සියළු සංස්කාරයන්ගේ නිවී යෑම , සංසිඳී යෑම නිවනයි.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සියළු සංස්කාරයන්ගේ නිවී යෑම , සංසිඳී යෑම නිවනයි. සාමාන්‍ය ව්‍යවහාරයෙන් නිවන් දැකීම ලෙස මිනිසුන් හිතන්නේ නැවත නොඉපදෙන ලෙසම භව ගමන නිමා කරමින්ම නිවී යෑමයි. එය පරිනිර්වාණයයි. එනම් බුදු රජාණන් වහන්සේ නමක්, පසේ බුදු රජාණන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් නැවත නූපදින ලෙසම නිවී යාමයි. නමුත් නිවන් දැකීම හෝ නිවන් අවබෝධය යනු සංස්කාරයන්ගේ නිවී යෑම අත්දැකීමයි.

    සෝවාන් පුද්ගලයාත් නිවන අත්දකී. සකදාගාමි කෙනාත් නිවන අත්දකී. අනාගාමී කෙනාත් නිවන අත්දකී. නමුත් ඒ අත්දකින නිවනේ හෙවත් ඵල සිත්හි වෙනස්කම් තිබේ. වෙනස්කම් යනු නිවීමේ වෙනස්කම් නොව, අවබෝධයේ, සුඛයේ ආදියේ වෙනස්කම්ය. එය උදාහරණයකින් දක්වතොත්, අඳුරේ ඇති දෙයක් කණාමැදිරි එළියකින් දැකීමත්, පහන් ආලෝකයෙන් දැකීමත්, සඳ එළියෙන් දැකීමත් එකිනෙකට වෙනස් වන්නාක් මෙනි. ඒ සෑම අවස්ථාවකදීම දකින්නේ එකම වස්තුව නමුත් දකින පෙනෙන ප්‍රමාණය වෙනස් වේ. සෝවාන් කෙනාගේ අවබෝධයට වඩා සකදාගාමි කෙනාගේ අවබෝධය, සමාධිය, ප්‍රඥාව ආදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩී ඇති ප්‍රමාණය වැඩිය. එහෙයින් ඔහු අත්දකිනා නිවනේ ස්වභාවය ඒ ආකාරයෙන්ම උසස් වේ. නමුත් සියළු දෙනාම නිවන යනු මෙයයි ලෙස විග්‍රහ කරන නිවී යාම අත්දකිති.

    ගිනි ගොඩක් ඇවිලෙමින් තිබේ. එය වතුර දැමූ විට නිවී යාමක් දක්නට හැක. කැළතෙමින් පැවති ජලයක් නිශ්චල වී යාම නිවී යාමකි. අපගේ සිතද මෙලෙසින්ම නිරන්තර ඇවිළෙමින්, සෙලවෙමින් පවතී. නාම ධර්මයන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම නිරන්තර ක්‍රියාවලියකි. ඒ සංස්කාරයන්ගේ නිරෝධය , සිතේ නිවී යාමයි. නිවනයි.

    අපේ සිතට සෑම විටම නොයෙක් ආකාර සිතිවිලි ගලයි. ඒ ඔස්සේ වේදනාවන්, සංඥාවන් ඇතිවෙයි. අප බොහෝ විට සිතන්නේ කාර්ය බහුල වෙලාවක සිත වේගවත් බවත්, හුදෙකලාව සන්සුන්ව සිටින විට සිත නිවී ඇති බවත්ය. නමුත් එය නිවී යාමක් නොවේ. මඳක් සංසුන් වීමක් පමණි. ඔබ කිසිම වැඩක් නොකර, හුදෙකලාවේ කුටියක නිස්කලංකව සිටින විට සිත නිවී තිබෙනවා නොවේ. සිතට සිතිවිලි ඇතිවෙයි. ඔබට තරහ, දුක, ඊර්ෂ්‍යාව ආදී කෙලෙස් අවමව පවතිනවා විය හැක. නමුත් සිතිවිලි ගැලීමක් පවතී. එය නිවීමක් නොවේ.

    සිත නිවීමකට පත්වෙනවා යනු ඒ සිතිවිලි ගැලීමත් ඇතුළුව වේදනා, සංඥා, ආදී අනෙක් නාම ධර්මයන්ගේ නිවී යාමද ( නිරෝධය ) අත්දැකීමයි. එවිට සිත මුළුමනින්ම සියළු අරමුණු වලින් අතහැරීමකට පත්ව නිවී පවතී. නින්ද යෑමක් නොවේ. සවිඥාණික බව පවතින නමුත් කිසිම සිතිවිල්ලක්, වේදනාවක්, සංඥාවක්, කයේ දැනීමක් නොදැනෙන, විඥාණයේ නිවී යාමද අත්දැකීමකි.
    ඒවැනි නිවීමක් අත්දැකිය හැක්කේ මාර්ගඵල ලබන අවස්ථාවකදීය. නමුත් ඕනෑම අවස්ථාවක ඒ නිවන් සුවය අත්දකින්නට හැක.

    බොහෝ දෙනෙක් නිවන් දකින්නට කැමැත්තෙන් පසුවන නමුත් ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය නොදනී. බොහෝ සේ කුසල් කොට, මරණයෙන් පසු දිව්‍ය ලෝකයක ඉපිද එහි සිට නිවන් දකිනවා යැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබා ගනී. තවත් අය මේ බුද්ධ ශාසනයේ නොව , මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකිමියි සිතා සිටියි. ඒවා ප්‍රඥා සම්ප්‍රයුක්ත සිතිවිලි නොවේ. එසේ අප බලාපොරොත්තු වන ආකාරයට දේවල් සිදු වීම ඉතා දුලබය. මොහොතකට කලින් කරන්නට යැයි සිතා සිටි දෙය පවා නොකරන්නට තරම් සිත වෙනස් වේ. ඒ සඳහා බාධක යෙදේ . මේ ජීවිතයේම අප බලාපොරොත්තුව සිටි, සැලසුම් කරගෙන සිටි දේවල් එලෙසින්ම ඉටු නොවන කල්හි තවත් භවයකදි අප මේ දැන් සිතන දේවල් එසේම සිදුවේ යැයි සිතන්නේ කෙසේද.. ඒ සඳහා වරෙන්තුවක් ලබා ගන්නේ කාගෙන්ද..! නියත විවරණ ගත් බෝසතාණන් වහන්සේ පවා මිථ්‍යා දෘෂ්ටික වී ඉපිද තිබේ. එසේ වූ කල්හි අපගේ අනාගතය ගැන අපට ස්ථිරවම මේවා මෙසේ වේ යැයි සැලසුම් ගැසිය නොහැක.

    ඔබට උදාහරණයක් දක්වමි. ඔබ මෙහා ඉවුරේ ගොඩබිමක සිටී. මැදින් මහා ගංගාවකි. එහා ඉවුරට ඔබ යා යුතුය. ඔබ සිටිනා ගොඩබිම මහා වේගයෙන් විනාශ වී යන බව පෙනේ නම්, ආරක්ෂිත එහා ඉවුරට යාමට ඔබ ඉක්මන් විය යුතුය. ලැබෙන පළමු අවස්ථාවේදීම එන පළවෙනි නෞකාවට ඔබ ගොඩවිය යුතුය. ඊළඟ නැව එන තෙක් ඔබ සිටියහොත් ඒ නැව එන්නට පෙර ඔබ මරණයට පත්විය හැක. අපගේ සසර ගමනේ මේ හමුවූ බුද්ධ ශාසනයත් ඔබ එතෙර කරවන නෞකාවයි. හැකි ඉක්මනින් එයට ගොඩ විය යුතුය. බොහෝ කාලයක් කුසගින්නේ පිපාසයේ සිටි අයෙක් සිතේ හැටියට කෑ හැකි තරුපහේ හෝටලයකට ගෙනත් දැම්මාක් මෙනි මේ අනවරථ සංසාරයේ අපට ලැබුණු මිනිසත් බව. මේ බුද්ධ ශාසනය තුළ ඔබට සිතේ සැටියට කුසල් කරගැනීමට කුසල් නිධි බැලූ බැලූ අතය. සංඝ රත්නය,මඟඵල ලාභීන්, ධ්‍යාන ලාභීන්, ධාතුන් වහන්සේලා ආදී කුසල් නිධි දසතින් විද්‍යාමාන වේ. හම්බුණ වෙලාවේ කුසල් කරගන්නට ඔබ දක්ෂ විය යුතුය. නමුත් ධර්මය සාක්ෂාත් කරගෙන සසරින් එතෙර වීම ඒ සියල්ලටම වඩා ඉහළින්ම තිබේ. කුසල් කරමින්ම සිටියා කියා නිවන් දැකිය නොහැක. ඒ සඳහා ආර්‍ය අෂ්ඨාංගික මඟ වැඩිය යුතුය. ප්‍රඥාව වැඩිය යුතුය.

    නිවන් දකින්නේ සීලයෙන් නොවේ. සමාධියෙන් නොවේ. නිවන් දකින්නේ ප්‍රඥවෙනි. නමුත් සීලය හා සමාධිය ප්‍රඥාවෙන් අත්දකිනා නිවන දැකීමට අත්‍යවශ්‍යමය. එය හරියට අප විභාගයක් ලියා සමත් වන්නේ අපේ ප්‍රඥාවෙනි. නමුත් ඒ දැනුම කොළයේ ලියන්නට ඔබට පෑනක් අත්‍යවශ්‍යය. අත අත්‍යවශ්‍යයය. අතත් පෑනත් නම් ආධාරක නොමැතිව අපට විභාගය ලියා ජයගත නොහැක.
    සීල , සමාධි, ප්‍රඥා යන මාර්ගය පිළිවෙළින් අප සිත් තුළ වඩවා ගත යුතුය. සීලය වඩා පසුව සමාධිය, ඊට පසුව ප්‍රඥාව ආදී ලෙසින් නොව සියල්ල සමගාමීව වැඩිය යුතුය. නමුත් ප්‍රඥාව අවධිවන්නට සමාධිය නැතුව බැරිය. සමාධිය වැඩෙන්නට සීලය නැතුව බැරිය. සීලය මූලිකම දෙය වන්නේත්, සමාධිය ඊට පසුවත්, ප්‍රඥාව අවසානයටත් ලෙසින් පිළිවෙල වන්නේ එලෙසින්ය.

    නිවන් මාර්ගයේ ආරම්භය ලෙස බොහෝ අය සිතන්නේ පින්කම් කිරීම කියාය. එය වැරදිය. පින්කම් කිරීම සුඛ පටිපදාවට උපකාරී වේ. යහපත් විපාක බොහෝමයක් ලැබේ. නමුත් නිවන් මාර්ගයේ ආරම්භය සීලයයි. පන්සිල් පද පහ රැකීමෙන් ඔබ නිවන් මඟට පිවිසියා වෙයි. කොතෙක් පින්කම් කරද පන්සිල් පදපහ නොරකී නම් හෙතෙම නිවන් මඟට බැස ගත් කෙනෙක් නොවේ. පන්සිල් පද පහ පළුඳු නොවී රැකීම ඉතා අසීරු ලෙස මුලදී දැනෙනු ඇත. ජීවත් වන වටපිටාව, ආශ්‍රය කරන්නන් මත ද එය අසීරු වනු ඇත. නමුත් වීර්යය සතිය මත එය ලෙහෙසියෙන්ම කළ හැක. කැඩෙන සිල් පද නැවත සමාදන් වී රැකිය යුතුය.
    භාවනාව කරන්නට සුදුසු කාලය ඔබ සිතටම දැනෙනු ඇත. ඒ සඳහා කැමැත්ත, චිත්තය,වීර්යය, සීලය රැකීමේ දිට්ඨ ධම්ම විපාකයක් ලෙසින්ම ඉදිරිපත් වනු ඇත.
    සමාධියත් අවශ්‍ය තැනට යාම සඳහා ඉණිමඟකි.
    ප්‍රඥාවෙන් දැකිය යුතු දේ දකින්නට නම් සමාධිමත් සිතක් තිබිය යුතු බැවිනි. එය අනිවාර්යය.

    නිවන් දකින්නට නම් ප්‍රත්‍යක්ෂ කොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව දැකිය යුතුය. එනම් අවබෝධ කරගත යුතුය. එය ප්‍රත්‍යක්ෂයෙන් දැකිය යුතුය. මොහොතක් පාසා සංස්කාරයන් අනිත්‍යයට පත්වන බව,ඒවා දුක් බව, අනාත්ම බව සමාධියෙන් දැකිය යුතුය.
    සමාධියෙන් දකින්නේ ඒවා හදවතින්ම අවබෝධ වී තිබුණහොත්ය. සෑම විටම සෑම දෙයක්ම අනිත්‍යයෙන් විපරිණාමයෙන් නිරෝධයට පත්වන බව දැකිය යුතුය. අවබෝධ කරගත යුතුය.
    සිත අත්‍යන්ත වශයෙන්ම පාරිශුද්ධ අවස්ථාවක නිවන් අවබොධ වනු ඇත. එසේ නම් ඔබට තරහ යන විට, රාගය එන විට, ඊර්ෂ්‍යාව එන විට...., මෙනෙහි කරන්න.. මේ සෑම මොහොතකම නිවන මගෙන් දුරස් වන බව. නිවන තුළ රාගය නැත. ද්වේෂය නැත. ඊර්ෂ්‍යාව නැත. දුක නැත. මැනීම් නැත.

    එසේ නම්, ඒ තැනට යන්නට නම්... අප විසින් සිත පුරුදු කළ යුත්තේ කෙසේද යන්න ඔබටම අවබෝධ වනු ඇත.
    කෙලෙස් ජය ගැනීම සුවදායකය.. ඒ වීර්යය සුවයකි.
    ඔබට අහිමි වන්නේ දුක පමණි..
    මමත්වය තුළ කැටිව ඇති, පොදි බැඳී ඇති දුක්ඛස්කන්ධය බිම තබමින්, සසරින් එතෙර වන්නට නිවන් සුව සොයා යන්නට මේ දහම් පඬුරත් උපකාරයක්ම වේවා...!!!