍යාත්මක නාමය:Jasminum Angustifolium
    කුලය Oleaceae

    ආගමික කටයුතු සඳහා යොදා ගන්නා වල් පිච්ච සිංහලයෙන් වෑකන්ද යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙම ශාකය වැල් සහිතව මෙන්ම පඳුරු සහිතව ද හට ගැනේ. අධික සුගන්ධයකින් යුතු මෙම මල් අතු රිකිලි අතර මල් තුන බැඟින් හට ගැනේ. මල් ශාකය පුරා පැතිරේ. පෙබරවාරි, අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවල මෙම මල් හට ගනියි. ප්‍රධාන වශයෙන් ම ලංකාවේ පහතරට වියළි කලාපයේ බහුලව දක්නට ලැබේ. ඒ හැරුණු කොට දකුණු ඉන්දියාවේ ද මෙය දැක ගත හැක. මෙම ශාක පූජා කටයුතු සඳහා යොදා ගන්නා අතර මුල් ඖෂධ වශයෙන් භාවිත කරයි.


    උතුරු පළාත (යෝජිත)
    පුෂ්පය:විෂ්ණුක්‍රාන්තිය
    උද්භිද විද්‍යාත්මක නාමය:Evalvulus Alsinodes(L)
    කුලය Convolvulaceae

    දෙමළ භාෂාවෙන් විෂ්ණු කිරන්දි නමින් හැඳින්වෙන මෙම ශාකය ඖෂධීය වටිනාකමකින් යුක්ත ය. කුඩා පඳුරු ආකාරයට හට ගන්නා මෙහි මල් ඉහළට එසවුණු ආකාරයෙන් පවතී. නිල් පැහැයෙන් යුතු මෙම මල් කිනිත්තක ආකාරයෙන් ඇත. දැනට හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ වියළි හා අතරමැදි කලාපයේ පහත්බිම් ආශ්‍රිතව මෙම ශාක ව්‍යාප්තව ඇත. ඖෂධීය වශ‍යෙන් ගත් විට පාචනයේ දී හා මානසික රෝගවල දී ද ඇදුම රෝගයට ද යොදා ගනී. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ උතුරු පළාත සඳහා යෝජිත පුෂ්ප දෙකක් ඇති බව පැහැදිලි වේ.


    නැගෙනහිර පළාත
    පුෂ්පය: ගොඩ මානෙල්
    උද්භිද විද්‍යාත්මක නාමය:Crinum Zeylanicum
    කුලය Amaryllidaceae

    සිංහල භාෂාවෙන් තොලබෝ සහ නරි-මානෙල් යන නම් ද ගොඩ මානෙල් සඳහා භාවිත කරයි. දෙමළ භාෂාවෙන් "Vichamunkil" ලෙස ද සංස්කෘත භාෂාවෙන් චක්‍රාංගී, සෝමවල්ලී ලෙස ද හැඳින්වේ. තරමක් කුඩා වූ මෙම ශාක‍යේ මල් පුනීලයක ආකාරයට දිස්වේ. විශේෂයෙන් ම සවස් කාලයේ මෙම මල් පිපෙන අතර අගෝස්තු සිට පෙබරවාරි දක්වා කාලය තුළ හට ගනියි. මෙම ශාකය බහුලව ව්‍යාප්ත වී ඇත්තේ වියළි කලාපයේ වේ. නමුත් වැව් හා දිය කඩිති ආශ්‍රිතවත් දක්නට ලැබේ. ශාක පත්‍ර හා කඳ, ඖෂධ වශයෙන් යොදා ගන්නා අතර පුෂ්ප අලංකරණය සඳහා ගනියි.

    උතුරු හා නැගෙනහිර පළාත සඳහා මෙතෙක් තෝරා ගෙන ඇති මල් යෝජිත පුෂ්ප ලෙස දක්වයි.

    Flowers_of_the_sri_lanka_provinces.jpg
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    එල මචං
    You must spread some Reputation around before giving it to sbanurada again.