ශ්‍රී ලංකා යුධ හමුදා සිංහ රෙජිමේන්තුවේ ඉතිහාසය

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,268
    113
    දෙහිවල
    ‘80 දශකයේ මුල භාගයේ දී උතුරුකරය තුළ ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිමාව දුටුවේ 2009 වසරේ දී යි. දශක 3කට ආසන්න කාලයක් පුරාවට පැවති එම යුද්ධය නිසා වටිනා ජීවිත රැසක් රටට අහිමි වුණා. එම කාල සමය තුළ ත්‍රස්තවාදීන් සමග ගොඩබිමේ දී කළ සටන්වල දී ශ්‍රී ලංකා යුධ හමුදාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. එහිදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුධ ඉතිහාසය තුළ බිහිවුණු වීර සෙබලුන් කිහිප දෙනෙකුම බිහිකළා.

    සිංහ රෙජිමේන්තුව ආරම්භ කිරීමේ අවශ්‍යතාවය මතුවුණු හැටි

    1) වෙනත් රෙජිමේන්තුවලට වඩා ස්වාධීනව කටයුතු කිරීම
    2) සතුරා යටත් කිරීම වෙනුවට සම්පුර්ණයෙන්ම විනාශ කිරීම
    3) ක්ෂනික ප්‍රහාර සදහා රයිෆලය සෑම විටම සුදානම්ව තබාගැනීම
    4) පහරදීමේ දී වෙඩිතැබීමට අමතරව බයිනෙත්තුව සහ රයිෆලය ද අවියක් ලෙස යොදා ගැනීම
    5) භූමියට අනුව වෙස්වලා ගැනීම හා සැගවීම
    6) වෙස්ගැන්වූ නිළ ඇදුම් භාවිතය
    7) ඉතා දිගු වාචික නියෝග වෙනුවට බියුගල් නලා හඬ මඟින් නියෝග නිකුත් කිරීම
    8) පෙළපාලි හෝ රැස්වෙන ස්ථාන දැක්වීමට රෙජිමේන්තු වර්ණ භාවිතා නොකිරීම

    දෙවන ලෝක යුද්ධය අවසන් වී කෙටි කාලයක් ගතවන විට ලංකාව ඇතුළු යටත් විජිත කිහිපයකට නිදහස ලැබුණා. නිදහස ලැබී වසර 8ක් පමණ යන විට ලංකාව තුළ රයිෆල් රෙජිමේන්තුවක් ආරම්භ කිරීමට සූදානම් වුණා. එවකට ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කළ ලුතිනන් කර්නල් ආර්.ඩී ජයතිලක විසින් එම රෙජිමේන්තුව සඳහා තුන්වන ලංකා පාබල හමුදාව යන නම යෝජනා කෙරුනා. නමුත් එවකට ලංකාවේ අගමැතිවරයා ලෙසින් කටයුතු කළ සොලමන් බණ්ඩාරනායක එයට ‘සිංහ රෙජිමේන්තුව’ යන නම යෝජනා කළා.

    සිංහ රෙජිමේන්තුව ආරම්භ වෙයි

    1956 වසරේ ඔක්තෝබර් 1 වැනිදා ලංකාවේ පළමු රයිෆල් රෙජිමේන්තුව වුණු සිංහ රෙජිමේන්තුව දියතලාවේ දී ආරම්භ කළා. මෙම නව බලඇණියේ ප්‍රථම අණ දෙන නිලධාරියා බවට පත්වුණේ ලුතිතන් කර්නල් ආර්.ඩී. ජයතිලක යි. “නිර්භීත වේගවත්” යන ආදර්ශ පාඨය පෙරදැරි කරගත් මෙම රෙජිමේන්තුවේ පළමු බලඇණිය සඳහා සෙබලුන් 60 දෙනෙකු ඇතුළත් වුණා. ඔවුන්ගේ ඇඳුම් පැළදුම්, චාරිත්‍ර වාරිත්‍ර සහ සරඹ ක්‍රම එංගලන්තයේ රයිෆල් බලකායට සමාන වුණා.

    පළමු බලඇණිය ආරම්භ කළ දිනයේ දීම සිංහ රෙජිමේන්තුවේ දෙවන ස්වේච්ඡා බලඇණිය මහනුවර ස්ථාපිත කළ අතර එහි අණ දෙන නිලධාරියා ලෙසින් ලුතිනල් කර්නල් ඩග්ලස් රත්වත්තේ කටයුතු කළා. එලෙස පිහිටුවාගත් සිංහ රෙජිමේන්තුවට අයත් වුණු සෙබලුන් 1958 වසරේ දී සිංහල-දෙමළ කෝලාහල ඇති වුණු අවස්ථාවේ විශාල මෙහෙයක් ඉටු කළා. 1969 වසරේ ඔක්තෝබර් 1 වන දින සිංහ රෙජිමේන්තුවේ තෙවන ස්වේච්ඡා බලඇණිය නුවරඑළියේ දී ආරම්භ කළා. එම කාලසමය වන විට ඊළාම් යුද්ධය ආරම්භ වී නොතිබුණු නිසා හමුදා සෙබලුන්ව රට අභ්‍යන්තරයේ ඇති වුණු ගැටුම් මර්ධනය කිරීම සඳහා යොදාගනු ලැබුවා.

    යුද්ධය ඇරඹීමත් සමග සිංහ රෙජිමේන්තුව පුළුල් වෙයි
    1983 වසරේ දී ඊළාම් යුද්ධය නිල වශයෙන් ආරම්භ වීමත් සමගම උතුරුකරය තුළ හමුදා ශක්තිය තර කරනු ලැබුවා. ඒ සඳහා අළුතින් සෙබලුන් හමුදා සේවයට එකතු කරගැනීමට සිදු වුණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1985 වසරේ දෙසැම්බර් 1 වැනිදා සිංහ රෙජිමේන්තුවේ 4 වන බලඇණිය අඹේපුස්සේ දී ස්ථාපිත කළා. එදා සිට යුද්ධය අවසන් වන තුරු සිංහ රෙජිමේන්තුවේ තවත් බලඇණි 19ක් පිහිටවනු ලැබුවා.

    1) 5 වන බලඇණිය (ස්වේච්ඡා) - 1987.01.01 - මහනුවර කඳවුර
    2) 6 වන බලඇණිය - 1987.08.01 - අම්පාර කඳවුර
    3) 7 වන බලඇණිය - 1990.05.12 - අඹේපුස්ස කඳවුර
    4) 8 වන බලඇණිය - 1992.10.16 - අම්පාර කොන්ඩුවටුවාන කඳවුර
    5) 9 වන බලඇණිය - 1993.01.01 - වැලිඔය කඳවුර
    6) 10 වන බලඇණිය - 1994.01.23 - සන්කත්තරවායල් කඳවුර
    7) 11 වන බලඇණිය (ස්වේච්ඡා) - 1994.04.16 - දේවහූව කඳවුර
    8) 12 වන බලඇණිය - 1996.12.09 - අඹේපුස්ස කඳවුර
    9) 14 වන බලඇණිය - 1996.12.16 - අඹේපුස්ස කදවුර
    10) 15 වන බලඇණිය (ස්වේච්ඡා) - 1997.01.01 - පොන්නාලෙයි කඳවුර
    11) 16 වන බලඇණිය - 1997.02.17 - අඹේපුස්ස කඳවුර
    12) 17 වන බලඇණිය (ස්වේච්ඡා) - 2007.12.01 - කතරගම කඳවුර
    13) 18 වන බලඇණිය (ස්වේච්ඡා) - 2008.03.30 - කලවංචිකුඩායි කඳවුර
    14) 19 වන බලඇණිය (ස්වේච්ඡා) - 2008.08.31 - කටුකැලියාව කඳවුර
    15) 20 වන බලඇණිය - 2008.10.01 - වව්නිකුලම් කඳවුර
    16) 21 වන බලඇණිය - 2008.12.01 - අඹේපුස්ස කඳවුර
    17) 22 වන බලඇණිය (ස්වේච්ඡා) - 2009.07.01 - අඹේපුස්ස කඳවුර
    18) 23 වන බලඇණිය - 2009.08.01 - පුනරින් කඳවුර
    19) 24 වන බලඇණිය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 2009.10.01 - ආලම්පිල් කඳවුර

    සිංහ රෙජිමේන්තුව සතු සෙබලුන් සංඛ්‍යාව කෙමෙන් වැඩි වන විට දියතලාවේ තිබුණු එහි මූලස්ථානය වෙනත් තැනක ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මතු වුණා. එම නිසා 1989 වසරේ ඔක්තෝබර් 21 වැනිදා රෙජිමේන්තු මූලස්ථානය අඹේපුස්ස කඳවුර තුළ ස්ථාපිත කළා.

    පරම වීර විභූෂණ සම්මානය ලබාගත් සිංහ රෙජිමේන්තු විරුවන්

    ශ්‍රී ලංකා යුධ හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාවේ සෙබලෙකුගේ හෝ නිළධාරියකුගේ වීරත්වය උදෙසා පිරිනැමෙන ඉහළම හා ගෞරවාන්විතම සම්මානය වන්නේ පරම වීර විභූෂණ පදක්කම යි . එම වීර පදක්කම දිනාගත් මුල්ම හමුදා සෙබලුන් දෙදෙනා සිංහ රෙජිමේන්තුව නියෝජනය කළා. 90 දශකයේ මුල් භාගයේ දී එම සෙබලුන් දෙදෙනා පරම වීර විභූෂණ පදක්කම දිනාගැනීමෙන් පසුව තවත් සිංහ රෙජිමේන්තු විරුවෙකු එම වීර පදක්කම දිනාගත්තා. ඒ අනුව මෙරට යුධ හමුදා ඉතිහාසය තුළ පරම වීර විභූෂණ සම්මානය ලබාගත් වීරෝදාර රණවිරුවන් තිදෙනෙකු හමුවනවා. පහත දක්වා තිබෙන්නේ ඔවුන් එම සම්මානය දිනාගැනීම සඳහා පෑ හපන්කම් පිළිබඳව යි.

    කෝප්‍රල් ගාමිණී කුලරත්න
    1987 වසරේ දී සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බලඇණියට අනියුක්ත කළ ගාමිණී කුලරත්න රණවිරුවා 1991 වසර වන විට ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙසින් කටයුතු කළා. 1991 වසරේ ජූලි මාසය එළඹෙන විට ගාමිණී රණවිරුවා අලිමංකඩ කඳවුරේ සේවය කරමින් සිටියා. එම දිනවල කොටි ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුරට දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළා. එදා කොටි ත්‍රස්තවාදීන් වෙඩි නොවදින තහඩුවලින් ආවරණය කළ පුපුරන ද්‍රව්‍යය පිරවූ බුල්ඩෝසරයක් කඳවුර දෙසට එවනු ලැබුවා. හමුදා බංකර බිඳ දමමින් ඉදිරියට ඇදුණු බුල්ඩෝසර් මාරයා නැවැත්වීමට කිසිදු සෙබලෙකුට අවස්ථාවක් ලැබුණේ නැහැ. ක්‍රමයෙන් ඉදිරියට පැමිණෙමින් තිබුණු කොටි බුල්ඩෝසරය දුටු ගාමිණි රණවිරුවා දෙවරක් නොසිතා ග්‍රනේඩ් දෙකක් අත් දෙකට ගෙන වෙඩි වරුසා මධ්‍යයේ ඉදිරියට දිව ගියා. ඉන් පසුව බුල්ඩෝසරයට නැගි එම වීරෝදාර රණවිරුවා ඔහු අත තිබුණු ග්‍රනේඩ් දෙක පුපුරවා හැරියා. එදා අලිමංකඩ කඳවුර සහ සිය සහෝදර සෙබලුන් බේරාගනිමින් අභීත ලෙස මරු වැළඳගත් ගාමිණී විරුවාට 1991 වසරේ ඔක්තෝබර් 10 වැනිදා පරම වීර විභූෂණ සම්මානය පිරිනමනු ලැබුවා. එසේම ඔහුව කෝප්‍රල් නිලය දක්වා උසස් කරනු ලැබුවා.

    කපිතාන් සාලිය අලදෙණිය
    1989 වසරේ දී දෙවන ලුතිනන්වරයකු ලෙසින් 3 වන ස්වේච්ඡා බලඇණියට එක්වුණු සාලිය අලදෙණිය රණවිරුවා 1990 වසරේ මැයි මාසයේ දී කොකාවිල් හමුදා කඳවුරට අනියුක්ත කළා. ඒ කොටි ත්‍රස්තවාදීන් කොකාවිල් රූපවාහිනි කුළුණ අල්ලා ගැනීමට මාන බලමින් සිටි නිසා යි. එම කාල වකවානුව වන විට සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පැවතුණු නිසා කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙසින් කටයුතු කළ ජයන්ත රත්නායක නිවාඩු ලබා කඳවුරෙන් පිටව ගිය නිසා කොකාවිල් කඳවුර භාර නිලධාරියා ලෙසින් කටයුතු කළේ සාලිය අලදෙණිය යි. එලෙස අලදෙණිය රණවිරුවා කොකාවිල් කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙසින් කටයුතු කරමින් සිටි අතරතුර සටන් විරාම ගිවිසුමක් අවසන් වුණා. සටන් විරාමයෙන් ප්‍රයෝජන ගත් කොටි ත්‍රස්තවාදීන් ඒ වන විට හුදෙකලාව තිබුණු කොකාවිල් කඳවුර වට කර තිබුණා. එම නිසා කොකාවිල්වලට ආධාරක හමුදා භට පිරිස් එවීමට හැකියාවක් තිබුණේ නැහැ. එදා කඳවුර තුළ තිබුණු සීමිත සම්පත් උපයෝගී කරගනිමින් සතුරාට එරෙහිව සිය සේනා මෙහෙය වූ අලදෙණිය රණවිරුවා සති තුනකට වැඩි කාලයක් සිය කඳවුර රැකගෙන සිටියා. අවසානයේ දී කොටි කඳවුර අත් පත් කරගැනීමට ආසන්න වුණු අවස්ථාවේ මෙම රණවිරුවාට කඳවුර හැරයන ලෙස ඉහළින් උපදෙස් ලැබුණත් ඔහු තුවාල ලබා සිටි සහෝදර සෙබලුන් හැර ගියේ නැහැ. කිසිදු අවස්ථාවක සතුරාට කඳවුර අල්ලා ගැනීමට අවස්ථාව ලබා නොදුන් මෙම රණවිරුවා අවසන් මොහොතේ ගුවන් හමුදාවෙන් ඉල්ලා සිටියේ කඳවුරට ප්‍රහාර එල්ල කර විනාශ කරන ලෙස යි. ඒ අනුව 1990 වසරේ ජූලි 12 වැනිදා සාලිය උපුල් අලදෙණිය නම් වීරෝදාර රණවිරුවා මව්බිම වෙනුවෙන් දිවි පිදුවා. එම වීර ක්‍රියාව සඳහා 1994 වසරේ ජනවාරි 21 වැනිදා ඔහුට පරම වීර විභූෂණ සම්මානය පිරිනමනු ලැබුවා. එසේම ඔහුව කපිතාන් නිලය දක්වා උසස් කරනු ලැබුවා.

    ලාන්ස් කෝප්‍රල් අබේරත්න බණ්ඩා
    2009 වසරේ ජනවාරි 1 වැනිදා අබේරත්න බණ්ඩා සිංහ රෙජිමේන්තුවේ 21 වැනි බලඇණියට අනියුක්ත කළේ ආධුනික සෙබලෙකු ලෙස යි. එලෙස සටන් බිමට ගිය මෙම රණවිරුවා ජනවාරි 29 වැනිදා විශ්වමඩු ප්‍රදේශය අල්ලා ගැනීම සඳහා පැවති සටනේ දී වෙඩි ප්‍රහාර නොතකා ඉදිරියට ගොස් කොටි බංකරයක් තුළ ග්‍රනේඩයක් පුපුරවා ගනු ලැබුවා. එදා අබේරත්න රණවිරුවා කළ වීර ක්‍රියාව නිසා ශ්‍රී ලංකා යුධ හමුදාවට විශ්වමඩු ප්‍රදේශය අත් පත් කරගැනීමට හැකි වුණා. එම නිසා 2012 වසරේ මැයි 19 වැනිදා ඔහුට පරම වීර විභූෂණ සම්මානය පිරිනමනු ලැබුවා. එසේම ඔහුව ලාන්ස් කෝප්‍රල් නිලය දක්වා උසස් කරනු ලැබුවා.

    පරම වීර විභූෂණ පදක්කමට පසුව පිරිනැමෙන ඉහළම පදක්කම වන වීරෝදාර විභූෂණ පදක්කම දිනාගත් යුධ හමුදා සෙබලුන් දෙදෙනාම සිංහ රෙජිමේන්තුවට අයත් වුණා. ඒ S.L කුරේ සහ P.R වික්‍රමපාල යන වීරෝදාර රණවිරුවන් දෙදෙනා යි.

    සිංහ රෙජිමේන්තුවෙන් බිහිවුණු එකම යුධ හමුදාපතිවරයා

    සිංහ රෙජිමේන්තුවෙන් බිහිවුණු එකම යුධ හමුදාපතිවරයා වීමේ ගෞරවය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට හිමි වුණා. 1970 වසරේ පෙබරවාරි 5 වැනිදා කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ලංකා යුධ හමුදාවට එක් වුණු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සතුව තිබුණු සහජ හැකියාව නිසා ඉක්මනින්ම ඉහළ නිලයන් දක්වා උසස් වීමට හැකි වුණා. යුද්ධය වඩාත් දරුණු ලෙසින් පැවති 80 සහ 90 දශකවල දී රණබිමේ දී නොසැලෙමින් සටන් කළ මේ දක්ෂ රණවිරුවා 2005 වසරේ දෙසැම්බර් 6 වැනිදා යුධ හමුදාපති තනතුරට පත් වුණා. ඉන් මාස කිහිපයකට පසුව ආරම්භ වුණු සිව්වන ඊළාම් යුද්ධයේ දී සිය හසල අත්දැකීම භාවිතා කළ මෙම දක්ෂ රණවිරුවා ශ්‍රී ලංකා යුධ හමුදාව සාර්ථකව මෙහෙයවමින් යුද්ධය අවසන් කිරීම සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. එම නිසා ඔහු 2015 වසරේ මාර්තු 22 වැනිදා ලංකා යුධ ඉතිහාසයේ පළමු ෆීල්ඩ් මාෂල්වරයා ලෙස උසස්වීමක් ලැබුවා. එසේම ඔහු ශ්‍රී ලංකා ඉතිහාසය තුළ බිහිවුණු එකම ෆීල්ඩ් මාෂල්වරයා යි.

    සරත් ෆොන්සේකා යුද්ධය නිමා කිරීමට දායක වුණු හමුදාපතිවරයා බවට පත් වීම සිංහ රෙජිමේන්තුවට විශාල ගෞරවයක් වුණා. එසේම ඔහු ලංකාවේ ෆීල්ඩ් මාෂල් තනතුර සඳහා පත් වුණු මුල්ම සහ එකම යුද හමුදා නිලධාරියා යි.

    dQhvicZhSFwJMATJ_3.jpg



    Rk6mRQ8dDhkKM6Dm_4.jpg



    s9BGO8Odr0XRuKPB_5.jpg



    8bkISZ6W2NsQ7F0G_6.jpg



    -Copied from RoarMedia-