සාගරයට සමුදී ගොඩට ගිය මාළුවෙක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සාගරයට සමුදී ගොඩට ගිය මාළුවෙක්

    සාගරයට සමුදී ගොඩට ගිය මාළුවෙක්

    image_5f05543ef7.jpg


    image_22783b2961.jpg
    ශ්‍රීමත් ඬේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක වන්නේ සාගරයයි. 91 හැවිරිදි ඬේවිඞ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ඔහු ස්වභාවවේදියෙකි. කෘතහස්ථ රූපවාහිනී නිවේදකයකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ඔහු අපට කියාදෙන දේවල් බොහොමය. බී.බී.සී. නාළිකාවේ විකාශය වන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් මාලාවේ දෙවැනි කතා පෙළ නරඹන්නන් විස්මයටත් අමන්දානන්දයටත් පත් කරමින් විකාශය වී අවසන්ය.


    පෙර නිර්මාණය වුණු වාර්තා වැඩසටහන් මෙන් නොව, ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණයේදී අති නවීන තාක්ෂණය යොදා ගෙන ඇත. විවිධාකාරයේ කැමරා උපකරණ, ඩ්‍රෝන යානා සහ සබ්මැරීන ආදිය බී.බී.සී කණ්ඩායම භාවිතයට ගෙන තිබේ.

    ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණය සඳහා බී.බී.සී. නිර්මාණකරුවන්ට වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වුණු අතර, සියලු දසුන් ‘එච්.ඩී’ තාක්ෂණයෙන් පටිගත කර ඇත. ඒ අනුව, අති සුපැහැදිලි දසුනින් පිරි ‘බ්ලූ ප්ලැනට් 2’ කතාමාලාව සැබැවින්ම විස්මිතය.

    අප ජීවත්වන මේ ලෝකය, එසේත් නැතිනම් පෘථිවි සියයට 70 ක් පිරී ඇත්තේ සාගරවලිනි. මහා සාගරය විස්මයජනකය. මිනිසා අභ්‍යවකාශය ජයගෙන සඳට පය තැබුවත්, මහ සාගරය තවමත් මුළුමනින් ගවේෂණය කර නැත. අධික පීඩනය හේතුවෙන් මිනිස් අපට සාගරයේ අඳුරු මෙන්ම ගැඹුරු පතුළට යෑම අසීරුය. සාගරයේ, රළවලට යටින් සැඟවුණු දේ බොහොමය. අපට සිතාගත නොහැකි විදියේ හරි අපූරු ජීවීහු සාරයේ වාසය කරති. අතීතයේ මෙන් නොව, තාක්ෂණයේ දියුණුවත් සමඟ, සාගර ජීව විද්‍යාඥයන්ට මෙම අපූරු ජීවීන්ගේ වගතුග අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

    ‘බ්ලූ ප්ලැනට් 2’ වාර්තාවැඩසටහන් පෙළේ හත්වැනි මෙන්ම අවසන් වැඩසටහනට තේමා වන්නේ ගොඩබිම සහ මුහුද අද්දර, දොලොවක් අතර ජීවත් වන සාගර ජීවීන්ගේ විස්මිත තොරතුරුය. පෘථිවියේ ජීවය පහළ වූයේ සාගරය කේන්ද්‍රකොට ගනිමිනි. සාගර ජීවිතය අතහැර සෙමින් සෙමින් ගොඩබිමට පිහිනා ආ සාගර ජීවීහු වසර ගණනාවක පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස, ගොඩබිම ජීවිතයට කෙමෙන් කෙමෙන් හැඩ ගැසෙන්න වූහ. සාගරය ජීවීන් පරිණාමය වී, පෘථිවියේ ජීවය පහළ වූ අයුරු මෙසේ යැයි අපට කියා දෙන සාගර ජීවීන් තවමත් දකින්න ලැබේ.

    හුණුගල් පර

    පැසිෆික් සාගරයේ පිහිටි, හුණුගල්පරවලින් නිර්මාණය වුණු කුඩා දූපත් සමූහයකි. මෙම දූපත් වටා ඇති හුණුගල් පරවල ඇති, කරදියෙන් නිරන්තරයෙන් තෙතබරිතව පවතින හුණුගල් කුහර සහ කුඩා ගුල් නිවහන කරගනිමින්, අපූරු ජීවියෙක් ජීවත් වෙයි. මෙන්ටි මීටර් 8 ක් දිගැති මේ ජීවියාට මාළුවකුගේ මෙන් වරල් ඇත. හිස ලොකු ඉස්ගෙඩියකුගේ මෙනි. ලොකු ඇස් පිටතට නෙරා පවතී. අළු දුඹුරු පැහැයක් ගනී. මේ ජීවියා හැඳින්වෙන්නේ බ්ලෙනී යනුවෙනි. බ්ලෙනීගේ ජීවිතය මෙම හුණුගල්වලින් සමන්විත කුඩා දූපතය. බ්ලෙනී යනු, සාගර ජීවිතය මුළුමනින්ම බැහැර කර, ගොඩබිමට ආ ජීවියෙකි. දැන් බ්ලෙනී ජීවත් වෙන්නේ, නිරන්තරයෙන් කරදියෙන් තෙත්ව පවතින, සෙවල පිරි, හුණුගල් කුහර අතර වැඩෙන ඇල්ගී ආහාරයට ගනිමිනි. සාගරයට ගොස්, ආහාර වෙනුවෙන් සටන් කිරීමට බ්ලෙනීට අවශ්‍ය වන්නේ නැත.

    බ්ලෙනී

    අපේ කතාවේ නායකයා බ්ලෙනී පිරිමි සතෙකි. ඔහු සිටින තැනට පහළින් ගැහැනු බ්ලෙනී සත්තු කිහිප දෙනෙක් ඇල්ගී ආහාරයට තෙත බරිත හුණුගල් පරයේ වැතිරී සිටිති. බ්ලෙනි පිරිමි සතාට ගැහැනු සතුන් හොඳින් දකින්න ලැබේ. සහකාරියක සොයා ගැනීමට කාලය ඇවිදින්ය. ගැහැනු සතුන්ගේ අවධානය දිනා ගැනීමට ඔහු සැරැසෙයි. ඇල්ගී ආහාරයට ගන්නා ගැහැනු බ්ලෙනී සත්තු හිරු රැස්වලින් සිරුරු වේලීයෑම වළක්වා ගැනීමේ අරමුණින්, හුණුගල් අතරේ රැදී ඇති කුඩා දියකඩිතිවල පෙරළෙමින් සිටිති. සාගර ජීවිතය අතහැර ගොඩබිමට පැමිණි බ්ලෙනී හුස්ම ගැනීම සිදු කරන්නේ සම හරහාය. හැමවිටම තෙත බරිතව සිටීම කළ යුතු දෙයකි.

    ගැහැනු සතා

    ගැහැනු සතුන්ගේ අවධානය දිනා ගැනීමට, පිරිමි සතා පැහැය වෙනස් කරගනී. පිරිමි සතා උගේ සාමාන්‍ය දුඹුරු පැහැය වෙනස් කරමින් කළු පැහැයට හැරෙයි. ඉහළින් ඇති දීප්තිමත් තැඹිලි පැහැති වරල හොඳින් පෙනෙන්න සලස්වමින් එය සෙලවීමට පටන් ගනී. පහළ සිටින එක් ගැහැනු සතකු, පිරිමි සතා ගැන උනන්දු වෙයි. වැඩේ හරි නැහැ. බ්ලෙනීගේ ආදරයට බාධාවක් ඇත. ඒ මුහුදු රළය. බ්ලෙනීලා මුහුදු රළවලට බියක් දක්වන බවක් පෙනෙයි. හේතුව, සාගර ජීවිතය අතහැර ගොඩබිමට පැමිණ සිටින බැවින්, මොවුහු පිහිනීමට දක්ෂයෝ නොවෙති. සාගරයේ සිටියොත්, එසේත් නැතිනම් මුහුදු රළ පහරට සාගරයට ගසාගෙන ගියහොත්, බ්ලෙනී බොහොම පහසුවෙන් සාගර ජීවීන්ගේ ගොදුරු බවට පත් වෙයි. මුහුදු රළවලින් බේරීමට බ්ලෙනී ගල්පරයේ එහෙට මෙහෙට පනිති.

    උත්සාහය

    ගැහැනු සත්වයාගේ අවධානය දිනා ගැනීමට යළිත් වරක් උත්සාහ කළ යුතුය. ඇගේ ද කැමැත්තක් ඇති බව පිරිමි සතාට පෙනෙයි. පිරිමි බ්ලෙනී, දීප්තිමත් තැඹිලි පැහැයෙන් යුත් වරල යළි සෙලවීමට පටන් ගනී. දැන් ඌ මුළු සිරුරම සොලවන්න ගනී. යළිත් වරක්, වේගයෙන් කඩා වදින මුහුදු රළ, දෙදෙනාට බාධාවක් වෙයි. යළිත් වරක්, රළ පහරින් බේරීමට බ්ලෙනී ගැහැනු සතුන් ලොකු උත්සාහයක් ගනිමින් ඈතට පනී. පිරිමි සත්වයා උත්සාහය අත්හරින්නේ නැත. ඇයට පෙනෙන්න සිරරු සොලවයි. මුහුදු රළවලින් එල්ලවෙන බාධක මැඬගෙන ගැහැනු බ්ලෙනී සත්වයා ඔහු වෙත එයි. පිරිමි සතාගේ උත්සාහය සාර්ථකය. ඔහු ඇයට උගේ ගුල එසේත් නැතිනම් නිවහන පෙන්වයි. ඉන්පසු පිරිමි සතා ඇයට ඉඩ දී පැත්තකට වෙයි. ආරක්ෂාව ගැන ද විමසිලිමත් වෙමින්, ගැහැනු බ්ලෙනී ගුල වෙත පැන පැන එයි. ඇය ඔහුගේ ගුලට රිංගා ගනී. බිත්තර දමන්නැයි ඇය දිරිමත් කරමින්, ඇයට පෙනෙන්න, ගුලේ දොර අසලට පැමිණෙන පිරිමි සතා නර්තනයක යෙදෙයි. ඒ, පනිමින්, සිරුර සොලවමින්, දීප්තිමත් තැඹිලි පැහැති වරල හොඳින් පෙනෙන්න සලස්වමිනි. පිරිමි සතාගේ ආකර්ශණීය අනඟ රැගුම ගැහැනු සත්වයා වශී කර ගැනීමට සමත් වෙයි.

    තාත්තාගේ රාජකාරිය

    ගැහැනු සතා ගුල තුළ බිත්තර දමා ගුලෙන් පිටවී යයි. පිරිමි සතා ගුලට රිංගා ගනී. ගුලේ ආරක්ෂාව උපරිමය. බිත්තර සරු කිරීම සිදු කරන්නේ පිරිමි සත්වයාය. ඒ, ගැහැනු සත්වයා පිටවී යැමෙන් පසුවය. ඉන්පසු, සාගර ජීවීන් බොහොමයක් සේම, බ්ලෙනී ද පැටවුන් එළියට පැමිණෙන තුරු, බිත්තර පණ මෙන් ආරක්ෂා කරන්නේ පිරිමි සත්වයාය. එසේත් නැතිනම් තාත්තාය. බ්ලෙනී සාගර ජීවිතය අතහැර ජීවත් වීමට ගොඩබිම තෝරාගෙන ඇත. බ්ලෙනීගේ ජීවිතය සැබැවින්ම විස්මිතය.



    image_e8ad60d0d6.jpg



    image_6a3e287092.jpg

    image_ba6596dee3.jpg



    image_63439246a3.jpg


    image_5f94104915.jpg


    image_a9386348d9.jpg












    ලුසිත ජයමාන්න
    බ්ලූ ප්ලැනට් 2 ඇසුරිනි
     
    Last edited: