තාත්තා. එයා මාත් එක්කවත් වැඩිය කතාබහක් නෑ. හරිම නිෂ්ශබ්ද කෙනෙක්. අම්මත් එක්කත් කතා කළේ අවශ්‍යතාවයකට විතරමයි. එයා රස්සාව විදියට කළේ පත්තර වලට ලියන එක. සති අන්තයේ පිටවෙන හැම පත්තරයකටම වගේ එයා ලිපි ලියනවා. හැම සතියෙම එයා ලියන ලිපි තුනක් විතර පත්තර වල පලවෙනවා. හැම සෙනසුරාදාම උදේට එයාට තියෙන පළවෙනි රාජකාරිය හන්දියේ පත්තර කඩේට ගිහිල්ලා පත්තර ටික අරගෙන එන එක.
තාත්තා පත්තර වලට ලියන එක ගැන නම් අම්මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. අම්මා හැම සති අන්තෙකම පත්තර වලට වියදම් කරන ගාන ගැන තාත්තා එක්ක වාදෙකට පැටලෙනවා. දෙන්නාගේ කතාබහ ඉවර වෙන්නේ තාත්තා ලියන කාමරේට ගිහිල්ලා දොර වහගත්තට පස්සේ. අම්මත් ඊට පස්සේ කතාවක් නැතිව ගෙදර වැඩ ටික ඉවර කරලා ටීවී එක දාගන්නවා. ටීවී එක දාගත්තට පස්සේ අම්මාට හැමදේම අමතකයි.
අපි තුන්දෙනාත් එක්ක තවත් කෙනෙක් අපේ ගෙදර හිටියා. ඒ මගේ ආත්තම්මා. තාත්තාගේ අම්මා. ආත්තම්මත් එක්ක තමයි මගේ ජීවිතේ වැඩි කාලයක්ම ගෙවුණේ. ආත්තම්මා තමයි මගේ අම්මත් තාත්තත්. එයාටත් මගෙන් තොර ලෝකයක් තිබුණේ නෑ. පොඩි කාලේ ඉදලම මම ස්කෝලේ එක්ක ගියේ ආත්තම්මා. ඉස්කෝලෙන් ගෙදර එක්ක යන්න ආවෙත් ආත්තම්මා.
කාලය ගෙවුණා. මාත් ටිකෙන් ටික ලොකු වුණා. ආත්තම්මත් වයසට ගියා. ලොකු පන්ති වලට යද්දීත් ආත්තම්මා මාව ඉස්කෝලෙට එක්ක ආවා. එතකොට නම් මට එයාත් එක්ක ඉස්කෝලේ එන්න වෙන එක ගැන නම් කැමැත්තක් තිබුණේ නෑ. යාළුවොත් මට විහිළු කරන්න ගත්තා. දවසක් මම ආත්තම්මට මේ ගැන කිවුවා. එත් එයා "අනේ පුතේ..." කිවුවා විතරයි. එයාටත් තේරෙන්න ඇති එයා එන එක මට කරදරයක් කියලා. එයා ආයෙත් මාව ස්කෝලේ එක්ක යන්නවත් ස්කෝලෙන් එක්කගෙන එන්නවත් ආවේ නෑ.
ඒත් මට ගෙදර හිටපු සමීපම කෙනා තමයි ආත්තම්මා. මම හැම දෙයක්ම කළේ ආත්තම්මා එක්ක. මම විභාගේ පාස් වෙලා කියලා ගෙදර ඇවිත් මුලින්ම කිවුවෙත් ආත්තම්මාට. එදා තරම් එයා සතුටෙන් හිටපු දවසක් මම මීට කලින් දැකලා නෑ. පහුවදා පෝය දවසක්. එදාත් පුරුදු විදියටම ආත්තම්මා සිල් ගන්න ගිහින් තිබුණා. නිවාඩු දවසක් නිසා මම ටිකක් දවල් වෙනකම් නිදා ගත්තා. වෙනදා ආත්තම්මා සිල් ගන්න යනවා නම් මාව නැඟිට්ටවලා මට කියලා යන්නේ. ඒත් අද එයා මට එහෙම කියලා ගියේ නෑ. මාත් දවල් වෙලා නැගිටලා ආත්තම්මා හෙව්වා. ඒත් එයා කොතනකවත් හිටියේ නෑ.
අම්මයි තාත්තයි කලබලෙන් එහාට මෙහාට යනවා මම දැක්කා. ටික වෙලාවකින් තාත්තා දුවගෙන ගිහින් කාර් එකට නැග්ගා. අම්මාත් තාත්තා පස්සෙන් ගිහින් කාර් එකට නගින ගමන්ම මට කතා කළා...
"චූටි ගෙදරට වෙලා ඉන්න... මම ඩෙනිස් අංකල්ටයි ආන්ටිටයි ඉක්මනට එන්න කියන්නම්..."
එහෙම කියලා ඒ දෙන්නා බොහොම කලබලයෙන් ගියා. මම මොනවත් හිතා ගන්න බැරිව එතැනම තිබුණු පුටුවේ වාඩි වුණා. මට ඒ වෙලේ ආත්තම්මා මතක් වුණා. ආත්තම්මා පන්සල් ගියේ නැත්නම් මට දැන් තේ එකක් හදලා ගෙනත් දීලා. මම ටික වෙලාවක් එහෙමම පුටුවේ වාඩි වෙලා හිටියා.
ඩෙනිස් අංකලුයි, ආන්ටියි ටික වෙලාවකින් ගෙදර පැත්තට දුවගෙන ආවා. ආන්ටි දුවගෙනම ආවේ මගේ ළඟටමයි. මොකද වෙලා තියෙන්නේ කියලා මට හිතාගන්න බැරුවයි හිටියේ. ආන්ටි මගේ ළඟට ඇවිල්ලා මගේ අත්දෙකෙන්ම අල්ල ගත්තා. අංකල් ළඟ තිබූණු පුටුවක වාඩි වුණා. ආන්ටි ලොකු හුස්මක් පිට කරලා මාව ළඟ තිබුණු පුටුවෙන් වාඩි කළා.
"චූටි කලබල වෙන්න එපා... ආත්තම්මා පන්සලේදී වැටිලා... හොස්පිට්ල් අරගෙන ගිහින්... අම්මලා ගියේ ආත්තම්මා බලන්න..."
ආන්ටි මට එහෙම කිවුවා. මම ඉඳගෙන හිටපු පුටුවෙන් ඉබේම නැඟිට්ටා.
"අනේ මගේ ආත්තම්මාට මොකද වෙලා තියෙන්නේ?" මම අඬ අඬා ආන්ටිගෙන් ඇහුවා.
"චූටි කලබල නොවී ඉන්නකෝ... ආත්තම්මා හොස්පිට්ල් ගෙනිච්චා... එයාට පොඩ්ඩක් අමාරුයි..."
"ආත්තම්මේ..."
මට එච්චරයි කියවුණේ. ඇස් නිලංකාර වෙලා යනවා මට දැනුනා. මම ආයෙත් ඇස් අරිනකොට හිටියේ මගේ ඇදේ. ආන්ටි මගේ ඇදේ කොනකින් වාඩි වෙලා හිටියා. අංකල් බයවෙලා වගේ මගේ දිහා බලන් හිටියා.
***************************
අත්තම්මා ගෙදර නැතිව දවස් ගානක් ගෙවිලා ගියා. දවස් කීපයකට පස්සේ ආත්තම්මා ආයෙත් ගෙදර ආවා. ඒත් වෙනදා වගේ නෙවෙයි. එයා ආවේ රෝද පුටුවකින්. ඩෙනිස් අංකල්ගේ වෑන් එකෙන්ම තාත්තා ගිහින් ආත්තම්මා ගෙදර එක්කගෙන ආවා. එදත් ආත්තම්මා සතුටින් හිටියේ. මාත් ගොඩාක් සතුටු වුණා ආත්තම්මා ආපහු ගෙදර ආව එකට. "අපි දෙන්නට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා." මම ආත්තම්මාට කිවුවා. ආත්තම්මා වෙනදා වගේම හිනාවෙලා මගේ මූණ අතගෑවා.
කාලය ගෙවිලා ගියා. මම කැම්පස් එකට සිලෙක්ට් වුණා. ඒක නිසා මම නුවර ඉදලා කොළඹ ආවා. මට ආත්තම්මව ඊට පස්සේ හම්බවුනේ නිවාඩුවකට විතරයි. මම නිවාඩුවට ආවම ආත්තම්මා ගොඩාක් සතුටු වුණා. එයා හැමදාම බලාගෙන හිටියේ මම නිවාඩුවකට ගෙදර එනකම්. නිවාඩු ඉවරවෙලා ආයෙත් මම යනවා කිවුවාම එයා තනිවම කාමරේට වෙලා ඇඬුවා මට නොපෙනෙන්න. එත් එයා මම කැම්පස් එකේ ඉගෙන ගන්නවාට ගොඩාක් සතුටෙන් හිටියේ.
කාලයක් යනකොට මට තේරුණා ආත්තම්මා සතුටෙන් ඉන්නේ මම ගෙදර ඉන්න වෙලාවට විතරයි කියලා. අම්මා ආත්තම්මා ගැන එච්චර සැලකිල්ලක් දැක්වූවේ නැහැ. එයා අත්තම්මා ගෙදර ඉන්නවාට කැමැත්තක් නෑ වගේ එයාගේ හැසිරීමෙන් මට තේරුණා. තාත්තාත් අම්මාට මොනවාත් කිවුවේ නෑ. ගෙදර වැඩට හිටපු කෙනා තමයි ආත්තම්මාගේ හැම වැඩක්ම කළේ. ඒත් එයාත් ඒවා කළේ නොකර බැරි නිසයි කියලා මට පහුවෙනකොට තේරුණා.
මම ආයෙත් කැම්පස් එකට යන්න සූදානම් වුණා. ආත්තම්මා රෝද පුටුවත් තල්ලු කරගෙන මගේ ළඟට ආවා.
"චූටි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." ආත්තම්මා මගේ දිහා බලාගෙන කිවුවා. මම ආත්තම්මා කියන්න හදන්නේ මොකක්ද කියලා බලාගෙන හිටියා.
"මම නංගිලාගේ ගෙදර යනවා චූටි..." ආත්තම්මා මගේ දිහා නොබලාම කිවුවා. මම පුදුමෙන් වගේ ආත්තම්මා දිහා බලාගෙන හිටියා. මම දන්න කාලෙක ඉදන් ආත්තම්මා එයාගේ නංගී එක්ක සම්බන්ධයක් තිබුණේ නෑ. අම්මයි තාත්තයිත් පොඩි අත්තම්මලාගේ ගෙදර යන්නේ නෑ. අඩු කුලේක කෙනෙක් කසාද බැන්දා කියලා එයා පවුලෙන් ඈත් කරලා තිබ්බේ. ඒත් ඇයි මේ එකපාරටම ආත්තම්මා එහේ යන්න හදන්නේ? මට ඒක ප්‍රශ්නයක් වුනත් මම ආත්තම්මාගෙන් ඒක අහන්න ගියේ නෑ.
මම කැම්පස් එකට ගියා. ආත්තම්මා නංගිගේ ගෙදර ගියා කියලා තාත්තා සතියකට විතර පස්සේ කෝල් කරපු වෙලේ කිවුවා. කාලය ගෙවිලා ගියා. නිවාඩු දෙක තුනකට මම ගෙදර ගියත් ආත්තම්මා ආපහු ඇවිල්ලා තිබුණේ නෑ. ආත්තම්මා ගෙදර නැති නිසා නිවාඩුවට මට ගෙදර එන්න එච්චර කැමැත්තක් තිබුනෙත් නැහැ. අම්මත් තාත්තාත් එයාලගේ ලෝක වල තනි වෙලා ඉන්න හින්දා එයාලා මම ගෙදර ආවාට වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ගෙදර වැඩට හිටිය නන්දනී විතරයි මට කතාකරන්නවත් හිටියේ.
***************************
සුරේන් මට හම්බවුනේ කැම්පස් එකේදී. සුරේන් දකුණේ කෙනෙක්. එයා බොහොම තැන්පත් කෙනෙක්. සුරේන් හම්බවුනාට පස්සේ මට ආත්තම්මා ළඟ නැති අඩුපාඩුව එච්චර දැනුනේ නෑ. සුරේන්ට මම ආත්තම්මා ගැන හැමදේම කියලා තියෙනවා. සුරේනුත් ආත්තම්මා හම්බවෙන්න හරි ආසාවෙන් ඉන්නවා. එයා ඒ බව මට කීපවතාවක්ම කියලා තියෙනවා. සුරේන්ගේ ගෙදර අයත් අපේ සම්බන්දේ ගැන දන්නවා. ඒත් අපේ ගෙදරින් නම් සුරේන්ට කැමැත්තක් නෑ. අම්මා නම් කතාකරන හැමවෙලේම කියන්නේ අපේ සම්බන්දේ නවත්වලා දාන්න කියලා. එයාලා නුවර දන්න කියන පවුලක කෙනෙක් එක්ක මාව කසාද බන්දන්න ගොඩාක් උත්සාහ ගන්නවා. ඒත් පුංචි කාලේ ඉදලා මම මට ඕන කරන දේවල් කරන කෙනෙක් මිස එයාලට ඕන විදියට මාව නටවන්න බෑ කියලත් එයාලා දන්නවා.
ආත්තම්මා ගෙදරින් ගිහින් අවුරුදු දෙකකුත් වුණා. මේ අවුරුදු දෙකට මම ආත්තම්මාව දැක්කේ තාම එක පාරයි. ඒකත් ලොකු බාප්පාගේ පුතාගේ වෙඩින් එකේදී. එදා නම් ආත්තම්මා මගේ ළඟින් හෙලවුනේවත් නෑ. මාත් ආත්තම්මා ළඟට වෙලා හිටියා. ආත්තම්මා එයාගේ නංගී ගැන මොනවත් කිව්වේ නෑ. ඒත් එහේ සතුටන් ඉන්නවා කියලා විතරක් කිවුවා. මමත් ඉතින් වැඩි විස්තරයක් අහන්න ගියේ නෑ. සුරේන් ගැන මම ආත්තම්මාට කිවුවා. එයා බොහොම ආසාවෙන් එදා සුරේන් ගැන කියද්දී අහගෙන හිටියා. වෙඩින් එක ඉවරවෙලා එයා ආපහු නංගිගේ ගෙදර ගියා. පහුවෙනිදා මම ගෙදර ඉදලා කැම්පස් එකට ආවා.
***************************
සුරේන් මම කැම්පස් එකට එන්නත් කලින් ඇව්ල්ලා මම එනතුරු රොබෝසියා ගස් පේලිය යට තියෙන පඩියේ වාඩි වෙලා හිටියා. එයා බොහොම සතුටින් එදා හිටියේ. අපි දෙන්නා එතනම වාඩි වෙලා ගොඩාක් වෙලා කතා කර කර හිටියා. සුරේන්ගේ තාත්තා නැතිවෙලා ලබන සතියට අවුරුදු තුනක් වෙනවා. එයාලා මේපාර දානේ පන්සලට විතරක් නෙවෙයි එයාලගේ ගෙවල් ළඟ තියෙන වැඩිහිටි නිවාසෙටත් දෙනවා. එයා මටත් ඒකට යමු කියලා කිවුවා. පොඩි ආත්තම්මලයි ගෙදර තියෙන්නෙත් සුරේන්ලගේ ගෙවල් පැත්තේ නිසා මට ආත්තම්මාවත් බලන්න යන්න පුළුවන් නිසා මම සුරේන්ලගේ ගෙදර යන්න ගොඩාක් කැමැත්තෙන් හිටියේ.
දානේ දවසට කලින් අපි සුරේන්ලගේ ගෙදර ගියා. සුරේන් ගෙදර හැමෝටම මාව හදුන්වලා දුන්නා. සුරේන්ගේ අම්මයි, නංගියි මාව ආදරෙන් පිළිගත්තා. එදා හවස අපි සුරේන්ලගේ ගෙදර ළඟ තියෙන වැඩිහිටි නිවාසෙට ගියා. ඊළඟ දවසේ පන්සලටයි, වැඩිහිටි නිවාසෙටයි දානේ ගෙනියන්න තියෙන නිසා ඒක කොහොම කරන්නේ කියලා බලන්න සුරේන්ගේ අම්මා මට භාරදුන්නා. ඒ නිසා අපි දෙන්නා හවස ගිහිල්ලා වැඩිහිටි නිවාසේ පාලකවරිය හම්බවුනා. වැඩිහිටි නිවාසේ ඉන්න අම්මලා තාත්තලා අපි යන වෙලාවේ පන්සිල් ගන්නවා. අපි දෙන්නා එයාලගේ පිටිපස්සට වෙලා බලාගෙන හිටියා.
එතන රෝද පුටුවක හිටපු ආත්තම්මා දිහා මම බලාගෙන හිටියා. එයා මට පිටුපාලා හිටපු නිසා මට මූණ පෙනුනේ නෑ. මට ආත්තම්මාව මතක් වුණා. ආත්තම්මා එක්ක ඉස්කෝලේ ගියපු විදිය මට මතක් වුණා. වැඩිහිටි නිවාසේ පාලකවරිය අපේ ළඟට ඇවිත් ටික වෙලාවක් කට්ටිය පන්සිල් ගන්නවා බලාගෙන ඉදලා අපිව කාර්යාලයට එක්කගෙන ගියා. පාලකවරියත් එක්ක දානේ ගැන හැමදෙයක්ම කතා කරලා ඉවර වෙලා සුරේනුයි මායි ගෙදර යන්න කියලා කාර්යාලයෙන් එළියට බැස්සා. මට ආයෙත් අම්මලා තාත්තලා පන්සිල් ගන්න දිහා ඉබේම බැලුණා. හැමෝම අතරින් මට එක මූණක් පැහැදිලිව පෙනුනා. මම ඒ පැත්තට දුවගෙන ගියා. සුරේනුත් මගේ පස්සෙන් දුවගෙන ආවා.
"ආත්තම්මේ..." කියලා මම හයියෙන් කෑගැහුවා. හැමෝම වගේ මගේ දිහා පුදුමෙන් වගේ බැලුවා. ආත්තම්මත් මගේ දිහා බැලුවා. ආත්තම්මා මාව බදාගෙන කොච්චර වෙලා හිටියාද කියලා මම දන්නේ නෑ. එදා අපි දෙන්නාම හොදටම ඇඬුවා. ඒ සතුටටද දුකටද මම දන්නේ නෑ...
***************************
ටික කාලෙකට පස්සේ මම සුරේන්ව බැන්දා. අම්මයි තාත්තයි අපේ වෙඩින් එකට ආවේ නෑ. හැබැයි මට පුංචි කාලේ ඉදලා අම්මයි තාත්තයි වගේ හිටපු ආත්තම්මා අපේ වෙඩින් එකට ආවා. හැමදේම හොදින් ඉවර වුණා. ආත්තම්මා ආයෙත් ගෙදර ආවා. ඒත් එයාගේ පුතාගේ ගෙදරට නෙවෙයි... මගේ ගෙදරට....
[උපුටාගැනීමකි] [සියළු හිමිකම් රචකයා සතුය.]
Facebook Link
