සුපෙම් සුවඳක් අරන්....

hpalpola

Well-known member
  • සුපෙම් සුවඳක් අරන්....

    මෙහි ඇති නම් ගම් මන.කල්පිත වන අතර රසවිඳීම සඳහා පමණක් පළකරන්නකි. ඔබගේ විවේචන බලාපොරොත්තු වෙමි.

    (1)

    ‘ඉන්න මේ එනවා....‘

    ඔහු විදුලි සීනුව නාද වන විට සිටියේ කුස්සියට වී සිසිල් බීම සකස් කරමිනි. උරුවන් බාමිනි. අද ඔහු සතුටින් ඉන්නේ වෙන කිසිවක් නිසා නොව, පාසලේදීත් විශ්ව විද්‍යාලයේදීත් ලොවට හොරා ඒක පාක්ෂිකව පෙම් කළ මිතුරිය ඔහුගේ නිවසට පැමිණෙන නිසාවෙනි. මේ සිසිල් බීම ඇය වෙනුවෙනි.

    නිවසේ දොර විවෘත කළ ඔහුගේ මුව සතුටින් පිරුණි. ඒ විවර වූ දොර අසල සිටිනා සොඳුරු යුවතිය දැක්මෙනි. ඇයත් සමඟ සිටිනා තලත්තෑනි මිනිසා අඳුනාගැනීමට ඔහුට අමාරු වූයේ නැත. පාසැලේදීත් විශ්වවිද්‍යාලයේත් දැක ඇති ඇගේ පියා ය ඒ.

    ‘අංකල් එන්න ඇතුළට.‘

    ‘එන්න රුවී.‘

    ඔහු ඇයවත්, ඔහුවත් නිවස තුළට කැඳෙව්වේ හද පිරි සතුටිනි.

    ‘අපි උදෙන්ම ආවා පුතා. මන් ආපහු කැකිරාවට යන්නත් එපැයි. අදම යන්න ඕනා.‘

    ‘අයියෝ ඒවා පස්සෙ බැරියැ අංකල්. මුලින් වාඩි වෙලා ඉන්නකො. ගමනෙමනෙ ඇත්තේ.‘

    ‘ඒ හරිය නම් කියලා වැඩක් නෑ දසුන්. ට්‍රේන් එකේ ඇවිත් පන ගියා. ඇඟේම ජරාව අප්පා.‘

    ‘ඉතින් රුවී, වොෂ්රූම් එකට ගිහිල්ලා වොෂ් කර ගත්තනම් හරි නේ.‘

    ‘මහන්සියි දසුන්.‘

    ‘අංකල් ඉන්න, මන් බොන්න මොනවා හරි අරන් එන්නම්. අංකල් තේ බොනවද, නැත්නම් කූල් බොමුද‘

    ‘පුතා දැන් රෂ්නෙන් නම් මුකුත් බොන්න බෑ. කූල් බොමු.‘

    ඔහු වචනයත් සමඟ කුස්සියට ගියේ ඔහු විසින් ම සකස් කළ සිසිල් බීම අමුත්තන් දෙදෙනාට පිරිනැමීමට ය. අද ඔහුගේ ලෝකය විකසිතව ඇත. නිවස ද පිරී ඇති සෙයකි. එය ඇත්ත ය. රුවනි සිටිනා තැන ඔහුට දැනෙන්නේ දිව්ලොව සැපත ය. දෙමව්පියන් කෙතරම් කතුන් යෝජනා කළත් ඔහු රුවනි වෙනුවෙන් ම ජීවත් වෙන්නේ කවදා හෝ ඇය ඔහුට හිමි වේ යැයි සිතමිනි. එය ඔහුට වේදනවාක් නොවේ. පසුතැවීමක් ද නොවේ. සිසිල් බීම වීදුරුවලට පුරවා ගත් දසුන් එය ආදරයෙන් සාලයට රැගෙන ආවේ ය.

    ‘අංකල් තව ටිකකින් කමු නේද. තව ටිකකින් කෑම ලෑස්තියි.‘

    ‘අනේ පුතා ඔයා ඇයි මහන්සි වෙන්නේ අපි කෑම කාලා ඉන්නේ.‘

    ‘පිස්සුද අංකල් මොන මහන්සියක් ද. මන් ලන්ච් ඕඩර් කරලා තියෙන්නේ.‘

    ‘අනේ මන්දා පුතා. ඔයා ඒ දවස්වල ඉඳන් ම අපිට පණ ඇරලා නේ. මේ වෙලාවෙත් අපේ කෙල්ලට ඔයා කලේ ලොකු උදව්වක්.‘

    ‘අංකල් ඒක රුවීට විතරක් නෙමෙයි අපේ බැච් එකේ ඕනා කෙනෙක්ට මන් කරනවා. අපි හොඳ යාළුවොනේ.‘

    ‘ඒ වුනාට දසුන්, මේ වෙලාවෙ සල්ලි නැතුව හෙන අවුලෙන් අපි ඉන්නේ. මේ ජොබ් එක වෙලාවට සෙට් වුනේ. නැත්නම් මොනවා කරන්න ද දන්නේ නෑ.‘

    ‘ඉතින් රුවී ඔයා ටිකක් කලින් කියන්න තිබ්බනේ. එහෙනම් මන් කලින් ම මේක ඇරේන්ජ් කරලා දෙනවානේ ඔයාට ළමයෝ.‘

    ‘අනේ මන් දැනන් උන්නෙ නෑ දසුන් ඔයා කොහේ ඉන්නවාද කියලා. එදත් ඔයාට කථා කලේ ෂාන් ගෙන් නම්බර් එක අරන්.‘

    ‘මට ෂාන් කථා කරා ඊට පස්සෙ රුවී. ඌ හොඳ කොල්ලා. ඌ මගින් මගට ම කිව්වෙ කොහොම හරි ඔයාට උදව් කරමු කියලා.‘

    ‘ඔව් අප්පා, එදා ෂාන් හම්බ වුනේ මාර වෙලාවට. තාත්තා මන් ඔයාට කිව්වෙ එදා.‘

    ‘ඒ පුතා, ඔය පුතාගේ විස්තර දීපු නිසානෙ මේ රස්සාව ලැබුනෙ. පුතාට පින් පුතා.‘

    ‘අනේ අංකල් මොනාද කියන්නේ. රුවී මගේ හොඳම යාළුවෙක් නේ.‘

    ‘ඒක නෙමෙයි. කොහොම ද මගේ ඩ්‍රින්ක් එක. රුවී මොකෝ තත්ත්වය.‘

    ‘ඇත්තටම හොඳයි දසුන්. ඔයා තනියම උයන් කාලා දැන් පුරුදු වෙලා නේ ද?‘

    ‘මොන තනියක් ද අප්පා. අද මන් ගියෙ නෑ. නැත්නම් හවසට ගෙදර එද්දී පංතියෙ දෙතුන් දෙනෙක් එනවා. උන් තමා උයන්නේ. රෑ වෙනකන් ඉන්නවා වැඩ කර කර.‘

    ‘පුතා. ඇත්තටම දැන් මගේ කෙල්ලට ඔතන රස්සාව ෂුවර් ද?‘

    ‘අනිවාර්යෙන් අංකල්. අපේ ස්කූල් එකේ ඉංග්ලිෂ් ටීචර් කෙනෙක්ට වේකන්සිය ආවේ ගිය මාසෙ මැද වගේ. ඊට පස්සෙ කීප දෙනෙක් ම ඉන්ටර්වීව් කලාට හරි ගියේ නෑ. රුවීගේ බයෝඩේටා එක මන් දුන්නෙ ප්‍රින්සිපල්ට මගේ රෙකමන්ඩ්ඩේෂන් එකත් එක්ක. අවුලක් වුනේ නෑ. අනික මෙයා කලේ ලැන්ග්වේජ්නේ.‘

    ‘ඇත්තටම දසුන් මන් ගාමන්ට් හරි යනවා කියලා තමයි උන්නෙ. තාත්තලානම් බනිනවා ඩිග්‍රි තියන් ගාමන්ට් යන්නෙ පිස්සු ද කියලා. ඒත් එපා වෙලා ඉඳියෙ. දැන් තමයි හිතට සහනයක් දැනෙන්නේ.‘

    ‘රුවී මෙතන ඔයාට බය වෙන්න දෙයක් නෑ. උදේ 7.30 ඉඳන් හවස 2.30 වෙනකන් තමයි ස්කූල් එක දුවන්නේ. අපේ ළමයිත් එහෙම අවුල් කට්ටියක් නෙමෙයි. බොහෝ දුරට ඔයාට ඉහළ ක්ලාස් තමයි ලැබෙන්න ඇත්තෙ. ඒ ලේවල්ස් වගේ. ඒ වුනාට අවුලක් නෑ. සේරම හයිෆයි ෆැමිලිවල කට්ටියනේ.‘

    ‘අනේ මන්ද පුතා. අපේ පැතිවල නම් ඉන්ටර්නැෂනල් ස්කූල්වලට බනින එක තමා වෙන්නේ. ඇත්ත කියන්න පුතා මාත් බැන්නා. ඒත් අන්තිමට එයින් තැනකම මගේ ම දරුවාට රස්සාව ලැබුනා.‘

    ‘ඉස්සර තත්ත්වයට වඩා දැන් තත්ත්වය වෙනස් අංකල්. අනික රුවීට පුළුවන් එයා ගැන බලා ගන්න.‘

    ‘පුතා දැන් දුවට ඉන්න තැනක් කොහොම ද?‘

    ‘ඔව් අංකල් මේ ලඟ පාත තියෙනවා පල්ලියකින් කරන බෝඩිමක් ගැණූ ළමයින්ට. මන් එතැනට කථා කරලා තියෙන්නේ. එතැන නවතින්න පුළුවන්.‘

    ඔවුන්ගේ කථා බහ යන අතරේ නැවතත් විදුලි සීනුව නාද විනි.

    ‘කෑම ඇවිත් වෙන්නැති අංකල්, රුවී මන් බලලා එන්නම්‘

    සිසිල් බීම වීදුරුව තොල ගාමින් තලත්තෑනි තැනැත්තා යුවතිය සමඟ කථා කළේ ය.

    ‘දසුන් පුතා පිරිමියෙක් වුනාට ඉන්න තැන පිළිවෙලකට තියන් ඉන්නවා නේ ද දූ‘

    ‘ඔව් තාත්තා මෙයා කැම්පස් කාලෙත් ඔහොම නේ.‘

    ‘ඇයි දන්නෙ නෑ දසුන් පුතා බඳින්නෙ නැත්තේ. දැන් කල වයසත් හරි නේ.‘

    ‘අනේ මන්දා තාත්තා. අපි ඕවා අහන්න යන්න ඕනා නෑ. අපේ වැඩේ කර ගමු.‘

    ‘හ්ම්...‘

    ‘රුවී කාලා ඉමු. අංකල්ට බඩගිනිත් ඇති මහන්සියත් එක්ක.‘

    ‘නෑ පුතා ඩ්‍රින්ක් එකට බඩ පිරුනා.‘

    ‘එන්න අංකල් අපි කාලා ම ඉමු.‘

    සවස් වරුවේ රුවනිගේ පියා දසුන් අඬගසා දුන් කුලී රථයක නැගී කොටුව බස් නැවතුම්පොලට පිටත් වූයේ එදිනම කැකිරාව බලා යා යුතු වීම නිසාවෙනි. අනෙක් අතට ඔහුට දසුන් ගැන විශ්වාසයක් ද තිබිණි. තම දියණිය ඔහු සමඟ එක නිවසේ සිටියද දියණියට කරදරයක් නොවන බව පියාගේ විශ්වාසය විය. දසුන් හැම විටම කටයුතු කළේ ඒ විශ්වාසය රැකෙන ලෙසිනි. කෙසේවෙතත් හෙට දිනයේ දියණිය නව නවාතැන්පලකට ගිය විට හිත තවත් සැහැල්ලු වෙයි.

    ‘රුවී මේක තමයි ඔයාගේ රූම් එක.‘

    ‘දසුන් මට තාම හිතා ගන්න බෑ අප්පා හෙට මොනවා කරන්නද කියලා.‘

    ‘රුවී ඔයා බයවෙන්න එපා. අනික මමත් ස්කූල් ඉන්නවානේ. ඔයාට ප්‍රින්සිපල් දෙන ක්ලාස් එකට ගිහිල්ලා නිදහසේ කථාව කියන්න. අනෙක ඔයාට ඉංග්ලිෂ් ඕ කේ බව මම දන්නවා නේ.‘

    ‘ඒ වුනාට දසුන් මේ ටීචින්.‘

    ‘ඒක එහෙම තමයි. නමුත් ආශාවෙන් කරද්දී ඕනා අමාරු දෙයක් ලේසි වෙනවානේ. මේ ඕවා හිතන්න එපා, ඔයා නිදියන්න. උදෙන් නැගිටින්නත් එපැයි. ගුඩ් නයිට්. උවමනාවක් වුනොත් කථා කරන්න.‘

    ඔහු ගිය පසු හිමින් සීරුවේ දොර වසා අගුල් ලා ගත් ඇය සිය දෙමව්පියන් ගැනත් ගෙවුන කාලය ගැනත් සිහිපත් කළා ය. ඇය මහන්සි වී ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ඇතුල් වූවාය. නමුත් ඇයට රැකියාවක් නම් නොලැබිණි. උපාධි සහතිකය සමඟ රැකියා කීපයකට ම ඉල්ලීම් කළත් ඇයගේ ඉල්ලීම පිළිනොගන්නා ලදි. එසේ තිබියදී ඇගේ මිතුරා මේ රැකියාව සොයා දී තිබේ. ඇයට ඇත්තේ ජාත්‍යන්තර පාසැලක ඉංග්‍රීසි ඉගැන්වීමට ය. හිත තුළ ඇති බිය සමඟින් ම ඇය ඊට සූදානම් ය. ඇඳට වැටුන පසු ඇය කල්පනා කලේ දසුන් ගැනය. ඔහු තුළ ඇය කෙරේ ඇති සිතුවිලි ඇයට නොදැනුනා නොවේ. නමුත් ඔහුව ඇයට දැනුනේ පෙම්වතකු ලෙසින් නොව සහෝදරයකු ලෙසිනි. නිදහස ලද විගස ඈ ඇගේ පෙම්වතා දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා ය. රැකියාවක අවශ්‍යතාවය තදින් දැනුන ප්‍රධාන හේතු කීපයෙන් එකක් මෙය විය.

    ඇගේ පෙම්වතා කළේ හේන් ගොවිතැන ය. අතරින් පතර කසිප්පු පෙරීම ද ඔහු සිදු කළේ ඇගේ දැඩි විරුද්ධතාවය මත ය. ඔහුට මුදල් තිබිණි. ඇයට මෙන් නොවේ. නමුත් කුමක් හෝ හේතුවකට ඇයට ඔහුගෙන් වෙන්වීමට නොහැකි විය. එහෙත් ඔහු සමහර අවස්ථාවල ඇය ඇසුරු කලේ කිසිඳු වගකීමක් ඇතිව නොවේ. ඔහුගේ මුදල් ඇය පාවිච්චි කළේ නැත. ඇගේ විශ්වාසය වූයේ ඔහු හම්බ කරනා මුදල් යා නොදෙන ලෙසිනි. ඇයට අනුව ඒවා නීතිවිරෝධීව උපයා ගත් මුදලින් ද සමන්විත වීම ඊට හේතුව විය. ඇගේ දුරකථන ඇමතුමට ඔහු සම්බන්ධ වූයේ නැත. ඇය කොළඹට පැමිණීම ගැන ඔහු සිටියේ අප්‍රසාදයෙන් මෙන්ම කේන්තියෙනි. ඇය ඒ නොදන්නවා නොවේ. නමුත් ඇයටත් කළ හැකි දෙයක් නොතිබිණි. ඔහුට මුදල් කෙතෙක් ඇතත් ඔහු ආදායම් සොයනා ආකාරය ඇය අනුමත නොකරයි. එසේ නොවන්නට ඇගේ පෙම්වතා කැකිරාවේ එක්තරා ධනවතෙකි.

    පෙම්වතා සමඟ සම්බන්ධ වීමට නොහැකි වූ පසු ඇය නිදා ගැනීමට සිතුවා ය. හෙට නව දවසක් ඇරඹෙන්නේ ජීවිතයට නව අත්දැකීමක් සමඟ නව බලාපොරොත්තු මෙන්ම වගකීම් ද පවරමිනි. ජාත්‍යන්තර පාසැල් ගැන ඇය අසා ඇති නමුත් තමුන් හෙට සම්බන්ධ වන්නේ කුමනාකාරයේ පාසැලකටදැයි ඇය නොදත්තා ය. දසුන් කියා ඇති ආකාරයට නම් එය නරක තැනක් නොවේ. කෙසේවෙතත් නව ජීවිතයට දැන් හුරුවිය යුතු ය. ඒ සියල්ලටම වඩා නැවතුම් පොල සූදානම් කර ගත යුතු ය. හෙට ගැන සිතමින් ඇය නින්දට වැටුණි.
     

    hpalpola

    Well-known member
  • (2)

    රජයේ පාසැල්, පළාත්සභා පාසැල්, ජාත්‍යන්තර පාසැල්, මිශ්‍ර පාසැල් ආදී නොයෙක් පාසැල් දැන් ලංකාවේ ඇත. මේ පාසැල්වල දැන් ‘වේවැල් කෝටු නාරන් සියඹලා අතූ‘ කවි ඇසෙන්නේ නැත. ගුරුවරයකුට ළමයකුට දඬුවම් දිය නොහැක. දඬුවම් දීමක් සිදුවුවහොත් මානව හිමිකම් යන්නට සිදු වේ. එවැනි වාතාවරණයක දැන් දැන් පාසැල් යන්නෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද නැත්නම් අම්මලා අප්පලාදැයි අසන්නෝ බොහෝ ය. එපමණක් ද සමහරක් පාසැල්වල ගුරුවරියන්ට සිසුන් ආදර යෝජනා ගෙනෙයි. තවෙකක ගුරුවරු සමඟ ශිෂ්‍යාවන් පෙමින් බැඳේ. හිතාගත නොහැකි සාමාජීය රටාවක් දැන් නිර්මාණය වී ඇත.

    මේ පාසැල ජාත්‍යන්තර පාසැලකි. අප මේ කථා කරන පාසැල ද අනෙක් පාසැල් මෙන් ම ය. නාහෙට නොඅහන ගැටයෝ මෙන්ම ගැටිස්සියන් මේ පාසැලේ ද සිටී. එවැනි පිරිසක් 13 වසරේ ද විය. අපි මේ යන්නේ ඒ 13 පන්තියට ය.

    ‘මචංලා අද සුප්පා කෑල්ලක් එන්න නියමිතයි අපිට IT ටීච් කරන්න. මට නම් ඉවසිල්ලක් නෑ ඕයි.‘

    ‘කෑ ගහන්න එපා බන්. එනකම් ඉඳපන් කො. බට ටීචර් වුනත් කමක් නෑ ගවුමක් නම්. අනේ මන්දා බන්.‘

    ‘අනේ යකෝ. උඹ උපාසකයා නේ.. මචං මූ බලහන්කො‘

    ‘හරි හරි මේ උඹ ඕනා මගුලක් කරපන්, අපිව චාටර් නොකර.‘

    ‘කව්ද බන් උඹලව චාටර් කරන්නේ. උඹල මහ චොරයි. යකෝ ටීචර් වුනත් මේ හුචක්කු වුනත් ඉනෙන් පහල එකයි බන්. අපි බලන්න ඕනා අපේ වැඩේ කර ගන්න විතරයි.‘

    ‘නොදකින් තෝ... චික්.‘

    ‘ආ නැද්ද .... අනේ මේ.‘

    ‘බලන්න ශ්වේතා.. මේ කාලකන්නි කොල්ලො ගෑණු ගැන කියන කථා. මුන් නම් අම්මලගෙන් හැදිච්ච වුන් ද කියලා හිතන්න බෑ.‘

    ‘ඕවා කතා කරලා වැඩක් නෑ සමිතා. මුන් එක්ක ඉන්නවාට අපිට ගාණක් දෙන්න ඕනා. හැබැයි එකක් ටවුන් එකේ අනෙක් ස්කූල් එක්ක ගත්තාම අපේ කොල්ලො ටික හොඳයි. මුන් කියෝනවා විතරනේ බන්. වැඩ නෑ නේ.‘

    ‘අනේ අම්මපා උඹත් දන්න දේවල්.‘

    ‘මේ ඒක නෙමේ. උඹේ ඒකපුද්ගල ප්‍රේමකථාවේ මුඛ්‍ය චරිතය අද මොකෝ තාම පිපිලා නැත්තේ‘

    ‘විකාර කියවන්න එපා කෙල්ලේ. ඌ පව්. මාර කට්ටක් කන්නේ. මහන්සියට වෙන්නැති ඔය.‘

    ‘පුහ්.. උඹ දන්න දේවල්. ඈ බන් ඌ උඹව ගනන් ගන්නෙත් නෑ. ඒ වුනාට උඹ උගේ සීනි කිරනවා. ආදරේ ද ඕකට කියන්නේ නැත්නම් මෝඩ කම ද බා....න්....‘

    ‘අනේ මේ..‘

    ‘කටවල් වහගනිල්ලා.... අළුත් ටීචර් එනෝ...‘

    සියල්ලෝම නිහඬව තම තමුන්ගේ කාර්යයන් නවත්වා පන්ති කාමරයට ඇතුල්වන දොරටුව දෙස බලා සිටී. ටිකෙන් ටික ඈතින් ඇහෙනා ටකොස් ටකොස් හඬ ළං ළංව ඇසේ. ඒ කවුරුන් හෝ ළඟ ළඟ එන බවට සාක්ෂියකි.

    සියල්ලන් බලා සිටියදී වේගයෙන් පන්ති කාමරයට ඇතුළ් වූයේ තරබාරු, කොණ්ඩය කොටට කැපූ නමුත් ප්‍රියමනාප මැදිවියේ කාන්තාවකි. ඇගේ අතේ පොත් කීපයක් ද විය. සියල්ලෝ නිහඬව ඈ දෙස බලා සිටී. කිසිඳු වගවිභාගයකින් තොරව පන්ති කාමරයට පැමිණ, මේසය මතට පොත් ටික හෙළු ඈ එක් පොතක් ගෙන පෙරලන්නට පටන් ගත්තා ය.

    ‘ළමා...යි අද මොකක්ද අපිට තියෙන පාඩම..‘

    ‘ටීචර්.....‘

    ‘මොකෝ ඔයාලා කියන්නැත්තෙ මතක නැද්ද‘

    ‘නෑ ටීචර්.... අද අපිට ටීචර්ගේ පීරියඩ් එකක් නෑ.‘

    ‘මොකක්.....‘

    ගුරුවරිය ළමුන් දෙස සහ ඇය පසු පස ඇති සුදු බෝඩය දෙස බලන්නේ දැන් ය. ‘අප්පට සිරි...‘

    ‘ටීචර්.... අද අපිට බයොලොජි නෑ...‘

    ‘හරි හරි.... ඔයාලට තිබ්බනේ කලින් කියන්න. අපරාදේ මගේ වෙලාවත් පාඩු වුනා.. මන් යනවා..‘

    ‘හූ.....හූ.... හැක හැක.. හැක..... ඕකි මාසෙකට දෙපාරක්වත් ඔයවගේ පිස්සුවක් කෙලිනවා හොඳේ..‘

    ‘ඔක්කොටම කලින් කියපන් කව්ද ඒ ටීචර් එනවැයි කියලා කෑ ගහපු එකා කියලා....‘

    නැවතත් කව්රුන් හෝ කොරිඩෝව දිගේ ඇවිද එන හඬ ඇසෙන්නට පටන් ගත්තේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නිශ්ශබ්ද කරමිනි. ඔවුන් දොරටුව දෙස බලා සිටියේ අයාගත් මුවිනි. මෙවර නම් වරදින්නට නොහැක. ඔවුන්ගේ බලාපොරොත්තු සඵල කරමින් පන්ති කාමරයට ඇතුළු වූයේ රූමත් තරුණියකි. පිරිමි ළමුන් පමණක් නොව ගැහුණු ළමුන් ද පන්ති කාමරයට ඇතුළු වූ රූමතිය දෙස බලා සිටියේ ඉතා ප්‍රසන්න ලෙසිනි. ඇය ඇඳ සිටියේ සුදු පැහැ දිග ගවුමක් ය. ඒ සුදු පැහැ ගවුමේ රතු පැහැ මල් මෝස්තරයක් තිබිණි. කොණ්ඩය දිගට කඩා හැළෙන්නට සලස්වා තිබිණි. මන්දස්මිතයෙන් ඇය සියළු දෙනා ඇය වෙත ආකර්ශනය කර ගත්තා ය. ඇය පන්ති කාමරයට ඇතුල් ව පපුවට තුරුල් කර ගෙන සිටි පොත් මේසයෙන් තැබුවේ පන්ති කාමරයේ සිටිනා සියල්ලන් ම ඇගේ දෙනෙතට හසු කර ගනිමිනි. එක් ස්ථානයක පමණක් කව්රුන් හෝ හිස බංකුවේ තබා ගෙන සිටී. ඒ හැර සියල්ලෝ ම ඇය දෙස නිහඬව බලා සිටිති.

    ‘ආයුබෝවන්... මම දීපශිකා රුවන්මලී.... ඔයගොල්ලන්ගේ අළුත් IT ටීචර්.‘

    ඇය වයිට් බෝඩයේ ඇගේ නම ලියා ආපසු පන්තිකාමරයට හැරුනා ය. ඇගේ රුවින් මෙන්ම කට හඬින් ද සියල්ලෝම මත් විනි.

    මේ අතරේ ශිෂ්‍යාවක්, ඇය බංකුවේ හිස තබා ගෙන සිටි පුද්ගලයා නැගිට්ටීමට උත්සාහ කරනවා දුටුවා ය. ඇගේ බැල්ම සමඟ සියල්ලන්ගේ ම බැල්ම එදෙසට යොමු විනි.

    ‘ලවන් නැගිටින්න... යකෝ නැගිටපන්... ලවන් නැගිටින්න කෝ.. ටීචර් එනවා... අයියෝ...‘

    ඇය හිමින් සීරුවේ ඒ බංකුවට ගමන් කළේ එහි සිදුවන්නේ කුමක් දැයි හරියට ම දැන ගැනීමේ අවශ්‍යතාව ද සහිතව ය.

    ‘ඔය ළමයාට අසනීපයක් ද?‘

    ඇය බංකුව අසලට පැමිණ අත් පපුවේ බැඳගෙන ඇසුවේ මදක් හඬ උස් කරමිනි. එය කියා අවසන්වීමට නොහැකි විය. ඔහු බෑගය ද අතට ගෙන පුටු පෙරලා ගෙන නැගිට්ටේ ඇයව ද බිය කරමිනි.

    ‘පන්ති ඉවර ද‘

    ඔහු ඇගෙන් ඇසුවේ ය.

    ‘මොකක්‘

    පෙර නුදුටු රුවක් දුටු ඔහුට කුමක් හෝ වරදක් සිදු වූ බව දැනුනි. වටපිට බැලූ විට පන්තියේ අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඔහු දෙස බිය බිරාන්ත ව බලා සිටී. නැවතත් තමන් අසල සිටගෙන සිටිනා යුවතිය දෙස මද වෙලාවක් බලා සිටි ඔහු මේසය මත තිබූ පොත් කීපය ද අතට ගෙන ඉක්මණින්න පන්ති කාමරයෙන් පිටට ගියේ ය.

    ඔහු යන දෙස බලා සිටි ඇය පන්තියේ ඉතිරි ළමුන් දෙසට හැරුනේ උනේ කුමක් දැයි සිතා ගත නොහැකිව ය.
     

    hpalpola

    Well-known member
  • (3)
    එදා දවස දීපශිකාට සතුටුදායී දවසකි. ඇය ඇගේ රැකියාව තුළ අමුතුම සතුටක් වින්දාය. පන්ති කාමර කීපයක ම ඇයට ඉගැන්වීමේ යෙදීමට අවස්ථාව ලැබිණි. ඒ සියල්ලෙන්ම ඇගේ සිත ගත්තේ දවස ආරම්භ කළ පන්ති කාමරයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. ඒ අතරේ සිටි අමුතු ම සිසුවෙකු සිහිපත් වන විට ඇගේ මුවට සිනහ නැගිනි. ඔහු එක්වරම නැගිට ආතභූත කඩාගෙන පිටව ගියේ ඇය බැන එලෙව්වා මෙනි. ඒ ගැන අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද කථා කලේ නැත. ඇයට ද කථා කිරීමට වුවමනා නොවීය. පාසැල් අවසන් වීමට ආසන්නයේ දී ඇයට ආපසු දසුන් හමු විනි.

    ‘වව්.... යූ ර් ලුකින් ප්‍රිටී.... කියන්න ඉතින් දවස හොඳයිද?‘

    ‘පට්ට පට...‘

    ‘ආව් ආව්.... අපි වැඩක් කළොත් එහෙම තමයි නංගි....‘

    ‘ඇත්තටම දසුන් මන් හිතුවෙ නෑ මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ලැබෙයි කියලා. මේක මාරයි. අනික පන්තියේ ළමයිත් එහෙම අවුලක් නෑ.‘

    ‘ඔයා 13 ට නේ උදේම ගියේ රුවී.‘

    ‘ඔව් දසුන්. මට කියන්න බැරි වුනානේ ඉස්සෙල්ලා.. ඒකෙදි මාර වැඩක් වුනානේ...‘

    ‘මොකක් ද‘

    ‘ඒකනේ.. ඒකෙ ඉඳියා මාර බෝයි කෙනෙක්. ගුඩ් ලුකින් හැන්ඩ්සම්....‘

    ‘හෝව් හෝව්.... ඔය කියන්නේ.. කොන්ඩේ ඉස්සරහින් බම්ප් එකක් වගේ තියෙන උස සුදු කොල්ලෙක් ගැන නෙමෙයිනේ..‘

    ‘වව්... ඔයාත් දන්නවාද ඒ බෝයි ව..‘

    ‘කව්ද අනේ ඕකව නොදන්නේ... මෙලෝ වැඩක් කරන්නෙ නෑ... ඒ වුනාට විභාගෙට මාර්ක්ස් ගන්නවා... ඇතුලෙ කාවවත් ගනන් ගන්නෙ නෑ... ඌ ඉස්කෝලෙ දි සෙල්ලම් කරන්නෙ නෑ. ඒ වුනාට එළියෙ බෑන්ඩ් එකක ගිටාර් ගහනවා.. මොනවා හරි ගුස්ති ඇල්ලිල්ලකුත් කරනවා ද කොහේද‘

    ‘ගිටාර් ගහනවා... ඒ බෝයි....‘

    ‘ඇයි ෂුවර් නැද්ද... ඔයා නිකන් ක්ලාස් එකේ ළමයින්ගෙන් අහලා බලන්නකො....‘

    ‘හ්ම්...‘

    ‘සීන් එක ඒක නෙමෙයි. පොරට සල්ලි තියෙනවා. ඒ සල්ලි නිසා තමයි ඌ ඉදිමිලා ඉන්නෙ.‘

    ‘ඔයා දන්නවාද ඒ බෝයිව..‘

    ‘පිස්සුද අනේ... මන් ඕකා එක්ක ඕන්නම් දෙතුන් වරක් කතා කරලා ඇති.‘

    ‘හරි හරි ඒවා වැඩක් නෑ.. මන් යන්නද එහෙනම්... රෑට කන්න කොහේ හරි යමු..‘

    ‘ම් ම් රුවී.. මට දැන්ම එන්න වෙන්නේ නෑ. තව ටිකක් වෙලා යයි. ඔයා එහෙනම් යන්න. ස්ටේෂන් එකට ගිහිල්ලා... දන්නවානේ මන් ඔයාට පෙන්නුව තැන.‘

    ‘ඔව් ... මට පුලුවන්.... ඔයා රෑට කන්න විදියක් බලනවානේ... මාව ගන්න හොඳේ...‘

    ‘අනිවා පැට්ටෝ... උඹව මන් හැමදාටම ගන්නවා...‘

    ‘අනේ විකාර.... මන් යනෝ...‘

    ඇය දසුන්ගෙන් මිදී පාරට ආවේ බෝඩිමට යෑමට ය. දසුන්ගේ නිවස පිහිටි මණ්ඩියේ ම කන්‍යාරාමයක ඇයට නවාතැන් පහසුකම් ඔහු විසින් සලස්වා තිබිණි. ඇයට එය මහත් සහනයකි. පාරට බට ඇයට දසුන්, උදෑසන ඇයට හමු වූ ළමයා ගැන කී කතා සිහිපත් විය. ඒ මැදින් ඇය හිමින් සීරුවේ ගමන් කළේ දුම්රිය ස්ථානයට ය. දුම්රියට වේලාව ඇති නිසා වටපිට බලමින් ඇය ගමන් කළා ය. කෙසේවෙතත් ඇය පාසැලෙන් පිට වූයේ ප්‍රමාද වී නිසා ඒ වන විට පාරේ නම් වැඩි පිරිසක් නොසිටියේ ඇයව තරමක් අපහසුතාවට පත් කරමිනි.

    දුම්රිය ස්ථානය තිබුනේ පාසැලේ සිට ඇවිදින දුරිනි. එය විශ්ව විද්‍යාලය කාලයේ දී ඇය නිතරම ගමන් කර ඇති තැනක් නිසා අළුත් තැනක් නොවේ. එදාත් අදත් වෙනස අළුත් තීන්තවල පමණි. පාරේ ඇවිද යන විට ඇය පසු කර යන අයවලුන් අමුතු සතකු දෙස බලන්නා මෙන් ඇය දෙස බලනවා ද ඇයට දැනිනි. කුමක් කරන්න ද එදා දෙවුන්දර සිට පේදුරු තුඩුවට පයින් ගියාට අද කොළඹ මල්වත්ත පාරේවත් තනියම පයින් තරුණියකට ගමන් කළ නොහැකි තැනට පත්ව ඇත. වරද කාගේදැයි සිතීමේ පලක් නැත. සමාජයේ වෙනස එයයි.

    හිමින් සීරුවේ හෑන්ඩ් බෑගය ද උරහිසේ දමාගෙන ඇය දුම්රිය ස්ථානයට ඇතුළුවිමට ඇති පඩි පෙල නගින්නට වූවා ය. පාරෙන් පැමිණ පඩි පේලියකින් නැග, දුම්රිය මාර්ගය ඉහළින් ඇවිදගොස් ය දුම්රිය ස්ථානයට ඇතුලුවීමට තිබුනේ. පඩි පෙල නැග දුම්රිය මාර්ගයට ඉහළින් ඇති කොරිඩෝවට පැමිණෙන විට ඇයට එහි සිටිනා රස්තියාදුකාරයන් වැනි තරුණයින් කණ්ඩායමක් දක්නට ලැබිණි. ඔවුන්ගෙන් සමහරකු අතේ දුම් වැටි තිබිණි. ඊට ඉහළින් දුම්බීම තහනම් යැයි පුවරුවක් ද එල්ලෙයි. සමහරුන්ගේ කලිසම පහලට ගොස් ඇත්තේ යට කලිසම ද පෙනෙන ලෙසිනි. සමහරු අව් කණ්නාඩි පැළඳ සිටී. සමහරුන්ගේ කොණ්ඩය තඹ පාටය. තොප්පි හරහට ය. ඇයට එක්වරම සිනහවක් මතු වුවත් ඔවුන් මධ්‍යයෙන් යා යුතු බව දැනෙද්දී සියුම් බියමුසු හැඟීමක් ද දැනුනේ නිරායාශයෙනි. නමුත් ආපසු හැරී යාමේ මානසික මට්ටමක් නම් ඇයට නොවිනි. ඇය ඉදිරියටම බිම බලාගෙන ගමන් කළා ය.

    ‘ආ ව් ආව්... බලපන් කො....‘

    ‘සුරඟන කිරිල්ලියේ.......‘

    ‘ෂා නංගී..... තනියම මොකෝ.....‘

    ‘ට්‍රේන් එක ... මන්ද පමා.....‘

    ඔවුන්ගේ උසුළු විසුළු ඇයට බව දැනුනත් ඒ ගැන නොතැකු ඇය පය ඉක්මන් කර ඔවුන් පසු කළා ය. කොරිඩේවෙන් පිටවන පඩිපෙල දිගේ පහලට බසිද්දී ඔවුන්ද ඇය පසුපස පැමිණෙන බව ඇයට දැනිනි. ටිකට් කවුළුවෙන් ටිකටය මිලට ගෙන ඇය වේදිකාවට ගියේ දුම්රිය සඳහා තවත් විනාඩි 15 ක් පමණ තිබෙන බව කාලසටහනේ දක්වා තිබුණු නිසාවනි. අවාසනාවට දුම්රිය වේදිකාවේ එතරම් පිරිසක් සිටියේ නැත. වයසක කාන්තාවක් සහ මිනිසකු පුටුවල වාඩි වී ඔවුන්ගේ කථාවකය. තවත් කව්රුන්දෝ පුටුවක වාඩි වී නින්දේ ය. ඔහු අසල කුමක් හෝ භාණ්ඩයක් ද වේ. ඇයට එය හඳුනා ගැනීමට නොහැකි ය. ඇගේ සිතට බිය දැනෙමින් තිබිණි. තරුණයන් පිරිස ද දඩයමකට කුරුමානම් අල්ලන වනසතුන් මෙන් ඇය අසලට පැමිණෙමින් සිටී. වටපිට බැලූ ඇයට දුම්රිය වේදිකාවේ කෙලවරින් මුහුදු වෙරළ දෙසට යා හැකි බවත්, ඒ පැත්තට වන්නට මිනිසුන් සිටිනා බවත් දක්නට ලැබිණි. එනිසා ඇය ආරක්ෂාව පතා එදෙසට පය තැබීය. අනේ... වැඩි දුරක් ඇයට යන්නට නොලැබිණි. වනසතුන් රැළ ඇය වට කරගත්තෝ ය.

    ‘ආ.......ව්ව්ව්.... නංගී මොකෝ බයේ ද දුවන්නේ....‘

    ‘ඇයි සුදු මැණික අපි කළු නිසාද මගහරින්නේ...‘

    ‘චුට්ටක් ඉන්න සුදා.... අපි නොවේ පමා....‘

    ‘මට කරදර නොකර පාඩුවේ ඉන්න දෙනව ද ප්ලීස්....‘

    ‘කව්ද නංගි ඔයාට කරදර කලේ... මූද නැත්නම් මූද.. නැත්නම් මූවත් ද?‘

    ඔවුන් ඇයව විහිලුවට ගෙන ඇත.

    නිසඟයෙන්ම ඇගේ, ඇස් කඳුලින් පිරුනි.

    ‘ප්ලිස්... මට වද නොදී ඉන්න...‘

    ‘හරි හරි සුදූ... අපිට කීයක් හරි දෙන්න අපි යන්නම්.. සත්තයි.‘

    ‘මා ලඟ සල්ලි නෑ. අනික මන් මොකට ද ඔයාලාට සල්ලි දෙන්නේ...‘

    ‘ඇයි වස්තු ඔයා සල්ලි නොදුන්නොත් අපි ඔයාට කරදර කරනවානේ...‘

    ‘මන් කෑ ගහනවා...‘

    ‘ඒක ෂෝයි බබා... බලමු කව්ද එන්නෙ කියලා ඔයාගේ කෑ ගැහිල්ලට‘

    එකකු ඇගේ හෑන්ඩ් බෑගයෙන් ඇද්දේ ය. ඇය ඔහුට පා පහරක් ගැසුවේ යටි බඩ දෙසට ය.

    ‘අම්මෝ.... මගේ ....කුට්ටම....‘

    ‘ආහ්... නංගී උඹ වැඩේ වැරුද්දුවා.. අල්ල ගනින් ඕකිව... අම්මට...‘

    ඔවුන් ඇය සමඟ පොර බදන්නට වූයේ ඇයද ඒ පොරයටම වැටිනි. නමුත් ඇයට ඔවුන් අභිබවන්නට නොහැකි විය. එකෙකු ඇගේ හෑන්ඩ් බෑගය උදුරා ගත්තේ ය.

    ‘හරි... ගත්තා...‘

    ඔහුට කීමට ලැබුනේ එපමණකි. වේගවත් අත්පහරක් ඔහුගේ හිස පිටු පසට වැදුනේ, හෑන්ඩ් බෑගය ද දුම්රිය මාර්ගයට විසි කරමිනි.

    ‘අතෑරපල්ලා ඔය කෙල්ලව...‘

    ‘කව්ද යකෝ මූ... ඒයි චාමරයට මොකද වුනේ බලපන්... මූ ඌට ගැහුවා...‘

    ඇයට ඒ රූපය හඳුනා ගැනීමට එතරම් අපහසු නොවිනි. මේ උදේ පන්තියෙන් පිටව ගිය සිසුවා ය.

    ‘අඩෝ.... උඹ වැඩේ වරද්දගත්තා මල්ලි.... කොල්ලනේ මූව ඉවරයක් කරමු.‘

    ඒ සමඟ කණ්ඩායම ඔහු සමඟ පොරයට වැටිනි. ඇය සටන දෙන බලා සිටියා ය. ඔහු ඇය දැක ඇති සටන් චිත්‍රපටයක නළුවෙක් මෙනි. පාද හැසිරවීම, අත් තබා ගන්නා ඉරියව්.. මුහුණේ ඉරියව්.... කණ්ඩායමේ සාමාජිකයන් එල්ල කරනා පහරවල් වලක්වමින් ප්‍රතිප්‍රහාර දෙන්නේ සටන් ශිල්පයේ නිපුණයෙක් මෙනි. සටන පවතිද්දී ඇයට එක්වරම සිහිපත් වූයේ ඇගේ හෑන්ඩ් බෑගය ය. එය දුම්රිය පාරට වැටිනි. ඇය දුවගොස් වේදිකාවෙන් බැස එය අහුලා ගෙන ආපසු වේදිකාවට නැග එන විට දෙදෙනකු පමණ බිම වැටී සිටිය හ.

    ‘මූව මරමු... මූව මරමු..‘

    සටන උග්‍රව ඇත. ඔහු ඒ සියල්ලටම තනිවම මුහුණ දෙයි. මේ අතරේ ඇය දුටුවේ එක් තරුණයකු පිහියක් වැනි ආයුධයක් ගන්නා අයුරු ය. ඇය ඔහුට අනතුරු අඟවමින් කෑ ගැසුවා ය. නමුත් එය ඇසුනු බවක් නොපෙනුනි. තව ටික වේලාවකින් මේ පිහියෙන් ඔහුට අනතුරක් වනු ඇත. වටපිට බැලූ ඇයට වේදිකාවේ සවිකර ඇති අසුන් අසල බිම තිබූ යම් දෙයක් දක්නට ලැබිනි. ඇය එදෙසට දුව ගියා ය. එය ගිටර් කවරයකි. එහි සිටි තරුණයා නැත. ඇයට එක්වරම මේ සටන් කරන්නේ ඇය මද වේලාවකට පෙර මේ ස්ථානයේ සිටිනවා දුටු නිදිගත් තැනැත්තා ම බව සිහිපත් විය. ගිටර් කවරයේ තිබූ ගිටාරය එළියට ගැනීමට ඇයට අපහසුවක් නොවිනි. ඇය එය අතට ගෙන දෑතින් මොලවා ගෙන සටන පවතින දෙසට දුව ගියා ය. ඒ වන විටත් එක් අයකු ඔහුව පසු පසින් අල්ලා ගෙන අනෙකි පිහියෙන් ඇනීමට සූදානමින් සිටී.

    ඇය කෑ ගසා ගෙන දුවගෙන ගොස් ඇස් වසාගෙන, දෑත බදා ගිටාරයෙන් වැරවත් පහරක් පිහියෙන් ඇනීමට සූදානම් වූ තරුණයාගේ හිසට ම එල්ලා කළා ය. එය නිවැරදිව ම වැදුණු බව ඇයට දැනුනේ දඩස් හඬින් ගිටාරය හිසේ වැදී කැඩී යනවා ද දැනුණු නිසාවෙනි. ඒ සමඟ ම පිරිසක් දුව යන හඬ ද ඇයට ඇසිණි. හිමින් සීරුවේ ඇස් ඇර බැලු ඇය දුටුවේ ගිටාරය හිසෙ පළඳාගෙන සිටින ඔහුව ය. ඇගේ පහර වැදී ඇත්තේ ඔහුට ය. එවිට ම වේදිකාවේ කොනක දුව යන පිරිස ඇය දුටුවා ය.

    ‘අයියෝ .... අනේ.... සොරි... ප්ලීස්... අනේ මට සමාවෙන්න...‘

    ‘ඉට්ස් ඕකේ... ඒත් මතක තියා ගන්න, ඊළඟ සැරේ කාටහරි ගහද්දී ඇස් ඇරන් ගහන්න.. නැත්නම් ඔයාගේ ෂොට් එකෙන් වැඩක් නෑ...‘

    ඔහු ඇයට පවසා කැඩුණු ගිටාරය හිසෙන් ඉවත් කර ගනිමින්, ඇය සමඟ කිසිවක් කතා නොකර පිටව ගියේ ය.

    ‘අයියෝ..... මන් මොකක් ද ඒ කළේ.....‘

    ඇය ලැජ්ජාවටත්, දුකටත් එතැනම දණින් වැටුනේ දෑතින් මුහුණ වසාගෙන ය.