මුලික සක්මන් භාවනාව පුරුදු පුහුණු කිරීමෙන් පසු තම සිත දමනය කර ගැනීම පිණිස සක්මන් භාවනාව තවදුරටත් දියුණු කළ හැක.
ඊට ප්‍රථම සක්මන් භාවනාව සිදු කරන විට ඇතිවිය හැකි ගැටළු කිහිපයක් නිරාකරණය කර ගැනීම සුදුසුය.
1.සක්මන් භාවනාව ටික වෙලාවක් කරගෙන යද්දි නොදැනීම ‘වම... දකුණ...’ යයි මෙනෙහි කිරීම අමතක වේ. එහෙත් සක්මන සිදු වේ.
2.‘වම... දකුණ...’ මාරු වී සක්මන සිදු වීම
3.ක්ෂණයකින් හිස එසවී අවට පරිසරයේ සිද්ධියක් වෙත නෙත් යොමු වීම
4.ක්ෂණයකින් අවට පරිසරයේ ශබ්දයක් වෙත කන් යොමු වීම
5.සක්මන් මළුවේ වැටී තිබෙන රොඩු කැබැල්ලක්, කොළයක්, කුහුඹුවෙක් හෝ වෙත සිත යොමු වීම
6.වෙනත් අතීත හෝ අනාගත සිද්ධියක් සිහිපත් වීම
7.ශරීරයේ කිසියම් ස්ථානයක වේදනාවක් හෝ කැසීමක් ඇතිවීම
මෙවැනි බාධක තත්වයක් හට ගත් පසු ඔබ කළ යුත්තේ එම බාධාව දැනුණු සැණින් සක්මන නතර කර අවසාන ඉරියව්වෙන්ම තම ශරීරය තබා ගැනීමයි. ඉන් අනතුරුව සිදු වු බාධාව පිළිබඳව හොඳීන් මෙනෙහි කරන්න.
තවත් වතාවක් එම බාධාව සිද්ධවීමට ඉඩ නොදෙමි... යැයි ශක්තිමත් අධිෂ්ඨානයක් සිදු කර, වඩාත් හොද සිහියකින් යුතුව සක්මන් භාවනාව ඉදිරියට කරගෙන යන්න. බාධාවන් ක්‍රමයෙන් දුරු වී හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ඇතිවන තෙක් සක්මන් භාවනාව ප්‍රගුණ කරන්න.
සක්මන සිදු කරන විට ‘වම... දකුණ .... වම... දකුණ ....’ යනුවෙන් මෙනෙහි කිරීම පළමු අදිරයේදි සිදුවිය. එම කර්මස්ථානය තවදුරටත් සියුම් කිරීම දෙවන අදියරෙන් සිදු කෙරේ. පහතින් හඳුන්වා දී ඇති චක්‍රයට අනුව සක්මන් භාවනාව ප්‍රගුණ කිරීම තුළින් තම කර්මස්ථානය වඩාත් සියුම් වේ.
පහත චක්‍රය තුළ සිත තබා ගනිමින් සක්මන් භාවනාව ප්‍රගුණ කිරීමට තරමක් ප්‍රබල අවශ්‍යතාවයක් සහ වීර්යයක් තිබිය යුතුය. එක් චක්‍රයක් සම්පුර්ණ වීම සඳහා පියවර 8ක් ඇත. වම් පාදය ඔසවා තබන විට පියවර 4ක්ද දකුණ පාදය ඔසවා තබන විට පියවර 4ක්ද ඇත. මෙම අදිරයේදි සක්මන් කිරීමේ වේගය තරමක් අඩුවෙන් සිදු කිරීම සුදුසුය. කාලය ගෙන නිදහසේ මෙම අභ්‍යාසය ප්‍රගුණ කිරීම මහත් ඵලදායකය.
මෙම අදියර ප්‍රගුණ කළ යුත්තේ මුලින් සඳහන් කරන ලද අදියරෙන් දෙකම හොඳීන් ප්‍රගුණ කිරීමෙන් පසුවය. මෙහිදි ඔබ අනුගමනය කළ යුතු පියවරයන් පහතින් දැක්වේ.
1.තම දෙපා ආශ්‍රිතව සිදුවන චලනයන් සහ ස්පර්ශයන් කෙරෙහි අවධානය යොමු කරන්න.
2.භාවනාව ඇරඹීමේදි, ඔබේ ශරීරයේ බර පාදයන් දෙකටම සමබරව පවත්වා ගන්න.
3.පළමු පියවර තබන්නට උත්සාහ ගන්නවාත් සමඟම එක් පාදයකට (දකුණ) බරවැඩි වී අනෙක් පාදය (වම) සැහැල්ලු වන බව මෙනෙහි කරන්න.
4.එම සැහැල්ලු වු පාදයේ විළුඹ ක්‍රමයෙන් පොළොවෙන් මිදි දණහිස නැමි ඉදිරියට එන බව මෙනෙහි කරන්න.
5.ඇඟිලි ද පොළොවේ ස්පර්ශයෙන් මිදි මුළු පාදයම ඉදිරියට ඇදෙන බව මෙනෙහි කරන්න.
6.ඉදිරියට පැමිණි පාදය ක්‍රමයෙන් පහතට ගමන් කර විළුඹ ද අනතුරුව ඇඟිලි ද පොළොවේ ස්පර්ශ වන බව මෙනෙහි කරන්න.
7.ඉන් අනතුරුව, එම පාදයට තම ශරීරයේ බර ක්‍රමාණුකූලව පැමිණෙන බවත්, අනෙක් පාදය සැහැල්ලු වන බවත් මෙනෙහි කරන්න.
8.එම පාදයද පොළොව සමඟ ඇති ස්පර්ශය ක්‍රමයෙන් අඩුවී මුලින්ම විළුඹ ද අනතුරුව ඇඟිලි ද ස්පර්ශයෙන් මිදි දණහිසෙන් නැමි මුළු කකුලම ඉදිරියට ඇදෙන බව මෙනෙහි කරන්න.
මෙසේ දෙපා ඇසුරින් සිදු වන සියලු චලනයන් මෙනෙහි කරමින් සක්මන් භාවනාව ප්‍රගුණ කිරීම තෙවන අදියරේදි සිදු වේ.
1. ‘වම... දකුණ...’ යනුවෙන් පාදයන් පොළොවේ ගැටෙන අවස්ථාවන් මෙනෙහි කරමින් සිදු කරනු ලබන සක්මන් භාවනාව
2. ‘ඔසවමි... ගෙනයමි....තබමි.....’ යනුවෙන් මෙනෙහි කරමින් සිදු කරනු ලබන සක්මන් භාවනාව
3. දෙපා, පොළොව සහ ශරීරයේ බර සංවේදි කර ගනිමින් සිදුවන චලනයන් මෙනෙහි කරමින් සිදුකරනු ලබන සක්මන් භාවනාව
භාවනාවේ ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එමනිසා, ප්‍රතිඵල පිළිබඳ සැබෑ කර්මස්ථාන විග්‍රහයක් සිදු කර ගැනීමට නම්, භාවනා යෝගියා කර්මස්ථාන ගුරුවරයා සමඟ පෞද්ගලිකව සාකච්ඡා කළ යුතුය. මෙම ලිපියෙන් සිදු කරනු ලබන පැහැදිළි කිරීම පොදුවේ සිදු කරනු ලබන්නෙකි.
1.ශරීරය සැහැල්ලු වී ශරීරයේ බර නොදැනි යන ස්වභාවයක් දැනීම
සක්මන් භාවනාව ටික වේලාවක් කරගෙන යාමේදි සිත කර්මස්ථානය තුළම සමාධිගත වීමක් සිදුවේ. එවැනි අවස්ථාවක තම කයේ විශාලත්වය, බර, වේදනාවන් වැනි කය ආශ්‍රිතව සිතුවිලි ඉපදීමක් සිදු නොවේ. මෙය සක්මන් භාවනාව හොදින් සිදු වන බවට පෙර නිමිත්තකි.
2.නාමය සහ රූපය වෙන වෙනම දැනීම
කිසියම් ක්‍රියාවක් කයෙන් සිදු කිරීමට පෙර මනසින් එම ක්‍රියාව සිදු කරයි (මනෝ පුබ්බංගමා ධම්මා ....) යන ධර්මතාවය අවබෝධ වු අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව හැඳීන්විය හැක. ඒ අනුව තමා ළඟ නාමය (සිත) සහ රූපය (කය) යනුවෙන් කොටස් දෙකක් ඇති බව අවබෝධ කරගනි. එම අවබෝධය ලබා ගත් යෝගියෙකු සක්මන් භාවනාව පහතින් සඳහන් කරන ලද කරුණ ඇතුළත්ව ප්‍රඟුණ කළ යුතුය. “සක්මන් මළුව දෙකෙළවරට පැමිණි පසු නවතිමි... යැයි මෙනෙහි කර නතර වු පසුව ‘මෙහි සත්වයෙක් පුද්ගලයෙක්, මං මගේ කියා දෙයක් නොමැත. නාමයක් රූපයක් පමණක් ඇත’ යනුවෙන් තුන්වතාවක් මෙනෙහි කිරීමෙන් අනතුරුව ‘හැරෙමි...’ යැයි මෙනෙහි කර ශරීරය හරවන්න. මෙසේ සක්මන් මළුව දෙකෙළවරේදීම මෙනෙහි කරන්න”
3.පියවරක් පියවරක් පාසා අනිත්‍යභාවය දැනීම
වම් පාදය ‘ඔසවමි... ගෙනයමි....තබමි.....’ දකුණු පාදය ‘ඔසවමි.... ගෙනයමි.... තබමි...’ යනුවෙන් මෙනෙහි කරන වාරයක් වාරයක් පාසා වෙනස් වන බව දැනේ. පාදයක් ඔසවා තබන විට පාදය ඔසවන ලද පුද්ගලයා පාදය තබන විට නොමැති බවත්, පාදය තබන්නේ වෙනස් වු (අනිත්‍යභාවයට පත් වු) පුද්ගලයෙකු බවත් අවබෝධ වේ. මෙම ඵලය ලබා ගත් යෝගියා සක්මන් මළුව කෙළවරට පැමිණි පසු ‘නවතිමී ...’ යැයි මෙනෙහි කිරීමෙන් පසු ‘අනිත්‍යයි .... අනිත්‍යයි .... අනිත්‍යයි ....’ යනුවෙන් තුන් වතාවක් මෙනෙහි කර, ‘හැරෙමි ....’ යයි සිතා ශරීරය හරවන්න. මෙසේ සක්මන් මළුවේ දෙකෙළවරේදීම මෙනෙහි කරන්න.
4.ඇටසැකිල්ලක් ඇවිදින බව දැනීම
ටික වේලාවක් නිදහසේ සක්මන් භාවනාව ප්‍රගුණ කරන විට මෙවැනි අත්දැකීමක් ඇතිවිය හැකිය. එමනිසා ඇටසැකිල්ලක් ඇවිදින බවට හොඳීන් අවබෝධ කරගෙන සක්මන් භාවනාව ඒ අනුවම ප්‍රගුණ කරගෙන යන්න.
5. සක්මනත් සංසාර ගමනත් එක හා සමාන බව දැනීම
සක්මනේදී පියවරයන් ඇතිවෙමින් නැතිවෙමින් චක්‍රාකාරව සිදු වේ. මෙසේ දෙපා තබන පියවරයන් වලට සිදුවන දෙයම, සංසාරයේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන පුද්ගලයාට ද සිදුවන බව අවබෝධ කර ගැනීමට හැකි වේ.
6.සක්මන් භාවනාව සිතුවිලි මාලයක් ලෙස දැනීම
ඉහතින් සඳහන් කරන ලද පළමු හා දෙවන සක්මන් භාවනා අදියරයන්හීදී චක්‍රයන් දෙකක් පැහැදිළි කරන ලදි. මෙම චක්‍රයන් දෙක තුළ යෝගියා මුලින්ම කය ඇසුරුකර ගෙන සමාධියට පත් වේ. එසේ ටික කාලයක් භාවනාව ප්‍රගුණ කරගෙන යාමේදි, යෝගියාගේ සිත සක්මන් භාවනා චක්‍රයන් තුළම සමාධිගත වේ. ශරීරය පිළිබඳව අදහසක් නැතිවී යයි. ඒ අනුව සිතක් සිතුවිලි මාලාවක් සමඟ සක්මන් කරනවා සේ අවබෝධ වේ.
7.ඇලීම, ගැටීම, බැඳීම, නිදහස් වීම සංවේදි වී චතුරාර්යය සත්‍ය ධර්මයෙන් බිඳක් අවබෝධ වීම
විශේෂයෙන්ම සක්මන් භාවනාවේ තුන්වන අදියරයට සපැමිණි යෝගියෙකු හට මෙම අත්දැකීම ලැබේ. නාම රූප ධර්මයන් ඇලෙමින් ගැටෙමින් සංසාරයේ ගමන් කරන බවත්, එම ඇලීම හා ගැටීම කෙරෙහි පවතින බැඳීම පිළිබඳවත්, එයින් නිදහස් වීමේ මාර්ගය පිළිබඳවත් අවබෝධයක් ලැබේ. ඉහත ඵලයන් ලැබු යෝගින් ගුරු උපදෙස් අනුව ඉදිරි භාවනා අභ්‍යාස වලට යොමු විය යුතුය.
ධර්මානුකූල නොවන සාවද්‍ය ක්‍රම නිසා ආර්ය මාර්ගයෙන් ප්‍රතිඵල නොලැබෙන තත්ත්වයක් වර්තමානයේ උදාවෙලා තියෙනවා. භික්‌ෂුන් නිවැරැදිව මාර්ගය වඩන තාක් ලොව අරිහතුන් වහන්සේලාගෙන් හිස් නොවන බව බුද්ධ දේශනාවේ සඳහන්ව තිබුණත්. වර්තමානයේ අරිහතුන් වහන්සේලාගෙන් නොවෙයි, ඉන් මෙහා මගඵලවලිනුත් සසුන බෙහෝකොටම හිස් වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන්න ඕන, වරදවා අනුගමනය කරන මාර්ග ප්‍රතිපදාව මිසක් වෙන දෙයක් නොවෙයි.
වරදවා පිහිටුවන ලද හැල් නන්ඩුව පාදයේ ඇනී තුවාල සිද්ධ වෙන්නේ නෑ වගේ, ධර්මානුකූල නොවන ප්‍රතිපදාවක් අනුගමනය කිරීමෙන් ධ්‍යාන, මගපල නිවන් සාක්‌ෂාත් කරන්න බෑ.
සක්‌මන් භවනාව අයිති වෙන්නෙ යැමේ ඉරියව්වට. 'ගතේ සම්පජානකාරී හෝති. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති' යන සතිපට්‌ඨාන සූත්‍ර දේශනා පාඨවලින්, ගමන් කරන ඉරියව්ව සතියෙන් කළ යුතු ආකාරය පැහැදිලි කරල තියෙනවා.
සක්‌මන් භාවනාව සතිපට්‌ඨාන සූත්‍රය ඇතුළු තවත් බුද්ධ දේශනාවල සඳහන් වුණත්, වර්තමානයේ ඒක සිද්ධ කරන ආකාරය කොහෙත්ම ධර්මානුකූල නෑ. ඉහතින් විස්‌තර කළ ආකාරයට සම්පජානකාරී, පජානාති යන වචනවල නිවැරැදි දහම් අර්ථය යටපත් වීම නිසා ක්‍රියාවලිය සිහි කරමින් දැනට සක්‌මක් භාවනාව කරන බව පෙනී යනවා. වර්තමානයේ ඒ විදියට කරන භාවනා ක්‍රම කීපයක් මේ විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.
'ඔසවමි තබමි' යන ක්‍රමය තමයි දැනට කරන සක්‌මන් භාවනාවල පළමු පියවර. සක්‌මන් කරනකොට පාදය එසෙවනකොට 'ඔසවමි' කියලත් බිම තබද්දි 'තබමි' කියලත් සිහි කරමින් භාවනා කරනවා. දෙවැනි පියවර විදිහට 'ඔසවමි', ගෙන යමි, තබමි' යන ක්‍රමය අනුගමනය කරනවා. පාදය ඉස්‌සෙනකොට 'ඔසවමි' කියලත් පාදය ඔසවා බිම තැබීමට පෙර ඉදිරියට යැම 'ගෙනයමි' කියලත්, බිම තබද්දි 'තබමි' කියලත් සිහිකරමින් සක්‌මන් කරනවා.
තුන්වැනි පියවර වශයෙන් 'තද කරමි, ඔසවමි, ගෙන යමි. පහත් කරමි, තබමි' යන ක්‍රමය භාවිත කරනවා. පාදය එසවීමට පෙර පාදය බිමට තදවීමත්, උඩට එසවීමත්, ඉදිරියට ගෙන යැමත් පහතට පහත් කිරීමත්, බිම තැබීමත් සිහි කරමින් මේ ක්‍රමයට සක්‌මන් කරනවා. සරඹ සංදර්ශනවලදී වම - දකුණ කියමින් පාදවලට අවධානය යොමු කරමින් ගමන් කිරීමත්, ඉහත ක්‍රම අනුගමනය කිරීමත් අතර වෙනසක් නෑ.
ඉරියව් සිහි කරමින් සක්‌මනේ එහාට මෙහාට ගියාට සතිය, ප්‍රඥව වැඩෙන්නේ නෑ. බුද්ධ දේශනාවට අනුකූලව දැනගෙන සක්‌මන් භාවනාව නිවැරැදිව වැඩුවොත් සති, සමාධි, ප්‍රඥා වැඩී මගඵල අවබෝධ කර ගන්න පුළුවන්.
සක්‌මන් කිරීම ආර්ය මාර්ගය පූර්ණ කර ගන්න උපකාර වෙනව වගේම විමුක්‌තිය සාක්‌ෂාත් කළ බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාත් සක්‌මන් ඉරියව්ව පවත්වා තියෙනවා. තථාගතයන් වහන්සේලාත් සක්‌මන් ඉරියව්ව පවත්වා තියෙනවා. තථාගතයන් වහන්සේ කොතැනක වැඩ සිටියත් දවස කොටස් පහකට බෙදා ඒ කාල පහේ හැටියට පෙර බත් කිස, පසු බත් කිස, ප්‍රථම යාම කෘත්‍යය, මධ්‍යම යාම කෘත්‍යය, පශ්චිම යාම කෘත්‍යය කියල බුද්ධ කෘත්‍යය පස් වැදැරුම් ආකාරයට සිදුකරනවා.
පශ්චිම යාමය කොටස් තුනකට බෙදා ඒකෙන් ප්‍රථම කොටසේ තථාගතයන් වහන්සේ සක්‌මනේ යෙදීම අනිවාර්ය කාර්යයක්. එහෙම කරන්නේ ශරීර විඩාව සංසිඳුවා ගන්න. රහතන් වහන්සේලාත් සක්‌මන් ඉරියව්ව පවත්වනවා. ඒ බව සංයුත්ත නිකායේ ධාතු සංයුත්තයේ චංකම සූත්‍රයේ මේ විදිහට සඳහන් වෙනවා.
'තථාගතයන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වේ වැඩ වාසය කරද්දි සැරියුත් මහ රහතන් වහන්සේ බොහෝ භික්‌ෂුන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේට නුදුරින් සක්‌මන් කරනවා. මහා මොග්ගල්ලාන, මහා කාශ්‍යප, අනුරුද්ධ, පුණ්‌ණ මන්තානි, උපාලි, ආනන්ද, දේවදත්ත තෙරුන් වහන්සේලාත් බොහෝ භික්‌ෂුන් වහන්සේලා සමඟ තථාගතයන් වහන්සේට නුදුරෙන් සක්‌මන් කරනවා.
------ Post added on Sep 18, 2023 at 5:50 AM