ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් "මගෙන් රටට" නමැති සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතාව ජුලි 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලීසිය පිළිබඳව හා උසස් පොලිස් නිලධාරීන් පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමේ චෝදනාවකට ඔහු අත්අඩංගුවට පත් විය.
සභාපති සංජය මහවත්ත මහතාව ඊයේ (27) පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසට කැඳවනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධකරුවන් සමග සිදුකළ බව කියන සංවාදයක හඬපටයක් පිළිබඳව විමර්ශන අවසන් කර තිබියදීත් ඒ පිළිබඳව අසත්‍ය ප්‍රකාශ යූටියුබ් නාලිකාවලට ප්‍රකාශ කිරීමේ සිද්ධියක් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව කැඳවා තිබුණි.
ඊට අදාළ පොලිස් නිලධාරියාගේ කඩහඬ පරීක්ෂාවක් රජයේ රස පරීක්ෂකවරයා සිදුකර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ, අදාළ හඬපට එම නිලධාරියාගේ නොවන බවය.
ඒ අනුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව කිසි දිනෙක දැක නොමැති බවය.
එමෙන්ම කිසිදු අවස්ථාවක ඔහු සමඟ කිසිදු ආකාරයකින් සංවාදයක යෙදී හෝ අදාළ නිලධාරියාගේ සංවාදයකට හෝ ඇහුම්කන් දී නොමැති බවත් ඔහු පවසා තිබේ.
විදේශගතව සියින විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවක ප්‍රචාරය වූ වීඩියෝවක් පදනම් කරගනිමින් තමන් එම ප්‍රකාශය කළ බවත් ඔහු පවසා තිබුණි.
ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කෙරෙහි වෛරයක් හා අගෞරවයක් සිදුවන අයුරින් ක්‍රියාකර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ එම දෙපාර්තමෙන්තුව, ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය යනුවෙන් අපරාධකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොට්ඨාස රැසක් පවතියි.
එවන් පසුබිමක අදාළ නිලධාරියා පිළිබඳව අසත්‍ය බව දැන දැනම දිගින් දිගටම සංජය මැදවත්ත චෝදනා කිරීමෙන් අදාළ විමර්ශන කොට්ඨාස කෙරෙහි ජනතාව තුළ වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවමින් නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන කෙරෙහි පවතින විශ්වාසය බිඳ දමන ආකාරයෙන් කටයුතු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.
https://sinhala.adaderana.lk/news.php?nid=198257

