‛‛මට මතක හැටියට ඒ එක් දහස් නවසිය අනූහයේ අවුරුද්ද. ඒ කාලේ මං රාජකාරී කළේ ගාල්ල දුම්රිය ධාවනාගාරයට අනුයුක්තව. ඒ කාලේ ගාල්ලෙන් දවල් එකයි කාලට විතර පිටත් වෙලා අළුත්ගම දක්වා ධාවනය වෙන දුම්රියක් තිබුණා. ඔය කියන දවසේ මම තමයි ඒ දුම්රියේ රියැදුරු හැටියට කටයුතු කළේ.’’
ගාල්ලේ ඉඳලා මාතර, අම්බලන්ගොඩ අළුත්ගම වගේ ප්‍රාදේශීය ධාවන කටයුතුවලට ඒ කාලේ හුඟක් වෙලාවට යෙදෙව්වේ එස්. 3 වර්ගයේ පරණ බලවේග දුම්රිය දෙකක්. ඒ කියන්නේ පවර් සෙට්වල පෙට්ටි අඩුකරලා හදාගත්තු රේල්වේ සෙට්. එස් 3 කියන්නේ එක්දහස් නවසිය පනස් නවයේ බටහිර ජර්මනියෙන් ලංකාවට ආයනයනය කරපු බලවේග දුම්රියවලට. සෑහෙන කාලයක් දෙමටගොඩ පී.සී.එස්. ඒ කියන්නේ බලවේග කට්ටල ධාවනාගාරයට අනුබද්ධව අගනුවර ආශ්රිත නගරාසන්න සේවයට යොදවපු යොදවලා තිබුණු පවර් සෙට් දෙකක කොටස් තමයි ඔය වෙන කොට ගාල්ලේ ධාවනාගාරයට අනුබද්ධ දකුණු පළාතේ කෙටි ධාවන කටයුතුවලට යොදවලා තිබුණේ. අද වෙනකොට ඒවා සේරම ධාවනයෙන් ඉවත් කරලා.
ඔය කියන පවර් සෙට් එකේ තිබුණේ එන්ජින් මැදිරියයි. එක පෙට්ටියයි, ඩමියයි විතරයි. පවර් සෙට් එකක් දෙපැත්තටම ධාවනය කරන්න පුළුවන. ඩමිය කියන්නේ පවර් සෙට් එකක එක පැත්තක රියැදුරු සහ සහායක ගමන් කරන කුටිය සහිත කොටස තියන මැදිරියට. නමුත් ඩමියේ එන්ජිමක් නැහැ. පවර් සෙට් එකේ අනෙක් පැත්තේ එන්ජින් බලයෙන් තමයි: ඒ ඩමියේ ඉන්න රියැදුරු දුම්රිය මෙහෙය වන්නේ. ඒ නිසා ඩමිය සහිත මැදිරිය ඉස්සරහට තිබියදී දුම්රිය ධාවනය වෙනකොට දුම්රිය කට්ටලයේ ඉස්සරහ කොටසින් එන්ජින් ශබ්දයක් නැඟෙන්නේ නැහැ. එන්ජින් ශබ්දය නැගෙන්නේ පසුපසින් තියන එන්ජින් කොටසිනුයි.
කොහොම හරි ඔය කියන දවසේ මම දුම්රිය මහ ඉඳුරුව දුම්රිය නැවතුමේ නතර කරලා අළුත්ගම පැත්තට එන්න ගමන් ආරම්භ කළා විතරයි. දුම්රිය පාර අයිනේ, වම් පැත්තෙන් ඒ කියන්නේ රියැදුරු අසුන පැත්තෙන් ඉස්සරහට යන වයස අවුරුදු දහයක දොළහක විතර ගෑනු ළමයෙකුයි වයස අවුරුදු හත අටක විතර පිරිමි ළමයෙකුයි මං දැක්කා. මේ දෙන්නම ඒ අහල පහලම අය කියලයි මට හිතුණේ. ඒ හරියේ පාරේ දකුණු පැත්තේ පන්සලකුත් තියනවා. රේල්පාර අයිනෙන් ඒ දෙන්නාගේ පිටිපස්සෙන් සුදුයි දුඹුරුයි ලොකු බල්ලෙකුත් ගමන් කරමින් හිටියා. ඒ අපේ රටේ හැම තැනකම දකින්න පුළුවන් සාමාන්‍ය බල්ලෙක්. කොහොම හරි දුම්රිය ටිකෙන් ටික ඒ ඉස්සරහ තියන හබක්කල දුම්රිය හරස්පාර කිට්ටුවට එන කොට රේල්පාර අයිනේ යමින් හිටපු අර පිරිමි ළමයා එක පාරටම රේල් පාරට නැගලා යන්න පටන් ගත්තේ නැතැයි. මොකද ඉස්සරහට යමින් ඉන්න මේ ළමයි දෙන්නට පිටිපස්සෙන් එන කෝච්චිය පෙනුණේ නැහැ. ඒ එක්කම මම එක පාරටම හෝන් එක නාද කළත් ඒ වෙලාවේ කෝච්චියේ හෝන් එක වැඩ කළෙත් නෑ, මේ ළමයි දෙන්නා කෝච්චිය නොදැක්කට මොකද පිටිපස්සෙන් ගිය බල්ලා දැක්කා ළඟ ළඟම කොච්චියක් එන බව. එතකොටම මේ සතා මොකද කරන්නේ එක පාරටම රේල්පාරට පැනලා අර පිරිමි ළමයගේ ඇඟේ එල්ලුණා ඒ මාරකය ගැන කියන්න වගේ. නමුත් ඒ ළමයටවත් රේල් පාර අයිනේ ගිය ගෑනු ළමයටවත් ඒ ගැන තේරුමක් නැහැ. දැන් මම හොඳටම දන්නවා මේ ළමයව කෝච්චියේ හැප්පෙන බව. ඒක නතර කරන්න කිසිම ක්‍රමයක් නැති බවත් මට තේරුණා. ඒ හින්දා එන්ජිම ඒ ළමයා ඉන්න තැනට මීටර් දහයක් දොලහක් තිබියදී තත්පරයක් වත් බලන්නේ නැතුව කෝච්චියේ බ්රේක් ඔක්කොම ඇප්ලයි කරලා මම තදින්ම ඇස් දෙක වහගත්තා. ඒ බිහිසුණු දර්ශනය බලන්න බැරුව. ඔය අතරේ බල්ලා බුරාගෙන කෝච්චිය ඉස්සරහට දුවගෙන හැටිත් අර ළමයා ගැස්සිලා වගේ කෝච්චිය දිහා බලන හැටිත් මං යාන්තමට වගේ දැක්කා. කොහොම හරි මං බ්රේක් ඇප්ලයි කරපු හින්දා අර ළමයයි බල්ලයි හිටපු තැන පහුකරලා තවත් මීටර් විස්සක් විතර ඉස්සරහට ගිය කෝච්චිය නතර වුණා. දැන් මගේ පපුවත් ඩිග් ඩිග් ගාලා ගැහෙනවා. ඒ හින්දා මම ඩ්‍රයිවින් සීට් එක ළඟ කවුළුවෙන් ඔළුව දාලා එබිලා ආපස්ස බැලුවා, මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොටම මට පේනවා රේල්පාර අයිනේ අර ගෑනු ළමයා පිරිමි ළමයව තුරුල් කරගෙන හිටගෙන ඉන්නවා. ඒ එක්කම පාර අයිනේ රෙදි පොට්ටනියක් වගේ යමක් තියනවත් මම දැක්කා. ඒ තමයි අර බල්ලගෙ සුන් බුන් වෙලා ගිය සිරුර.
මේ සිද්ධිය සියැසින්ම දැක්ක හින්දා මට කිසිම පැකිලීමකින් තොරව කියන්න පුළුවන් ඒ බල්ලා ඒ දරුවා වෙනුවෙන් තමන් ගේ ජීවිතේ පූජා කරපු බව. ඒ බල්ලා එන්ජිම දිහාට බුරාගෙන එනකොට ඒ ළමයා ආපහු හැරුණේ නැත්නම් ඒ ළමයා එතන දීම කෝච්චියේ හැප්පිලා මැරෙනවා ස්ථිරයි. ‛බල්ලා‛ කියන්නේ කිසිම වැදගත්කමක් නැති වචනයක් වුණත් ඒ නමින් පෙනී ඉන්නේ මොන තරම් උතුම් සත්වයෙක් ද කියන එක මට ප්රත්යක්ෂ වශයෙන්ම තේරුණේ එදා තමයි. මේ සත්‍ය කතා ප්‍රවෘත්තියෙන් ඔයාලගේ හදවත් තුළත් කිනම් හෝ සංවේදීතාවයක් සියුම් කම්පනයක් ඇති කළා නම් මිනිස් ජීවිතයක් බේරා ගැනීම උදසා තමන් ගේ ජීවිතය පූජා කළ ඒ තිරිසන් සතා වෙනුවෙන් කරන කළගුණ සැලකීමක් හැටියට මේ කතා ප්‍රවෘත්තිය ්ෙජැඉදදන මිතුරු මිතුරියන් අතරේ ිය්රු කරගන්න. ඒක ඒ සතාට සැලකීමක් වගේම අපි අපගේ මිනිසත් බවට දක්වන උතුම් උපහාරයක් බවත් ඒකාන්තයෙන්ම කිව යුතුයි. අනිත් අයටත් බලන්න බම්ප් කරන් යන්න...
rep කැමති නම් දෙන්න