සිතට සුව දෙන භාවනා........

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
මෙ දේශනා ටිකට හොදින් සවන් දෙන්න.............
ඔබට භාවනාව පිලිබදව හොද අවබෝදයක් ලබාගත හැක.


http://amadamvila.net/meditations/

Meditations.png


http://sinhala.mahamevnawa.lk/sermons/audio/sithata-suvadena-bhavana/

kalana.jpg


http://dhammamedicine.net/sermons/kalanamithuru-owadan/
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
timthumb.php

01. භාවනාවේ මූලික කරුණු

1.1. අපි භාවනා කරමු
භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක‍්‍රමයකටයි. අපට මේ සිත දියුණු කරන්න පුළුවන් කියලා ඉස්සර වෙලාම අපට කියල දුන්නේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ තමන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම දියුණු කරල, ඉහළම තලයට දියුණු කරල එය අපට පෙන්වා වදාළා. සිත දියුණු කරගන්නා ක‍්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වමු.
ලෝකයේ සිත දියුණු කරන සුළු පිරිස අතරට ඔබත්…
ඔබට පුළුවන් නම් භාවනාව දියුණු කරගන්නට මේ ජීවිතයේදීම ඔබේ සිත වේගයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. මේ සඳහා ඔබට සිතන්න පුළුවන්කම තිබිය යුතුයි. ඔබට බැරි නම් කල්පනා කරන්න, ඔබට සිත දියුණු කරන්න බැරිව යනවා. බොහෝ දෙනෙක් මේ සිත දියුණු කරන්නේ නෑ. මේ ලෝකේ ස්වල්ප දෙනයි සිත දියුණු කරන්නේ. අන්න ඒ ටික දෙනා අතරට ඔබට පැමිණෙන්නට පුළුවනි. බොහෝම සිහි කල්පනාවෙන් යුතුව, බොහෝ අවධානයෙන් යුතුව මෙය හදාරන්න. අපි ක‍්‍රම ක‍්‍රමයෙන් කියාදෙනවා ජීවිතයේ ගැඹුරක් දකින්නට හැකි අයුරු.
භාවනාවට ඔබත් සුදුස්සෙක්ද?
බුදු රජාණන් වහන්සේ විශේෂයෙන් සිත දියුණු කරපු කෙනෙක් කියලා ඔබ තුළ තියෙන ප‍්‍රසාදය ඉතා වැදගත්. මේකට කියනවා ශ‍්‍රද්ධාව කියලා. සිත දියුණු නොකරපු කෙනෙකුගේ උපදෙස් වලින් අපට සිත දියුණු කරන්න බෑ. අපිට සිත දියුණු කරන්න පුළුවන් වන්නේ සිත දියුණු කරපු කෙනෙකුගේ උපදෙස් වලින්මයි. ඒ සඳහා අපට බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකේ වෙන කවුරුවත් මුණ ගැහෙන්නෙ නෑ. ඒ තරමටම උන්වහන්සේ සිත දියුණු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උපදෙස් උන්වහන්සේ ජීවිතය ගැන කියා දීපු දේ හොඳින් දැනගෙන ඒ දැනගත් කරුණුවලට අනුව ජීවිතය හසුරුවාගන්න පුළුවන් වුණොත් ඔබ භාවනාවෙන් දියුණු වෙන්න සුදුසුකම් ලබනවා.
දුර්ලභ ක්ෂණ සම්පත්තිය….
ඔබට වුවමනා වන්නේ විශේෂයෙන්ම හිතන්න පුළුවන්කම. හිතන්න පුළුවන් කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණගැහිලා, ඒ ධර්මය කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිවුණාම ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියල. මෙන්න මේ ක්ෂණ සම්පත්තිය ගොඩක් දුර්ලභ එකක්. බුදු රජාණන් වහන්සේ ඒ වගේම උන්වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා නිතරම පවසන දෙයක් තමයි මේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙච්ච අය අපායේ වැටිලා දුක් විඳිනවා කියන එක. අපි දැන් මේ මිනිස් ලෝකේ හිටියට අපට තියෙන මේ කාලය කෙමෙන් කෙමෙන් ගෙවිලා යන එකක්.
අපට ලෙඩ වෙලා යන ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ. අපි මරණයට පත්වෙලා නිමාවෙන ජීවිතයක් ලැබිල තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ අපි මරණයට පත්වෙන්න ඉස්සර වෙලා, ලෙඩ වෙන්න ඉස්සර වෙලා, අපේ සිහි කල්පනාවේ වෙනසක් වෙන්න ඉස්සර වෙලා, හොඳට සිහිය තියෙන වෙලාවේ, හොඳට ශ‍්‍රවණය තියෙන වෙලාවේ, හොඳට කල්පනාව තියෙන වෙලාවේ, හොඳට යමක් කමක් තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙලාවේ ඔබේ සිතේ ශ‍්‍රද්ධාව ඇතිවෙලා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ඔබට සිතන්න පුළුවන්කම තියෙනවා නම්, ඔබට ඒ දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබෙනවා.
අධිෂ්ඨානයෙන් සිත මැඬලන්න….
දැන් ඔබ මිනිස් ලෝකේ ඉපදිලා ඉන්නවා. දැන් ඔබට හිතන්න පුළුවන්කම තියෙනවා. මේ හිතන්න පුළුවන්කමත් සමඟම ඔබ හිතන්න පුළුවන් බව දියුණු කරන්න ඕනෙ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. ඒ අසන්නා වූ ධර්මයට අනුව ඔබට ශ‍්‍රද්ධාවක් ඇතිවෙලා ඔබ කල්පනා කරනවා “මම ධර්මය ප‍්‍රගුණ කරන්න ඕනෙ කියල” අන්න ඒ මොහොතේ ඉඳලා ඔබට ක්ෂණ සම්පත්තිය ලැබෙනවා. මෙන්න මේ ක්ෂණ සම්පත්තිය අහිමි කරගන්න එපා. මේක අපට දියුණු කරගන්න පුළුවන්. හැබැයි මේ සිතේ ස්වභාවය තමයි එක දිගට යමක් අධිෂ්ඨානයෙන් කරගන්න තියෙන අමාරුව. භාවනා කරන්න කෙනෙක් ගියත්, සිල් ආදී ගුණධර්ම පුරුදු කරගන්න ගියත්, සිත දමනය කරන වැඩපිළිවෙලකට ගියත්, සිත දියුණු කරන වැඩපිළිවෙලකට ගියත්, මේක කරගන්න බෑ. නොහිතන විදිහට මෙයා කැරකිලා ආයෙත් හිටිය තැනටම වැටෙනවා. මෙන්න මේ තත්වය ඔබ හඳුනාගෙන විශේෂයෙන්ම අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනෙ. මම මේ දැනගන්න ධර්මය හොඳින් හිතට ගෙන මේ බලන්නා වූ ධර්මයට අනුව මම මගේ චින්තනය මෙහෙයවලා මම සිත දියුණු කරනවා කියල ඔබ කල්පනාවක් ඇති කර ගත යුතුයි.
සිත දියුණු කිරීමෙන් ලැබෙන ප‍්‍රයෝජන…
සිත දියුණු කිරීමේදී සිදුවන විශේෂත්වය නම් ඔබ ගුණධර්ම වලින් දියුණු වීම. ඔබේ මනස දියුණු වුණොත් ඔබ තුළ ගොඩනැගෙනවා පෞරුෂයක්. පෞරුෂයක් ගොඩනැගෙනවා කියන්නේ ඔබ තුළ ගොඩනැගෙනවා අභිමානවත් බවක්. ඔබ තුළ ගොඩනැගෙන පෞරුෂය එක්ක මානසිකව ඔබ දියුණු වෙනවා මිසක් පිරිහෙන්නෙ නෑ. ඒ නිසා ඔබ තව කෙනෙකුට ඊර්ෂ්‍යයා කරන්න යන්නේ නෑ. ඒ නිසා ඔබ තව කෙනෙක් එක්ක තරහ වෙන්න පළිගන්න යන්නෙ නෑ. අනුන්ගේ දියුණුවට ද්වේශ කරන්න යන්නේ නෑ. ඔබ එ් සියල්ලන් කෙරෙහි සතුටු වෙනවා. මේ ස්වභාවය තමයි ඊළඟට ඔබට ඇතිවෙන මානසික දියුණු තත්වය. මේ දියුණු තත්වය ලබාගන්න පුළුවන් වෙන්නේ සිත දියුණු කරගැනීමෙන් තමයි. සිතේ දියුණුව කියන්නේ ඒකයි.
ඔබේ සිත දියුණු වෙන කොට ඔබ ගුණ ධර්ම වලින් දියුණු වන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ඔබ අනුන්ගේ දියුණුවට අනුන්ගේ යහපතට සතුටු වෙනවා. ඊර්ෂ්‍යයා කරන්නේ නෑ. අනුන්ගේ දැන උගත්කම් ගැන සතුටු වෙනවා. අනුන්ගේ හැකියාවන් ගැන ඔබ සතුටු වෙනවා. මෙන්න මේවා තමයි දියුණු වෙන සිතක ඇතිවෙන ලක්ෂණ. අන්න ඒවා ඔබ තුළ ඇතිවෙන්න පටන් ගන්නවා. එවිට ඔබ තේරුම් ගන්න ඔබ තුළ තිබෙනවා දියුණු කළ හැකි, දියුණු වන සිතක්. මෙන්න මේ සිත දියුණු කරන්න පුළුවන් ප‍්‍රධාන භාවනා ක‍්‍රම තියෙනවා. අන්න ඒ භාවනා ක‍්‍රම බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
166050_412111145562838_466266061_n.jpg

භාවනාව යනු….
භාවනාව කියන්නේ අපේ මනස හසුරුවන වැඩ පිළිවෙලක්. අපේ මනස යම්කිසි ක‍්‍රමාණුකූල පිළිවෙලකට හසුරුවනවා නම් එයටයි භාවනාව කියන්නේ. මේ ක‍්‍රමානුකූල පිළිවෙළකට මනස හැසිරවීමෙන් අභ්‍යන්තර ජීවිතය පිරිසිදු වෙනවා. අභ්‍යන්තර ජීවිතය පිරිසිදු වීම නිසාම ඔබේ ජීවිතය ටික ටික සුවපත් වෙන්න පටන් ගන්නවා. ඔබ ටික ටික ධෛර්යය සම්පන්න වෙන්න පටන් ගන්නවා. ටික ටික වීර්යවන්ත වෙන්න පටන් ගන්නවා. ඔබ සතුටින් ඉන්න පුරුදු වෙනවා. ඔය හැමදේම ලැබෙනවා මනස දියුණු කිරීමෙන්.
දැන් බලන්න අපේ වයස සෑහෙන්න ගෙවිලා. නමුත් අපට බැරිවුණා මනස දියුණු කරගන්න. මේ මනස දියුණු කරගන්න බැරිවුන එක අපේ ජීවිතවලට සිදුවුන විශාල පාඩුවක්. මෙන්න මේ පාඩුවෙන් වැළකිලා මනස දියුණු කරගන්න ලැබනු අවස්ථාව අපි මේ ජීවිතේ දිගින් දිගටම ආරක්ෂා කරගෙන දියුණු කරන්නට ඕනේ.
ස්වාධීන චින්තනයක් ඇති කරගනිමු….
මේකට විශේෂයෙන් වැදගත් වෙනවා ස්වාධීනව හිතන්න පුළුවන්කමක් තිබීම. ස්වාධීනව හිතන්න පුළුවන්කම කියන්නේ, දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මම ඔබට කියා දෙන කොට ඔබට මේ කෙරෙහි පැහැදීමක් ඇතිවෙන්න ඕනේ. මේ කියා දෙන්නා වූ ධර්මය, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය, මේක මට ප‍්‍රගුණ කරන්න පුළුවන් කියලා නිසැක භාවයට පත්වෙන්න ඕනේ ශ‍්‍රද්ධාව තුළින්. අන්න ඒ තුළින් ඔබ තුළ ගොඩනැගෙන්නේ ස්වාධීන චින්තනයක්. එතකොට කවුරු හරි කිව්වොත් “නෑ… නෑ.. භාවනා කරන්න ඕනෙ නෑ. ඔය භාවනා කරලා වැඩක් නෑ. ජීවිත අවබෝධයක් අපට ඕනෙ නෑ. ඔබ ගිහි ජීවිතය ගත කරන කෙනෙක්. ඔබට ඒක අදාල නෑ” කියලා, එතකොට ඔබ කෙළින්ම පිළිගන්නවා ඒක වැරදි මතයක්, වැරදි අදහසක්, වැරදි දෘෂ්ටියක් කියල.
මේ නිසා ඔබට පුලුවන් පැහැදිලි චින්තනයක ඉන්න. ඔබේ සිතේ වටිනාකම තියෙන්නේ ඔබ තුළ. ඒ නිසා බාහිර කෙනෙකුගේ මතවාදයක් තුළින් ඔබේ මනස පිරිහෙන්න දෙන්න එපා. බාහිර කෙනෙකුගේ මතවාදයකට ඇහුම්කන් දීලා ඔබේ ජීවිතය අයාලේ යන්න දෙන්න එපා. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ ඔබේ ජීවිතයට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා දැඩි මතයකට පැමිණෙන්න ඕනෙ. ඒ දැඩි මතය තුළ ඔබ ශ‍්‍රද්ධාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. මෙන්න මේ ශ‍්‍රද්ධාව මුල් කරගෙන ඔබ ගෞතම බුද්ධ ශාසනයට ටිකෙන් ටික පැමිණෙනවා.
ඔබටත් අභිමානවත් චරිතයක්….
ගෞතම බුද්ධ ශාසනය තුළට ටිකෙන් ටික ඔබ පිවිසෙන විට ශ‍්‍රද්ධාව මුල් කරගෙන ඔබේ ජීවිතය ටිකෙන් ටික ශක්තිමත් වෙනවා. ඔබ ආධ්‍යාත්මිකව බල සම්පන්න වෙනවා. බාහිර අදහස්වලට කරුණු රහිතව බැඳෙන ගතිය නැතිවෙලා බොහොම සාධාරණව කරුණු විමසා බලලා සාධාරණ පැත්ත ගන්න පුළුවන් අභිමානවත් චරිතයක් ඔබ තුළ ගොඩනැගෙනවා. එවැනි දුර්ලභ අවස්ථාවක් ඔබට ලබා දෙන්නේ භාවනාව තුළින්. ඒ නිසා ඔබට මේ භාවනාව කරගෙන යාමට දැන් ඉගෙන ගත් කරුණු මනා පිටුවහලක් වෙනවා.
1.2. මූලික භාවනා ක‍්‍රම හඳුනාගනිමු
ජීවිතයට භාවනාවක් ප‍්‍රගුණ කර ගැනීමට ඔබතුළ තිබිය යුතු මූලික සුදුසුකම් කීපයක් පිළිබඳව මීට පෙර සාකච්ඡා කළෙමු. ඒවා නම්, නිදහස් චින්තනයක් තිබීම, මේ මනස දියුණු කර ගැනීමේ වටිනාකම ගැන ඔබ තේරුම් අරගෙන සිටීම, මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ගෙවී යන්නට කලින් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් ප‍්‍රයෝජන ගත යුතුයි කියලා, ඔබ මතයකට පැමිණ සිටීම, ඔබේ සිත දියුණු කිරීමේ සියලු උපදෙස් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළ තිබෙන බවට ඔබතුළ ඇති පැහැදීම. මෙන්න මේ කරුණු සැලකිල්ලට අරගෙන මීළඟට අපි ඔබට ඉගෙන ගන්න සලස්වන්නේ මූලික භාවනා ක‍්‍රම දෙක ගැනයි.
නිතර වැඩිය යුතු භාවනා….
එයින් පළමු වැනි භාවනාව තමයි ‘සමථ’ භාවනාව. ඊළඟ භාවනාව තමයි ‘විදර්ශනා’ භාවනාව. මේ භාවනා ක‍්‍රම දෙක ගැනම බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම අවධාරණයෙන් ප‍්‍රකාශ කොට වදාළා. ජීවිතාවබෝධයට අතිශයින්ම උපකාරී වෙනවා කියල.බුදුරජාණන් වහන්සේ වදාළා (සමථෝ භික්ඛවෝ භාවේතබ්බෝ) මේ සමථ භාවනාව දියුණු කරන්න ඕනෙ. ප‍්‍රගුණ කරන්න ඕනෙ. සමථ භාවනාව ප‍්‍රගුණ කිරීමෙන් සිත දියුණු වෙනවා. සිත වැඩෙනවා. (විපස්සනා භික්ඛවේ භාවේතබ්බා) පින්වත් මහණෙනි, විදර්ශනා භාවනාවත් වැඩිය යුතුයි. විදර්ශනා භාවනාව වැඞීමෙන් ප‍්‍රඥාව දියුණු වෙනවා. විදර්ශනාව කියල කියන්නේ යමක ඇත්ත විමසා බැලීම යි. ප‍්‍රඥාව කියල කියන්නේ, ඒ ඇත්ත ඒ ආකාරයෙන්ම දැකීමේ හැකියාවටයි. එසේ නම් සමථ භාවනාව දියුණු වීමෙන් ඔබේ සිතේ තිබෙන දුර්වලකම්, සිත විසිරෙන ගතිය නැතිවෙලා සිත ශක්තිමත් වෙලා, යමක් අවබෝධ කරගන්ට සුදුසු ආකාරයට සිත වැඩෙනවා. ඒකට අපි කියනවා සිත කර්මණ්‍ය වෙනවා කියල. ඒ කියන්නේ යමක් අවබෝධ කරගන්න සුදුසු ආකාරයට සිත සකස් වෙනවා. ඒ සකස්වීම සිදුවන්නේ සමථ භාවනාවෙන්.
භාවනා ක‍්‍රම දෙක….
විදර්ශනා භාවනාවෙන් කරන්නේ ජීවිතාවබෝධය ඇති කරල දෙන එක. ජීවිතාවබෝධය ඇති කරල දෙන්නේ ප‍්‍රඥාව තුළින්. ප‍්‍රඥාව කියල කියන්නේ යම්කිසි දෙයක ඇති ඇත්ත ස්වභාවය ඒ විදිහටම දැකීමේ හැකියාවට. මේ භාවනා ක‍්‍රම දෙක වෙන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ජීවිතාවබෝධය ලබාගන්න කෙනෙක්, ඉස්සර වෙලා සමථ භාවනාව වඩලා, ඊට පස්සේ විදර්ශනාවට ඒක හරනවනවා. එහෙමත් නැත්නම් විදර්ශනා භාවනාව ඉස්සර වෙලා වඩලා එය සමථ භාවනාවට හරවනවා. එහෙම නැත්නම් මේ දෙකම එකට වැඩෙන අයත් ඉන්නවා. සමථය මුල්කරගෙන විදර්ශනා භාවනාව වඩන අයට කියනවා සමථ පුබ්බංගමා විපස්සනා කියල. විදර්ශනා භාවනාව මුල්කරගෙන සමථ භාවනාව වඩන අයට කියනව විපස්සනා පුබ්බංගමා සමථෝ කියල. මේ දෙකම එකට වැඩෙන අයට කියනව යුගනද්ධ කියල.
සිතේ සංසිඳීම….
එසේ නැතිව තනිකරම විදර්ශනාව විතරක් වඩපු, තනිකරම සමථය විතරක් වඩපු පිරිසක් මාර්ගඵල ලාභීන් අතර නැහැ. මේ නිසා අපි දැන් සමථ විදර්ශනා භාවනා ක‍්‍රම දෙක ගැන තවදුරටත් විස්තර වශයෙන් තේරුම් ගන්නට ඕනෙ.
එ් තමයි සමථ භාවනාවෙන් සිත දියුණු කරල දෙනව. මේ නීවරණ ධර්ම සංසිඳුවලා සිත දියුණු කරන එකට. සමථ කියල කියන්නේ සංසිඳවීම. දැන් අපේ ජීවිතවල යම්කිසි ආරවුලක්, ගැටළුවක්, ප‍්‍රශ්නයක් ඇතිවුණාම අපි කියනවා “දැන් අපි මේක සමථයකට පත් කරගනිමු.” කියලා කියන අදහසමයි සමථය කියල කියන්නෙ. මනස සමථයකට පත් කරල දීම. මනසේ අවුල්බව නැති කරල මනස සන්සුන් කරල දෙන්න පුළුවන්කම මේ සමථ භාවනාවකින් ලැබෙනවා.
අපේ සතුරන් පස් දෙනා හඳුනාගනිමු….
විශේෂයෙන්ම මේ මනස අවුල් කරන කරුණු පහක් මේ ජීවිතේ පවතින බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපට වදාළා. ඒ පහට කියන්නේ පංච නීවරණ කියලයි. නීවරණ කියල කියන්නේ, මේ චිත්ත දියුණුව නැති කරන, ප‍්‍රඥාවට බාධා ඇති කරන, ප‍්‍රඥාව වළක්වන සිතේ දියුණුව වෙනස් කරල දාන, තමන් නොමග යවන දේට තමයි නීවරණ කියල කියන්නේ. නීවරණ ධර්ම පහක් ඇති බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තමයි,
● කාමච්ඡන්දය – තමන් ආස කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලට සිත නිතර නිතර ඇදී යන ගතිය.
● ව්‍යාපාදය – තමන් ගැටිච්ච අරමුණුවලට එනම් ඇහෙන් දැකපු දේ, කණෙන් අහපු දේ, නාසයෙන් ආඝ‍්‍රාණය කළ දේ, දිවෙන් රස විඳපු දේ, කයෙන් පහස ලැබූ හැටි මේවා ගැන නිතර නිතර මතක් වෙවී ගැටීමක් ඇතිවෙනවා. ඒ ස්වභාවයට කියන්නේ ව්‍යාපාද කියලයි.
● ථිනමිද්ධ – ඊළඟට තමන්ට මේ සිත දියුණු කරගන්නට බැරි මට්ටමට තමන් අලස (කම්මැලි) වීම, නිදිමතට පත්වීම.
● උද්ධච්ච කුක්කුච්ච – එනම් තමන් ධර්මයේ හැසිරෙන්න තියෙද්දී තමන්ගෙන් වෙච්ච අත්වැරදි ගැන, කල්පනා කර කර තමන්ගෙන් වෙච්ච අත්වැරදි ගැන හිත හිතා ඒ වගේම ශෝක කර කර, සිත විසිරෙන ආකාරයට සිත පැවැත්වීම.
● විචිකිච්ඡා – ඊළඟ එක තමයි තමන් ඉන්න ධර්ම මාර්ගය ගැන මේක දියුණු කළොත් හරියයි ද? මේක හරියයි ද? මේක දියුණු කරන්න බැරිවෙයි ද? මට බැරිවෙයි ද? කිය කිය තමන් හැම තිස්සේම පසු බහින සැකය.
මෙන්න මේවා තමයි අපේ සිතේ හැම තිස්සෙම වෙලාගෙන තිබිල අපට මානසික දියුණුවක් කරා යන්න බාධා කරන වළක්වන දේවල්.
මෙන්න මේවා සිතෙන් සම්පූර්ණයෙන් යටපත් කරලා සිත සමාධිමත් කරලා දෙන්න පුළුවන්කමක් සමථ භාවනාවට තියෙනවා. ඒ නිසා අපි සමථ භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතු භාවනාවක්.
ප‍්‍රඥාවේ උල්පත….
ඊළඟ භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේ විදර්ශනා භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. විදර්ශනා භාවනාව තමයි යමක තිබෙන මූලික ස්වභාවය, ඒ කියන්නේ යමක ඇති මූලික ලක්ෂණය උදාහරණයක් හැටියට කිව්වොත් බුදුරජාණන් වහන්සේ වදාළා හේතු නිසා හටගත්තු සියලු දේවල් අනිත්‍යයයි කියල. එතකොට ඒ හටගත්තු මූලික දේවල්වල ලක්ෂණය මොකක්ද? අනිත්‍යයයි. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හටගත්තු හැම දෙයකම තියෙනවා නම්, සකස් වෙච්ච සෑම දෙයකම තියෙනවා නම්, ඔබ තුළත් මේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා.
අනිත්‍ය දේ අනිත්‍යමයි…
එහෙනම් ඔබේ ජීවිතය පුරා මේ ලක්ෂණය තියෙනවා. දැන් ඔබ මේකට වසඟ වෙලා හිටියට, මේ අනිත්‍යයට ඔබ මුහුණ නොදී හිටියට, අනිත්‍ය දේ අනිත්‍ය වීම ඔබට වළක්වන්න බෑ. අනිත්‍ය දේ අනිත්‍ය වෙන කොට හඬා වැටෙන්නේ ඒ නිසා. නමුත් මේකට හඬා වැටෙන්නේ නැතිව, අනිත්‍ය දේ අනිත්‍ය වෙන කොට ඔබට අවබෝධයෙන් සිටින්න පුළුවන් නම් අන්න ඔබ තුළ ජීවිතය පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේ නිසාම අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීමේ හැකියාව, දුක් දේ දුක් වශයෙන් දැකීමේ හැකියාව, අනාත්ම දේ අනාත්ම දේ වශයෙන් දැකීමේ හැකියාවට (අනාත්ම දේ යනු තම වසඟයේ පවත්වන්න බැරි, අයිතිකාරයෙක් නැති දේට) කියනවා අනිත්‍ය දර්ශනයයි කියල.
අභියෝග කරදර හමුවේ පෙරටම යන්න….
සිහිය මෙහෙයවලා නුවණ මෙහෙයවලා විමස විමසා බලන කොට ඔබ තුළ මේ ලක්ෂණ කෙමෙන් කෙමෙන් දියුණු වෙනවා. යමක් විනිවිද දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. අන්න ඒ හැකියාවට තමයි ප‍්‍රඥාව කියන්නේ. ඒ ප‍්‍රඥාව ලබන්න වුවමනා කරන ආකාරයට ඒ හැකියාව දියුණු කිරීමට කියනවා විදර්ශනා කියලා.
ඔබ මේ කාරණයේදී ගොඩක් නුවණ පාවිච්චි කරන්නට ඕනෙ. කෙනෙක් ඔබට කියන්න පුළුවන් “හා…. හා…. අනිත්‍ය භාවනාව සිහි කරන්න එපා. ඔබ ගිහි ගෙදර ඉන්න කෙනෙක්. ඒක ඔබට අදාළ නෑ.” ඔබේ ස්වාධීන නුවණින් කල්පනා කරලා ඔබ හිතන්න මෙහෙම. “මේ කෙනා නම් අමු මිථ්‍යා දෘෂ්ටිකයෙක්. මේ කෙනා නම් යථාර්ථයට විරුද්ධව කල්පනාව තියෙන කෙනෙක්. මේ කෙනා නම් චිත්ත දියුණුවට බාධා කරන්න කැමති කෙනෙක්. මේ කෙනා නම් ප‍්‍රඥාව දියුණු වෙනවට අකමැති කෙනෙක්” කියල තෝරාගෙන ඒ අදහස බැහැර කරන්නට ඕනෙ.
ශ‍්‍රද්ධාව ඇති කර ගනිමු
එසේ බැහැර කරලා ඔබේ ජීවිතය තුළ ඔබ හිතන්න ඕනෙ මෙහෙම. “බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය අවුල් වෙන කඩාකප්පල් වෙන දේවල් මේ ලෝකයට කියන්නෙ නෑ. ඒවා කියන්නේ පෘථග්ජන අය විසින්. බුදුරජාණන් වහන්සේ පෘථග්ජන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ අරහත්වයට පත්වෙච්ච නිකෙලෙස් උත්තමයන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෘථග්ජනභාවයෙන් එතෙර කරවන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සඟරුවන පෘථග්ජන භාවයෙන් එතෙර වෙලා, අරහත්වයට පත්වෙන අරහත්වය කරා පිය නගන ශ‍්‍රාවක පිරිසක්.
මේ නිසා මම සරණ ගියපු තිසරණයටයි මේ අනිත්‍ය දර්ශනය අදාළ ‘ඒ නිසා යමෙක් කියනවා නම්, මේ අනිත්‍ය දර්ශනය ජීවිතයට වැඩක් නෑ‘ කියල, ඒ කෙනා තිසරණයෙන් බැහැර වෙච්ච මිත්‍යා දෘෂ්ටික, මිත්‍යා මත දරන අන්ධ බාල පෘතග්ජන පැත්තේ කෙනෙක්,“ කියල පැහැදිලිවම එයා හඳුනාගන්නට ඕනෙ. හඳුනාගෙන ඔබ සම්පූර්ණයෙන්ම ජීවිතය ගැන අවබෝධයකින් කටයුතු කරන්න ඕනෙ.
නොසැලී පෙරටම ගමන් කරන්න…
එසේ නම් දැන් ඔබ මතක තියාගන්න සමථ භාවනාව කියන්නේ සිත තැන්පත් කරන, පංච නීවරණ යටපත් කරන, සමාධිය දියුණු කරන වැඩපිළිවෙලකටයි. සමථ භාවනාව තුළින් දියුනු කරගන්න සමාධිය බොහෝ වේලාවක් තියාගන්න පුළුවන්කම තියෙනවා. එ්කට කියනවා ධ්‍යාන කියල. මේ ධ්‍යාන, පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය වශයෙන් දියුණු කරන්න පුළුවන්.
විදර්ශනා භාවනාව මනාකොට හැසිරවීමෙන් දියුණු වෙන්නේ ප‍්‍රඥාවයි. ප‍්‍රඥාව දියුණු වෙන්න, දියුණු වෙන්න ඒ කෙනාට මේ ජීවිතය ගැන තියෙන අනවශ්‍ය බැඳීම්, ජීවිතය ගැන ගොඩනගන අදාළ නැති ප‍්‍රශ්න, ජීවිතය ගැන ගොඩනගන අද්භූත ආකල්ප, ජීවිතය ගැන ගොඩනගන මිත්‍යා අදහස්, මේ සියල්ලම බැහැර වෙලා, යථාර්ථවාදී අවබෝධයක් කරා එයාගේ ජීවිතය සකස් වෙනවා.
එසේ නම් අපට මේ සමථ භාවනාවෙන් සිත දියුණු කරල දෙනවා. විදර්ශනා භාවනාවෙන් ප‍්‍රඥාව දියුණු කරලා දෙනවා. මේ සිතත් ප‍්‍රඥාවත් දියුණු කරන සමථ විදර්ශනා භාවනා දෙකම අපට දියුණු කරගන්න පුළුවන් හොඳ භාවනාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරාම තියෙනවා. ඒකට අපි කියනවා සතිපට්ඨානය කියල. මෙන්න මේ සතිපට්ඨාන භාවනාව අපේ ජීවිතයට දියුණු කරගන්න පුළුවන් ආකාරයට මින් ඉදිරියට දැනගන්න පුළුවන්. දැන් ඔබ මතක තියාගන්න සමථ විදර්ශනා කියල භාවනා දෙකක් තියෙනවා. මේ දෙකම ජීවිතයට අත්‍යවශ්‍යයි. මේ දෙකම දියුණු කරගන්න ඔබත් මහන්සි ගන්න.
1.3. සම්මා සතිය යනු කුමක්ද?
අපි මේ වන විට භාවනාවක් ජීවිතයට පුරුදු කිරීමේදී කෙනෙක් තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව ඉගෙන ගත්තා. ඊට අමතරව සමථ විදර්ශනා භාවනා ක‍්‍රම දෙක පිළිබඳව ඉගෙන ගත්තා. සමථ විදර්ශනා කියන මේ භාවනා ක‍්‍රම දෙක මේ ජීවිතයට අත්‍යවශ්‍ය එකක්. මේක ප‍්‍රගුණ කරන්න පුළුවන් කියල අපි ඉගෙන ගත්තා.
කාලයකට අයිති නොමැති අකාලිකයි සිරි සදහම්…
අද අපි ඉගෙන ගන්නේ මේ සඳහා මූලික වන බුද්ධ දේශනාවක් ගැනයි. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය තුළ දියුණු කරන්න පුළුවන් හැම පැත්තක්ම දියුණු කරගන්න පුළුවන් ආකාරයට අපට කියා දීලා තියෙනවා. උන්වහන්සේ වදාළ ධර්මයට අපි කියනවා අකාලිකයි කියල. අකාලිකයි කියල කියන්නේ අපට බුදුරජාණන් වහන්සේ වැඩ නො සිටින මේ කාලෙත් මේ ධර්මය ප‍්‍රගුණ කරලා ප‍්‍රතිඵල ලබන්න පුළුවනි. අතීතයටත් එය සාර්ථකයි. වර්තමානයෙත් ඒ ධර්මය දියුණු කරල ප‍්‍රතිඵල ලබන්න පුළුවනි. අනාගතයේදීත් ඒ ධර්මය දියුණු කරල ප‍්‍රතිඵල ලබන්න පුළුවනි. ඒකට කියනවා අකාලිකයි කියල.
අභ්‍යන්තර ගැටළුවේ වෙනසක් නෑ…
මේ ධර්මය කාලයේ පහර කෑමකට හසුවෙලා අනිත් විෂයක් වගේ වෙනස් වෙන එකක් නෙවෙයි. දැන් අපි දන්නවා අනිත් විෂයන් නම් එහෙම නෙවෙයි. කලකට බොහෝම වැදගත්. කලකට සමාජයෙන් එ්ක අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය එහෙම එකක් නෙවෙයි. අකාලික ධර්මයක්. මේ මනුෂ්‍ය වර්ගයාගේ අභ්‍යන්තර ජීවිත ගැටළුවේ වෙනසක් නෑ.
බුදුරජාණන් වහන්සේගේ කාලයෙයි අදයි කියල මනුෂ්‍යයාගේ ජීවිතවල ලොකු වෙනසක් නෑ. ඒ කාලේ යම් දුර්වලතා තිබුණාද ඒ දුර්වලතා අදත් තියෙනවා. මිනිසුන්ට එකල යම් කුසලතා තිබුණාද ඒ කුසලතා අදත් තියෙනවා. මේ නිසා කුසලතා දියුණු කරලා දුබලතා බැහැර කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදටත් ගැලපෙනවා. අදටත් විද්‍යානුකූලයි. ජීවිතය දිහා විවෘතව බලනවා. නිදහස්ව බලනවා.
සිහි කල්පනාව වැදගත්….
ඊළඟ එක තමයි පළල් දැක්මක් ජීවිතය ගැන ලබා දෙනවා. මේ සඳහා තියෙන මූලික දැනුම ලබාදෙන්නේ සතිපට්ඨානයෙන්. සති කියන්නේ සිහිය. පට්ඨානය කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටුවනවා කියලා කියන්නේ මේ ජීවිතය දිහා හොඳ කල්පනාවෙන් අවධානයකින් බලන ක‍්‍රමයට.
සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට ගමනක් බිමනක් යෑමට වැඩක් පලක් කරගැනීමට සිහියක් වුවමනයි. අපි පාරේ අයිනෙන් තමයි ගමන් කරන්නේ. ඒ වාහනවලට හැප්පෙන්නේ නැතිව යාමට යි. පාර පනින්නේ දෙපැත්ත බලලයි. මේ සෑම දෙයක්ම කරන්නේ සිහිකල්පනාවෙන්.
ඔබ තුළත් සම්මා සතිය තිබේද?
සිහි කල්පනාව අපට නැතිව ගියොත් අපි මේ කරන දේ දන්නෙ නෑ. මෙන්න මේ සාමාන්‍ය සිහියම අපි දියුණු මට්ටමට හරව ගන්නවා. මේ දියුණු මට්ටමට හරවගන්න කොට අපි ඒකට කියනවා සම්මා සතිය කියල.
සතර සතිපට්ඨානයෙන් කරන්නේ සම්මා සතිය දියුණු කරල දීම. එහෙමනම් දැන් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී තියෙන්නේ වෙන සතියක්. ඒ කියන්නේ ඒක සම්මා සතිය නෙවෙයි. ඒ සතිය තුළ අපි කොච්චර සිහි නුවණින් යුක්තව ආහාර පාන පිසගෙන කෑවත්, කොච්චර සිහි නුවණින් යුක්තව ඇඳුම් පැළඳුම් ඇන්දත්, වතුර නෑවත්, එ්ක සම්මා සතිය දක්වා වර්ධනය වුණේ නැත්නම් ජීවිතාවබෝධයකට සිත සකස් වෙන්නෙ නෑ.
බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨානයේ සම්පූර්නයෙන් ම තියෙන්නේ සම්මා සතිය. සම්මා සතිය ඇතිකරන්න බෑ සම්මා දිට්ඨියෙන් තොරව. ඒ නිසා සම්මා දිට්ඨිය අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය අංගයක්.
සම්මා දිට්ඨියේ පෙර නිමිති….
සම්මා දිට්ඨිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි. දැන් ඔන්න රාත‍්‍රී ඝන අන්ධකාරයක් තියෙනවා. පාන්දර වෙනකොට මේ ඝන අන්ධකාරය ඉවර වෙලා නැගෙනහිර අහසේ ලා පාට එළියක් එනවා. මෙන්න මේ ලා පාට එළියට කියනවා අරුණ කියල. මේ අරුණාලෝකය එනවිට අපට ප‍්‍රත්‍යක්ෂ කාරණයක් තමයි ඉර පායනවා කියන එක. අරුණාලෝකය පැමිණීමත් සමඟ අපි දන්නවා දැන් ඉර පායනවා කියලා.
බුදුරජාණන් වහන්සේ වදාළා අවබෝධයක් නැති ජීවිතේ කරුවලම කරුවල එකක් කියල. මේ අන්ධකාර ජීවිතයට ඉර පායන්න පටන් ගන්නේ සම්මා දිට්ඨිය තුළින්. සම්මා දිට්ඨිය තුළින් තමයි ජීවිතයට අරුණෝදය ඇතිවන්නේ. එහෙනම් ජීවිතයට අරුණාලෝකය ඇතිවන සම්මා දිට්ඨිය අපි ඇති කරගත්තොත් අපට පුළුවනි. ඒ සම්මා දිට්ඨිය මුල්කරගෙන සතර සතිපට්ඨාන භාවනාවේ යෙදෙන්න.
සම්මා දිට්ඨිය යනු හරි දැක්මද?
මේ සම්මා දිට්ඨියට අපේ රටේ පුරුදු වෙලා තියෙනවා වචනයක් හරි දැක්ම කියලා. මේක අර්ථ පූර්ණ වචනයක් නෙවෙයි. මේක සම්මා දිට්ඨිය කියන වචනයට හිඩැසක් පුරවලා මිසක් අවබෝධයක් ඇති වචනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනය පරිපූර්ණ වශයෙන් තෝරලා තියෙනවා.
උන්වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනේ පෙන්වලා තියෙන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධ ඤාණය සම්මා දිට්ඨිය ලෙසයි. ඒ කිව්වේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ ජීවිතේ ගැන සිතනවා.
“හේතු ඵල ධර්මයක් මේ ජීවිතේ තියෙන්නේ. ඒ හේතු නැති කිරීමෙන් ඵලය නැතිවන ස්වභාවික න්‍යයක් තියෙන්නේ. මේක වෙනස් කරල පූර්ණ සැපයක් ලබන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.”
මෙන්න මේ කරුණු ජීවිතය තුළින් අවබෝධ කරගත්ත කෙනා සම්මා දිට්ඨියෙන් යුක්තයි. අන්න ඒ කෙනාට මනාකොට සිහිය හසුරුවන්න පුළුවන්. ඒකට කියනවා සතිපට්ඨානය කියල.
කරන්නන් වාගේ නොකරන්න….
ආවාට ගියාට ගහක් සිටවලා වුණත් ප‍්‍රයෝජනයක් ලබන්න බෑ. ඒ නිසා භාවනාව සම්බන්ධයෙනුත් ආවාට ගියාට කරල ප‍්‍රයෝජනයක් ලබන්න අමාරුයි. මේ නිසා, අපි භාවනා කරන්නේ මක් නිසාද, මොකක්ද ඒකේ අවශ්‍යතාවය, ඒකෙන් ලැබෙන ප‍්‍රතිලාභ මොනවාද, අපට මෙය දියුණු කර ගැනීමෙන් ලැබෙන්නේ මොනව ද කියල අපට තේරුම් ගන්න වුවමනා වෙනවා.
ජීවිතයට ඉඩක්….
සාමාන්‍යයෙන් අපේ ජීවිතේ මේ පේන දේවල් වලට තමයි සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අසනීප වලින් සුවපත් වෙන්න භාවනාව අවශ්‍යයි. ස්මරණය දියුණු වෙන්න භාවනාව අවශ්‍යයි, නීරෝගීකම ඇතිකර ගන්න භාවනාව අවශ්‍යයි. ක‍්‍රමානුකූල වැඩපිළිවෙලක් කරගන්න භාවනාව අවශ්‍යයි කියලයි. නමුත් ඒ ඔක්කොම දෙවෙනි තැනට දාන්න. පළමු තැනට දාගන්න ජීවිතය අවබෝධ කිරීමට භාවනාව අවශ්‍යයි කියල.
උතුම් අරමුණක්
ජීවිතය අවබෝධය කරා යන කෙනාට අර සියලුම දේවල් ලැබෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා මානසික නීරෝගීකම අත් විඳින කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා ස්මරණය දියුණු කරන කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා අකම්පිත ජීවිතයකට හුරුවෙනවා.
එහෙම නම් ඔබ යම් යම් ලෞකික දේවල් ලෞකික ප‍්‍රතිලාභ භාවනාවෙන් බලාපොරොත්තු වෙනවාද ඒ සියල්ලම ජීවිතාවබෝධයේ පිරිවර හැටියට ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ භාවනාවේ ඉලක්කය හැටියට තබාගත යුත්තේ ඔබට මතක තබාගැනීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට සෞඛ්‍ය සම්පන්න වීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට මානසිකව නිරෝගීකමෙන් හා සතුටින් ඉන්න ඕනෙ කියන කාරණය නොවේ. ජීවිතය අවබෝධ කළ යුතුයි කියන කරුණයි භාවනාවේ ඉලක්කය හැටියට මතක තබා ගත යුත්තේ. ඔන්න ඔය අදහසට ඔබ ආවොත් ඔබට අර සියලු දේවල් ලැබේවි. ඒ ජීවිතාවබෝධය නිසාමයි.
සම්මා සතියේ පිරිවර….
මෙන්න මේ නිසා ඔබට පුළුවන්කම තියෙනවා එය සතර සතිපට්ඨානයෙන් කරගන්නට. ඔබ දන්නවා සතිපට්ඨානය තුළ සිහිය දියුණු කරනවා කියල. මීට පෙර කීවා අපිට සිහියක් තියෙනවා. ඒ සිහිය වැඩක් නැහැ. ඒ සිහිය සාමාන්‍ය එකක්. ඔය සිහියට පුළුවන්කමක් නෑ ඔබේ මනසේ වේදනා නැතිකරන්න. සාමාන්‍ය සිහියට පුළුවන් කමක් නෑ ඔබව අවබෝධයක් කරා ගෙනියන්නට. දුක් විඳින ඔබේ දුක් කඳුළු පිස දමන්නට ඒ සිහියට බෑ. සාමාන්‍ය සිහියට බෑ විසිරෙන සිත තැන්පත් කරන දෙන්න. ඒ ඔක්කොම කරල දෙන්න පුළුවන් සම්මා සතියට. මේ සම්මා සතිය දියුණු වෙන්නේ සතිපට්ඨානය තුළයි.
ඔබටත් ඉලක්කයක්…..
සතිපට්ඨානය දියුණු කරන ආකාර ක‍්‍රමවේද හතරක් බුදුරජාණන් වහන්සේ වදාළා.
01. කායානුපස්සනාව (කය පිළිබඳව සිහිය පිහිටුවන ක‍්‍රම)
02. වේදනානුපස්සනාව (විඳීම පිළිබඳව සිහිය පිහිටුවන ක‍්‍රම)
03. චිත්තානුපස්සනාව (සිත ගැන සිහිය පිහිටුවීම)
04. ධම්මානුපස්සනාව (ජීවිතාවබෝධයට අදාළ කරුණු වල සිහිය පිහිටුවීම.)
සතිපට්ඨානයේ ඉලක්කය චතුරාර්ය සත්‍යාවබෝධයයි. ඒ කිව්වේ ජීවිතාවබෝධය යි. එහෙම නම් ජීවිතාවබෝධයට ඉලක්ක කරපු සතර සතිපට්ඨානය ගැන ඉදිරියට අප ඉගෙන ගනිමු.

http://amadamvila.net/meditation_1/
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
02. සතර සතිපට්ඨානය තුළ ආනාපානසති භාවනාව

timthumb.php

දැන් ඔබට මතක ඇති සතිපට්ඨානය ගැන ඔබ ඉගෙන ගත්තා. සතිපට්ඨානය ගැන ඒ කිව්වෙ සිහිය දියුණු කිරීමේදී සම්මා සතිය බවට පත්කර ගන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨියෙන් යුක්තව සතිපට්ඨානය වැඩුවොත් පමණයි කියල. එතකොට සම්මා දිට්ඨිය කියල අපි ඉගෙන ගත්තා චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය. ඒ කිව්වෙ ජීවිතාවබෝධය ඉලක්ක කරගෙන තමයි සතිපට්ඨානය වඩන්න තියෙන්නේ.
සිහියේ වටිනාකම….
බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ සතිපට්ඨාන ධර්ම දේශනාව පවත්වා වදාළ වෙලාවේ පැහැදිලිවම පෙන්වා දුන්නා මේ මනුස්සයාගේ මේ සත්වයාගේ සිත පිරිසිදු කිරීම පිණිසත්, වැළපීම්, දුක් දොම්නස් නැති කිරීම පිණිසත්, කායික මානසික දුක් බැහැර කිරීම පිණිසත් ජීවිතාවබෝධය පිණිසත් නිවන පිණිසත් මේ සතිපට්ඨාන ධර්මය හේතුවන බව.මේ නිසා පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේ ආනිසංස සතිපට්ඨාන ධර්ම දේශනා කරන්න කලින්ම වදාළ නිසා අපි ඒ පිළිබඳව අමුතු සැක සංකා තබාගත යුතු නෑ. අපට ඉතාම පැහැදිලියි මේ ධර්මය ප‍්‍රගුණ කරගත්තොත් මේ සිහිය ප‍්‍රගුණ කරගත්තොත් අපේ ජීවිතවලට විශාල ප‍්‍රතිලාභ ලබන්න පුළුවන්කම තියෙනවා. මේ සතිපට්ඨානය දියුණු කිරීමේදී අපට ඉස්සෙල්ලාම පුරුදු කරන්න පුළුවන් වෙන්නෙ කායානුපස්සනාව.
සුන්දර ම සුසුම් පොද….
කායානුපස්සනා භාවනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි භාවනාව තමයි ආනාපානසති. ආනාපානසති කියල කියන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස ගැන සිහිය පිහිටුවා ගැනීම. දැන් ඔබ දන්නවා ඔබ ඉපදිච්ච දවසේ ඉඳල හුස්ම ගන්නවා. හෙළනවා. ඉපදිච්ච දවසේ ඉඳල ඔබ හුස්ම ගත්තත් හෙලූවත්, මේ ගන්න හුස්ම, හෙළන හුස්ම මුල් කරගෙන සිහිය දියුණු කරලා සිත පිරිසිදු කරන්න පුළුවන් බව ඔබ දැනගෙන සිටියේ නැතුව ඇති.
නමුත් ඒ සුවිශේෂී ක‍්‍රමය බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට කලින් ලෝකෙට හෙළිදරව් කළා. කෝටි සංඛ්‍යාත බුද්ධිමත් මනුෂ්‍ය ප‍්‍රජාව ඒ ධර්මයෙන් ප‍්‍රයෝජන ගත්තා. ඵල නෙලාගත්තා. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කවුරුවත් ප‍්‍රගුණ කරල නැති ප‍්‍රතිඵල ලබපු නැති දෙයක් නෙවෙයි. කෝටි සංඛ්‍යාත ජනකායක් මේ ධර්මය ප‍්‍රගුණ කරල ප‍්‍රතිඵල ලබල තියෙනවා.
නිවන ඇති බුදු සසුන….
බුදුරජාණන් වහන්සේගේ ශාසනය චතුරාර්ය සත්‍යයයෙන් බැහැර වෙච්ච එකක් නෙවෙයි. ඒ නිසා අපි ඒක හොඳට මතක තියාගන්න ඕනෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මේ ආනාපානසති භාවනාවේදී ඉස්සෙල්ලාම එයා කරන්නට ඕනි කියල තියෙන්නේ, ආරණ්‍යයකට ගිහින්, එහෙම නැත්නම් රුක් සෙවණකට ගිහින්, එහෙම නැත්නම් හිස් තැනකට ගිහින්, මේකෙ තේරුම හුදෙකලා වෙන්න කියන එක. මේ භාවනා කිරීමේදී හුදෙකලා වෙන්න ඕනෙ. ඔබට පුළුවනි, ඔබ සිටින කාමරයේම හුදෙකලා වෙන්න.
අපි කියමු ඔබ සිටින කාමරයේ තුන් දෙනෙක් භාවනා කරනවා කියල. එතකොට තුන් දෙනා තුන් තැනක වාඩිවෙලා ඇස් වහගෙන භාවනාවට සුදුසු විදිහට ඉරියව්ව සකස් කරගන්න කොට එයා හුදෙකලා වෙලා. මේ විදිහට හුදෙකලා භාවයක් ඇතිකරන්න පුළුවන්. එහෙම නැත්නම්, බෝ මළුවක ඔබට භාවනා කරන්න සුදුසු විදිහක් හරිගස්ස ගන්න පුළුවන්. ඒ වගේ නිදහස් තැනක් තෝරාගැනීම ගොඩාක් උපකාරී වෙනවා.
පූර්ව කෘත්‍යයන්…..
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ඒ කෙනා (නිසීදති පල්ලංකං ආභුජිත්වා) පළඟක් බැඳගෙන වාඩි වෙනවා. පළඟක් බැඳගෙන වාඩිවෙනවා කියල කියන්නේ කකුල් දෙක නවාගෙන බිම වාඩිවෙන එකයි. හැබැයි ඒකෙ තියෙනවා (උජුං කායං පණිධාය) කියල. පළඟක් බැඳගෙන වාඩි වුණාට පස්සේ කොන්ද කෙළින් කරගන්න ඕනෙ. ඒකටයි උජුං කායං පණිධාය කියල කියන්නේ.
බොහෝ දෙනෙකුට පළඟක් බැඳගෙන ඒ කියන්නේ කකුල් දෙක නවාගෙන බිම වාඩිවෙන්න අමාරුයි. මෙය අපේ රටේ බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක්. සමහරු එහෙම පළඟක් බැඳගෙන බිම වාඩිවුණත් කොන්ද කෙළින් කරගන්න අමාරුයි. මේක අපි කොහොමද විසඳුමක් කරගන්නේ? මොකද අපේ ඉලක්කය සිත දියුණු කර ගැනීම. සමාධිය දියුණු කරගැනීම, ප‍්‍රඥාව දියුණු කර ගැනීම. මේකට වුවමනා කරන ආකාරයට අපේ මේ වාඩිවෙන ඉරියව්ව සකස් කරගන්නේ කොහොමද කියන එක. මේකෙදි ඔබට විශේෂයෙන්ම ප‍්‍රයෝජනවත් වේවි, මේ අපි වාඩිවෙන ආසනය ගැන කල්පනාවෙන් සිටීම.
වාඩි වීම අපහසු නම්….
දැන් ඔබට පළඟක් බැඳගෙන වාඩිවීම තමයි ටිකක් අමාරු කාරණාව. මොකද අපේ රටේ බොහෝ දෙනෙකුට පළඟක් බැඳගෙන වාඩිවුණාට පස්සේ කොන්ද කෙළින් කරගන්න අමාරුයි. මේකට පොඩි උපක‍්‍රමයක් තියෙනවා. උපක‍්‍රමේ තමයි ඔබට පුළුවනි පුංචි මෙට්ටයක් (රබර් මෙට්ට නෙවෙයි, රබර් මෙට්ට අමාරුයි) කොහු මෙට්ටයක වගේ පොඩි මෙට්ටයක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් විතර උසට, එහෙම නැත්නම් ඔබට පුළුවනි පුංචි බංකුවක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් උසට.
හරිගස්සගෙන ඊට පස්සේ ඒකේ වාඩිවෙලා කකුල් දෙක පහළට දාගෙන ඊට පස්සේ ඔබට කොන්ද කෙළින් කරගන්න පුළුවන්. ඉතින් ඔබ එ්කෙදි සැලකිලිමත් වෙන්න අවධානය යොමු කරගන්න. හේත්තු වෙන්න පුරුදු වෙන්න එපා. හේත්තු වෙන්න පුරුදු වෙන්නෙ නැතිව ආසනේ වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න පුරුදු වෙන්න. සමහරුන්ට පුළුවනි බොහොම ලස්සනට බිම වාඩිවෙලා එරමිණිය ගොතාගෙන හොඳට කොන්ද කෙළින් කරගන්න. ඒ නිසා ඒ විදිහට ඔබට බැරිවුණා කියල ඔබ පසුබට වෙන්න එපා. ඔබට පුළුවන්කම තියෙනවා ඒ විදිහට වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න. එතකොට ඔබගේ මූලික කරුණ හරි.
භාවනාව පටන් ගන්න….
ඊට පස්සේ තියෙන්නේ (පරිමුඛං සතිං උපට්ඨපෙත්වා) දැන් භාවනා කරන අරමුණේ සිහිය පිහිටුවගෙන භාවනා කරන්න. දැන් ඔබට නිමිත්තක් තියෙනවා. නිමිත්ත තමයි ආනාපානසතිය. ආනාපානසතිය හැර වෙන නිමිති ඔබ හොයන්න යන්න එපා. මොකක්ද මේ ආනාපානසති නිමිත්ත. බුදුරජාණන් වහන්සේ ඒකේ වදාළා (සෝ සතෝව අස්සති) එයා සිහියෙන්ම හුස්ම ගනියි. (සතෝ පස්සති) සිහියෙන් ම හුස්ම හෙළයි. දැන් ඕක තමයි ඔබට කරන්න තියෙන්නේ. සිහියෙන්ම හුස්ම ගන්නවා. සිහියෙන්ම හුස්ම හෙලනවා.
දැන් ඔබ මතක තියාගන්න එතකොට අපි අවධානය යොමු කරගන්නේ කොහාටද? හුස්ම ගැන. දැන් ඔබ සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙළනවා. දැන් ඔබ ඒ සඳහා මූලික සුදුසුකමක් හැටියට මේ භාවනාවට වාඩි වෙලා කය ඍජු කරගෙන වාඩිවුණා.
ආනාපානසතියට පෙර….
හැබැයි මේකෙදි ආරම්භයක් ලෙස ඔබ ටිකක් වෙලා බුදු ගුණ වඩන්න. ආනාපානසති භාවනාව වඩන්න ඉස්සර වෙලා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සිංහලෙන්, ඔබේ භාෂාවෙන් සිහිකරන්න. උන්වහන්සේට අරහං කියන්නේ මොකද? සම්මා සම්බුද්ධ කියන්නෙ මොකද? විජ්ජා චරණ සම්පන්න කියන්නෙ මොකක්ද? සුගත ගුණය මොකක්ද? ලෝකවිදූ, අනුත්තර පුරිසදම්ම සාරථී, බුද්ධ, භගවා කියන මේ බුදු ගුණ සිහි කරලා ඔබේ සිතේ ප‍්‍රසන්න පැහැදීමක් ඇතිකරගන්න.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහිකරද්දී, සිහිකරද්දී බොර වෙච්ච වතුරක් තැන්පත් වෙනවා වගේ ඔබේ සිත තැන්පත් වෙනවා. සැනසීමට ලක් වෙනවා. සතුටක් ඇතිවෙනවා. මෙන්න මේක ඔබට ආනාපානසති භාවනාව දියුණු කිරීමට ලොකු රුකුලක් වෙනවා. මේ නිසා ඔබ මොකද කරන්නේ. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. දැන් ඔච්චරයි ඔබට මේ ආනාපානසති භාවනාවේ ආරම්භයේම කරන්න තියෙන්නේ.
මේක අමාරු එකක් නෙවෙයි. දැන් බලන්න කොච්චර සරල ප‍්‍රවේශයක්ද තියෙන්නෙ කියල. හැබැයි මේකෙදි ඔබ සිහියෙන් හුස්ම ගන්න සිහියෙන් හුස්ම හෙලන්න පටන් ගත්තට පස්සේ ඔබට තේරෙන්න ගනීවි මේ සිහිය සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ පවත්වපු සිහිය කොච්චර හිතුවක්කාර එකක්ද කියල. ඔබට ම අවබෝධ වෙන්න පටන් ගනීවි ඔබට ඕන හැටියට පවත්වන්න බැරි බව.
සාමාන්‍ය සිතේ ස්වභාවය….
ඔබට තේරේවි ඔබ හුස්ම ගැන සිහිය පිහිටුවන්න යනවිට ඔබේ සිත එක එක තැන්වල දුවනවා. එක එක අරමුණුවල දුවනවා. එක එක කල්පනාවල දුවනවා. අතීතයට දුවනවා. අනාගතය මවනවා. බාහිර ශබ්දවලට යනවා. එතකොට ඔබට තේරේවි මෙවැනි ආකාරයේ සිතකින් යුතු සිහියක් ද මං පැවැත්තුවේ කියල. ඔබට ඔබේ සිහිය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.
ඊට පස්සේ ඔබට මොකක්ද කරන්නේ තියෙන්නේ? ඔබ වීරිය ඇතිකරගන්නට ඕනෙ. සිත විසිරෙන කොට නැවතත් ආනාපානසතියේ සිහිය පිහිටුවා ගන්න. මේකෙදි ඔබ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනෙ, බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක් තියෙනවා. සතිපට්ඨානය දියුණු කිරීමේදී ඇලීම් ගැටීම් දෙක ඉස්සෙල්ලම ඔබ අත්හරින්න ඕනෙ.
ඇලීම් ගැටීම් දුරලමින්….
ඇලෙන අරමුණු හිතට එනවිට ඒක ගන්න එපා. ගැටෙන අරමුණු හිතට එනවිටත් ඒක ගන්නත් එපා. ඇලීම් ගැටීම් දෙක ඔබ බැහැර කරන්න ඕනෙ. ඔබ දියුණු කරගන්නා කුසලතා තුනක් ඔබ තුළ ඇතිකර ගන්න ඕනෙ. ඒ තමයි, (ආතාපි) ඔබේ මානසිකව ගොඩනැගිච්ච දුර්වලතා බැහැර කරන්න පුළුවන් හැකියාව දියුණු කරන්න ඕනෙ. (සම්පජාන) ඔබ සිහිනුවණින් හසුරුවන්න ඕනෙ. (සතිමා) හොඳ කල්පනාවෙන් අවධානයෙන් සිටින්ට ඕනෙ.
එතකොට සතිපට්ඨානය දියුණු කරගන්න තියෙන්නේ මෙන්න මේ කරුණු තුන පදනම් කරගෙන. ඒ තමයි ආතාපි, සම්පජානෝ, සතිමා කෙලෙස් තවන වීර්යෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, සිහි ඇතිව.
සිහියේ වටිනාකම….
අන්න එතකොට දැන් ඔබ ආවාට ගියාට ආනාපානසතිය කරන කෙනෙක් නෙවෙයි. දැන් ඔබ අවබෝධයෙන් යුක්තව ආනාපානසතිය කරන කෙනෙක්. ඔබ දන්නවා හිත යම් යම් කරුණුවලට ඒ වෙලාවේ ඇලිල තියෙනවා නම් කාම අරමුණුවල හිත දුවනවා නම්, ඒ වෙලාවේ ඔබට ආනාපානසතිය කරන්න බැහැ. ඒ වගේම යම්කිසි ගැටීමක් ඇතිවෙලා තියෙනවා නම් ඒ වෙලාවෙදිත් ඔබට ආනාපානසතිය කරන්න බෑ..
එහෙනම් ඔබ මේ දෙකෙන් බැහැර වෙච්ච වෙලාව තමයි සිත සංසිඳවන්න පුළුවන් වෙලාව. අන්න ඒ වෙලාව තමයි අර නිශ්ශබ්ද පරිසරයක් තුළින් ඔබ හදාගන්නේ. ඊට පස්සේ ඔබට පුළුවනි සිහියෙන් හුස්ම ගන්න. සිහියෙන් හුස්ම හෙලන්න. මේක තමයි ආනාපානසති භාවනාවේ තියෙන පළවෙනි අභ්‍යාසය. දැන් ඔබට මේක හොඳට පුරුදු කරන්න පුළුවන්.
මීළඟට ආනාපානසති භාවනාවම තවත් දියුණු කරන්න පුළුවන් ආකාරය අපි විස්තර කරල දෙනවා. දැන් ඔබට තියෙන්නේ සිහියෙන් හුස්ම ගැනීම, සිහියෙන් හුස්ම හෙළීම දියුණු කරන්නයි. හැබැයි ඔබට වුවමනයි හිත විසිරෙන්නෙ නැතිව පවත්වා ගන්න.
මතක තියාගන්න ඒකට වීරිය, නුවණ සිහිය වුවමනයි. මේ වීරියත්, නුවණත්, සිහියත් පාවිච්චි කරල දැන් ඔබ කරන්න ඕනෙ මොකක්ද? සිහියෙන් හුස්ම ගන්න එක. සිහියෙන් හුස්ම හෙලන එක. හැබැයි මේකට ඔබ පොඞ්ඩක්වත් මානසිකව දුක්වෙන්නෙ නැති, පසුබහින්නෙ නැති, පසුතැවෙන්නෙ නැති පරිසරයක් හදාගන්න ඕනෙ. හිතින් දුක් විඳින්න නම් එපා. ඔබ එසේ කරන විට සිත එකඟ වෙන්නෙ නෑ කියල තැවෙන්න එපා. ඔබ කළ යුත්තේ සිහිය පිහිටුවාගෙන හුස්ම ගැන ඒ කියන්නේ ආනාපානසතිය ගැන, ඒ කියන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස ගැන සිහිය පිහිටුවීමයි. එතකොට ඔබට මේ ආශ්වාස ප‍්‍රශ්වාස වල සිහිය පිහිටුවාගෙන ඔබේ සිත දියුණු කරගෙන උදාර මනුස්ස ජීවිතයක් ලබාගන්නට පුළුවන් වෙනවා.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth

සිතට සුව දෙන භාවනා - 04

සතර බ්‍රහ්ම විහරණ අතර සතර වන භාවනාව වන උපේක්ෂා භාවනාව වඩනා ආකාරය මෙම සිතට සුව දෙන භාවනා වැඩසටහනින් ඔබට ඉගෙන ගත හැකි ය..


ශ්‍රද්ධා රූපවාහිනිය peo tv නාලිකා අංක 99 ඔස්සේ ද TNL රූපවාහිනිය ඔස්සේ ද නැරඹිය හැකි ය.

ශ්‍රද්ධා ධර්මදානය උදෙසා ඔබටත් බැතිබර දායකත්වය දැක්විය හැකි ය.

Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Rupavahiniya"
Account No: 016 2 100 00 910

© ShraddhaTV
+94 112 574 471 / 112 54 84 00
[email protected] / www.shraddha.lk