සතර පදම හා අමර පදම....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    241538070_1326686071102083_407831092502250088_n.jpg


    අතීතයේ එක්තරා මිනිසෙකු ඉතා ආදරයෙන් රැක බලා ගත් මිදි වැලක් තිබුණා. ඔහු සුරතලයට ඇති කළ මොනරෙක්, සිංහයෙක්, බල්ලෙක් හා ඌරෙක් ද සිටියා. එක්තරා කාලයක දීර්ඝ නියඟයක් නිසා ජලය සිඳී ගොස් පොළොව වියලුණා. ඔහු සිය පණ මෙන් ආදරය කළ මිදි වැල වියැළී මැරී යනු බලා සිටීම සිතට වාවා ගත නොහැකි දුකක් වුණා. ඔහු අමාරුවෙන් වුණත් තීරණය කළා තමන්ගේ සුරතල් සතුන් ඒ වෙනුවෙන් බිලි දීමට.

    ඔහු පළමුවෙන් මොනරා ගේ ගෙල කපා ඒ ලෙය මිදි වැලට වත් කළා. මොනර ලෙයින් දින කිහිපයක් මිදී වැල රැකුණා. එහෙත් වැස්ස එන ලකුණක් හෝ නැහැ. දෙවනුව සිංහයා ගේ ගෙල කපා ඒ ලෙය මිදි වැලට වත් කළා. සිංහ ලෙයින් තවත් දින කිහිපයක් වැලේ පණ රැකුණා. තවමත් වැස්ස එන පාටක් නැහැ. ඊළඟට බල්ලා ගේ ගෙල කපා එම ලෙය මිදි වැලට වත් කළා. තවත් දින කිහිපයක් බලු ලෙයින් මිදි වැලේ පණ රැකුණා. වැස්ස එන ලකුණක් හෝ නැහැ. අවසානයේ ඌරා ගේ ගෙල ද කපා ඒ ලෙය මිදි වැලට වත් කළා. දින කිහිපයක් මිදි වැලේ පණ රැකුණේ ඌරු ලේ වලින්. ඒත් වාසනාවකට මිදි වැල මැරෙන්නට පෙර නියඟය නිමාවී වැස්ස වැටුණා. මිදි වැල පල දැරුවා. මිනිසාට හරි සතුටුයි. ඔහු ඒ මිදි වලින් සුරාව පෙරා ගත්තා. ඒ තමයි ලොව මුලින්ම මිනිසා විසින් පෙරා ගත් සුරාව.
    🍷
    🍷

    දැන් තමයි කතාවේ හොඳම හරිය. මේ සුරාව බොන කොට මුල් කොටසේ දී වැඩ කරන්නේ මොනර ලේ. බොහොම සීරුවෙන් බෝතලේ අල්ලන්නේ. ප්‍රවේශමට වීදුරුවට වත් කරන්නේ. අරක්කු අඩුවෙන්, සැන්ඩි වැඩියෙන්, අයිස් ගාණට දාගෙන ටික ටික තොල ගාන්නේ. වෙරි වුණාම හැසිරෙන්නේ මොනරෙක් වගේ. බොහොම වැදගත්, ශීලාචාර විදියට කතා කරන්නෙ. සිනාව හරිම සුන්දරයි. හරිම සැහැල්ලුවෙන්, විනෝදයෙන්, අන් අය සමඟ සුහද කතා කියමින් ගත කරන්නෙ. සංගීතකාමී රසය මතු වෙනවා. ගීයක් මුමුණමින් තාලයට මේසයට තට්ටු කරනවා. හරිම ප්‍රේමනීයයි. බිරිඳ ළඟ හිටියොත් සිප ගන්නවා. එයාගේ ගුණ ගයනවා.
    🐓
    ඒ තමයි මොනර පදම....!

    තව ටිකක් බොන කොට ඔන්න සිංහ ලේ වැඩ කරන්න ගන්නවා. අරක්කු වැඩියෙන්, සැන්ඩි අඩුවෙන්, අයිස් නැතුව කටේ හලා ගන්නවා. ඒ මට්ටමේ වෙරිය ටිකක් ආක්‍රමණශීලියි. හිතට පොඩි චණ්ඩිකමක් දැනෙනවා. නාකි මිනිස්සුන්ටත් ඇඟට අමුතු හයියක් එනවා. ඕනේ චණ්ඩියෙකුට හතර ගාතේ දාල වැටෙන්න තුන් මුල්ල පැනල ගහන්න පුළුවන් කියලා හිතෙනවා. දැන් ටිකක් පරණ කාලේ තමන් කරපු හපන්කම්, පුරසාරම්, මෝඩකම් කියන්න ගන්නවා. ඉඳල හිටලා මේසෙට එකක් ගහනවා. බෝතලේ කට තියාගෙන බිලා කෙළින් හිටපු හැටි කියනව. එකට බීපු උන්ටත් අනියෝග කරනවා. බිරිඳ පේන්න නැත්තං පරණ කෑලි ගැන කතා කරනවා.
    🐩
    ඒ තමයි සිංහ පදම....!

    වැඩි වෙලා යන්නේ නැහැ ඔන්න වෙරි වැඩි වෙනවා. ඊළඟ මට්ටමට එනවා. බලු ලේ ක්‍රියාත්මක වෙනවා. අරක්කු විතරයි, සැන්ඩිත් නැහැ, අයිසුත් නැහැ, කටේ හලා ගන්නවා. ඕනම ජරාවක් කනවා බයිට් කියල. බෝතලේ වීදුරුව හයියෙන් වදිනවා. ටික ටික සද්දේ වැඩිවෙනවා. වචන පැටලෙනවා. කියන්න ඕනේ දේ නෙවෙයි කටින් පිටවෙන්නේ. වචන ස්ලිප් වෙනව. දැන් පොඩ්ඩක් බැරි වෙනකොට මල පනිනවා. එකට හිටපු උන්ටත් ඇඟට ගොඩ වෙනවා. බොන්න දීපු එකාටත් බනිනවා. බයිට් හදපු උන්ට බනිනව. පරණ කෝන්තර මතක් වෙනව. සරම කරට ගන්නව. වලියටමයි බර. බරටම කුණුහරුප කියනවා. වට පිටේ ඉන්න උන්ටත් කරච්චලේ. හොඳටම කන්දොස්කිරියාව. පුටු මේස පෙරළනවා.
    🐕
    ඒක තමයි බලු පදම...!

    චෙරි තව ටිකක් වැඩි වුණාම ඊළඟට ඌරු ලේ ක්‍රියාත්මක වෙනවා. බොන්නෙ බෝතලේ කට තියාගෙන අමුවෙන්. බීල කට අකුලල කෙළ පාරක් ගහනව. දැන් කෙළින් ඉන්නම බැහැ. කියන දේවල් තේරෙන්නෙම නැහැ. කකුල් පැටලෙනව. ඔලුව කෙළින් තියාගෙන ඉන්න බැහැ. බෙල්ල කඩා වැටෙනවා. කාපු දේවල් උගුරට එනවා. කබරයා දානව ඉන්න තැනම. ළඟ ඉන්න උන් ගේ ඇඟට කෙළ ගහනවා. වැනි වැනි ගිහින් ගෙදර දොරකඩ මුත්‍රා කරනවා. සමහරු ගේ ඇතුළට ගිහින් අල්මාරිය ඇරලා චූ කරන්නෙත් ඔය පදමට ආවම. සරම ඇඳල හිටියොත් රෙදි ගැලවෙනව. අන්තිමේ දී හතර ගාතේ දාල වැටෙනවා. මහ පාරේ, කානු වලත් නිදාගන්නවා. බල්ලෝ ඇවිත් කට ලෙව කාල යනවා.
    🐷
    ඒ තමයි ඌරු පදම...!

    මේ තමයි හතර පදම...! මොනරයි, සිංහයයි, බල්ලයි, ඌරයි මතුවෙන්නෙ පිළිවෙළට.
    🐻
    මිට අමතරව අමර පදම කියල එකකුත් තියනව කියල සමහරු කියනව. ඒක එන්න දිගටම බොන්න ඕනේ සෑහෙන කාලයක්. ඒ පදමට ආවම බඩ ඉදිමිලා, ලේ වමනේ කරල දුක් විඳලා අකාලේ මිය පරලොව යනව. එතකොට යාලුවෝ ගහනවා බැනර් එකක්. “නත්ථි ජාතස්ස අමරණං” කියල.
    ප්‍රථමේ මයූරං චෛව - ද්විතීයේ සිංහවේශකඃ
    සුනඛශබ්දං තෘතීයංච - චතුර්ථේ සූකරං භවෙත්
    (FB උපුටනයකි.. ඩැනිස්ටර් පෙරේරා)
    Repost ද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Cypress and NRTG