සුදුවෑන් මාධ්‍ය හමුව ගැන ආන්දෝලනාත්මක සාක්ෂියක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේදී තමා ප්‍රකාශ කළේ තම ජීවිතයේ දී අත්විඳින්නට සිදුවූ සත්‍ය සිදුවීම් බව එම මාධ්‍ය හමුවට පෙනීසිටි අතුල සංජීව මදනායක නැමැත්තා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

    එම සිදුවීමට අදාළ නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ යලි විභාගයට ගත් අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවත් ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම මත තමන් විසින් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විත්තිකාර රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ බවත් සාක්ෂිකරු එහිදී පවසා ඇත.

    එම වකවානුවේ රහස් පොලිසියේ සිටි අධ්‍යක්ෂවරයකු තමා වෙත පැමිණ "දින 21 කින් ගෙදර යනවාද? නැත්නම් අඩි ගණනක් පොළොව යටට යනවා ද? " යනුවෙන් තමන් ගෙන් විමසා සිටි බවත් දින 21 කින් ගෙදර යාමට අවශ්‍ය නම් "උඹගේ කටඋත්තරයේ තිබෙන රාජා කියන නම රාජිත කියා වෙනස් කරපන්" යනුවෙන් බලපෑම් කළ බවත් සාක්ෂිකරු කියා සිටියා.

    රන් භාණ්ඩ කොල්ලකෑම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් සාක්ෂිකරු පිළිගෙන තිබේ.

    මෙම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු හරස් ප්‍රශ්න විමසීමක් සිදු කර නොමැත.

    මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වශයෙන් නම් කර සිටින එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සරත් කුමාර නමැත්තා අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

    අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුනි මස 08 වනදාට කල් තැබුණි.