සක්මන් භාවනාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    1,890
    4,818
    113
    Colombo
    අද අපි ඉගෙන ගන්නේ සක්මන් භාවනාව ගැන. සක්මන් භාවනාව කියන්නේ සිත දියුණු කිරීමට අතිශයින්ම වැදගත් වන එකක්. සමහර කෙනෙකුට සක්මනේදී තමයි ධර්ම කාරණා ගොඩක් අවබෝධ වෙන්නේ. සමහර විට සක්මන් කිරීමේදී නීවරණ ධර්ම ඇතිවුණොත්, ඔබ ඒකට පසුබට වෙන්නේ නැතුව, දිගටම සක්මන් කරන්න පුරුදු වෙන්න ඕන.

    බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඔන්න භාවනා කරමින් හිටියා. උන්වහන්සේට හරි නිදිමතයි. නිදිමත තිබුණා කියලා උත්සාහය අත්හැරියේ නෑ. දැන් අපට නම් බොහෝ විට සිද්ධ වෙන්නේ නිදිමත හැදුණාම භාවනාව කල් දාන එකනේ. ‘දැන් බෑ, පස්සේ කරනවා’ කියලා අපි ඒක අත්හරිනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ නිදිමත තියෙද්දි, අමාරුවෙන් අමාරුවෙන් සක්මන් කරන්න සක්මන් මළුවට ගොඩවුණා. සක්මන් භාවනාව කරගෙන යන කොට කොච්චර නිදිමත ද කියන්නේ, එහෙම්ම ම මේ ස්වාමීන් වහන්සේ සක්මන් මළුවේ වැටුණා. සාමාන්‍ය කෙනෙකුට එහෙම වුණා නම්, එයා එක්කෝ එතැන ම නිදාගන්නවා. එක්කෝ ආපහු නැගිටලා “මට නම් මේක කරන්න බෑ” කියලා කුටියට ගිහින් නිදාගන්නවා. අන්න බලන්න මේ වීරියක තියෙන වටිනාකම. මේ ස්වාමීන් වහන්සේ නැගිට්ටා. අතේ තිබුණු වැලි පිසදැම්මා. හිතට ධෛර්යය ගත්තා. හොඳට සක්මන් කළා. ඉතින් උන්වහන්සේට ඊළඟ මොහොතේ හිත එකඟ කරන්න පුළුවන් වුණා.

    හිත වේගයෙන් වෙනස් වෙනවා…​

    එතකොට බලන්න, හිතේ ස්වභාවය මොකක්ද කියලා. එක වෙලාවක නිදිමතෙන්, අලස බවෙන් පීඩා විඳපු හිතේ ස්වභාවය තමන් විසින් උපදවා ගත් වීරියෙන්, සිහියෙන් නැතිකරලා දැම්මා. ඊට පස්සේ හොඳට සිත සකස් වුණා. මේකෙන් අපට පේනවා, මේ හිතේ ස්වභාවය අපි හිතන ආකාරයට, ක්‍රියා කරන ආකාරයට හැදෙනවා. එහෙම නම් සක්මන් කිරීමේදීත් මේ ස්වභාවය එහෙම්ම ම යි.

    සක්මන් කරද්දි ඔබ ‘වම දකුණ’ කිය කියා යන්න ඕන නෑ. සමහරු කකුල ඔසවන කොට තබන කොට ‘වම…. දකුණ…. වම….. දකුණ….’ කියමින් යනවා. එහෙම නැත්නම් සමහරු ‘ඔසවනවා…. ගෙනියනවා…. තබනවා….’ කිය කියා යනවා. නමුත් එබඳු ආකාරයකට සිහි කරන්න කියලා බුද්ධ දේශනාවක නෑ.

    සක්මන් භාවනාව නිවැරදිව සිදුකරන හැටි…​

    බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙවෙයි. (ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති) ගමන් කරද්දී ගමන් කරනවා කියලා හොඳට සිහිය උපද්දවා ගන්නවා. ඊළඟට වාඩිවෙලා ඉන්දැද්දී වාඩිවෙලා ඉන්නවා කියලා දැනගන්නවා. හිටගෙන ඉන්දැද්දි හිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. හාන්සි වෙලා ඉන්දැද්දි හාන්සිවෙලා ඉන්නවා කියලා දැනගන්නවා. මේ සෑම ඉරියව්වක්ම මනාකොට දැනගන්නවා. මේ මනාකොට දැනගන්න එක එහෙම නම් සක්මනට විතරක් අදාල එකක් නෙවෙයි.

    ඊළඟ එක තමයි යම් කිසි විදිහකට ‘වම… දකුණ…’ කියලා සිහිකරගෙන ගියොත්, බාහිර අරමුණක් එන්න නොදී සිහිය පිහිටුවා ගන්න පුළුවන්කමක් නම් තියෙනවා තමයි. ඒ වුණාට අපට අදාළ වෙන්නේ අපේ ශාස්තෘන් වහන්සේ වදාළ දේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා වදාළා, මේ කයේ සිහිය පිහිටුවා ගැනීම සඳහා තමන් ගමන් කරන බව මනාකොට සිහිකරගන්ට ඕන. ගමන් කරන බව මනාකොට සිහිකරගෙන ගමන් කරන්න ඕන. එතකොට පය ඔසවද්දි, පය ගෙනියද්දි, පය තබද්දි ‘ඔසවනවා… ගෙනියනවා…. තබනවා’ කියලා සිහි කළ යුතු නෑ. තමන් සිහියෙන් ඉන්න ඕන, ‘තමන්ගේ ශරීර ඉරියව්ව මේ විදිහට පවත්වනවා’ කියලයි. අන්න ඒකයි වැදගත් වෙන්නේ.

    ඉරියව් ශාන්ත භාවයට පත්වෙනවා…​

    එක තැනකදි පාරාසරිය කියන රහතන් වහන්සේ වදාළා, “මේ විදිහට ඉරියව් පවත්වන කොට සතිපට්ඨානයේ මනාකොට සිහිය පිහිටියාට පස්සේ, ඉරියව් හරි ලස්සනයි. හරියට සිනිදු තෙල් දහරාවක් වගේ” කියලා. ඒ කියන්නේ බොහෝම ශාන්ත, සංයමයට පත් වූ කායික ඉරියව් සමූහයක් එයාගේ ජීවිතය තුළ සකස් වෙනවා. ඒකයි සිනිදු තෙල් දහරාවක් වගේ කියලා පෙන්වා තියෙන්නේ.

    සක්මන් භාවනාවේදී අපි හිතමු ඔන්න එයා දැන් ‘මම අතනට යනකම් හොඳ සිහියෙන් යනවා’ කියලා තීරණය කරගෙන යම්කිසි තැනක හිටගත්තා. දැන් එයා හිටගෙන මුළු ශරීරයට ම සිහිය යොමු කරගෙන, පාදය ඔසවන කොට හොඳට සිහියෙන් ඔසවලා, හොඳට සිහියෙන් තබනවා. වම් පාදයත් එහෙම තබනවා, දකුණු පාදයත් එහෙම තබනවා. හැබැයි එයා සිහිකරන්නේ ‘වම.. දකුණ..’ කියලා නෙවෙයි. ‘ඔසවනවා.. තබනවා..’ කියලත් නෙවෙයි. මේකට වචන සිහිකරන්න ඕනෙ ම නෑ. සිහියෙන් කරන්න පුළුවනි.

    එදිනෙදා ජීවිතයට සක්මන් භාවනාව…​

    දැන් අපි කියමු ඔබ ගමනක් ගිහින් ගෙදර එනවා. ඔබ පයින් ඇවිදගෙන එනවා නම් ඔබට පුළුවනි, මේක සක්මන් භාවනාව බවට පත්කරන්න. එතකොට ඔබ ඒ වෙලාවට අකුසල් සිතන්නේ නෑ. ඔබ හොඳට සිහිය පිහිටුවා ගෙනයි ඉන්නේ. ඔබේ සිහිය කොයිතරම් හොඳට පිහිටනවාද කියන්නේ, එතකොට ඔබ ඒ තුළ සිහිය පිහිටුවාගෙන වඩන්න පටන් ගන්නවා. ඒ නිසා මේ භාවනාව තුළ හොඳට සිහිය පිහිටුවන්න පුළුවන්කම තියෙනවා.

    දැන් සක්මන් භාවනාවේදී, ඒ විදිහට සක්මන් කරලා එක තැනකදී නවතිනවා. නැවතුනාට පස්සේ අන්න එතැනදි ඔබ දැනගන්නවා නැවතුන බව. දැනගෙන ඔබ ආපසු හැරෙනවා. හැරිලා ආපහු එනවා. එනකොට ඔබ ආයෙමත් සක්මනේ තමයි පැමිණෙන්නේ. පැමිණිලා ආයේ නවතිනවා. නවතින කොට ඔබ ආයේ දන්නවා නැවතුණු බව. දැන් ඊළඟට ඔබ ආපහු හැරෙනවා. හැරිලා ආපහු සක්මනේ ගමන් කරනවා.

    බොහෝ වේලාවක් පැවැත්විය හැකි සමාධියක්​

    බුදුරජාණන් වහන්සේ වදාළා, “කෙනෙක් සක්මන් භාවනාවේදී සිත එකඟ කරගන්ට දක්ෂ වුණොත්, සක්මන් භාවනාවේදී සිත එකඟ කරගැනීම නිසා ඇතිවන ඒ සමාධිය (සක්මනේදි ඇතිකරගන්න සමාධිය) බොහෝ වේලාවක් පවත්වන්න පුළුවන්” කියලා. එහෙම නම් අපට පේනවා, යම්කිසි කෙනෙකුට සමාධිය වඩන්න දුෂ්කරතාවයක් තියෙනවා නම්, සමාධිය දියුණු කරගන්න යම්කිසි ප්‍රමාදයක් තියෙනවා නම්, අන්න ඒ කෙනා තවදුරටත් එයාගේ භාවනාවට සක්මන් භාවනාව තෝරාගන්ට ඕන.

    ඔබේ නිවසටත් සක්මන් මළුවක්….​

    නිවසක නම් ඔබට පුළුවනි, මේ සඳහා ඉඩකඩ තියෙන තැනක් තෝරගන්න. ඔබ කැමති නම් තමන්ගේ ම නිවසේ සක්මන් මළුවක් හදාගන්න පුළුවනි. අඩි දෙකහමාරක් තුනක් විතර පළලට, අඩි තිහක් තිස්පහක් දිගට හොඳට සිනිඳු වැලි දාලා, සක්මන් මළුවක් හදාගන්න පුළුවනි. මම හිතනවා ඒක සෑම බෞද්ධ නිවසකටම ලස්සන දෙයක්. සක්මන් මළුවක් හදාගත්තොත් විවේක වෙලාවට ලස්සනට සක්මන් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ නිවසේ ම ඉඩක් තෝරාගෙන ‘මෙන්න මේ කොටසේ මම සක්මන් කරනවා’ කියලා සක්මන් භාවනාවට පිළිවෙළක් හරිගස්ස ගන්න පුළුවන්. අන්න එතකොට ඔබට පුළුවනි තමන්ගේ ජීවිතයේදී ඉරියව්වලට හොඳට සිහිය පිහිටුවා ගැනීමේ හැකියාව ඇතිකර ගන්න.

    සිහිය පවත්වන නිසා අකුසල් නැහැ….​

    මේ විදිහට ඔබ සක්මන් භාවනාව පුරුදු කිරීමේ වාසි ගොඩක් තියෙනවා. ඔබ දන්නේ නැතිවුණාට ඔබ ගමන් කරන කොට, ඔබ සිහියෙන් තොරව යන නිසා ඔබේ සිතට බොහෝ අකුසල් ඇතිවෙනවා. ඔබ සිහියෙන් තොරව ගමන් බිමන් කරන නිසා ඔබේ සිත ගොඩක් නොමග යනවා. ඔබ සිහියෙන් තොරව වාඩිවෙලා ඉන්න නිසා, සිහියෙන් තොරව නිදාගන්න නිසා, සිහියෙන් තොරව ඉරියව් පවත්වන නිසා ඔබේ හිත බොහොම නොමඟ යනවා. නමුත් සිත නොමඟ ගිය බව ඔබ දන්නේ නෑ. ඒ ඔබ සිහිය පවත්වන්නෙ නැති නිසයි. නමුත් ඔබ සිහිය පවත්වන්න පුරුදු වුණාම ඔබට සෑම ඉරියව්වක ම ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. බලන්න මේ සක්මනේ තියෙන වටිනාකම.

    ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත් වුණ හැටි​

    ඔබට මතක ඇති අපගේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ශ්‍රාවකයන් වහන්සේ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන කොට සෝතාපන්න වෙලයි හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පැවති ධර්ම සංගායනාවට ආනන්ද ස්වාමීන් වහන්සේට රහතන් වහන්සේ නමක් හැටියටයි සහභාගී වෙන්න තිබුණේ.

    ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සංගායනාවට කලින් දවසේ රාත්‍රියේ සක්මනේ කායානුපස්සනා භාවනාවේ යෙදුණා. ඒ විදිහට සක්මන් භාවනාවේ යෙදිලා ඒ සක්මන් භාවනාව තුළම, සක්මනේ ම වැඩම කරලා සැතපෙන්න හිතාගෙන උන්වහන්සේගේ ඇඳේ වාඩිවෙලා, කකුල් දෙක උඩට ඔසවනකොට ම තමන්ගේ හිස කොට්ටයේ තබලා නැතුව තිබියදී උන්වහන්සේගේ හිත නිකෙලෙස් වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ සතර ඉරියව්වෙන්ම තොරව. නමුත් ඒ ඉරියව්වලින් තොර වුණාට උන්වහන්සේ හිටියේ භාවනාවේ. එතකොට බලන්න සක්මන් භාවනාවේ යෙදීමේ දියුණුව කොච්චර ප්‍රයෝජනවත් වුණාද? ඔබටත් පුළුවනි, ඒ විදිහට සක්මන් භාවනාව හොඳට දියුණු කරගන්න.
     
    • Like
    Reactions: NRTG and dinoos