꧁❏❖❏❖❏❖ - ❖❏❖❏❖❏꧂
සමහර අයගේ අදහස වෙන්නේ සියලුම මුස්ලිම් ජාතිකයන් අන්තවාදීන් කියලා. මේ මතය අපේ රටට කොච්චර අහිතකර මතයක්ද කියන එක ගැන දීර්ඝව විස්තර කරන්න ඕන කියලා අපි හිතන්නේ නෑ. කොහොම වුණත් මුස්ලිම් සමාජය පිළිබඳව හැදෑරීම සියලු දෙනාටම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. මේ නිසා මුස්ලිම් සමාජයේ ප්‍රධාන බෙදීම වුණු සුන්නි සහ ෂියා බෙදීම ගැන සටහනක් ගෙන එන්න හිතුවා.
සුන්නි ෂියා භේදයේ ආරම්භය පටන් ගන්නේ මොහොමඩ් නබි තුමාගේ මරණය එක්ක. නබිතුමා තමන්ගේ මරණයෙන් පස්සේ තමන්ගේ අනුප්‍රාප්තිකයා පිළිබඳව නිශ්චිත අදහසක් ප්‍රකාශයට පත් කරලා තිබ්බේ නැහැ. ඒ නිසා එතුමාගෙන් පස්සේ අනුප්‍රාප්තිකයා වෙන්න ඕන කවුද කියන්න ප්රශ්නය උඩ තමයි මේ ගැටලුව ආරම්භ වෙන්නේ.
ෂියාවරු විදිහට පස්සේ බෙදෙන ජන කොටස්වල විශ්වාසය වුණේ නබිතුමාගේ පරම්පරාවේ කෙනෙක්ම තමන්ට නායකත්වය ලබාදිය යුතුයි කියලා. ඒ සඳහා ඔවුන් තෝරාගන්නේ නබිතුමාගේ ඥාති සහෝදරයෙක් සහ එතුමාගේ බෑණනුවන් වූ අලි ඉබින් අබි තාලිබ්.
නමුත් සුන්නිවරු විදිහට පසු කාලයේ වෙන්වෙන කොටස විශ්වාස කරන්නේ තමන්ට නායකත්වය ලබාදෙන උගත් හා බුද්ධිමත් පුද්ගලයෙක් සිටිය යුතුයි කියලා ඒ සඳහා ඔවුන්ගේ තේරීම වෙන්නේ නබිතුමාගේ මාමණ්ඩිය වූ අබූ බකර් තුමා.
මේ ගැටළුව පරම්පරා කීපයක් ඇදීයාම නිසා සමස්ථ මුස්ලිම් ලෝකයම දෙකට බෙදෙන්න පටන් ගන්නවා. ලෝකයේ 85% කට අධික ප්‍රමාණයක් ජීවත් වෙන්නේ සුන්නිවරුන්. අනෙකුත් පිරිස ෂියා නිකායට අයිතියි. සුන්නිවරුන් සෞදි අරාබිය සහ ඒ ආශ්රිත රටවල් වල ප්‍රධාන වශයෙන් ජීවත් වෙනවා. ෂියාවරුන්ට බහුතර බලයක් හිමි එකම රට වන්නේ ඉරානය පමණයි.
අනෙකුත් සියලුම මුස්ලිම් රටවල් සුන්නි නිකායට අයත් රටවල්. ඒ රටවල සුළුතරයක් විදිහට ෂියාවරු ජීවත් වෙනවා. මේ නිසාම සුන්නිවරුන්ගේ යම් යම් තාඩන පීඩන වලට ලක් වෙන්න ෂියාවරුන්ට සිද්ධ වෙලා තියෙනවා.
ෂියාවරුන්ගේ ව්‍යාප්තිය ගැන කතාකරද්දී “ෂියා චන්ද්‍රවංකය” කියලා සංකල්පයක් ඉස්ලාම්වරු අතර තියෙනවා. ඒ කියන්නේ ඉරානය සහ ඒ අවට චන්ද්‍රවංකයක හැඩයට ෂියාවරුන්ගේ ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් වෙලා තියෙනවා කියලා ඉස්ලාම්වරු අතර මතයක් තියනවා.
මුස්ලිම්වරුන් මරණින් මතු ජීවිතයක් පිළිබඳව විශ්වාස කරනවා. නමුත් ඒක බුද්ධාගමේ වගේ පුනර්භව සංකල්පයක් නම් නෙමෙයි. මුස්ලිම්වරුන්ට මරණයෙන් පසු ජීවත් වුණු ආකාරය අනුව දිව්‍ය ලෝකයේ හෝ අපායේ සදාකාලික ජීවිතය ලැබෙනවා.
ෂියාවරු විස්වාස කරන්නේ දිව්‍ය ලෝකෙ යන්න අවශ්‍ය නම් නබිතුමා වගේම නබිතුමාගේ අනුප්රාප්තිකයන් විදිහට සැලකෙන ඉමාම්වරුන් දොළොස් දෙනාම විශ්වාස කළ යුතුයි කියලා. නමුත් සුන්නිවරු විශ්වාස කරන්නේ නබිතුමා අවසාන අනාගත වක්තෘවරයා විදිහට විශ්වාස කරන අයට පමණක් දිව්‍ය ලෝකයට යන්න පුළුවන්කම ලැබෙනවා කියලා. නමුත් මේ දෙපාර්ශවයෙන්ම අල්ලා දෙවියන් වහන්සේ විශ්වාස කිරීම අනිවාර්ය දෙයක් විදිහට සලකනවා.
සුන්නි සහ ෂියා භක්තිකයින් දෙදෙනෙක් වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් මූලිකම දේ තමයි ඔවුන් දිනකදී යාච්ඥා කරන වාර ගණන. සුන්නි භක්තිකයන් දිනකට පස්වතාවක් යාච්ඥා කරන අතර ෂියා භක්තිකයන් දිනකට යාච්ඥා කරන්නේ තුන් පාරක් පමණයි. ඒ වගේම යාච්ඥා කරද්දී සුන්නි භක්තිකයින් අත් දෙපසට දමා යාච්ඤා කිරීම සිද්ධ කරන අතර ෂියා බැතිමතුන් පපුව මත තබාගෙන යාච්ඤා කිරීම සිද්ධ කරනවා.
ඇතැම් අවස්ථාවල ඔබ youtube මගින් නරඹා ඇති තමන්ගේ සිරුරෙන් ලේ එනතුරු තමන්ටම පහර දීම් සහ වදදීම් කරගන්නා මුස්ලිම් බැතිමතුන් පිළිබඳ විඩියෝ. මේ චාරිත්‍රය හින්දු බැතිමතුන් අතර තියන සිරුරට වධ දීමේ චාරිත්‍ර වලටත් වඩා එහා ගිය ස්වභාවයක් ගන්නවා.
ලංකාව තුළ එවැනි චාරිත්‍ර සිද්ද නොවුනත් ලෝකය පුරා ෂියා වරු අතර මෙම චාරිත්‍රය පවතිනවා. ඔවුන් ඒ මගින් තමන්ගේ ඉම්මාවරයෙකු විඳි කටුක වේදනාවන් සිහිපත් කරනවා. නමුත් සුන්නිවරු මේ චාරිත්‍රයට දැඩි සේ විරුද්ධ වෙනවා. ඔවුන් පවසන්නේ එය මිත්‍යා දෘෂ්ටික චාරිත්‍රයක් කියලා.
ඔබට මතක නම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙ මුස්ලිම් පල්ලි කීපයක් ඉලක්ක කරලා ප්‍රහාර මාලාවක් එල්ල කරන්න සහරාන් ඇතුළු පිරිස සැලසුම් කරා කියලා බුද්ධි අංශ හොයාගෙන තිබ්බා. සහරාන් ඇතුළු පිරිස ඒ සඳහා ඉලක්ක කරලා තිබ්බේ ෂියා භක්තිකයන්ගේ පල්ලි කීපයක්. ඒ පල්ලි ගොඩ නඟලා තිබ්බේ ඔවුන් අදහන මුස්ලිම් ආගමිකයන්ගේ සොහොන් ආශ්‍රිතව. සහරාන්ලා වගේ සුන්නි අන්තවාදීන් මෙවැනි පල්ලිවලට තමන්ගේ විරෝධය පළ කරනවා. ඔවුන් කියන්නේ එවැනි පල්ලි ගොඩනැගීම ද්‍රෝහීකමක් කියලා.
සුන්නි සහ ෂියා බැතිමතුන් පුද්ගලයෙකුට භාර්යාවරු හතර දෙනෙක් විවාහ කර ගත හැකි බව විශ්වාස කරනවා. නමුත් ෂියා බැතිමතුන් ඊටත් එහා ගිහින් පුද්ගලයෙකුට තාවකාලික විවාහ පවා සිදුකර ගත හැකි බව පවසනවා.
ඔවුන් ඒ සඳහා උදාහරණයකට ගන්නේ පැරණි අරාබි චාරිත්‍රයක්. ඊට අනුව දුර බැහැර ප්‍රදේශයකට යන පුද්ගලයකුට අවශ්‍ය නම් තාවකාලික විවාහයක් කරගන්න පුළුවන්. එම ප්‍රදේශයෙන් ඉවත්ව නැවත ගමට යද්දී ඔහුට ඒ විවාහයට සමු දෙන්න පුළුවන්. මුස්ලිම් ජාතිකයන්ට විවාහ හතක් කරගන්න පුළුවන් කියන කතාව ඇති වෙන්නත් මේක එක හේතුවක් වුණා කියලා සමහර විද්වතුන් විශ්වාස කරනවා.
.
.
.
.
උපුටා ගැනීම Lifie වෙබ් පිටුවෙන්
Chathura Parakrama
