සරල බව අප ජීවිතයෙන් පලා යන්නේ අනවශ්‍ය පුර&#354

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    සරල බව අප ජීවිතයෙන් පලා යන්නේ අනවශ්‍ය පුර&#354

    සරල බව අප ජීවිතයෙන් පලා යන්නේ අනවශ්‍ය පුරුදු නිසයි
    (2013 මැයි මස 12 වැනි ඉරිදා සිළුමිණ පුවත්පතෙන් උපුටා ගන්නා ලදි)

    .......................................................................................

    මහනුවර මහ රෝහලේ
    හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී
    සායනික මෝහන වෛද්‍ය
    එච්. දමිත් හෙට්ටිආරච්චි
    am-dr-damith.jpg














    නේ වාසිකව ප්‍රතිකාර ලබන වයෝවෘද්ධ පිරිමි රෝගියෙකු හදිසියේම මගේ නෙත ගැටිණි. ඔහු රෝහල් වාට්ටුවේ කෙළවර අඳුරු ස්ථානයක කිසිවෙකුටත් නොපෙනෙන අයුරින් දුම්වැටියක් පානය කරමින් සිටියේය.
    පුදුමයට කරුණ මෙයයි. ඔහු ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වී ඇත්තේ දුම්බීම නිසා සෑදුණු දරුණු ශ්වසන රෝගයක් හේතුවෙනි. කොතරම් පීඩාවට පත්වී, මරණය පෙනි පෙනී සිටියත් ඔහුට තමාගේ නරක පුරුද්ද අත්හැර ගැනීමට නොහැකි වී තිබිණි.
    සමාජයේ ජීවත් වන විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයේ පුරුදු තිබේ. ඒවායින් සමහරක් හොඳ පුරුදුය. සමහරක් නරක පුරුදුය. යම් පුද්ගලයෙකුගේ පුරුදු අනුව ඔහුගේ ජීවිතයේ ගුණාත්මක බව, අනන්‍යතාව මෙන්ම සෞඛ්‍ය තත්වය ද තීරණය වෙයි.
    හොඳ පුරුදු, යහපත් මානසික ශාරීරික සෞඛ්‍යයක් සඳහා ඉවහල් වෙයි.
    පුරුද්දක් ඇති වන්නේ කෙසේද? යන ගැටලුව මෙහිදී මතුවෙයි.
    සමහර පුද්ගලයන් එකම ක්‍රියාව නැවත නැවත සිදුකරන අවස්ථා ඔබ දැක තිබේද? ඔවුන් එසේ කිරීමට හේතුව එසේ කිරීමෙන් ඔවුන්ට යම් වින්දනයක් ලැබෙන බැවිනි. එම වින්දනයට ඇති කැමැත්ත නිසා එය කාලයක් යන විට පුරුද්දක් බවට පත්වෙයි. ඔහුගේ මොළයේ සෛල සහ රසායන ද්‍රව්‍ය ඒ අනුව සකස් වෙයි. යටි සිත ද එය ග්‍රහණය කර ගනී. ඉන්පසුව එම ක්‍රියාව නැවත නැවත කිරීමට ආශාවක් ඔහු තුළ ඇතිවෙයි.
    am-noice.jpg
    අවාසනාවකට මෙන්, ඉතා ඉක්මනින්, ලෙහෙසියෙන්, පහසුවෙන් ඇති වන්නේ නරක පුරුදුය. අපේ හිත නිරායාසයෙන්ම ඇදී යන්නේ වැඩකට නැති දේ කෙරෙහිය. ඒ කරුණු අප තදින් සිතට ගත යුතුය. පහත සඳහන් පුරුදු ඇති අය සමාජයේ බහුලය.
    නියපොතු සැපීම, දත්මිටි කෑම, නිතරම තරහා ගැනීම, කම්මැළිකම, වැඩියෙන් නිදා ගැනීම, මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය, පසුගාමී වැඩ, සෑම දෙයකම නරක පැත්ත දැකීම, අසුබවාදීව සිතීම, නිතරම ගැටලුවක සිරවී කල්ගත කිරීම වැනි දේ අපට නිතර අසන්නට ලැබෙන නරක පුරුදුය.
    ඒවායින් ඇතැම් පුරුදු මානසික රෝග ලෙස වැරදියට වටහාගන්නා අවස්ථාද ඇත. මානසික රෝගයක්ද නැද්ද යන්න වෙන්කර ගැනීම තරමක් අසීරුයි. මානසික රෝග නිසා ද විවිධ පුරුදු ඇතිවිය හැකිය. එසේම විවිධ නරක පුරුදු නිසාද මානසික රෝග ඇතිවිය හැකිය.
    සෑම දෙයක් පිළිබඳව ම සැකයෙන් බැලීමට පුරුදු වූ කාන්තාවක් සිටියාය. තම නිවසේ අනෙක් අය සහ නෑ හිතවතුන් දෙස ඇය නිතරම බැලුවේ සැකයෙනි. ඇය සමඟ පිරිමි අය එසේ කතා කරන්නේ වැරදි අදහසකින් බව ඇය සිතුවාය. ඇයට ඒ වැරදි පුරුද්ද නවතන ලෙස උපදෙස් ලැබිණි. නමුත් ඇය එයට එකඟ නොවූවාය. ඇය විවාහ වූ පසුවද සැමියා කෙරෙහි බැලුවේ සැකයෙනි.
    කලක් ගතවන විට ඒ පුරුද්ද මානසික රෝගයක් බවට හැරිණි. සාධාරණ හේතුවක් නැතිව සෑම දෙයක් ගැනම සැකයෙන් බලන්නට ඇය පටන් ගත්තාය. ඖෂධවලින් ද පලක් නොවීය. අවසානයේදී මනෝචිකිත්සක ක්‍රම මඟින් එම සැකය යටි සිතෙන් ඉවත්කරන තුරු ඇය පීඩා වින්දාය.
    වැරදි පුරුදු ඇති බොහෝ දෙනා, ඒ පුරුදු නිසා දැඩි ලෙස පීඩා විඳිති. එපමණක් නොව ඔවුන් නිසා ඇසුරු කරන අයද පීඩාවට පත්වෙති.
    ඇතැම් අය තමාගේ පුරුදු වැරදි ලෙස පිළිගැනීමට කැමති නැත. “ඔය මිනිහව හදන්න බෑ. ඒක ඒ මිනිහගේ පරම්පරාවේ හැටි” එහෙම කෙනකු දුටු විට අනෙක් අය කියති.
    ඇත්තෙන්ම ඇතැම් ගතිගුණ සහ පුරුදු පරම්පරාවෙ ජාන මඟින් ඇතිවන බව සොයාගෙන තිබේ. එසේම ඇතැම් ගතිගුණ පෙර භවයේ සිට පැමිණෙන බව මෝහන ක්‍රමය මඟින් ද තහවුරු කරගෙන ඇත. “ඕවා සංසාර පුරුදු” යැයි කියන්නේ ඒ නිසාය.
    පුරුදු අපගේ ජීවිතයේ ළමා, තරුණ, මහලු යන විවිධ වයස් වලදී ඇතිවිය හැකියි. නමුත් හොඳ පුරුදු ඇතිකර ගැනීමටත්, නරක පුරුදු නැති කර ගැනීමටත් හොඳම කාලය වන්නේ ළමා කාලයයි. කුඩා කාලයේදී අපි ඉතා ශීඝ්‍රයෙන් ලෝකය පිළිබඳව ඉගෙන ගන්නෙමු. එසේම ළමා කාලයේදී ශරීරය ද ඉතා ඉක්මනින් වර්ධනය වෙයි. ඒ නිසා මේ කාලයේදී ඉගෙන ගන්නා දේ හොඳින් ස්ථාවරව අප සමඟ රැඳී පවතියි.
    විඳවීම තමාගේ ජීවිතයේ පුරුද්දක් කරගත් පුද්ගලයෙකු මට හමුවිය. පුදුමයට කරුණ නම් ඔහුට විඳවමින් ජීවත්වීමට තරම් දරුණු ප්‍රශ්නයක් හෝ ගැටලුවක් නොවීමයි. නමුත් ඔහු දන්නා කාලයේ පටන්ම ඔහුගේ සිතට සතුටක් දැනෙන දෙයක් නොවූ බව ඔහු පැවසීය.
    ඔහුට තම ජීවිතයේ කිසිදු රසයක් නොවූ බව ඔහු පවසයි. බැලූ බැල්මට ඔහුගේ කතාව පිළිබඳව අපට අනුකම්පාවක් ඇති වුවත් මෙහි සැබෑ සිදුවීම තරමක් වෙනස්ය.
    little-girl.jpg
    දුක යනු එක්තරා රසයකි. එම පුද්ගලයා එම දුක රස විඳිමින් සමාජයෙන් ඈත් වී තව තවත් දුකට පත්වී සිටියේය. ඔහු විඳවීම පුරුද්දක් කරගෙන එයට ඇබ්බැහි වී සිටියි. ඔහු තමාගේ සිතට සතුටක් නැති බව පවසමින් තම යුතුකම්, වගකීම් රැකියා කටයුතු ආදිය ද මඟහරිමින් සිටියේය. අවසානයේදි ඔහු උග්‍ර විශාදය රෝගියකු බවට පත් විය.
    පුරුදු ඇතිකර ගන්නේ ඒවායින් වින්දනයක් ලැබෙන නිසා බව අපි කීවෙමු. ඒ නිසා බොහෝ අයගේ පුරුදු නරක, මෙන්ම තමාටත්, සමාජයටත් අහිතකර ඒවා බව පෙනෙයි. විශේෂයෙන්ම හිත දුර්වල, මානසික පීඩනයෙන් සිටින අයගේ ඒ තත්ත්වය කැපී පෙනෙයි.
    ”මම දවසම මහන්සි වෙලා හම්බකරන සල්ලි සේරම හවසට ඉවරයි.” එසේ කීවේ බීමට පුරුදු වූ බස් කොන්දොස්තරවරයෙකි. මත්පැන් බීම නැවැත්වීමට කොතරම් අවශ්‍ය වුවත් ඔහුට එයින් මිදීම දැන් ඉතාම දුෂ්කර කටයුත්තක් වී තිබේ.
    වැරදි පුරුදුවලට පෙලඹෙන බොහෝ දෙනා සිතන්නේ එම වැරදි පුරුදු තමාට ඕනෑම වෙලාවක නැවැත්විය හැකිය කියාය. නමුත් එය ඉතාම වැරදිය. එය ඔවුන්ගේ ජීවිතයේ ලොකුම බොරු විශ්වාසය බව කිව යුතුය.
    වැරදි පුරුදු අත්හැරීම එතරම් පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. පුරුදු යනු කෙනෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් අංගයකි. අප දවසේ බොහෝ වේලාවක් පුරුදු වෙනුවෙන් යොදවමු. අපට පුරුදු දේවල් දිනපතා, නිතිපතා ඒ පුරුදු ආකාරයට නොකළහොත් අපේ හිතට විශාල අඩුවක් දැනෙයි. පුරුදු නිවැරදි වුවත් නැතත් ඒවා ගැන අපේ හිත ක්‍රියාකරන්නේ මේ ආකාරයටයි.
    අප පුරුදු ඇතිකර ගත යුත්තේ ජීවිතය සැහැල්ලුවෙන් සහ පහසුවෙන් ගෙවීම සඳහාය. ජීවිතය තව තවත් සංකීර්ණ කරගැනීම සඳහා නොවේ. යම් පුරුද්දක් නිසා තමාට හෝ අනුන්ට හානියක් වනවා නම් එම පුරුද්ද කිසිසේත්ම හිතකර නොවේ. සමහර අය පුරුදු නිසා බොහෝ සංකීර්ණ ජීවිත ගත කරයි.
    සරල බව තමා කෙරෙන් පලා යන්නේ අනවශ්‍ය පුරුදු නිසාය. දවස පුරා අප එක එක පුරුද්ද ඉටුකරමින් සිටිමු. අවසානයේ ඒවා ඉටුකර අවසන් කිරීමට දවසත් මදිය. නින්දෙන් පවා සිහින දකින්නේ ඉටුකරගන්නට නොහැකි වූ පුරුදු ගැනය. අනවශ්‍ය පුරුදු වැඩිවන තරමට ඒවා අපට මානසික වදයක් වෙයි.
    බොහෝ දෙනාට ඇත්තේ අනවශ්‍ය පුරුදුයි. අවශ්‍ය හා අනවශ්‍ය යන පුරුදු වෙන වෙනම හඳුනා ගතහොත් අනවශ්‍ය පුරුදු අතහැර, අවශ්‍ය පුරුදු කළමනාකරණය කරගෙන දවස සැහැල්ලු බවින් ගෙවා දැමිය හැකියි. එවිට නින්ද ද සුවබර වෙයි. එවිට පසුදින තෘප්තිමත් ව අවදි වීමේ පුරුද්ද ද ඉබේම ඇතිවෙයි.
    වැරදි පුරුද්දක්, අත්හැර ගැනීමට එතරම්ම අපහසු ඇයි දැයි ඔබට සිතෙන්නට පුළුවන. එයට හේතුව අපගේ මනසේ සහ සිරුරේ ක්‍රියාකාරීත්වයයි. වින්දනයක් ලැබෙන, සුවපහසු දෙයක් අත්හැර දැමීමට කැමති වන්නේ කවුරුන්ද?
    යම් වැරදි පුරුද්දක් ඇති අයෙකුට ඊට විරුද්ධ වෙනත් හොඳ පුරුද්දක් පුරුදු කළ හැකි නම් නරක පුරුදු ක්‍රමයෙන් ඉවත් වී යන බවට මතයක් ඇත. එය එක්තරා දුරකට නිවැරැදිය.
    අලුත් ගති සිරිත්, අලුත් පරිසරවල් සහ අලුත් මිතුරන් ලැබෙන විට අපගේ ඇතැම් පැරණි පුරුදු ඉවත් වී යයි.
    mother-&-son.jpg
    එහෙත් මෙහිදී පැවසිය යුතු ඉතා වැදගත් දෙයක් ඇත. යම් අලුත් පුරුද්දක් ඇතිවූ පමණින් ඔහුගේ පරණ පුරුදු ඉවත් වී යන්නේ නැත. සිදුවන්නේ අලුත් පුරුදු වලින් පැරණි පුරුදු යටපත් වීමයි. නමුත් එසේ යටපත් වී තිබෙන දේවල් කාලයාගේ ඇවෑමෙන් අවස්ථාව පැමිණි විට යළි ඉස්මතු වීමට පුළුවන.
    සමහර පුරුදුවලට හේතු තිබේ. උදාහරණයක් ලෙස යම් ගැටලුවක් නිසා ජීවිතයේ සතුට අහිමි වූ අය දුකින්, තරහින් කලකිරීමෙන් ජීවත් වීමට පුරුදු වී සිටිති. නමුත් එම ගැටලුව විසඳුණහොත් ඔහුගේ ජීවිතය වෙනස් වෙයි.
    පුද්ගලයෙකු සතු වැරදි පුරුදු, ඇබ්බැහිකම් වෙනස් කරන්න බැරිද?
    මෙය ඉතාම වැදගත් ප්‍රශ්නයකි. යම් කෙනෙකුගේ පුරුද්දක් හෝ ඇබ්බැහි කමක් ඉවත් කිරීම සඳහා සම්මත ක්‍රමවේදයක් නැත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එසේම ඒ සඳහා ගතවන කාලය එකිනෙකාට අනුව වෙනස් වෙයි.
    කසේ වුවත් පුරුදු අත්හැරීම තරමක් අපහසු කටයුත්තක් බව කිව යුතුමය. එසේ වුවද කිසිවෙකු අධෛර්යට පත්විය යුතු නැත. රෝගියාගේ හෝ වරදට පුරුදු වූ පුද්ගලයාගේ කැපවීම, නෑදෑ හිත මිතුරන්ගේ උදවුව සහ වෛද්‍ය චිකිත්සක ක්‍රමවල නිවැරදි බව මත සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
    වැරදි පුරුද්දක් හෝ ඇබ්බැහිකමක් අත්හැරීම සඳහා මුලින්ම එම පුද්ගලයාට අවංක උවමනාවක් තිබිය යුතුය. ඒ සඳහා යම් කැපවීමක් අවශ්‍ය වෙයි. ඇතැම් අයට තම වැරදි පුරුදු අත්හැරීමට සැබෑ උවමනාවක් නැත. ඔවුන් එසේ කරන්නේ අන් අය සතුටු කිරීමට හෝ අන් අයගේ උවමනාවටය. ඇතැම් අය ඒ සඳහා කිසිදු උත්සාහයක් නොගනිති. ඔවුන් බලා සිටින්නේ බෙහෙතකින් හෝ යම් ප්‍රාතිහාර්යයක් සිදුවී තමන්ගේ පුරුදු අත්හැරෙන තුරුය.
    හිතට නිතර නිතර නැග එන අවශ්‍යතාවක් වන පුරුදු මැඩලීමට විශාල අධිෂ්ඨාන ශක්තියක් හෝ ආත්ම ශක්තියක් අවශ්‍ය වෙයි. එය ඖෂධයකින් ලබාදිය හැකි ශක්තියක් නොවේ. එය තමා විසින්ම ගොඩනඟාගත යුතු දෙයකි. වැරදි පුරුදු බොහොමයකට ඇබ්බැහි වී සිටින්නේ ඉහත කී අධිෂ්ඨාන ශක්තිය නැති දුර්වල පුද්ගලයෝය.
    හිත ශක්තිමත් කරගැනීම සඳහා ඔහුගේ නෑදෑ හිත මිතුරන්ට ද උදව් කළ හැකිය. එසේම ඔහුගේ උත්සාහය අගය කළ යුතුය. සෑම කෙනෙක්ම උදව් කරන විට ඕනෑම කෙනෙකුගේ මනස ශක්තිමත් කිරීම පහසු වෙයි.
    විහිළු කිරීම තම පුරුද්ද කරගත් ශිෂ්‍යයෙක් වූයේය. ඔහු හොඳින් තම වැඩ කටයුතු කරගෙන ගිය අතර තමාට පැමිණෙන කරදර බාධකවලින් සැලුණේ ද නැත. ඔහු එම ප්‍රශ්න සැහැල්ලුවට ගත්තේය. මේ පුරුද්ද නිසා කිසිදු බරපතළ දුකක් හෝ පීඩනයක් ඔහුට ඇති නොවීය.
    මේ අතර ඔහු මිතුරන් සමඟ උසස් පෙළ විභාගයට සූදානම් විය. ඔහුත් අනෙක් අය මෙන් වෙහෙස මහන්සි වී පාඩම් කළද නිතරම සැහැල්ලුවෙන් සිටියේය. ලැබෙන සුළු විවේකය ද විහිළුතහළු කරමින් ගත කළේය.
    එසේ සැහැල්ලුවෙන් සිටින පුරුද්ද නිසා ඔහුට තම මිතුරන් අබිබවා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි විය.
    tag---purudu.jpg
    පුරුදු පිළිබඳව තවත් වැදගත් කරුණක් තිබේ. එනම් යම්කිසි පුද්ගලයෙකුගේ ආකල්ප, විශ්වාසයන්වලටත් ඔහුගේ පුරුදු හේතුවෙයි. කෙනෙක් යම් දෙයක් නැවත නැවත කරන විට එය ඔහුගේ පුරුද්දක් බවට පත්වෙයි. එම පුරුද්ද තවත් කලක් යනවිට විශ්වාසයක් බවට හැරෙයි. තවදුරටත් කල්ගත වීමේදී එම විශ්වාසය තමන්ගේ පෞද්ගලික සත්‍යය බවට පත්වෙයි. වැරදි පුරුදු හේතුවෙන් කෙනෙක් තුළ වැරදි ආකල්ප නිර්මාණය වන්නේ ඒ ආකාරයටය.
    මත්පැන් බොන අයෙකුට එම පුරුද්ද අත්හරින බව හැම කෙනෙකුටම ප්‍රසිද්ධියේ පැවසිය හැකිය. මත්පැන් බොන මිතුරන් සහ එම පරිසරවල ගැවසීම නතර කළ හැකිය. අන් අයටත් තමන් මෙන් වෙනස් වන ලෙස උපදෙස් දිය හැකිය. එවිට තමාගේ සිත ශක්තිමත් වෙයි.
    මෝහන ක්‍රමය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. අනවශ්‍ය පුරුදු සිතෙන් ඉවත් කර, අධිෂ්ඨාන ශක්තිය ඉහළ නැංවීම සඳහා මෝහන ක්‍රමයෙන් සිදුකළ හැකි කාර්ය භාරය ඉතා විශාලය. එමඟින් පුද්ගලයෙකුගේ යටි සිතට බලපෑම් ඇති කළ හැකිය. අපගේ පුරුදු රැඳී පවතින්නේ අපගේ යටි සිතෙහිය.
    හිත සමඟ කෙළින්ම සටන් කර ජයගත නොහැකිය. හිතත් සමඟ ගනුදෙනු කළ යුත්තේ උපක්‍රමශීලී ලෙසටය. යම් පුරුද්දක් ඉවත් කිරීමේදී ඒ සඳහා වෙනත් විනෝදාංශයක් හෝ සතුටක් ලැබෙන දෙයක් හඳුන්වාදිය යුතුය. සතුට සැහැල්ලුව ලැබෙන දේවල් තිබෙන විට මනස වැරදි දේට ඇති නැඹුරුව නැති වී යයි.
    වැරදි පුරුදුවලට යොමු වීම වළක්වන ආරක්‍ෂකයකු ද ඔබ තුළම සිටින බව, ඔබ දන්නවාද?
    ඔහු හඳුන්වන්නේ ‘සිහිය’ යනුවෙනි.
    සිහිය පිහිටුවාගෙන අපට නිතරම කටයුතු කළ හැකි නම් බොහෝ වැරදි පුරුදු අත්හැරගත හැකිය. සිහියෙන් සිටිනවා යනුවෙන් අදහස් කරන්නේ මෙයයි. අප යම් දෙයක් සිතන විට හෝ කරන විට එසේ කරන බව දැනගෙන එය සිදුකිරීම සිහිය පැවැත්වීම ලෙස පැවසිය හැකිය.
    සිහියෙන් තොරව යමක් කරන විට හෝ හිතන විට අප නොදැනීම ඒ ක්‍රියාව සමඟ බොහෝ දුර සිත ගමන් කරයි. නමුත් ඒ බව කලින් දැනගත හැකි නම් බොහෝ වැරදි පුරුදු අපට කලින්ම අත්හැරගත හැකිය.
    වැරදි පුරුදු ද රාශියක් එකවර වෙනස් කළ නොහැකිය. ඒ නිසා එක් වරකට එක් පුරුද්ද බැගින් ඉවත් කිරීම කළ යුතුය. ඒවා නැවත මතුවිය හැකි බැවින් නැවත නැවත මෙම ප්‍රතිකාරය පවත්වාගෙන යා යුතුය.
    මේ කරුණ මතක තබා ගන්න
    වැරදීමකින්වත් අන් අයගේ වැරදි පුරුදු අත්හදා බලන්න එපා.