සේයා ඝාතනයට හේතුව

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    සේයා ඝාතනයට හේතුව

    සේයා ඝාතනයට හේතුව ඇති තැන අඳුරු නිසා පහන් ආලෝකය තුළ හේතුව සෙවිය හැකි ද?

    සේයා මැරූ මිනීමරුවන් මරන බව ශපථ කරමින් ආවේගශීලීව හැසිරීම මේ වන විට ෆේස්බුක්හි සිට එම දැරියගේ මළගෙදර දක්වා ම විහිදී තිබෙන රැල්ලකි. සේයා දැරිය හඳුන්වා දීමට වචන නාස්ති කළ යුතු යයි මම නො සිතමි. කයිට්ස්හි විද්‍යා දැරිය ඝාතනයට ලක් වූ අවස්ථාවේදී ද මේ හා සමාන හැසිරීමක් යාපනයේ දක්නට ලැබිණි.

    එම දැරියගේ නිවස අසල රැස් වූ පිරිස් ඝාතකයා හෙළිදරව් කරන්නැයි පොලිසියට බල කරමින් අවමංගල්‍යයට ද බාධා වන පරිදි හැසිරුණ හ. ඔවුන් ඇත්තෙන් ම කළේ විමර්ශනයට බාධා කිරීමයි. මිය ගිය දැරියට පවා සාමය අහිමි කර ඇත. ඝාතනයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ සූදානම් වෙමින් තිබේ. ඇත්තෙන් ම මෙම උද්ඝෝෂණ කරන්නේ කාට එරෙහිව ද යන්න කවුරුවත් දන්නේ නැත. අපරාධකරුවකුට එරෙහිව උද්ඝෝෂණය කළ යුත්තේ එම අපරාධකරුවා අපරාධයෙන් ගැලවීමට බලය යොදා ගන්නා බලවතෙකු නම් ය. පොලිසියට එරෙහිව උද්ඝෝෂණ කළ යුත්තේ පොලිසිය පරීක්ෂණ නිසි පරිදි කරන්නේ නැතිනම් හෝ ඝාතකයන් ආරක්ෂා කරන්නේ නම් ය. මහජන නියෝජිතයන්ට එරෙහිව උද්ඝෝෂණය කළ යුත්තේ ඔවුන් මෙම ක්‍රියා ප්‍රවර්ධනය කරනවා නම් ය. එහෙත්, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපරාධකරුවන් මහජන නියෝජිතයන් ලෙස පත් කර නො එවන්නැයි දැවැන්ත ප්‍රචාරයක් රටේ තිබියදීත් අපේ ඡන්දදායකයෝ අපරාධකරුවන් නැවත පාර්ලිමේන්තුවට පත් කර එවූ හ. මේ උද්ඝෝෂණය කරන ජනතාව ඇත්තෙන් ම උද්ඝෝෂණය කරන්නේ තමන්ට ම එරෙහිව ය. මන්ද, දූෂකයා සිටින්නේ ඔවුන් අතර ය.

    මෙම ඊනියා උද්ඝෝෂණ මාධ්‍යවලින් ආවරණය කිරීම නිසා ඒවා දිරිගැන්වී තිබේ. තඹ දොයිතුවකට වැඩක් නැති අදහස් ප්‍රකාශ කරන මුග්ධ ආවේගශීලීන් මාධ්‍ය විසින් වීරයන් කරනු දක්නට ලැබේ. සැකකරුවන් මරා දැමීමට දොඩන්දූවේ ජනතාව සූදානම් බව කියන කාන්තාවක් ජාතික රූපවාහිනියේ කතා කරන ආකාරය දුටිමි. තවත් එවැනි ආවේගශීලී කාන්තාවක් ඇමති රන්ජන් රාමනායකට කතා කරන්නේ හරියට වරදකරු ඔහු ලෙස සලකා ය. රන්ජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ එම වීඩියෝව ප්‍රචාරය කර තිබෙුණේ ය. ළමා කටයුතු භාර ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර වැඩ භාර ගන්නා උත්සවයේදී සජිත් ප්‍රේමදාස කළ කතාවෙන් ද කියැවුණේ මෙවැනි අපරාධ කරන අයට නීතිය ක්‍රියාත්මක කර වැඩක් නැති බව හා ඔවුන් සමාජයෙන් තුරන් කර දැමිය යුතු බවයි. ඔහු කියන්නේ ද සැකකරුවන් මරා දැමිය යුතු බවයි.

    මෙම ප්‍රශ්නයේදී රාජ්‍ය මාධ්‍යවල සිට දේශපාලකයන් දක්වා බොහෝ අය කටයුතු කරන්නේ මහජන ආවේග ඇවිස්සෙන ආකාරයට බව මෙම උදාහරණවලින් ඉතා පැහැදිලි ය. පෞද්ගලික මාධ්‍ය හා සමාජ මාධ්‍ය සුපුරුදු ලෙස ම ආවේග අවුස්සනසුළු භාවාතිශය වාර්තාකරණයක යෙදෙනු දක්නට ලැබිණි.

    මේ රටේ ජනතාව හා ඔවුන්ගේ නායකයන් ජීවත් වන්නේ මොබ් මානසිකත්වයකින් බව අපි මීට කලින් ද පෙන්වා දුන්නෙමු. නො ගැඹුරු ආවේගශීලිත්වය, නීතිය අතට ගැනීම, ප්‍රචණ්ඩත්වය, විනාශකාරී ක්‍රියා හා ඉන් අනතුරුව පසුතැවිලි වීම හා නීතියට බිය වීම මෙම මොබ් මානසිකත්වයේ ප්‍රධාන ලක්ෂණ වේ.

    මොබ් මානසිකත්වයෙන් සිටින පුද්ගලයන්ට යථාර්ථය අවබෝධ කර ගැනීම දුෂ්කර ය. තත්වය කෙතරම් භයානක ද යත්, අප මෙසේ ලියන විට ඔවුන් සිතන්නේ අප කතා කරන්නේ අපරාධකරුවන්ගේ අයිතිවාසිකම් ගැන ය කියා ය. ඒ අතර, අපි අපරාධකරුවන්ට පක්ෂග්‍රාහී ය වැනි අතාර්කික අදහස් පවා ඔවුන් තුළ පහළ වේ. පසුගිය දින කීපය තුළ මම මේ ලක්ෂණය ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්, කවියන්, ගීත රචකයන් අතර පවා නිරීක්ෂණය කළෙමි.

    එහෙත්, අපි දිගින් දිගට ම මෙසේ කතා කරන්නේ සමාජයක් ලෙස අප අපරාධකරුවන් බවට පත් වීම වළක්වාගන්නට ය. සේයා දැරිය දූෂණය කර මරා දැමූ ඝාතකයා මරා දැමීමට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාසගේ සිට දොඩන්දූවේ කාන්තාව දක්වා අපේ රටේ මිනිසුන් ඇද වැටී තිබෙන තත්වයෙන් ඔවුන් ගලවා ගැනීම අපේ අරමුණයි. පව්කාරයන්ට ප්‍රතිචාර දැක්විය යුත්තේ අප ද පව්කාරයන් බවට පත් වීමෙන් නො වේ.

    ඇතැම් මාධ්‍ය මෙම ඝාතනය සම්බන්ධ සැකය මිය ගිය දැරියගේ පියා වෙත ද යොමු කළේ ය. පොලිසිය ඔහු පිළිබඳ විමර්ශනය කරමින් දුරකථන කුළුණු දත්ත මාර්ගයෙන් ඔහු අපරාධය සිදු වන අවස්ථාවේ වෙනත් ස්ථානයක සිට ඇති බව තහවුරු කර ගත්තේ ය. ජනමාධ්‍ය විසින් අවුළුවන ලද ආවේගශීලිත්වය නිසා දැරියගේ පියාගේ ජීවිතය පවා අනතුරට ලක් විය.

    අප මෙවැනි ගැටලු ආමන්ත්‍රණය කළ යුත්තේ ශිෂ්ට සමාජය ඒවා කරන ආකාරය අනුවයි. භාවාතිශය ලෙස මාධ්‍ය විසින් ආවරණය කරනු ලබන බිහිසුණු අපරාධයකින් පසු අධි සංවේදිත්වයක් පෙන්වමින්, බොළඳ වීරත්වයකින් යුක්තව අපරාධකරුවන් මරන්නෙමැයි, කපන්නෙමැයි, කොටන්නෙමැයි කියමින් හැසිරෙන සමාජ ස්ථරය අත තොරොම්බල් වන ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි. මරණීය දණ්ඩනය යනු ආවේග විමෝචනය කිරීමේ මාර්ගයක් නො වන බව අප මුලින් ම වටහා ගත යුතු ය. එය අයත් වන්නේ දණ්ඩනයට හා විශෝධනයටයි. දණ්ඩනය යනු දඬුවම් කිරීමයි. විශෝධනය යනු නිවැරදි කිරීමයි. රටක අධිකරණය හා සිරගෙවල් පවතින්නේ ඒ වෙනුවෙනි.

    මරණීය දණ්ඩනය යනු අපේ රටට අලුත් දෙයක් නො වේ. පසුගිය ආණ්ඩුව කාලයේ මෙවැනි භයානක අපරාධකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය වුණේ අපරාධයට යොදා ගන්නා ලද ආයුධ පෙන්නන්නට ගිය විට පැන යන්නට උත්සාහ කළා ය කියා වෙඩි තබා හෝ දියේ ගිල්වා හෝ මරා දැමීමයි. අඩු තරමේ මරා දමන ලද සැකකරුවා අපරාධකරුම ද යන්න තහවුරු කර ගැනීමේ කිසිදු විභාගයක් නො පවත්වා අවියම් අන්දමින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලදී. එම මරණ දඬුවම ක්‍රියාත්මක කළ පොලිසියට අධිකරණයේ හා රජයේ සහයෝගය ලැබුණු අතර එම ක්‍රියාමාර්ගය මහජන ප්‍රසාදයට ලක් විය. එහෙත්, අවසානයේදී සිදු වී තිබෙන්නේ කුමක් ද? අපරාධකරුවන් මේ අන්දමින් මරා දැමීමෙන් හෝ මෙවැනි අපරාධ සිදු වීම වැළැක්වී නැත. අවසානයේදී සිදු වී තිබෙන්නේ සමාජයක් ලෙස අප ද අපරාධකරුවන් බවට පත් වීම පමණි.

    ප්‍රශ්නය ඇත්තේ වෙන තැනක ය. අප කරමින් ඉන්නේ යතුර නැති වූ තැන අඳුරු තැන එය සොයනවා වෙනුවට වීදි පහන යට නැති වූ යතුරු සොයනවා වැනි දෙයකි. මේ භයානක අපරාධ නැති කිරීම පහසු නැත. ඒ වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු ය. සමාජ ආරක්ෂාව වැඩි දියුණු කළ යුතු ය. ඊටත් වඩා වැදගත් වන්නේ මෙවැනි අපරාධ ඇති වන්නට හේතු වන සමාජ ආකල්ප වෙනස් කිරීමයි. මෙවැනි අපරාධවලට ප්‍රතිචාර දක්වන ආකාරය හා සම්බන්ධ ආකල්ප ද වෙනස් විය යුතු ය. ඔබේ දරුවා පාසලෙන් ලබන අධ්‍යාපනය ගැන හා මාධ්‍යවලින් දකින දේ ගැන යළි මෙනෙහි කරන්නට මෙය අවස්ථාවක් කර ගන්න.


    උපුටා ගැනීම : http://www.w3lanka.com/
     
    Last edited:
    • Like
    Reactions: Troop

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    නෙක්‍රොෆීලියා කියන්නේ මළ මිනී කෙරෙහි ආසක්ත වී ඇතැම් විට ඒවා සමග සංසර්ගයේ යෙදීමට පෙළඹෙන මානසික රෝගී තත්වයක්. නෙක්‍රොෆීලියා යන වදන ශවකාමය ලෙස සිංහලට පරිවර්තනය කරන්නට පුළුවන්. කොටදෙනියාවේ සේයා දැරිය මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන ජනමාධ්‍ය විසින් කරනු ලබන විස්තරවල ඔහු මෙවැනි මානසික රෝගියකු බව පැවසෙනවා.

    ජනමාධ්‍ය විසින් වෛරී චේතනා ජනතාව තුළ ඇති කිරීමේ අරමුණින් කරන මෙවැනි වාර්තාකරණයන් සම්පූර්ණයෙන් විශ්වාස කළ නො හැකි වුණත්, මෙම සැකකරුවා මානසික රෝගියකු වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

    නෙක්‍රොෆීලියා මානසික තත්වයෙන් පෙළෙන පුද්ගලයකු පිළිබඳ ගාමිනි වියන්ගොඩ විසින් ‘මායාවාස’ ලෙස පරිවර්තනය කරන ලද ඉසබෙල් අය්යන්දේ ලියූ The House of Spirits නවකතාවේ සඳහන් වෙනවා.

    “ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා රෝසා ගේ සිරුර හිස් කොට අවසන් වන තෙක්, නහරවැල්වලට බෙහෙත් එන්නත් කර, සිරුර නහවා ආමෝදි විනාකිරෙන් හා සැවැන්දරා සාරයෙන් දෝවනය කර අවසන් වන තෙක්, ක්ලාරා ඇසි පිය නො හෙලා ඒ තැන රැඳී සිටියා ය. මෘත ශරීර සංරක්ෂක පාප්ප තවරා, වක් වූ ගෝනි ඉදි කට්ටකින් මෘත දේහය මසා අවසන් වන තෙක් ඈ එ තැන රැඳී සිටියා ය. අන්තිමේ දී දොස්තර කුළුවාස් පයිප්ප බක්කියට ගොස් දෑත් සෝදා ගත්තේ ය. දෑසේ කඳුළු පිස දා ගත්තේ ය. අනිකා ලේ සෝදා හැර බොකු එකතු කෙළේ ය. තවමත් ක්ලාරා එතැන ය. අනතුරු ව, අපරිමිත ශෝකයෙන් දොස්තර කුළුවාස් සිය කළ කබාය ඇඟලාගෙන එත තැනින් පිට විය. එ විට, මීට පෙර ක්ලාරා දැක නො සිටි තරුණයා රෝසාගේ දෙ තොල සිඹින්නට විය. ගෙල සිඹින්නට විය. දෙ තන උරන්නට විය. ඇගේ දෙ පා අතරේ මුහුණ හොවා රහසඟ සිඹින්නට විය. තව මත් ක්ලාරා ගේ දෑස් එ තැන ය. අන්තිමේ දී තරුණයා මළ සිරුර මුහුදු හත්තකින් පිසලෑවේ ය. එම්බ්‍රොයිඩරි කළ රෑ ගවුම ඇන්දෙව්වේ ය. හති දමමින් ඇගේ හිස පීරුවේ ය. ඉන් පසු, දොස්තර කුළුවාස් සහ නානා විත් සුදෝ සුදු වස්ත්‍රෙයන් රෝසා සරසා, ඇගේ සරණ මංගල්‍යය වෙනුවෙන් කළ ඔටුන්න ඇගේ හිස ලෘවේ ය. අනතුරු ව, රෝසා සිය මනාලිය වී නම් තමා ගේ ගෙයි එළිපත්ත හරහා ඈ ඔසවාගෙන යන සෙනෙහසින් ම, තරුණයා රෝසාව දෑතට ගත්තේ ය...." (මායාවාස, ගාමිනී වියන්ගොඩ, පි. 61, 62)

    නෙක්‍රොෆීලියා මානසික තත්වය ගැන ඉතිහාසය පුරාමත් යම්, යම් සඳහන් වීම් තිබෙනවා. අලුත මිය ගිය කාන්තාවකගේ සිරුර සමග ලිංගික ක්‍රියාවක යෙදුණු මළ මිනී සංරක්ෂකයකු පිළිබඳව වාර්තා වීමෙන් පසු, නැවත එසේ සිදු වීම වැළැක්වීම සඳහා පැරණි ඊජිප්තුවේ මිය ගිය රූමත් කාන්තාවන්ගේ සිරුරු සංරක්ෂණය කළේ දින කීපයකට පසුව බව ග්‍රීක් ලේඛක හෙරඩෝටස් (ක්‍රි.පූ. 484-425) සිය ‘ඉතිහාස' නම් කෘතියේ සඳහන් කර තිබෙනවා.

    බෞද්ධ විනය පිටකයේත් මේ ගැන සඳහන් කිරීමක් ඇති බව මා අසා තිබෙනවා. ලංකාවේත්, ඇතැම් මෘත ශරීරාගාරවල මෙවැනි ක්‍රියා සිදු වන බවට කටකතා තිබෙනවා.

    ළමයකු ලිංගිකව ආසක්ත වන පුද්ගලයකු ගැන සාහිත්‍යයේ සඳහන් වන ප්‍රකට ම උදාහරණය තමයි, ව්ලැදිමිර් නබුකොවුගේ ලොලිටා නවකතාව. ළමයින්ට ලිංගිකව ආසක්ත වන මානසික තත්වය හැඳින්වෙන්නේ පීඩොෆීලියා හෙවත් ළමාකාමය යන නමින්. ශවකාමීන් වගේ නෙමෙයි, මේ සමාජයේ ළමාකාමීන් සුලබයි. සමාජයේ සෑම තරාතිරමක ම මෙවැනි පුද්ගලයන් දකින්නට ලැබෙනවා. ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන්ට පවා ළමාකාමී චෝදනා එල්ල වී තිබෙනවා. පැරණි සංස්කෘතීන් බොහොමයක ළමාකාමයට ඉඩ දී තිබෙනවා. ළමයින් විවාහ කර ගැනීම වර්තමානයේදී පවා දුර්ලභ තත්වයක් නොවෙයි.

    එහෙත් නවීන සමාජය මෙහි තිබෙන අමානුෂිකත්වය හඳුනාගෙන තිබෙනවා. එහෙයින් ශිෂ්ට සමාජය එය පිටුදකිනවා. එපමණක් නොවෙයි, එය වැළැක්වීම සඳහා නීති සම්පාදනය කර තිබෙනවා. ළමා විය හා සම්බන්ධ වන කුමන හෝ ආකාරයක ලිංගිකත්වය අපචාරයක් ලෙසයි සැලකෙන්නේ. ළමයාගේ කැමැත්තෙන් සිදු වුණත්, එය දූෂණයක් ලෙසයි සැලකෙන්නේ. ළමයින්ගේ ආරක්ෂාව සඳහා මෙය ඉතා වැදගත්.

    එහෙත්, සමාජ ආකල්ප තවමත් මුළුමනින් ම මෙම තත්වය හා අනුගත වී නැහැ. එසේම, මෙය මනෝ විද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව තරමක් අවුල් සහගත කලාපයක් ලෙසත් සලකන්නට පුළුවන්. කොහොම වුණත්, වැඩිහිටියන් ළමයින් දූෂණය කිරීම ඉවසන්නට නවීන ශිෂ්ට සමාජය කිසි සේත් ම සූදානම් නැහැ.

    කොටදෙනියාවේ ඝාතනය නිසා ශවකාමය හා ළමාකාමය ගැන බැරෑරුම් ලෙස සිතන්නට අපට සිදු වී තිබෙනවා. ලංකාවේ සිටින මෙවැනි මානසික රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විධිමත් වැඩපිළිවෙලක් තිබෙනවා ද? විශේෂයෙන් ම ළමාකාමීන් දරුවන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක්. ඒ නිසා එය සමාජාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සලකන්නට සිදු වෙනවා. එවැනි රෝගීන්ට ලංකාවේ නිසි පරිදි ප්‍රතිකාර සිදු වන්නේ නැහැ. ඔවුන් දීර්ඝකාලීනව සමාජයෙන් ඈත් කර ප්‍රතිකාර කළ යුතුව තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල මෙවැනි සමාජ ගැටලු කළමනාකරණය කර ගන්නා ආකාරය ගැන අපි හැදෑරිය යුතුයි.

    සියල්ලට විසඳුම තිබෙන්නේ මරණ දඬුවම තුළ යයි සිතන ජනප්‍රිය මුග්ධ සිතුවිල්ල පසෙක ලා මේ ප්‍රශ්න ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි.


    උපුටා ගැනීම : http://www.w3lanka.com/
     
    Last edited: