'මලී' ටෙලි නාට්‍යය 'මලී - 1' ඉඳලා බලපු කෙනෙක් මම. මම දැන් ලංකාවෙ ටෙලි ඩ්‍රාමා බලන්නෙ නැත්තෙ දැන් තියෙන්නෙ මෙලෝ රහක් නැති බොළඳ ආදර කතාවක් තියෙන ටෙලි නාට්‍ය හින්ද. ඒවත් එක්ක බැලුවම 'මලී' ටෙලි නාට්‍ය සීරීස් එක සෑහෙන්න හොඳයි. මම තවත් ආසාවෙන් බලපු නාට්‍යයක් තමයි දෙරණ නාලිකාවෙ ගියපු 'තිමිරි ගිර' කියන නාට්‍යය.
'මලී - 1' කතාව මලී (සමාධි අරුණචායා) යෞවන සහ තරුණ කාලයේ ඇගේ තිබෙන විශේෂ විශ්ව ශක්ති බලය සහ ඇගේ මව වෙන ඩිංගිරි (දුලීකා මාරපන ) ගේ වෙදකම සහ මන්තර ගුරුකම් ආශ්‍රයෙන් ඉදිරියට යන කතාවක්. ඒ කාලේ උක්කුවා (සරත් චන්ද්‍රසිරි ) ජීවත්ව ඉන්නවා! (මලී -3 කතාවෙ ඉන්නෙ උක්කුවාගෙ අවතාරෙ!). මලී - 1 කතාවෙ මලී කසාද බඳින්නෙ නිර්මාල් (සංකේත් වික්‍රමගේ) කියන ප්‍රාදේශීය ලේකම් වරයා. කිසියම් ගුප්ත හේතුවක් නිසා මලීටයි නිර්මාල්ටයි ලැබෙන දරුවා ඩිංගිරි විසින් අම්මයි තාත්තයිගෙන් වෙන් කරල වෙනම හදා ගන්නවා. නිර්මාල් සහ මලී රට යනවා. අන්න ඒ දරුවා තමය් 'සාරදී'. සාරදීගෙ කතාව තමයි 'මලී -2 (ආත්තම්මා)
'මලී -2 (ආත්තම්මා)' කතාව විකාෂණය වෙන්නෙ මලීගෙ දුව වන සාරදී (උදාරි කෞශල්‍යා) ගේ මලීට වගේම තියෙන විශ්ව ශක්ති බලවේගය සහ ඩිංගිරිගේ වෙදකමත් මන්තර ගුරුකමුත්, උක්කුවාගේ මන්තර ගුරුකමුත් කේන්ද්‍ර කරගෙන. මලී -2 කතාව අවසානයේ සාරදී කසාද බඳිනවා. කතාවෙ එයා කසාද බඳින්නෙ දාරක (සංගීත් සතරසිංහ ). මේ කතාව පටිගත කරද්දී වුන ආදර සම්බන්ධය හින්දා උදාරී සැබෑ ජීවිතයේ සංගීත්ව කසාද බඳිනවා! සංගීත්ගෙ පියා තමයි විකට නළුවෙකු වන සුරංග සතරසිංහ. හැබැයි උදාරීගෙ රඟපෑම නම් මෙලෝ රහක් නෑ. ඒක කියන්න ඕන!.
මලී - 1 සහ 2 කතාවලට ලොකු ජවයක් ලැබුනේ ඩිංගිරි (දුලීකා මාරපන ) ගෙ විශිෂ්ඨ රඟපෑම කියල මට කියන්න පුලුවන්. මලී - 1 අම්මා ලෙසත්, මලී -2 ආත්තම්මා ලෙසත් ඇට ප්‍රතිභාපූර්ණ රංගනයක යෙදෙනවා.
ඩිංගිරි කියපු විදියට සාරදීට අවුරුදු 21 ක් වෙනකන් මලීට වෙන ලමයි හදන්න එපා කියනවා. මම හිතන්නෙ ඒ හින්ද තමයි මලී ඊට පස්සෙ තවත් දුවෙකුයි පුතෙකුයි හදලා තියෙන්නෙ. ඒ පුතා තමයි සිඳූ. (වෛද්‍ය විද්‍යාත්මකව මම දන්නෙ නෑ සාරදීට 21ක් වුනාට පස්සෙ මලීට තවත් ළමයි හදන්න පුලුවන්ද කියල. ඒත් ඒක එහෙම වෙලා තියෙනවා!)
දැන් 'මලී - 3 (සිඳූ)' කතාව විකාශණය වෙන්නෙ මලීගෙ පොඩි පුතා සිඳූ වටා. දැන් ඩිංගිරි මිය ගිහින්. ඒ හින්දා දුලීකා මාරපන නැහැ. උක්කුවාගේ (සරත් චන්ද්‍රසිරි ) අවතාරය තමයි තියෙන්නෙ! දැන් මලී -3 ට සමාධි අරුණචායා සහ සංකේත් වික්‍රමගේ ආපහු ඇවිල්ල තියෙනවා. සමාධි දැන් චූටි බබෙක්ගෙ අම්මා කෙනෙක්. මම ඇත්තටම ඇගේ නැවත ආගමනය ගැන සන්තෝස වෙනවා.
මලී - 3 (සිඳූ) ඇත්තටම අද කාලෙ තියෙන ටෙලි නාට්‍ය එක්ක බැලුවම සෑහෙන උඩින් තියෙන නාට්‍යයක්. ගොඩක් දෙනා වගේම මමත් හරිම ආසයි පොඩි හාමුදුරුවන්ගෙ චරිතයට සහ රඟපෑමට. මගේ බිරිඳ මේ නාට්‍යයේ බලන්නෙ පොඩි හාමුදුරුවන්ගේ රංගනය විතරයි!
මේ නාට්‍යයේ මම දකින එකම සෘණාත්මක පැත්ත තමයි යන්ත්‍ර මන්ත්‍ර සහ ගුරුකම් ගැන අනවශ්‍ය විදියට කරුණු ඉදිරිපත් කරන එක. ඒක සීමාවක් ඇතුලෙ කරාට නම් කමක් නෑ. ඒත් මේක දුර යනවා වැඩියි. මේකෙන් සමාජයට වැරදි පණිවිඩ යන්න පුලුවන්.
අපි බලමු 'මලී -3 (සිඳූ) ඉදිරියේදි කොහොම දිග ඇරෙයිද කියලා.