සුපිරි පළාත් ක්‍රිකට් ඩෙඟා නැටුම.!

slcricket

Member
Feb 20, 2008
168
13
0
සුපිරි පළාත් ක්‍රිකට් ඩෙඟා නැටුම.!

කෑම සොයමින් ක්‍රීඩකයින් පාරවල් ගානේ රස්තියාදු වෙද්දී හොරුන් තම හොරා කෑම සකසා ගත් සුපිරි පළාත් ක්‍රිකට් ඩෙඟා නැටුම.!
LeN ස්පෝර්ට්ස්මන්ගේ හෙළිදරව්වක්


(ලංකා ඊ නිව්ස් -2019.අප්‍රේල්.17, පෙ.ව.11.55) මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට බොහෝ රටවල් මේ වන විට තම කණ්ඩායම් තෝරා අවසන්ය. ලෝක කුසලානය දිනවන්නට මසකට රුපියල් ලක්ෂ 70 ක පඩියකට මෙහි ගෙනා පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් තෝරා ගැනීමට නොහැකිව ළතැවෙමින් සිටී.

ලෝක කුසලාන තරඟාවලියට පෙර ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා මට්ටම සළකා බැලීම සඳහා පසුගිය සති දෙකේ පැවැත්වූ අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරඟාවලිය (Super Provincial) නරඹන්නටවත් නොසිට ක්‍රිකට් ආයතනයේම ගුවන් ටිකට් පතකින් මේ වන විට තම පදිංචි රට වන ඔ්ස්ට්‍රේලියාවේ අවුරුදු නිවාඩුවක් ගත කරන්නට ගිය චන්දික හතුරුසිංහ ලංකාවට එනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම පමා කර තිබේ.

නායකත්වයට මරා ගන්නා ක්‍රීඩකයන්..
නායකත්වයට මරා ගන්නා එකාට එකා නැති ක්‍රීඩකයන් පිරිසකගෙන් තෝරා ගනු ලබන කුමන කණ්ඩායමක් හෝ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී ඇෆ්ගනිස්ථානය හෝ පරදවනු ඇතැයි සිතිය නොහැකි තරමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අසරණභාවයට පත්ව ඇත.

නාකත්ව පෙරේතකමේ පසුවන ලසිත් මාලිංග, අද අයි.පී.එල් තරඟයකට ක්‍රීඩා කොට රාත්‍රියේම ශ්‍රී ලංකාවට පැමිණ හෙට දඹුල්ලේ තරඟ වැදීමට තරම් නායකත්ව අර්බුදය උග්‍ර වී තිබේ. අයි.පී.එල්. ක්‍රීඩා නොකොට සුපිරි අන්තර් පළාත් තරඟාවලියට ක්‍රීඩා කරන මෙන් ලසිත්ට නීති පනවන්නට තරම් ක්‍රිකට් පරිපාලනයට ද කොන්දක් නොමැත.



දකුණු අප්‍රිකාවේ දී වැලේ වැල් නොමැති වන තරමට එක් දින හා විස්සයි විස්ස පරාජ වලට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට පැමිණි පසු අලුතින් පත් වූ ෂම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් තිලංගගේ රූකඩ ක්‍රිකට් පරිපාලනය ලෝක කුසලානයට පෙරහුරුවක් බව කියමින් එංගලන්ත තණතීරු හා පරිසරයට හුරු පරිසරයක් බව හඳුන්වන ලද දඹුල්ලේ හා පල්ලෙකැලේ දින නවයක සුපිරි පළාත් තරඟාවලියක් සංවිධානය කෙළේය.

කෝටි හය හමාරක් වතුරේ ඒත් ගසා කෑම අහසේ..
මෙහි වියදම රුපියල් ලක්ෂ 630 ක් බව කීව ද තරඟාවලියෙන් පසු ඒ සඳහා රුපියල් ලක්ෂ 670 ක් පමණ වියදම් වූ බව කියැවිණ. මේ සියල්ල ගඟට කැපූ ඉණි මෙන් වතුරේ ය. ගහපු පදේකුත් නැති බෙරේ පළුවකුත් නැති මේ තරඟාවලියෙන් එළියට ආ අලුත් ක්‍රීඩකයෙක් හෝ ලකුණු අතරට ආ පළපුරුදු ක්‍රීඩකයෝ ද නොවූ හ. පළපුරුදු ක්‍රීඩකයන් අතරින් යම් පමණින් හෝ දස්කම් දැක්වූයේ ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග පමණි. නම් දැරු සෙසු පිතිකරුවෝ දකුණු අප්‍රිකාවේ මෙන්ම මෙහිදී ද අසාර්ථක වූවෝය.

මේ තරඟාවලියෙන් සාර්ථක ඵල නෙලා ගත්තේ ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කිහිප දෙනෙකු පමණි. හෝටල් කාමර වෙන් කිරීමේ දී කොමිස් ගසා කෑ ට්‍රැවිස් නම් අයෙකු ද, දින නවයක් මුළුල්ලේ දඹුල්ලේ හා මහනුවර සුපිරි හෝටල වලට වී දිනක දීමනා ද සහිතව කකා බිබී කාලය ගත කළ චින්තක එදිරිමාන්න හා චින්තක ජයනාත් ද, අන්තර් ක්‍රීඩා සමාජ තරඟ හෝ නොබලන තේරීම් කමිටුව ද, අසංක ගුරුසිංහ ද, මාධ්‍ය ඒකකයේ අයද, බ්‍රේන් සෙන්ටර් නිලධාරීන් ද මේ අතර වූහ.



කණ්ඩායම් 4 සඳහා නම් කර තිබූ ඇතැම් කළමනාකරුවෝ ඡන්දයට දායක වූ අය වූ අතර සහාය පුහුණුකරුවන් ලෙස පත් කර තිබුණේ ද ක්‍රීඩකයෙකුට පන්දු රැකීම සඳහා උඩ පන්දුවක් හෝ ලබා දිය නොහැකි පන්දම්කාර හා මෙවැනි කණ්ඩායමකට කොහෙත්ම සුදුසු නැති පුහුණුකරුවෝ ය.

ක්‍රීඩකයන් කෑම සොයමින් මහ පාරේ...
දඹුල්ලේ තරඟ පාලනය සුජීව ගොඩලියැද්දටත් පල්ලෙකැලේ තරඟ පාලනය ජානක පතිරණටත් භාර දී තිබුණු අතර මෙම තරඟාවලියෙන් සාර්ථකව ලකුණු රැස් කෙළේ මොවුන් දෙදෙනා ය. තරඟ සඳහා ක්‍රීඩාංගණ සූදානම් කිරීම, කෑම බීම සැපයීම භාරව සිටියේද මොවුන් වූ අතර පූර්ව සූදානම වෙනුවෙන් පමණක් ක්‍රීඩාංගණ දෙක වෙනුවෙන් මිලියන 10 කට ආසන්න මුදලක් වෙන් කර තිබිණ. එහෙත් ඒ මුදල් වෙන් කර අමුතුවෙන් සූදානම් කරන්නට යමක් ඒ ක්‍රිඩාංගණ වල නොතිබිණ.

කණ්ඩායම් හතරේ ක්‍රීඩකයින්ට තරඟ දීමනා ලෙස රුපියල් දහ දහසක් ද ආහාර දීමනාව ලෙස රුපියල් 3000 ක් ද ලබා දී තිබුණු අතර එම ආහාර දීමනාවෙන් කෝටලයෙන් රාත්‍රී කෑම හා තරඟ නොපැවැති දිනවල දිවා ආහාර මිල දී ගැනීමට නොහැකි නිසා බොහෝ ක්‍රීඩකයින් භෝජන ශාලා සොයමින් පාරවල් දිගේ රස්තියාදු වී තිබේ. ක්‍රීඩකයින් මෙසේ රස්තියාදු වෙද්දී කළමනාකරුවන් සිට ඇත්තේ බුදියාගෙනය.

ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් ඇතුළුව හොඳම ක්‍රීඩකයින් මෙහිදී තරඟ වැදුනද තරඟ නරඹන්නට කිසිදු ප්‍රේක්ෂකයෙකු නොපැමිණීමත් කණ්ඩායම් දෙක පමණක් හිස් ක්‍රීඩාංගණ වල තරඟ වැදීමත් කැපී පෙණින.

විස්තර ප්‍රචාරයෙන් ගහපු ගැහිල්ල...
තරඟ සියල්ල සජීවී ලෙස පුද්ගලික රූපවාහිනියක හො කිසිවෙකු නොඅසන ගුවන් විදුලි නාලිකාවක විකාශය කෙරුණු අතර ඒ සඳහා පමණක් රුපියල් කෝටියකට අධික මුදලක් ක්‍රිකට් ආයතනයෙන් වියදම් කරන ලදී.

මෙහි වාසියද ලැබුණේ උප සභාපති රවින් වික්‍රමරත්නගේ මස්සිනාගේ සයින් මීඩියා රූපවාහිනී සමාගමට හා ලෝක හොරෙකු ලෙස හංවඩු ගැහුණු වසර ගණනකට පෙර ගුවන් විදුලි සංස්ථාවෙන් පන්නා දැමූ බන්ධුල සමන් වතුරේගමට ය. ගුවන් විදුලි හා වෙබ් රේඩියෝ විකාශය සඳහා වාහන, හෝටල්, විස්තර විචාරක ගාස්තු ඇතුළු සියළු වියදම් කරන ලද්දේ ක්‍රිකට් ආයතනය යි.



මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 2015 - 2018 දක්වා ක්‍රිකට් ආයතනයේ ගණුදෙනු පිළිබඳ සොයා බැලීමට වෝහාරික විගණනයක් රජයේ ඔඩිටර් ජෙනරාල් වෙත පවරා තිබුණ ද මෙම තරඟ විකාශ ලබා දීම සම්බන්ධව ඔහු තවත් විගණනයක් කෙළේ නම් තවත් විශාල හොරකමක් සිදුකළ ආකාරය සොයා ගත හැකි වනු ඇත. රවීන් හා ජෙරොම් එක්ව සිරස ආයතනය දෙවැනි තැනට පත් කොට සයින් මීඩියා වෙත සූක්ෂම ලෙස කොන්ත්‍රාත්තුව ලබා දී තිබිණ.

ඩිමෙල්ගේ මිම්ම..
ලෝක කුසලාන කණ්ඩායමට අයත් වනු ඇතැයි අපේක්ෂා කරන චන්දිමාල්, තිසර, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, ඔෂධ ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයන්ගේ කිසිදු දස්කමක් මෙම තරඟාවලිය තුළ දක්නට නොලැබීම විශේෂත්වයකි.

මෙම ක්‍රීඩකයන්ගෙන් කිසිවෙකු හෝ ලෝක කුසලාන කණ්ඩායමට නම් කළහොත් අසන්ත ඩි මෙල් ගේ ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන්ගේ වර්තමාන ෆෝම් එක ගැන මනින්නේ කුමන මිම්මකින්දැයි සොයා ගත හැකි වනු ඇත.

ලසිත් මාලිංගගෙන් බඩපුරා කෑම
කෝටි 6 හමාරක් වියදම් කර දින නවයක් තිස්සේ පැවැති මෙම සුදු අලියාගේ තරඟාවලිය ගැන උදම් අනන්නට හා ක්‍රිකට් ආයතනය උලුප්පන්නට ගොස් සජීවී විකාශය අතර තුර කඩේ යාමේ මාස්ටර් කෙනෙකු වූ සේන නන්දවීර, ලසිත් මාලිංගගෙන් බඩපුරා කෑම ද විශේෂ සිද්ධියක් විය.

ලෝක කුසලාන පෙරහුරු සඳහා වෙනත් රටවල් විශිෂ්ඨ ලෙස සැලසුම් පිළියෙන කරද්දී කෝටි හය හමාරක් වියදම් කරමින් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ මේ ඩෙඟා නැටුමෙන් ප්‍රයෝජනය ලැබුණේ ද ආයතනයේම හොර නඩයට මිස ක්‍රිකට් ක්‍රීඩාවට නොවේ.