සීවලී මහරහතන් වහන්සේගේ සිතුවම නිවසට වැඩම

The_Stig

Member
Nov 24, 2014
187
20
0
සීවලී මහරහතන් වහන්සේගේ සිතුවම නිවසට වැඩම

සීවලී මහරහතන් වහන්සේගේ සිතුවම නිවසට වැඩම වූ සාර්ලිස් මාස්ටර්

එංගලන්ත රජ පවුල ලංකාවේ ගෙවල්වලින් පන්නා දැමුවේද ඔහුය

sarlis-master.jpg


මෙයට වසර හැට හැත්තෑවකට පෙර කිසියම් නිවසක වාසය කරන අය බෞද්ධයන් ද යන වග නිවසට ගොඩවැදීමට පෙර දැනගැනීමට ක්‍රමයක් විය. ඒ, නිවසේ ප්‍රධාන දොරටුවට ඉහළින් එල්ලා තිබූ සීවලී මහ රහතන් වහන්සේගේ පිංතූරයකිනි. පද්ධපර්යංකයෙන් වැඩ සිට උකුල මත ඇති පාත්තරයට අත තබාගෙන සිටින සීවලී මහ රහතන් වහන්සේ‍ගේ රාමු කළ චිත්‍රය එකල සෑම බෞද්ධ නිවසකම ආලින්දයේ ප්‍රධාන ස්ථානයක ඉහළින්ම රඳවා තිබීම අනිවාර්ය කටයුත්තක් විය.

එමණක් නොව සූවිසි විවරණය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, යමාමහ පෙළහර, කේශච්ඡේදනය, දේවාරාධනාව, සුජාතා සිටු දියණියගේ කිරිපිඬු දානය වැනි වෛවර්ණ චිත්‍රවලින් එකළ බෞද්ධ නිවෙස් අලංකාර වී තිබුණි.

ධර්මපාලතුමාගේ යෝජනාව

බෞද්ධ බණ පොතින් අසා තිබූ ප්‍රජාපතී ‍ගෝතමිය, යසෝධරා දේවිය, සුජාතා සිටු දියණිය වැනි චරිත බෞද්ධ බැතිමතුන් තමන්ගේ සිතෙහි මවාගත්තේ එම චිත්‍ර තුළිනි.

ඒ සෑම බෞද්ධ චිත්‍රයකම කෙළවරක එම චිත්‍රයෙහි නිර්මාපකයාගේ නම ‘ඇම්.සාර්ලිස්’ යනුවෙන් සටහන්ව තිබුණි. ඇම්.සාර්ලිස් හෙවත් බොහෝ දෙනා දන්නා පරිදි සාර්ලිස් මාස්ටර්, එම චිත්‍රවලින් බෞද්ධ ආගමික හැගීම් ප්‍රබෝධවත් කළා පමණක් නොව සිංහලයාගේ සිංහලකම ද ප්‍රබෝධයට පත්කළේය.

සාර්ලිස් මාස්ටර්ගේ බෞද්ධ චිත්‍ර, සිංහල බෞද්ධ නිවසට පැමිණෙන්නට පෙර එම නිවස් අලංකාර කර තිබුණේ බොහෝවිට එලිසබෙත් මහරැජනගේ චිත්‍රයකිනි. එසේත් නැත්නම් බ්‍රිතාන්‍ය රජ පවුලේ චිත්‍රයන්ය. මීට අමතරව පිටරටවල භූමි දර්ශන, ඇපල් වැනි මුහුණු ඇති සුන්දර යුවතියන්ගේ චිත්‍ර ආදිය ද දැකිය හැකි විය. පිටරටවලින් ගෙනා එම චිත්‍ර ගැලවී සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර බිත්ති මත එල්ලුවේ නිකම්ම නිකං නොවේ. එම චිත්‍ර සමඟ ජාතිකාභිමානය ද සිංහලයන්ගේ සිත් තුළ ලැගුම් ගත්තේය.

එයට පදනම වැටුණේ අනගාරික ධර්මපාලතුමන්ගේ ජාතික පුනර්ජීවන ක්‍රියාකාරිත්වය නිසාය. ඒ වන විට සිංහල නිවෙස්වල විරාජමානව පැවැති බටහිර චිත්‍ර වෙනුවට දේශීය, බෞද්ධාගමික, චිත්‍ර පෙළක් නිර්මාණය කිරීමට අනගාරික ධර්මපාලතුමන්ට අවශ්‍ය විය. එතුමා ‍මේ පිළිබඳව කොළඹ පිටකොටුවේ කයිමන් දොරකඩ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූ විලියම් පේද්‍රිස්ට පැවැසීය. “William Pedris The Paint People” යනුවෙන් හැඳින්වුණ එම ව්‍යාපාරය විහාර චිත්‍ර සඳහා අවශ්‍ය දුම්මල, සායම් ආදී රසායන අලෙවි කළ ස්ථානයක් විය. මුළු ශ්‍රී ලංකාවේ සතරදිග්භාගයේම විහාර සිතුවම් සිදු කෙරෙන විට අවශ්‍ය බඩු භාණ්ඩ ගැනීමට පැමිණියේ විලියම් පේද්‍රිස් සාප්පුවටය. විලියම් පේද්‍රිස් මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ගොස් තමන්ගේ අවශ්‍යතාවය පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහ හිමිපාණන්ට දැනුම් දුන්නේය.

දන් වළඳන භික්ෂූන් වහන්සේ නමක්

මෙම කාලයේ රිචඩ් හෙන්රිකස් නම් යුරෝපීය චිත්‍ර ශිල්පියකු මාලිගාකන්ද පිරිවෙන් විහාරයෙහි සිතුවම් කරමින් සිටියේය. හෙන්රිකස් සමඟ විහාර සිතුවම් සම්බන්ධ වූ ඇම්.සාර්ලිස් නම් ‍ගෝලයෙකු ද සිටියේය.

මුල්ම සීවලී සිතුවම

arts.jpg


අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහ හිමිපාණන් විලියම් පේද්‍රිස් ගේ අවශ්‍යතාවය පැවරුවේ රිචඩ් හෙන්රිකස් ගේ ගෝල ඇම්.සාර්ලිස්ටය. ඇම්. සාර්ලිස්, එනම් මාලිගාවගේ සාර්ලිස් උපන්නේ අම්බලන්ගොඩ ආඳාදොළදීය. ඒ 1880 ජූනි මස 25 වැනි දිනය. මාලිගාවගේ නන්දෝරිස් නම් වූ ඔහුගේ පියා දෛවඥයෙකු විය.

එකල පාසල් අධ්‍යාපනය ලැබීමට කිසියම් මුදලක් ගෙවිය යුතු විය. එතරම් හොඳ ආර්ථික තත්ත්වයක තමන්ගේ පියා නොසිටි නිසා සාර්ලිස් අධ්‍යාපනය ලැබුවේ වැලිතර විජ්ජෝභාෂා පිරිවෙනිනි. එහිදී කුඩා සාර්ලිස්ට ප්‍රථම වරට අත්පොත් තබා අධ්‍යාපනය ලබා දුන්නේ අමරපුර මූලගන්ධි මහානිකායේ ආදි කර්තෘ පාලි චක්‍රවර්තී වැලිතර ඒ.යූ.ඒ.ඥානතිලක මහ හිමිපාණන්ය.

තරුණ සාර්ලිස් මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට එන්නේ එයින් පසුවය. එකල ටවර් රඟහලේ පැවැත්වෙන නාට්‍යවල වේදිකා තිර සහ දැන්වීම් පුවරු නිර්මාණය කළ රිචඩ් හෙන්රිකස් ගේ ඇසුරට වැටෙන්නේ එම අවදියේය.

දින කිහිපයක් ඇතුළත සාර්ලිස් මාස්ටර් විලියම් පේද්‍රිස් අවශ්‍යතාවය සම්පූර්ණ කළේය. ඔහු නිර්මාණය කළ චිත්‍ර‍ෙයහි වූයේ සන්සුන් ඉරියව්වෙන් දන් වළඳන භික්ෂූන් වහන්සේ නමකගේ වර්ණ චිත්‍රයකි. සාර්ලිස් මාස්ටර් එම චිත්‍රය හඳුන්වා තිබුණේ “සීවලී මහ රහතන් වහන්සේ” යනුවෙනි. විලියම් පේද්‍රිස් පමණක් නොව අනගාරික ධර්මපාල තුමන් ද සාර්ලිස් මාස්ටර් නිර්මාණය කළ සීවලී රහතන් වහන්සේගේ චිත්‍රය පිළිබඳව ඉතාමත් ප්‍රසන්න වූහ. විලියම් පේද්‍රිස් එම චිත්‍රය ජර්මනියට යවා එවකට පැවතුණ ඉතාමත් ඉහළම මුද්‍රණ තාක්ෂණයෙන් මුද්‍රණය කරවන ලදි. බෞද්ධ බැතිමතුන් සාර්ලිස් මාස්ටර්ගේ මෙම වෛවර්ණ සීවලී පින්තූරය මිලදී ගත්තේ ඉතාමත් භක්තියෙනි.

ශ්‍රී ලංකාව පුරා සෑම බෞද්ධ නිවසකම වීදුරු යොදවා රාමු කළ සීවලී මහරහතන් වහන්සේගේ චිත්‍රය අනිවාර්යයෙන්ම දක්නට ලැබෙන්නට විය. විලියම් පේද්‍රිස් සමාගම එම චිත්‍රය වරකට මුද්‍රණය කළේ දස දහස් ගණනිනි. ශ්‍රී ලංකාවේ කිසිම චිත්‍රයක් පිටපත් එතරම් විශාල ප්‍රමාණයක් සීවලී පින්තූරය තරම් අලෙවි වී නැතැයි කියනු ලැබේ. එයට පසුව බෞද්ධ සාහිත්‍යයෙහි සහ පන්සිය පනස් ජාතක කථාවෙහි විස්තර වන සිද්ධීන් රාශියක් සාර්ලිස් මාස්ටර් විසින් වෛවර්ණයෙන් නිමවා විලියම් පේද්‍රිස් සමාගමින් මුද්‍රණය කරන ලදී.

භාග්‍ය හා වාසනාව

සීවලී පින්තූරයක් නිවසේ එල්ලීම නිවසට භාග්‍ය වාසනාව කැන්දවන්නේයි එදා බෞද්ධයෝ සිතූහ. සීවලී පින්තූරයෙන් නොනැවතුන ඔවුන්, තවත් බෞද්ධ සිතුවම් තම නිවසේ එල්ලා ගත්තහ. ප්‍රථම වරට බෞද්ධ චිත්‍රයක් බෞද්ධ නිවසක එල්ලීමට බෞද්ධයන් පෙලඹවීමේ ප්‍රමුඛයා සාර්ලිස් මාස්ටර් වශයෙන් හැඳින්වුවහොත් නිවැරැදිය. ජාතක කතා, බණ කතා කියවූ අ‍පේ බෞද්ධ බැතිමතුන්ට එම ආගමික චරිත ප්‍රථම වරට මවා දුන්නේ සාර්ලිස් මාස්ටර්ය. සාර්ලිස් මාස්ටර්ගේ මෙම බෞද්ධ සන්නිවේදන මෙහෙවර අගයා ආචාර්ය ගාමිණී මෙන්ඩිස්, “ඇම්.සාර්ලිස් සහ බෞද්ධ දෘශ්‍ය සන්නිවේදනය” යනුවෙන් පර්යේෂණ ග්‍රන්ථයක් ද ලියා ඇත.

එක්දහස් නවසිය එකොළහේ දී මාලිගාකන්ද විහාරයේ සිතුවම් කටයුතුවලින්, බෞද්ධ සිතුවම් කලාව ආරම්භ කළ සාර්ලිස් මාස්ටර් “ස්වදේශ මිත්‍රයා” පත්‍රයේ ප්‍රධාන චිත්‍රශිල්පියා වශයෙන් ද කටයුතු කළේය. උම්මග්ග ජාතකය වැනි පොත්වල පිටකවරය මෙන්ම එහි ඇතුල් පිටු ද ඔහු චිත්‍රවලින් වර්ණවත් විය. ශ්‍රී ලංකාවේ තිරගත නොවූවත් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපටය වූ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ප්‍රධාන චරිතය රඟපෑ “රාජකීය වික්‍රමය” චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ සාර්ලිස් මාස්ටර්ය.

නූතන විහාර චිත්‍රකර්මයේ ආදිතමයා සාර්ලිස් මාස්ටර්ය. ඔහු මාලිගාකන්ද විහාරයේ චිත්‍රකර්ම කටයුතු කරන විට සෝලියස් මැන්දිස් කැලණි විහාරයේවත් ජෝර්ජ් කීට් ගෝතමී විහාරයේවත් වැඩ ආරම්භ කර තිබුණේ නැත. සාර්ලිස් මාස්ටර් ඉඳුරුවේ, කයිකාවල යාලේගම විහාරය, තිස්සමහාරාම චෛත්‍යරාජයා අබියස විහාර ගෙය, මතුගම පාන්තියේ ශ්‍රී මංගල විහාර‍ය, කිරිබත්ගොඩ ඊරියවැටියේ සුදර්ශනාරාමය, පොතුපිටියේ පූජාරාමය, බෝමිරිය ගනේවත්ත විහාරය, කොළඹ වජිරාරාමය, ජේතවන විහාරය, අශෝකාරාමය, ඉසිපතනාරාමය, වේළුවනාරාමය ආදී විහාර බොහොමයක චිත්‍රකර්ම කටයුතු නිර්මාණය කළේය. එම අවදියේ වෙසක් පො‍සොන් තොරණ බොහොමයක් හැඩ වූයේ ද සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍රවලිනි‍.

මාතර වෙහෙරහේන අසූඅට රියන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය ආරම්භ කළ සාර්ලිස් මාස්ටර් දක්ෂ මූර්ති ශිල්පියකු ද විය. නමුත් ඔහුගේ මරණය නිසා එය සම්පූර්ණ කිරීමට නොහැකි විය. අනගාරික ධර්මපාල, ඩී.එස්.සේනානායක, දොස්තර සී.ඒ.හේවාවිතාරණ වැනි අයගේ පුද්ගල උඩුකය නිර්මාණ ඔහුගේ විශිෂ්ට මූර්ති අතර ප්‍රමුඛස්ථානයේ විය. ඒ සියලුම කලා දක්ෂතාවයන්ට අමතරව සාර්ලිස් මාස්ටර් උපහාස කතා පැවසීමේ දක්ෂයකු ලෙස ද ප්‍රකටය.

වරක් සාර්ලිස් මාස්ටර් හමුවූ භික්ෂූන් වහන්සේ නමක් ඔහුගෙන් මෙසේ ඇසූහ.

“මාස්ටර්ගෙ සීවලී හාමුදුරුවො රෑ දහවල් නැතිව පාත්තරේට අත දාගෙන ඉන්නෙ කෑදරකමටද?”

විහාරවල සැතපෙන පිළිම හදන්නෙ බුදුහාමුදුරුවො කුම්භකරණයෙක් නිසාද?” සාර්ලිස් මාස්ටර් භික්ෂූන් වහන්සේගෙන් ඇසුවේ උපහාස සිනහවක් ද මුවඟ රඳවාගෙනය.

තවත් ව‍ෙරක සාර්ලිස් මාස්ටර් විහාරයක සිතුවම් කටයුතුවල යෙදෙමින් සිටින විටකදී එම විහාරාධිපති හිමියෝ ඔහුගෙන් මෙසේ විමසූහ.

“මාස්ටර් දොරේ අඳින්නෙ මොනවද?”

“දොරේ; අඳින්නෙ කලිසම් හාමුදුරුවනේ” සාර්ලිස් මාස්ටර්ගේ පිළිතුර වූයේ එයය.

සාර්ලිස් මාස්ටර් නිතරම විද්‍යෝදය පිරිවෙනට ආවගියේය. සර් බාරොන් ජයතිලක මියගිය දිනයේ ද ඔහු පිරිවෙනට ගියේය.

“බලන්නකො මාස්ටර් ජයතිලක උන්නැහෙ මැරෙන්න දඹදිවට ගිය හැටි” භික්ෂූන් වහන්සේ අකම්පාලව පැවසූහ.

“අනේ මොකට වික්ෂෝප වෙන්නද හාමුදුරුවනේ බුදු බණේම ඔය ගැන කියල තියෙනවනේ”

“මොකක්ද මාස්ටර් මමත් නොදන්න ඒ බුදු බණ?” සාර්ලිස් මාස්ටර්ගේ කතාවෙන් පුදුමයට පත්වූ භික්ෂූන් වහන්සේ විචාළහ.

“ඇයි හාමුදුරුවනේ අහල නැතිද, “බා‍රානසීයං ඉසිපතනේ” කියල සූත්‍ර පිටකයෙ විස්තර වෙනවා”
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

සාර් - ලිස්

1947 මහා මැතිවරණයේ දී සාර්ලිස් මාස්ටර් ඩී.ඇස්.සේනානායකට ඉතාමත් සමීපව සහයෝගය දුන්නේය. ඩී.එස්.සේනානායක අගමැති පදවියට පත්වූ පසු, එකල ලබාදෙන ඉහළම ගෞරව නාමය වූ “සර්” නාමය සාර්ලිස් මාස්ටර්ට පිරිනැමිය යුතු යැයි ඇතැම්හු යෝජනා කළහ.

“මට අලුතෙන් සර් කියන නම එකතු කරන්න උවමනා නැහැ. මම ඉපදුනාම මගෙ තාත්තා මගෙ නමට සර් කියන ගෞරව නාමය දුන්නා; සාර්-ලිස් මාස්ටර් පැවසුවේ සියලු දෙනා නිරුත්තර කරමිනි.

සාර්ලිස් මාස්ටර් තමන් සතු කලා ඥානය නොමසුරුව අනුනට බෙදා දුන්නේය. ජී.එස්.ප්‍රනාන්දු; ජී.එල්.ගෞතමදාස, ‍ෙගාඩගෙදර රාජතිලක, හෙන්රි රාජදාස, ඇම්.නෝබට් ඔහුගේ දක්ෂ ගෝලයන්ය. සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර හුරුව ඔහුගේ එකම පුත් සුසිල් ප්‍රේමරත්නට ලැබුණි. සුසිල් ප්‍රේමරත්නගේ පුතුන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම චිත්‍රශිල්පීන් විය. ඔහුගේ එක් පුත්‍රයකු වූ නයනජිත් ප්‍රේමරත්න චිත්‍රකතා නිර්මාපකයෙකි. තවත් පුතෙකු වූ මනෝද් ‍ප්‍රේමරත්න ඒෂියා වීක් සඟරාවේ නේවාසික චිත්‍රශිල්පී හා පිටු සැකසුම් ශිල්පී වශයෙන් කටයුතු කරයි.

සාර්ලිස් මාස්ටර්ගේ සීවලී සිතුවම ඇතුළු තවත් බෞද්ධ සිතුවම් කීපයක් 1992 සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මුද්‍රණය කරනු ලබයි. ඒ සිවලී සිතුවම සාර්ලිස් මාස්ටර් පසුව අඳින ලද්දකි. විලියම් පේද්‍රිස් සමාගමින් මුද්‍රණය කළ සීවලී පිංතූර‍යෙහි සීවලී මහ රහතන් වහන්සේගේ එක කනක් දර්ශනය වෙයි. නමුත් නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මුද්‍රණය කළ සීවලී මහරහතන් වහන්සේගේ චිත්‍රයෙහි කන් දෙකම දර්ශනය වෙයි.

1955 නොවැම්බර් 21 දින සාර්ලිස් මාස්ටර් අභාවප්‍රාප්ත විය.

පීටර් කැනියුට් පෙරේරා